දරුවන් කතා කිරීම ප්‍රමාද වීමට බලපාන විවිධ හේතු මොනවාද?

කාන්තාවකට ඇති ලොකුම සම්පත තමයි දරුවන් කියන්නේ.ඉතින් මේ දරුවන් සම්බන්ධ ගැටලු වලට පිළිතුරු නිරන්තරයෙන් අපි ඔබට ගෙන එනවා.අද අපි ඔබට කියන්න යන්නේ දරුවන්ගේ කථන ආබාධ සහ භාෂා අක්‍රමිකතා ගැන.ඒ ගැන ඔබව අද දැනුවත් කරන්නේ වෘත්තීය භාශා සහ කථන චිකිත්සකවරියක් වන තක්ශිලා නුවන්ති මෙනවියයි

මුලින්ම අපි දැනගන්න කැමතියි කථන ගැටලු සහ භාශා අක්‍රමිකතා  කියන්නෙ මොනවද?

සරලවම කථනය සහ භාශාව කියන්නේ දෙකක්.මේ වෘත්තියේදි අපි කථනය කියන්නේ ශබ්දයක් නිකුත් කරලා කරන දේට විතරයි.භාශාව කියන්නේ ඔය විදියට ශබ්දයෙන් ශබ්දය එකතු කරලා ඒකට වචනයක් හැදුනට පස්සෙ ඒ වචන එකතු කරලා අදහසක් ප්‍රකාශ කරන එකට තමයි අපි භාශාව කියලා කියන්නෙ.එතකොට පැහැදිලිවම speech කියන්නෙ එක දෙයක් language කියන්නේ තව දෙයක්.කථනයේදි අපි ගැටලු කියන්නෙ ශබ්ද නිශ්පාදනය එක්ක බැඳුනු ගැටලු වලට.භාශාව කියන්නෙ ලොකු දෙයක්.මොකද භාශාව කියන එක අපි ගන්නවා දරුවෙක්ගේ තේරුම් ගැනීම , expression කියන එක, ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දෙන විදියත් භාශාව කියන එකට යටතට ගැනෙනවා.දරුවෙක්ට භාශාමය ගැටලු ඇතිවුනොත් ,තේරුම් ගැනීම, ප්‍රකාශ කිරීම,ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධ දෙයක් හිතලා ලිවීම වගේ දේවල් පවා අමාරු වෙන්න පුලුවන්.
ඊලග ප්‍රශ්නෙට ආවොත් එහෙම delay එකක්  එහෙම නැත්තම් ප්‍රමාද වීමක් හෝ disorder නැත්තම් ආභාධිත තාවත්,අක්‍රමවත් බවත් කියන්නෙ මොකද්ද කියන එක.සමහර වෙලාවට අපි ගාවට එනවා සමහර අය ඩොක්ටර් කිව්ව බබාට delay එකක් කියලා theropy කරන්න කිව්වා කියලා.එතකොට ඒ ඩොක්ටර් ගේ රෝග නිර්ණය ඇවිල්ලා තියෙන්නේ බබාගේ වර්ධනය සිද්ද වෙනවා ,සාමාන්‍ය බබෙක්ගෙ වගේම නමුත් ප්‍රමාද වීමක් විතරයි තියෙන්නේ කියලා.අපි disorder එකක් කියන්නෙ වෙන මොකක් හරි වෛද්‍යමය සාධකයක් මත ඒක නිසයි බබාගේ කථනයයි බාශාවයි ගැටලුවකට ලක් වෙලා තියෙන්නෙ.

ඒ කියන්නේ වෙන disorder එකක රෝග ලක්ෂණයක් විදියට තමයි අඳුනගන්න වෙන්නේ භාශා ගැටලුවක් කියන එක?

ඔව් .මේ දෙකේම වෙන්න පුලුවන් සලකුණු වගේ දේවල් එක ලඟින් යනවා.සමහරවිට එක දරුවෙක්ට කිසිම වෛද්‍යමය හේතුවක් නැතුව ප්‍රමාදවීමක් තියෙන්න පුලුවන්.ඒ ප්‍රමාද වීම වගේම දෙයක් වෙන වෛද්‍යමය හේතුවක් එක්ක යන්න පුලුවන්

ඔබ සඳහන් කලා වෛද්‍යමය හේතුන් මත එන ගැටලු කියල.දරුවෙක්ගේ උපතේදිද ඒ ගැටලු ඇතිවෙන්නේ නැත්තම් පසුකාලීනවද?

උපතේදී හෝ පසුකාලීනව වෙන්න පුලුවන් .උපතේදි එන තත්ව විදියට අපිට කියන්න පුලුවන් සමහර දරුවෝ ඉන්නව තොල සහ තල්ල බෙදිලා තියන දරුවන් ඒ කියන්නේ විපරීත තොල් සහ තල්ල.ඒ වගේ තත්වයකදි ඒ දරුවන්ට කථන ආභාධතා එන්න පුලුවන්.ඒකේදි වෙන්නෙ දරුවාගෙ තොල සහ තල්ල යාවෙන්නෙ නෑ සාමාන්‍ය දරුවෙක්ගෙ වගේ.ඒ වගේ දරුවෙක්ව උපතේදීම දැනගන්න පුලුවන් . ඒ වගේම down syndrome රෝග තත්වයෙදිත් ඒක දරුවා හම්බ වෙන්න ඉන්නකොට වෛද්‍යවරුන් විසින් අදාල දෙමව්පියන්ට දැනුම් දෙනවා.ඒ වගේ තත්වයකදිත් උපතින්ම දැනගන්න පුලුවන් දරුවාට කථන ආභාධ එන්න පුලුවන් කියලා.ඊට අමතරව ඔටිසම් මනෝ වික්ශිප්තතාවය හරි වෙනත් මොළය හා සම්බන්ධ ගැටලුවක් නිසා දරුවාගේ කථනය ප්‍රමාද වෙන දේවල් දරුවාගේ වර්ධනයත් එක්ක දැනගන්න පුලුවන්. නවීන විද්‍යාවත් එක්ක ඔටිසම් වගේ තත්වයක් මාස 18 න් උනත් නිර්ණයක් ගන්න පුලුවන් දරුවෙක්ට.ඒ වගේ දේවල් හම්බ වෙන්නෙ පසුකාලීනව

දරුවාට කථන ගැටලුවක් තියෙනවද එහෙම නැත්තම් කථන ප්‍රමාදයක් තියනවද කියලා මූලිකවම කොහොමද අම්මා කෙනෙක් හඳුන ගන්නේ?

ඇත්තටම දෙමව්පියන්ට මේක දැනගන්න ලැබෙන අවස්ථාව සංකිර්ණයි. දරුවාගේ වර්ධන පොතේ තියනවානේ දරුවා ඔලුව උස්සන්නෙ දණගාන්නෙ මෙහෙමයි කියලා.අන්න ඒ වගේම මේ කථනය හා භාශාව වර්ධනය වෙන්න විවිධ වයස් තියනවා.අපි සාමාන්‍යයෙන් කියනවා මාස තුනක් වෙනකොට දරුවා අම්මා එක්ක ඇස් දෙක බලලා හිනා වෙන්නෙ නැත්තම් ඒක අවධානමක් ලෙස සලකන්න ඕන red flag එකක් කියලා.ඒ වගේම මාස හතක් වෙනකොට දරුවෙක් bubble කරන්නෙ නැත්තම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.අවුරුද්දක් වෙනකොට ශබ්ද අනුකරණය කරන්නැතුව වචනයක් වත් කියන්නැතුව හිටියොත් ඒකත් ගැටලුවක් වෙන්න පුලුවන් දෙයක්.ඊට පස්සෙ අවුරුදු එකහමාරක් දෙකක් වෙනකොට වචන දෙකක් එකතු කරන්නෙ නෑ ,අවුරුදු තුන වෙනකොට දරුවට කියන දෙයක් තේරෙන්නෙ නෑ.,අවුරුදු තුනහමාර හතර වෙනකොට දරුවා වෙන දරුවන් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ වගේ දේවල් වෙනකොට අම්මා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන.දරුවාට අවුරුදු දෙක වෙනකොට දරුවගේ වාග් මාලාව සෑහෙන පොඩියි නම් වචන දෙකක් එකතු කරලා කියන්නෙ නැත්තම් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න පුලුවන්

ඔබ කිව්ව දරුවෙක්ට එන්න පුලුවන් disorders ගැන.ඒ disorder එකක් හඳුනගන්න යම් කිසි කාලයක් තියෙනවද ? උදාහරණයක් විදියට ගත්තොත් දරුවෙක්ට ඔටිසම් ද කියලා අම්මා කෙනෙක්ට සැකයක් ඇතිවෙන්න ඒ දරුවාගේ අඳුනගන්න පුලුවන් කථනය සම්බන්ධ දේවල් මොනවද?

ඔටිසම් වගේ තත්වයකදි basically කියන්නේ social communication disorder එකක් කියලා.ඒ කියන්නේ සමාජ සන්නිවේදනය එක්ක බැඳුනු ගැටලුවක්.ඒකේදි වෙන්නෙ දරුවාගෙ මන්ද මානසික තත්වයක් වත් දරුවගේ මොළයේ වර්ධනයේ අඩුවක් වත් නෙමෙයි.ඒ දරුවට සාමාන්‍ය දරුවෙක් වගේ සමාජ සම්බන්ධ ගොඩනගා ගෙන සන්නිවේදනය කරන්න බෑ.ඒකෙදි මූලිකවම අපි කියනවා ඇසට ඇස සම්බන්ධය නැතිවෙනවා,ඒ වගේම වැඩිහිටියෙක් එක්ක කතා කරනකොට ඒ ප්‍රතිචාරය හරියට දක්වන්න දන්නෙ නෑ.අනිත් දරුවො එක්ක සෙල්ලම් කරන්න දන්නෙ නෑ.සාමාන්‍යයෙන් අම්මා දරුවා එක්ක සෙල්ලම් කරනකොට ඒකට එකතු වෙලා අම්මා කරන්නෙ මොකද්ද බලලා කරනවා.ඒ වගේ දේවල් ,අනුකරණය කිරීමෙ හැකියාවල් මේ දරුවන්ගෙ නැතිවෙන්න පුලුවන්.ඒ වගේම නමට ප්‍රතිචාර දක්වන්නෙ නැති වෙන්න පුලුවන් .මේ වගේ දේවල් තමයි දෙමව්පියන්ට බලන්න පුලුවන්

අපි මේ කතා කලේ ඔටිසම් සම්බන්ධයෙන් නේ.තව මේ වගේ අක්‍රමිකතා තියනවද?

සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන්නෙ ඔටිසම් කියන තත්වය තමයි.ඒකෙන් එන්න පුලුවන් දේවල් තමයි language disorders වගේ දේවල්.දරුවාගේ ඥානාන්විත දේවල් ,සමාජයක ගැටෙන්නෙ කොහොමද වගේ දේවල් අපි දරුවට වෙනමම උගන්වන්න ඕන.ඕවයින් අමතරව එනකොට අපිට එනවා තව දරුවන් කොට්ටාශයක් delay කියලා .ඒ උනාට අපි ටිකක් කල් ප්‍රතිකාර කරනකොට පර්‍යේෂණ කරනකොට දැනෙනවා ඩිස්පැක්සියාව ,ඒ කියන්නේ මොළයෙන් මාංශ පේශි වලට එවන පණිවිඩ අතරමැද අනතුරකට ලක්වෙලා හරියට පණිවිඩය එන්නෙ නෑ, දරුවගේ බාහිරෙන් කට, කම්මුල් ,තොල් තුවාල වීමක් හෝ ආභාධයකට ලක් වෙලා නෙමෙයි මේ.නමුත් දරුවාට අනුකරණය කරන්න බෑ.දරුවා නිකන් ඉන්න වෙලාවට මොනහරි සද්ද ටිකක් කියනවා.නමුත් ඒක අම්මා කරලා පෙන්නලා අනුකරණය කරන්න කිව්වොත් ඒක එයාට කරන්න බෑ.ඒ වගේ ඒවයින් අම්මලට දැනගන්න පුලුවන් ගොඩක් වෙලාවට.මේ වගේ දරුවෙක් කියන පලවෙනි වචනේ මාස 12 – 18 කාලයෙදි කියන වචනේ, ගොඩක් පරක්කු වෙලා එන්න පුලුවන්. සමහර වචන වැරදියට උච්චාරණය කරන දරුවන් ඉන්නවා.මේ වගේ තත්වයකට ආවට පස්සේ කථන හා භාශා චිකිත්සකවරියක් ඇගයීමට ලක් කරලා කියනවා මේ දරුවට delay එකකට එහා ගිය මේ වගේ තත්වයක් තියනවා.අපි ඒකට ප්‍රතිකාර කරමු කියලා.ඒ වගේ තත්ව common දේවල් නෙමෙයි.අනිවාර්යයෙන්ම වෘත්තිය වේදිනියක් ලඟට යන්න දෙමව්පියන්  දැනුවත් වෙන්න ඕන.

දෙමව්පියන් දැනුවත් විය යුතු තවත් මේ වගේ disorders තියනවද ?

ඒ වගේ දේවල් තියනවා.නමුත් සාමාන්‍ය මහජනතාවට මෙහෙමයි කියලා පැහැදිලිව රෝග ලක්ශන වෙන් කරලා කිව්වට දැනගන්න අමාරු දේවල් තමයි තියෙන්නෙ.සාමාන්‍ය තත්වයේ තියනවා උච්චාරණ ගැටලු ,ශබ්ද ගැටලු වගේ දේවල්.දරුවෙක්ට කාක් කියන ශබ්දය කියන්න බැරිනම් ඒක හැමතිස්සෙම බැරිවෙන්න ඕන.අම්මා කෙනෙක්ට තමයි කියන්න පුලුවන් තමන්ගෙ දරුවා ලොකුවෙද්දි මේ ශබ්දය වර්ධනය වීමක් සිද්ධ උනේ නෑ කියලා.ගෙදර ඉන්න අයටවත් දරුවා කියන දේ තේරෙන්නෙ නෑ වගේ නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක්.ඒ වගේ තත්වයන් වලටත් කථන චිකිත්සනය ඔස්සෙ ප්‍රතිකාර කරනවා.

සමහර දරුවන් ඉන්නවා හොඳට කතා කරමින් ඉඳලා ක්‍රම ක්‍රමයෙන් කතාව අඩුවෙනවා,එහෙම නැත්තම් කතා කරන්නෙම නැති තත්වයට පත්වෙනවා.එහෙම වෙන්නෙ ඇයි?

සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් ඒක ඔටිසම් වල ලක්ශනයක් විදියට එනවා.සමහර අය කියනවා දරුවා අවුරුදු දෙකක් වෙනකන් අනිත් දරුවන්ටත් වඩා කතා කරලා එකපාරටම නතර වෙලා දැන් මුකුත්ම කියන්නෑ කියලා.ඒ මේ වගේ ඔටිසම් වල ලක්ශන තමයි

ඊට අමතරව දරුවෙක්ට shock එකක් වගේ ඇතිවුනාම හෝ අපයෝජනයට ලක්වුනාම ඒ වගේ තත්වයන් ඇතිවෙන්න පුලුවන් ද?

එහෙම වෙන්න පුලුවන් .ඒ වගේ තත්වයන් ඇතිවුනාම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ලඟට ගිහින් ඇයි ඒ තත්වය ඇතිවුනේ කියලා බලන්න ඕන ප්‍රතිකාර කරන්න කලින්

මෙහෙම ගැටලුවක් තියනව කියලා හඳුන ගත්තට පස්සේ මොකද්ද මවකගෙ වගකීම? ගොඩක් වෙලාවට මේ වගේ ගැටලු උනාම වෘත්තීයවේදීන් ගාවට යොමුවීමෙ ඉඩ හරි අඩුයි.මේ දරුවෙක්ට උදවු කරන්න පුලුවන්ද සහ ඒක කොහොමද කරන්න ඕනේ?

මගෙ පුද්ගලික මතය නම් අඩුමගානේ පොඩිම හරි සැකයක් තියනවා නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න.ගිහින් සැකය නැති කරගන්න.මොකද සැකය තියෙන්නෙ දරුවාගෙ අනාගතය එක්ක.අපි පරක්කු වෙන එක සතියක් එක මාසයක් දරුවගේ වර්ධනයෙන් තමයි අයින් වෙන්නෙ අපි ප්‍රතිකාර කරන්නේ දරුවාගේ සාමාන්‍ය වර්ධනය තියෙන්න ඕන කොතනද ,දැන් දරුවාගෙ වර්ධනය තියෙන්නෙ කොතනද කියලා බලලා.ඒක ඉනිමගක් නම් පහල ඉඳන් උඩට තමයි යන්නේ.ඔය ඉනිමග අර පරතරය පියවන්න යන කාලය දරුවාගෙ වයසින් තමයි අඩුවෙන්නෙ.දරුවෙක් වර්ධනය වෙන්න වෙන්න එතකොට හරි අමාරුයි. පොඩි අවුරුදු පහ වගේ වෙනකන් හරි ලේසියෙන් අපිට දේවල් මොළයට දාලා උත්තේජනය කරලා දරුවට නැතිවෙච්ච භාශාමය හැකියාවන්  හෝ ශබ්ද නිශ්පාදනයේ දේවල් මොළයේ memory එකට දාන්න හරි ලේසියි.අපි පරක්කු වෙන්න වෙන්න ඒක අඩුවෙන්නෙ දරුවාගේ වයසින්.පුලුවන් තරම් පොඩිම කාලෙන් පටන් ගන්න තරමට ප්‍රතිඵල ලැබෙනවා දරුවෙක්ට

ගොඩක් දෙමව්පියන්ට තියන ගැටලුවක් තමයි සමහර දරුවන් මුලින්ම භාශා කීපයක් කතා කරන්න උත්සහ කරලා සන්නිවේදනයේ ගැටලු ඇවිල්ලා දරුවා එක භාශාවක් වත් හරියට කතා කරන්නෙ නැති එක.ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්ද එහෙම නැත්තම් ඒකත් disorder එකක්ද?

මෙහෙමයි.සාමාන්‍යයෙන් දරුවෙක්ට භාශා සෑහෙන ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න පුලුවන්.එකපාරටම දුන්නොත් ඒ තරමට ගන්නවා.අපි දරුවට භාශා හතරක් දෙනවා නම් ඒ හතරම එකම ප්‍රමාණ වලින් ඇහෙන්න ඕන.දරුවාගෙන් දරුවාට ග්‍රහණය කරගැනීමේ හැකියාව වෙනස්.වැඩිහිටි අපිට වගේම පොඩි අයටත් එහෙමයි.සමහර දරුවන්ගේ ග්‍රහණය කරගැනීමේ හැකියාව අඩුනම් ව්‍යාකූල තත්වයක් ඇතිවෙන්න පුලුවන්.කොහොම උනත් සාමාන්‍ය නිර්දේශය තමයි දරුවාට භාශාවක් දෙනවා නම් හැම භාශාවෙන්ම සමාන ප්‍රමාණ වලින් දෙන්න කියන එක

දරුවාට භාශාවක් දෙන නිවැරදි ක්‍රමයක් තියනවද?

එහෙමම නෑ.නමුත් භාශා කවලම් කරන්න එපා.එක භාශාවකින් හරි ප්‍රමාණයක් දරුවාගේ ඔලුවට දාන්න.මොකද සිංහල සහ ඉංග්‍රීසි ගත්තොත් ව්‍යාකාරණ විදි දෙකක් නේ.ඒ දෙක මාරු කර කර කියන එක අපිට ලේසි උනාට පොඩි දරුවෙක්ට එහෙම නෑ.එයා ඒ වාක්‍ය රටාවල් ග්‍රහණය කරගෙන ඉස්සරහට සන්නිවේදනය කරන්න යනවා එතකොට අනිවාර්යයෙන්ම දරුවෙක් ව්‍යාකූල තත්වය පත් වෙන්න පුලුවන් ඒ නිසා එක භාශාවකින් එක වෙලාවකට කතා කරන්න.

දරුවෙක් කියවීම කියන දේ ගැන ඔබේ අදහස මොකද්ද?

දරුවන්ට learning disorders එන්න පුලුවන්.ඒ කියන්නෙ ඉගෙනුම් ආබාධිත තත්ව.ඒකෙදි වෙන්නෙ දරුවාගේ මොළයේ සැකසීම වෙනස් විදියකට තිබීම.ඒ කියන්නෙ මන්ද මානසික තත්වයක් වත් බුද්ධියෙ අඩු තත්වයක් වත් නෙමෙයි.එයාලා අපි ග්‍රහණය කරගන්න විදියට දේවල් ග්‍රහණය කරගන්නෙ නෑ.ඒ වගේ තත්ව දැනගන්න පුලුවන් අවුරුදු හතරහමාර පහ වෙනකොට දරුවා ලියන්න අකමැත්තක් තියනවද අකුරු අනිත් පැත්තට ලියනවද ,අවුරුදු හය හත උනාම පන්ති කාමරයට යන්නෙ නැද්ද ,ඒ දේවල් වලට අකමැත්තක් දක්වනවද වගේ දේවල් වලින්.එයාලට මුද්‍රිත දේවල් හරියට මොළයට වටහා ගන්න බෑ.ඒවට ප්‍රතිකාර තියනවා.

අම්මා කෙනෙක් දරුවෙක්ට දෙයක් කියවලා ග්‍රහණය කරගන්න පූර්ව මග පෙන්වීම කරන්න ඕනේ කොහොමද?

ඒක මුලින්ම කරන්න පුලුවන් දරුවා එක්ක කතා පොත් කියවලා දරුවාගෙන් ප්‍රශ්න අහලා ඒක තේරුම් කරවන එකෙන්.ඒක භාශාමය කුසලතාවයක්.දරුවෙක් අවුරුදු පහ හය වෙනකොට කතාවක් පොඩි විදියට හරි සරල වාක්‍ය වලින් ගලපලා කියන්න පුලුවන් වෙන්න ඕන පිලිවෙලින්.එහෙම නොවෙන දරුවෙක් මුණගැහුනොත් අපි අම්මලාට පුහුණු කරවනවා දරුවත් එක්ක මෙහෙම තමයි කරන්න ඕන කියලා.මොකද ඒක තනියම කථන චිකිත්සකවරයෙකුට ඒ කාලය ඇතුලත කරන්න අමාරුයි .අනිවාර්යයෙන්ම දෙමව්පිය සහයෝගය තියෙන්නෙ ඕන.

දරුවෙක්ව දක්ශ දරුවෙක් කරන්න අනිවාර්යයෙන්ම සන්නිවේදන කුසලතා වැදගත්. එතනදි මවකගේ වගකීම මොන වගේද?

පූර්ව ළමා වියේදි දරුවෙක්ගේ වර්ධනයට උපකාරි වෙන්නෙ අනිවාර්යයෙන්ම සෙල්ලම් කිරීම විතරයි .එතනදි දෙන්න ඕන ටැබ් ,ෆෝන් වගේ දේවල් නෙමෙයි.ඇහැට පේන ,දකින්න පුලුවන් වර්ණවත් ,අර්ථාන්විත සෙල්ලම් බඩු දෙන්න ඕන දරුවට.educational toys සහ soft toys  වගේ දේවල්.දරුවා පොඩි කාලේ ඉඳලාම මේ දේවල් ඇහෙන්න බලන්න සලස්වන්න පුලුවන් .වර්ධනය ටික ටික වෙනකොට වෙන දේවල් කරන්න පුලුවන්. සෙල්ලම් බත් උයන දේවල් , ඩොක්ටර් කෙනෙක්ට අදාල දේවල් වල සෙල්ලම් බඩු වගේ දේවල් මේකට අදාල වෙනවා.මේ දේවල් අම්මා දරුවා එක්ක කරන එකෙන් තමයි භාශාත්මක හැකියාව ව‍ර්ධනය වෙන්නෙ.ඒකට අම්මා පොඩි කාලයක් කැප කරන්න ඕන.

වර්තමානයේ අම්මලා රැකියාවට ගියාම දරුවා ගොඩක් වෙලාවට වැඩිහිටියෙක් එක්ක හෝ බලාගන්න කෙනෙක් එක්ක හෝ ඉන්නේ.එතකොට digital තිර භාවිතාවත් වැඩියි.මේක දරුවගේ කථන හෝ භාශා ගැටලු ඇතිවෙන්න හේතුවක් වෙනවද?

ඔව් අනිවාර්යයෙන්ම.අපි ගාවට එන බහුතරයක් දරුවන්ගෙ රෝග ඉතිහාසය ගත්තොත් එන්නෙම දරුවට අවුරුද්දක් ඉඳලම මෙච්චර වෙලාව ටැබ් එක දුන්නා, අපි වැඩට ගියා , දරුවා ආච්චියි සීයයි ටීවි එක පැය හයක් විතර දාලා තිබිලා වගේ කතාවල් සීයට අසූවක් වගේ අපිට වාර්ථා වෙන තත්වයන්. දරුවෙක්ගෙ භාශා භාවිතය ආභාධයට ලක් වෙලා තියෙන්නෙ digital screen වලට දරුවා අනාවරණය වෙච්ච කාලය වැඩි නිසා.දරුවෙක්ගේ භාශාව වර්ධනය වෙන්නෙ දෙන්නෙක් ඉන්නකොට. digital තිරයක් ගාව ඉන්නකොට ඒ දේ වෙන්නෙ නෑ.ඒ වගේ දේකදි දරුවාට සමාජ සන්නිවේදනය කියන දේ නැතිවෙනවා.වර්ධනය හොඳටම සිද්ධ වෙන පොඩි කාලෙදි මේ දේ උනාට පස්සේ භාශාව ඉතාම දරුණු විදියට ආභාධිත තාවයට ලක්වෙන්න පුලුවන් .ඒ නිසා සාමාන්‍ය වෛද්‍ය නිර්දේශය වෙන්නෙ අවුරුදු දෙකෙන් පහල දරුවන්ට මේ දේවල් දෙන්නම එපා කියල සහ අවුරුදු පහ හය වෙනකොට පැය බාගයක් විතරක් වත් දෙන්න කියලා.ඒ වගේ දේවල් දරුවට පෙන්වනවා දරුවාගෙ මව දරුවා එක්ක කතා කරන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නෙ.ස්ක්‍රීන් එකේ යන කාටූන් එකේ වෙන්නෙ මොනවද කියලා කතා කර කර බලන්න කියලත් අපි කියනවා.

මෙවැනි තත්වයක් දරුවාගෙන් දැනෙනවා නම් හැම රජයෙ රෝහලකම කථන භාශා චිකිත්සකවරියන් ඉන්නවද නැතිනම් ඒ පහසුකම් ලබාගන්න පුලුවන්ද?

හැම රෝහලකම නැහැ.සාමාන්‍යයෙන් කුඩා රෝහල්වලත් නෑ.සියලුම ප්‍රදේශ වල තියන ප්‍රධාන රෝහල් වත් මුලික රෝහල් වලත් මෙම සේවාව ක්‍රියාත්මක වෙනවා.රාගම වෛද්‍ය පීඨයේ, රාගම රෝහලේත් සායන පැවැත්වෙනවා.ඒ වගේම රිජ්වේ ආර්‍යා  ළමා රෝහලේ වගේම සියලුම ප්‍රදේශ වල ප්‍රදාන රෝහල් වල මේ සේවාව තියනවා.

මීට අමතරව ගමේ සායන වලදි මේවා හඳුනාගෙන රෝහල් වලට යොමු කිරීම් සිදු කරනවද දැනට?

මෙහිදි වෛද්‍යවරයෙක් මගින් දරුවාගේ කාඩ් එකේ ලකුනු කෙරෙනවා දරුවාගේ සන්නිවේදන කුසලතා ගැන.ඒ වගේ අවස්ථාවල ළමා රෝග වෛද්‍යවරයාට යම් දෙයක් නිරික්ෂණය උනොත් ඒ වෛද්‍යවරයා ඔස්සේ අදාල තැන් වලට යන්න පුලුවන්

මේ ඔටිසම් සම්බන්ධයෙන් දරුවන්ට ප්‍රතිකාර කරන විවිධ ආයතන මේ වෙනකොට තියෙනවා. ඒවයින් විශාල මුදලක් පවා අය කෙරෙනවා දරුවා සම්පූර්ණයෙන් සුව කිරීමට.ඔබ වෘත්තීය චිකිත්සකවරියක් විදියට  මොකද්ද දෙන උපදෙස මෙවැනි ආයතන විශ්වාස  කිරීම සම්බන්ධව?

ඇත්තටම ආයතන කීපයක් තියෙනවා ඒ විදියට පැවැත්වෙන.නමුත් අපි වෘත්තීය වේදින් විදියට විශ්වාස කරන දෙයක් තමයි දෙමව්පියන්ගෙන් දරුවව වෙන් කරලා නේවාසික ප්‍රතිකාර දිලා විශාලා මුදලක් අය කරත් , දෙමව්පිය සම්බන්ධය නැතිව ඔටිසම් තත්වයේ ඉන්න දරුවෙක්ට වර්ධනයක් ලබාදෙන්න හරිම අමාරුයි  කියන එක.දරුවා ස්වභාවිකව එයා ඉන්න පරිසරයේ ඉඳලයි වර්ධනය වෙන්න ඕන.

මෙවැනි දරුවන් සාමාන්‍ය තත්වය ගේන්න පුලුවන් කමක් තියනවද?

ඔටිසම් වල සමහර ලක්ශන හැමෝටම එකම වෙන්න පුලුවන් .නමුත් කොයිම වෙලාවක වත් එක ඔටිසම් තත්වයක ඉන්න දරුවෙක් තව ඔටිසම් තත්වයක ඉන්න දරුවෙක්ට සමාන වෙන්නෙ නෑ කොහෙත්ම.ඔටිසම් වලට රෝග නිර්ණයක් හම්බුනොත් අපි කියන්නෙ සුව කල නොහැක ,ජීවිතාන්තය දක්වා පවතිනවා මේ ලක්ශණ කියලා.නමුත් චිකිත්සන ප්‍රතිකාර ඔස්සේ දෙන ප්‍රතිකාර වලින් ,කථන චිකිත්සනය විතරක් නෙමෙයි,හැසිරීම හා සම්බන්ධ වෘත්තීය චිකිත්සනය වගේ දේවල් වලින් දීලා සාමාන්‍ය පුද්ගලයෙක් එක්ක සාමාන්‍ය සමාජයේ හැසිරෙන විදියට ප්‍රතිකාර දෙන්න පුලුවන් අපිට.ඒක ඒ දරුවා මත වෙනස් වෙනවා

අද මේ ලිපියෙන් ඔබ දරුවන්ගේ කථන ගැටලු සහ භාෂා අක්‍රමිකතා පිළිබඳව නොදැන සිටි කරුණු බොහොමයක් ගැන දැනුවත් වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනව.

තොරතුරු සැපයීම -වෘත්තීය භාශා සහ කථන චිකිත්සකවරියක් වන තක්ශිලා නුවන්ති

Related Articles

Don't Miss


Latest Articles