ඔබට ඇහෙනවනම් – 18

 ළා සඳ කිනිත්තක් කාමරයේ කවුළුවෙන් ඇතුළට කොකම් පාමින් තිබේ. තඹ පාට මඳ සඳ එළිය සරාගී අඩ අඳුරක් හාත්පස තවරමින් තිබිණි. හැර දැමූ කවුළුවෙන් ඇතුළට ආ මල් සුවඳැති පවන, දුහුල් සුදු තිර රෙදි ඉහළ ඔසවමින් ද යළි පහළ හෙළමින් ද කෝලම් කරන්නට වූයේ මගේ තැවුල් සිත ගැන කිසිදු වගක් නොමැතිව ය.

මගේ නෙත් විල් කඳුළු දියෙන් පෙඟී ගොස් තිබුණේ ය. ඒ කඳුළු වලට නිශ්චිත හේතුවක් ඇත්තේ නැත. නැත්තේ ද නැත. මේ බඳු තත්වයකට වැටෙන්නට ලොව කිසිදු ගැහැනියක කැමති වෙතැයි සිතිය නො හැකි ය.

“මොනා වුණත් ඒ ඔයාගෙ දරුවගෙ තාත්තා. වෙන කෙනෙක්ව කසාද බඳිනවට වඩා කසුන්වම ආයෙ බැඳල පිළිවෙලක් වෙන්න පුළුවන් නං ලොකු දෙයක්”

හැන්දෑවේ මා තරමක් සන්සුන් වූ ඉක්බිති අම්මා කීවා ය.

“මිනිස්සුන්ට වැරදෙනව. ලොකුම දේ ඒ වැරදි හදාගන්න උත්සාහ කරන එකයි”

“අමම දැං හිතං ඉන්නෙ කසුන් වැරදි හදාගන්න හදනවයි කියලද…”

“ළමයො…සමහර ගෑනු කසාදෙ ඇතුළෙ ඉන්නව ඒ පිරිමියා ඕන තරං වැරදි කරන බව හොඳටම දැන දැන. සමහර විට රණ්ඩු වෙයි. මුලදි ගහ මරා ගනියි. ඒත් පස්සෙ මුකුත් නොදන්න ගානට නිශ්ශබ්ද වෙයි. ළමයි වෙනුවෙං ඔයිට වැඩිය දේවලුත් අම්මල ඉවස ගන්නව”

අම්මා මට නො කියා කීවේ කසුන් යළි විවාහ වන්නට කළ යෝජනාවේ කිසිදු වරදක් නොමැති බවයි. වෙනත් ගැහැනුන් දරුවන් ගේ නාමයෙන් කරනා දේවල් මාත් එලෙසින් ම කළ යුතු ද කියා මා දන්නේ නැත. අළුයම ලූ කෙළ පිඬක් සේ මාව පසෙකට විසි කොට දැමූ මිනිසෙකු කෙරේ යළි ස්වාමි පුරුෂයා ය යන ගෞරවය පෙරදැරි සිතකින් සිතිය නො හැකි බව නම් මම හොඳට ම දනිමි.

“මේක ටිකක් හිතන්න අමාරු දෙයක් තමයි නිම්නා. ඒත් පුතා හුඟක් පැති වලින් හිතල බලන්න. එක පාරට ම නෙවෙයි. හොඳට කාලෙ අරගෙන හිතල බලල තීරණයක් ගන්න”

තාත්තා මා මෘදු මොළොක් කරවන ස්වරයකින් කතා කළේ ය. අම්මා සේ ඍජු ව නොකීවත් කසුන් ගේ යෝජනාව තාත්තා ගේ දැඩි සිත ද සොලවා ඇති බව මට වැටහිණ.

මම යහනෙන් බැස කාමරයේ ජනේලය ළඟට වීමි. සඳ පුර පසට යමින් සිටී. තව නොබෝ දිනකින් පුර සඳ අහස අරා නැගෙනු ඇත. කලා සපුරන සඳක් සේ අප ද ජීවිතයෙහි අවධීන් ගෙවා ලමින් ඉදිරියට යමින් සිටිමු. මගේ ළමා හා යොවුන් විය යළි ලබා ගත නො හැකි සෙයින් ගෙවී ගොස් තිබේ. මම විවාහයක් ද දික්කසාදයක් ද පසු කොට ආවෙමි. ඉදිරි අනාගතයේ කවර ඉසව් පසු කර යන්නට නියමිත දැයි නියත ව කිව නො හැකි ය. නමුත් ආපස්සට පියවරක් තැබිය නො හැකි බව නම් මම හොඳින් දනිමි. 

මගේ සිතිවිලි ලෝකය දෙදරවමින් දුරකතනය යහන මත සිට හැඬවුණේ ය. මා සිතුවේ ම කසුන් වන්නට ඇති කියා ය. එහෙයින් ම තත්පර කිහිපයක් පමා වෙමින් මා ඒ වෙත ආවේ පිළිතුරු නො දෙන්නට සිතා ගෙන ය. නමුත් තිරය මත කුලාන් ගේ නම දුටු මම, ඊළඟ තත්පරයේ සම්බන්ධය බිඳ වැටෙනු ඇතැයි බියෙන් වහා එය සවනට ගත්තෙමි.

“හෙලෝ”

මඳ කම්පිත බවක් මගේ ම හඬෙහි මට දැනිණි.

“නිම්නා නිදියගෙන ද හිටියෙ…”

“නෑ සර් කියන්න”

“හෙට උදේට ලෝයර්ට කතා කරල ඩීඩ් එකේ වැඩ ටික රෙඩි කරන්න කියන්න නිම්නා. තව දවස් දෙකකිං බෑන්ක් ලෝන් එක පාස් වෙනව”

“ඕකේ සර්”

“ඊට පස්සෙ ඉක්මනට බිල්ඩින් එකේ කන්ස්ට්‍රක්ෂන්ස් ඉවර කරගන්න ඕනෙ. අලුත් තැනකට ගියාට පස්සෙ හැම දේම අලුතෙං පටං ගන්න පුළුවන් වෙයි කියල ඔයාට හිතෙන්නැද්ද…”

“එහෙම වෙයි සර්”

“නිම්නාට නිදිමතද..”

“නෑ සර්”

“එහෙනං ඔයා අසනීපෙන්ද…වොයිස් එක අමුතු වෙලා ගිහිං”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -31

වියළී යමින් පැවති ඇස් වල මට යළි තෙතමනයක් දැනෙන්නට ගත්තේ ය. කුස කලතා ගෙන ඉහළ නැගී එන ඔක්කාරයක් සඟවා ගත නො හැක්කා සේ, එතෙක් දැනෙමින් පැවතියා වූ අප්‍රසන්න හැඟීම ඔහු ගේ කුළුණු ගුණය අස වමාරා දමන්නට මට නො සිතුණා ම නොවේ. නමුත් පිටස්තර පිරිමියෙකු ඉදිර්යේ ගැහැනියක විවෘත විය යුතු සීමාවක් තිබේ. ඒ සීමාවෙන් ඔබ්බෙහි දී ඇයට ගල් මුල් වලින් දමා ගසා නින්දා කරන්නට පෙළඹෙන්නේ සෙනෙහසින් ඈ දරා ගත් ලෝකය ම ය.

“නිම්නා ඇහුවා නේද ආශ්‍රය කරපු ගෑනු ළමයිංගෙං කෙනෙක්ව මැරි කරන්න හිතිල නැද්ද කියල…”

එසේ නම් ඔහු ට ඒ ප්‍රශ්නය අමතක වී නොවේ. ඔහු ඒ වෙලාවේ ඒ ප්‍රශ්නයෙන් මගහැර ගොස් තිබේ.

“ඔයා ඒ ප්‍රශ්නෙ අහපු දෙවෙනි වතාව. මුලින් ඇහුවෙ කාවවත් ජීවිතේ සහකාරිය කරගන්න හිතිල නැද්ද කියල. මං කිව්ව සදාකාලික නවාතැන්පොළක් හම්බවෙලා නෑ කියල…”

හෙතෙම නැවතිල්ලේ හෙමිහිට කතා කරමින් සිටියේ ය. මම හුස්ම හිරවෙන්නට යත්දී නිහඬව අසා සිටියෙමි.

“කෙල්ලන්ට ලව් කරන්න පටං ගත්ත ගමං කාලෙ ඕන කොල්ලෙක් හිතන්නෙ එහෙම සීරියස් ලව් එකක් ගැන තමයි. ඒත් ඉතිං ගෑනු ළමයි දෙතුන් දෙනෙක් පහු කරගෙන යනකොට තේරෙන්න ගන්නව පොඩි කාලෙ හිතං හිටපු තරං සුරංගනා කතාවක් නෙවෙයි මේක කියල…”

ඔහු ගේ මුවග වන මඳහස මට මවා ගත හැකි විය.

“ඒත් අන්තිමට මං ළඟින් ආශ්‍රය කරපු කෙනා ගැන එහෙම බලාපොරොත්තුවක් මට නො තිබුණා ම කියන්න බෑ”

මේ තරමට මගේ හිත රිදෙන්නට හේතුවක් මෙතැන ඇත්තේ නැත. සමහර විට මේ කුලාන් කතා කරත්දීත් පෑරී තිබි තුවාලයක රිදුම වන්නට ඇතැයි මම සිතුවෙමි.

“එයාගෙ පේරන්ට්ස්ල කාලයක් තිස්සෙ එහෙ පදිංචි වෙලා ඉන්න අය. කුෂ්ලානි ජීවත් වුණේ සම්පූර්ණයෙන්ම වෙස්ටර්න් කල්චර් එකේ විදිහට. එයාගෙ පේරන්ට්ස්ල වුණත් ඒ ගැන ලොකු බලපෑමක් කළේ නෑ. මොකද ආයෙ ලංකාවෙ පදිංචි වීමක් ගැන එයාලගෙ අදහසක් තිබුණෙ නැති නිසා. මං කුෂ්ලානිව අඳුරගත්තෙ එහෙ හිටපු ලංකාවෙ ෆැමිලීස් කීපයක් එකතු වෙච්ච දවසක…”

ඒ අතීතයේ මොහොතක් සැරිසරන්නට සෙයින් කුලාන් මඳ වෙලාවක් නිහඬ ව සිටියේ ය. මේ හදිසියේ, මේ තරම් රෑ බෝ වී තිබියදී ඔහු මේ කතා කියන්නට මා තෝරා ගන්නට ඇත්තේ ඇයි දැයි මට සිතා ගත හැකි වූයේ නැත. අනිත් අතට ඒ වෙලාවේ මා කළ විමසීම නිසා නොව මේ වෙලාවේ ඔහු මෙසේ දොඩමළු ව හිඳින්නේ සිය ආත්මීය බරකින් නිදහස් වීමේ අරමුණකින් බව මගේ යටි හිතට දැනෙන්නට පටන් ගෙන තිබිණ.

“ලංකාවෙ අය එකතු වෙලා පාටි දාන්න මොකක් හරි හේතුවක් හොයනව. ලෝකෙ මොන කොනක කොච්චර දියුණු සංස්කෘතියක් ඇතුළෙ හිටියත් මිනිස්සු හරි ආසයි නිම්නා තමංගෙ භාෂාව කතා කරන්න. කට්ටිය එකතු වෙලා සිංහලෙන් කතා කරනකොට ඒ මිනිස්සුංගෙ මූණු වල තියෙන්නෙ නිදහසේ සෙල්ලං කරන්න ඉඩ ලැබිච්ච පොඩි ළමයිංගෙ සතුට. එදා ඒ සෙනග අතරෙ පැත්තක් ගහල හිටිය ගෑනු ළමයෙක් තමයි කුෂ්ලානි. එවෙලෙ අපි කතා කරල අඳුරගත්තා. ටික දවසක් යනකොට ඒ ආස්සරේ දුර දිග ගිහිං තිබුණා. ඒ දවස් වල මං හිටියෙ ගෑනු ළමයෙක් එක්ක සම්බන්දයක් නැතුව පොඩි හුදෙකලාවක. කුෂ්ලානි ඇතුලට ආවෙ එතනිං. අපි එකට ජීවත් වෙන්න පටං ගත්තා” 

මගේ හදවත ගැහෙන හඬ මට ම ඇහුණේ ය. මම තද කොට පපුව මත අතක් තබා ගතිමි. මේ කතාව මේ විදිහට දුරකතනය ඔස්සේ අහන්නට වුණ එක හොඳයි කියා මට සිතිණ. ඔහු ගේ මූණ බලා ගෙන මෙය අහන්නට විණි නම් මගේ මූණේ ඉරියවු වෙනස් වීම ගැන අතිශය වද වන්නට මට සිදු වනු ඇත.

“එයාගෙ පේරන්ට්ස්ල වුණත් එයා ගැන වොරි වෙන්න නැතුව ඇති. ඇත්තටම අපි හුඟක් නිදහසේ හිටිය. එයා මගෙ නිදහසටත් ගරු කළා. කලිං මං ආශ්‍රය කරපු කෙල්ලො වගේ ඕන්නැති විදිහට මට නීති දාන්නවත් මාව පාලනේ කරන්නවත් මට අයිතිවාසිකම් කියන්නවත් ආවෙ නෑ. මං හිතන්නේ මං වැඩිම කාලයක් ජීවත් වුණේ එයත් එක්ක”

කියවන්න :  ඔබට ඇහෙනව නම් - 1

ඒ ඇසුර නතර වූයේ මන්දැයි අහන්නට මගේ දිව නලියෑවේ ය. නමුත් මගේ හිත ඊට ඉඩ දුන්නේ නැත.

“ටික ටික මට තේරෙන්න ගත්තා මං දැං තැන්පත් වෙන්න ඕනෙ කියල. ඒකට හොඳම කෙනා කුෂී කියලත් මට හිතුණා”

කුෂී! හදවත තෙරපා ලූ හැඟීම ඊරෂ්‍යාවට ළඟ එකක් විය යුතු ය.

“මට ටික දවසකට කැම්පස් එකේ වැඩකට වෙන පැත්තකට යන්න වුණා. මං ආපහු ආවෙ අපි මැරි කරමු කියල එයාට කියන්න. ඒත් ඒ එනකොට අපි දෙන්න ජීවත් වෙච්ච අපාට්මන්ට් එකට එයා වෙන කොල්ලෙක්ව ගෙන්නගෙන. එයා බංග්ලාදේශ් කොල්ලෙක්”

කුලාන් ලොකු හුස්මකින් පෙනහළු පුරවා ගන්නවා මට ඇසිණි. මා තුළ ද්වේශ සහගත සතුටක් පැතිරී යනු දැනුණේ ය. පොඩි කාලේ අයියා එක්ක රණ්ඩු වුණ වෙලාවක වාගේ ‘හොඳ වැඩේ’ කියන්නට තරම් මට සිතිණි.

“එදා මං ඒ අපාට්මන්ට් එකෙං පිට වෙලා ගියේ පුදුම කලකිරීමකින්. මට පුදුම ඊට පස්සෙ කිසිම ගෑනු ළමයෙක්ව ඒ විදිහට ආශ්‍රය කරන්න මට නොහිතුණ එක ගැන. ඊට පස්සෙත් අවුරුද්දක්ම මං එහෙ හිටියා. තනියම”

දුරකතනයේ දෙ අන්තයෙහි ම කටු අනින නිහැඬියාවක් ඇති වූයේ ය. මම ඒ අතරේ වේදනා රසයක නැහැවීගෙන සිටියෙමි. හුස්ම ගැනීම පවා රිදුමක් දැනවී ය. ඊට ටික වෙලාවකට කලින් මා යහනෙහි වැතිර ගත්තේ දෙපා වලට දැනුණ පණ නැති ගතිය නිසාවෙනි.

“නිම්නා”

ඔහු මුදු ලෙස මගේ නම කීවේ ය. ඒ මගේ හදවත සත් කඩකට පළා දැමිය හැකි විදිහේ හෘදයාංගම බවකිනි.

“ම්..”

මගේ උගුර හිර වී තිබිණි.

“ඔයාට නින්ද ගිහින්ද..”

“නෑ සර්”

“නිම්නා හිතනව ඇති ඇයි මං මේ වෙලාවෙ මේව කියවන්නෙ කියල. ඔයාට කෝල් එක ගන්න විනාඩි දහයකට විතර කලිං එයාගෙං මේල් එකක් ඇවිත් තිබුණා”

දැඩි දෑතකින් මගේ ගෙල මිරිකා දැමුවා වැනි අපහසුවක් මට දැනිණි. 

“අපි වෙන් වුණාට පස්සෙ එයාගෙං ආව පළවෙනි මේල් එක මේ. ඇත්තටම මේ මුළු කාලෙටම මං ඒක බලාගෙන හිටියා වෙන්න ඇති. ඒ මේල් ඇඩ්‍රස් එක වෙනස් නොකර මං මෙච්චර කාලයක් තියා ගන්න ඇත්තෙත් කුෂ්ලානිගෙං දවසක එන්න නියමිත පණිවිඩයක් මිස් වෙයි කියන හැඟීමකින් වෙන්නත් ඇති”

මගේ සියොළඟ සීතල වී ගියේ ය. අනුන් ගේ කතාවක් කෙනෙකු තුළ මෙවන් කැළඹීමක් ඇති කළ හැකි ය කියා මීට පෙර මට සිතී තිබුණේ නැත.

“එයා තව දවස් දෙකකිං ලංකාවට එනවලු”

කාල බෝම්බය හරි ම වෙලාවේ දී මගේ පපුව මැද පුපුරා ගියේ ය. ඔහු තවත් මොනවාද කියවනු ඇහුණත් ඒ කිසිත් මගේ සවන් තුළට ගියේ නැත. මම අදහා ගත නො හැකි සසල වීමක සිටියෙමි. කම්පනය දැඩි ව මා කෙරේ බලපෑවේ ය. යන්තම් අල්ලා ගෙන සවනෙහි තද කර ගෙන උන් දුරකතනය මගේ අතින් ලිහිල් වී ගිලිහී යන්නට ඇත. දිගු නිහැඬියාවකින් පසු ඔහු ‘නිම්නා නිම්නා’ කියා මා අමතනු ඇසිණ. මට හ්ම් කියාගත හැකි වූයේ නැත. එය කිසියම් කෝමා තත්වයක් විය හැකි යයි ඒ අව්අස්සේ මට සිතිණ.

“ඔයාට නින්ද ගිහින්ද…ගුඩ් නයිට් නිම්නා”

හෙතෙම දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. මට මහත් සැනසීමක් දැනිණ.

එය නිද්‍රාවක් නොවේ. රැය පහන් වන තුරු ම මට නින්ද නො ගිය බව විශ්වාස ය. නමුත් ඒ ගැඹුරු නිද්‍රාවකි. ඒ තත්වය නිවැරදි ව විග්‍රහ කරන්නට මා නො දන්නවා විය යුතු ය.

5 1 vote
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
1 month ago

Aiyooo