නරුම මිනිසෙකුගේ වෛරයට ගොදුරුව කුරිරු ලෙස ඝාතනය වූ රූමතිය “ප්‍රේමවතී මනම්පේරි”

Premawathie Manamperi

හැත්තෑ එකේ කැරැල්ල ගැන වර්තමාන පරම්පරාවේ අපි ඒ තරම් දැනුවත් නැති වුණත් ඒ ලංකාවට භීම සමයක් උදාව තිබූ කාලයක්.දරුණු අපරාධ ඉතා පහත් ලෙස සිදු වෙමින් මිනිස් ඝාතන සීමාවක් නැතිව සිදු වූ ඒ කාලය මිය ගිය රූමත් යුවතියකගේ නම ඔබත් අසා ඇති.

ඒ ප්‍රේමවතී මනම්පේරි.

ප්‍රේමවතී කතරගම දෙටගමුවේ ජීවත් වූ යුවතියක්.දිළිඳු පවුලක වැඩිමහල් දියණිය වූ ඇය 1971 අප්‍රේල් දාහත්වැනිදා කතරගම ගුණසිරි හෝටලය ඉදිරිපිට පැවති අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිය බවට පත් වුණා.ආර්ථික දුෂ්කරතා තිබුණු පවුලක තරුණියක් වුවත් ඈ ඉගෙනුමට හපනියක්.එච් එස්. සී විභාගය ද හොඳින් සමත් ව සිටියා.

අවුරුදු කුමරියක වීම නිසා ඇයට සමාජ ආකර්ෂණය හිමි වන්නට ගත්තා.ඔව් අද වගේම තමයි.වැඩියෙන්ම හිමි වූයේ පිරිමින්ගේ ආකර්ෂණය.කතරගම පොලිස් ස්ථානාධිපති ඇයට සුබ පතමින් ගිජු දෙනෙතින් ඈ ගැන විමසිලිමත් වුණා.ඉන්පසු ඔහු සිවිල් ඇඳුමින් පැමිණ කීපවතාවක්ම ප්‍රේමාරධානා ගෙනාවත් ප්‍රේමවතී ඔහු ගැන තැකුවේ නැහැ. “අම්මලගෙන් අහන්න” යැයි ලැබුණු පිළිතුරට ස්ථානාධිපති කෝප වී තිබෙනවා. ඔහු “මම බලා ගන්නංකෝ” යැයි පවසා පිටව ගොස් තිබෙනවා.

හැත්තෑ එකේ කැරැල්ල ඒ කාලයේ ක්‍රියාත්මකව තිබුණා. රටේ බලය ලබා ගැනීම අරමුණු කරගෙන රෝහණ විජේවීර ප්‍රමුඛ කැරලිකරුවන් සටන් වැදුණා. ප්‍රේමවතී ද මෙයට යම් යම් උපකාර ලබා දුන් බව පැවසෙනවා.1971 ආයුධ සන්නද්ධ කැරැල්ලේදී රටේ පොලිස් ස්ථාන කිහිපයකට එකවර පහර දීමට සැලසුමක් සූදානම් වෙනවා.කතරගම පොලිස් ස්ථානය ද එහි ඉලක්කයක්. එය යම්තරමකට සාර්ථක වුවත් කැරලිකරුවන් සිතූ තරමේ සාර්ථක එකක් වන්නේ නෑ. කෙසේ හෝ කතරගම දින කිහිපයක් අල්ලා ගත්තත් හමුදාවේ ආගමනය සමඟ ඔවුන්ට පසු බසින්නට සිදු වෙනවා.

හමුදාව කැරලිකරුවන් යටත් කර ගනිද්දී පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රේමවතී සමඟ යටපත්ව තිබූ තරහ යළි මතු වෙනවා. ඔහුගේ අණ කිරීම මත ප්‍රේමවතිගේ නිවසට ගොස් ඇය රැගෙන ආවේ කොණ්ඩයෙන් ඇදගෙන බවත් ඇගේ මව සහ සහෝදරයන් විලාප තැබූ බවත් පැවසෙනවා.කතරගම විශ්‍රාම ශාලාවේ පැවති කඳවුරට ඇය ගෙන එද්දී පොලිස් ජිප් රියේදී පවා ඈ හිංසාවට ලක් වී තිබෙනවා.

එහිදී ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන් ඇතුළු අය ඝාතනයට පවා ලක් වෙද්දී ප්‍රේමවතී මනම්පේරිට හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ගුටිබැට ද නොයෙකුත් වද හිංසාද දරා ගන්නට වෙනවා.කියැවෙන පරිදි ඇය කිහිප වතාවක්ම දූෂණයට පවා ලක් වී තිබෙනවා.තරුණ ගැහැනියකට තරම් නොවන තරමේ ඒ වේදනාවලට හඬනවා හැරෙන්නට වෙන කළ හැක්කක් ඇයට තිබී නැහැ.අම්මා සහ තාත්තා හඬා වැටෙමින් කතරගම නගරය පුරා ඇයව සොයන්නේ ඒ අතර.

ප්‍රේමවතීව ඇය සිර කර තිබූ කාමරයෙන් පිටතට ගෙනෙද්දී හම්බන්තොට අඩවි වන නිලධාරී ඩෙස්මන් වයිට් ද එහි සිටිනවා. මේ අමානුෂික ඝාතනය ගැන පසුකලෙක සාක්කි ලබා දෙන්නේ ඔහු විසින්.ප්‍රේමවතීගේ පියා වයිට් මහතාගේ හොඳ සේවකයෙකු නිසා ඔහු ප්‍රේමවතී හඳුනාගෙන ඒ ගැන විමසුවත් ඇය කැරලිකාරියක් නිසා දඬුවම් ලැබීමට නියමිත බව පොලිස් නිලධාරීන් පවසනවා.

ඉතා තුච්ඡ අපරාධය ඇරඹෙන්නේ ඉන්පසුවයි.

ගිනි අවියක් එල්ල කරගෙන පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රේමවතීව පිටතට රැගෙන එන නිලධාරීන් ඇයට නිරුවත් වීමට අණ කරනවා.ඇය එයට එකඟ නොවුවත් පසුව හඬමින් එකඟ වෙනවා.ඇඟලුම් එකිනෙක ගැලවෙද්දී දෑතින් විලි වසාගන්නට තැත් දරද්දි ඇයට එයට ඉඩ ලැබෙන්නේත් නෑ. දෑත් ඉහළට ඔසවා ගනිමින් “මං පන්ති පහට සහභාගී වුණා” කියමින් නගරය වෙතට ඇවිද යන්නට ඇයට සිදු වෙනවා.

මිය ගොස් ඇතැයි සිතා ඇලඩින් ඈව ඉතා වේදනාවෙන් වළට දමද්දී ඇය පවසන්නේ “මං තාම මැරිලා නෑ.. මැරුණට පස්සෙ වළලන්න” යනුවෙන්. ඒ අතර ඇගේ කරාබු යුවළ ගලවා අම්මාට දෙන්නට යැයි ඇලඩින් අත තබන්නටත් මනම්පේරි මෙනෙවිය ක්‍රියා කර තිබෙනවා. පණ ඇති කෙනෙකු වළ දමන්නට නොහැකි ඇලඩින් එය හමුදාවට දැනුම් දුන් පසු ඔවුන් පැමිණ ඇගේ දිවි තොරකර දමා තිබෙනවා. රූමත් උගත් ගැහැනියක ලෙස ජීවිතය ගෙවන්නට තිබූ ඇය අකාරුණික මිනිසෙකුගේ පෞද්ගලික උවමනාවන්ට යට නොවූ තැන මරණය වැලඳ ගන්නේ ඒ ආකාරයෙන්.

වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරම් වද හිංසාවලට ලක්වී මිය යන්නට පෙර මේ අහිංසක තරුණිය “මේ මගේ කරුමේ. කවුරුත් පලි නෑ” පැවසූ බව ඇලඩින් වේදනාවෙන් පවසනවා. පොලිසියේ අණ පරිදි ප්‍රේමවතී වළ දමන්නට සිදු වුවත් ඔහු ඇගේ කරාබු යුවළ අම්මාට ගෙන ගොස් දී තිබෙනවා.

මේ අමානුෂික ඝාතනය උහුලා ගත නොහුණු තැන ඩෙස්මන් වයිට් මහතා ඒ ගැන පැමිණිලි කර තිබෙනවා.ඝාතනය සියැසින් දුටු ඩෙස්මන් වයිට් මහතාගේ තොරතුරු දැනුම්දීමෙන් පසුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹෙනවා. 1971 මැයි 24 වනදා ප්‍රේමවතී මනම්පේරිගේ මිනිය ගොඩගෙන පරික්ෂණ පවත්වනවා. පසුව මේ පිළිබඳ නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් ගාල්ලේ අපරාධ නඩු අධිකරණය වෙත යොමු කරනවා. නඩු විභාගය අවසානයේදී පළමු විත්තිකාර ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය හා දෙවන විත්තිකාර සැරයන් රත්නායක චෝදනාවන්ට වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර දහසයක සිරදඬුවමක් නියම වන්නේ ප්‍රේමවතියට කළ දෙයට පෙරළා ලැබෙන දඬුවමක් ලෙසට. ඔවුන්ගේ අභියාචනා පවා අධිකරණය ඉවතට දැමූ බව පැරණි නඩු වාර්තා පවසනවා.වසර දහසයක සිරදඬුවමක් විඳිමින් සිටි විජේසූරිය ඊට වසරකට පසු බන්ධනාගාරයේදී හෘදයාබාධයකින් මිය යද්දී සිරදඬුවම් විඳ නිදහස් වී පැමිණි රත්නායක දෙවිනුවර සිය නිවසේ සිටිය දී 1988 – 89 භීෂණ සමයේදී ජවිපෙ සාමාජිකයන් විසින් පිහියෙන් ඇන ඝාතනයට ලක් වෙනවා.
නමුත් ඉතා නරක දෙයක් ගැන නොකියාම බැහැ.ඇය දූෂණය වීම හෝ ඝාතනයට ලක් කිරීමට නොවේ මෙසේ දඬුවම් ලැබෙන්නේ. ඝාතනයට තැත් දැරීම වෙනුවෙන්. ඇගේ පසුපස යමින් අයුතු යෝජනා කළ ඒවා ඉටු නොවුණු තැන ඇය වංචනික කුමන්ත්‍රණයකට පටලවා ගත් උඩවත්ත නම් පොලිස් නිලධාරියාට කිසිම දඬුවමක් නොලැබීම ගැන තවමත් කතරගම වැසියන් අප්‍රසාදයෙන් කතා කරනවා.

මේ කතාවේ තවත් පැතිකඩක් පසුකාලීනව යළිත් කරලියට එනවා. ඒ රත්නපුරයේ උපදින ජයන්තා ප්‍රේමවතී තමන් ප්‍රේමවතී මනම්පේරිගේ නැවත ඉපදීම බව කියන්නට ගත් නිසා.ඇය මනම්පේරි පවුල පවා හමුව ඇති අතර “කතරගම අම්මා,කතරගම තාත්තා” ලෙස තවමත් ඔවුන්ව අමතනවා.දැන් මැදි වයසේ ගැහැනියක නිසා ජයන්තාට පෙර ආත්මය ගැන පවසන්නට ඇත්තේ මාධ්‍ය මගින් පළ කළ කතා පමණයි. නමුත් ඇය කුඩා දැරියක් කාලයේ ප්‍රේමවතීගේ ඡායාරූප හඳුනාගෙන ඒ තමන් බව පැවසූ බවත් ප්‍රේමවතී මනම්පේරි සහ ජයන්තා මනම්පේරි රූපයෙන් බොහෝ සමාන බවත් පවුලේ උදවිය තහවුරු කරන්නක්. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ද ජයන්තා දැරියක කාලයේ ඇයව හමු වී මේ මනම්පේරි තරුණියගේ පුනුරුප්පත්තිය බව තහවුරු කළ බව ඔවුන් පවසනවා.

කතරගම රූමතියගේ ඛේදවාචකය එවැනි කතාවක්.එදා තරමේ අමානුෂිකත්වයකට ක්‍රියාත්මක වන්නට දැන් නොහැකි වුවත් සයිබරය හරහා ද මඟ තොටේදී ද ගැහැනු ළමයින් තවමත් වාචිකව හා කායිකව අපහරණය වෙනවා. ඉතින් මෙවන් සිදුවීම් වලට මුහුන දී අපහරණයට පත් වී සිතින් දහස්වරක් මිය යන ගැහැනුන්, යෞවනියන් ඉදිරියටත් හමු නොවේවි ද?

රූමත් වීම,බුද්ධිමත් වීම සහ අකමැති මිනිසෙකු ප්‍රතික්ෂේප කිරීම භීම සමයකදී අවාසනාවන්ත මරණයක් ගෙන එන්නට සමත් වූවක්. නමුත් මානව හිමිකම් ගැන ඉහළින් කතා කරන ලෝකයක සහස්‍ර යුවතියන් වූ අප අපේ හැකියාවන් අපව පාගා දමන හේතුවක් කරන්නට සමාජයට ඉඩ නොදී ශක්තිමත් විය යුතුමයි.

අමුඅමුවේ මිය ගිය කතරගම රූමතිය අපට පවසන්නේ එය නොවේ ද?

5 1 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments