මන්දාරම් හැන්දෑවක -15

මේඝා උදෑසනම දිය නෑවේ සතුටිනි.නිදිමත ඇසි පියන් මතින් වැගිරෙමින් තිබුණ ද ඇය සිටියේ සැබෑ සන්තෝසයකිනි.රාත්‍රියේ එක මොහොතකවත් නිදි නොලබා හඬමින් හුන් දවස්වල උදෑසන ඈ ඇස හැරියේ අසීරුවෙනි.බර කරගත් හිසිනි.නමුත් අද දෑස මත මඳක් වෙහෙස තැවරී ඇතිවා.පමණකි. ඇය ඇඟිලිතුඩු පිරිමැද්දා ය.ඒවා ද මඳක් රිදුම් දේ.එහෙත් හදවත ඉතිර යන්නේ සතුටින් ය.

මේඝා ඉනුලි ගෙට ගොඩ වූ වහා ඉනුලි ද සෙනුරි ද අතින් ඒ මහාර්ඝ වස්තූන් තැබුවා ය.දැරියෝ ප්‍රීතියෙන් පිනා ගිය හ.ඉනුලි තමන්ගේ වස්තුව කිරි අම්මාට පෙන්වන්නට දුවද්දී ඉනුලිට රෝහලට යන්නට සැරසෙන තාත්තා වෙතට දුවන්නට ඕනෑ විය.

“හරි ලස්සනයිනෙ පුතේ..මදූ නැන්දි පුතාට තෑගි ගෙනත් ද?”

වාහනයේ වීදුරුවට සිඟිති අත්තල ගසමින් ඝෝෂා කරන්නට වූ ඉනුලිගෙන් දිනිඳු ඇසුවේ ය.

“නෑ.. සුදු පුංචි මටයි සෙනුරිටයි තෑගි හදල..” ඉනුලි කියන්නේ සතුටින් නටමිනි. දිනිඳු ඇය අත තිබූ කුඩා මාළුවා පිරික්සා බැලුවේ ය.සැබෑවකි.එය අතින් මැසූ එකකි.වෙළඳ පොලේ ඇති ඒවා තරම් හොඳ අමුද්‍රව්‍ය වලින් සකසා නැති නිසා ඔහු සිතුවේ ඒවා මාධවී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්වයං රැකියා සම්බන්ධ වෙළඳ පොළකින් මිලට ගන්නට ඇති බව ය.ඉනුලිට හාදුවක් දී පිටව යද්දී දිනිඳු සිටියේ අදහසකට සිතේ උපදින්නට ඉඩ හරිමිනි.බලහත්කාරයෙන් යටපත් කරන්නට තැත් කළ නමුත් ව්‍යාපාරික ජාන හිටිහැටියේ ඉස්මතු වන අන්දම හිතට නැගෙද්දී ඔහුගේ දෙතොල මත සිහින් සිනාවක් දැවටුණේ ය.

දිනිඳු සවස් යාමයේ යළිත් එද්දී මේඝා සිටියේ බිනර සමඟ කියවමිනි.බිනර සමඟ කියවන්නට මේඝාට මාතෘකා අවශ්‍ය නොවේ.ඔහු අහසේ සැරිසරන කුරුල්ලෙකු පෙන්වා හෝ දහසක් කතාන්දර මවන්නෙකි.මේ කටකාර යෞවනයා හොඳම යහළුවාගේ පදවිය බලෙන් උදුරා නොගත්තා නම් ජීවිතය තව බොහෝ අසීරු වන බව මේඝා දැන සිටියා ය.දැන් හඬන්නටත් තැවෙන්නටත් වෙලාවක් ඇත්තේ ම නැත.වෙද ගෙදර කරන්නට වැඩ ඕනෑ තරම් ය.

“අර හදල තිබ්බ සොෆ්ට් ටෝයි එක හරි ලස්සනයිනෙ නංගි.” දිනිඳු ඔවුන් වෙත ආවේ එසේ කියමිනි.මේඝා සිනාවක් පා කළා ය.

“ඒක ඔයා නේද හැදුවෙ…මදූ කොහෙන්වත් ගෙනල්ල නෙවේනෙ..” දිනිඳුට එය මේඝාගෙන්ම තහවුරු කරගන්නට ඕනෑ විය.

“මේකි හදන සොෆ්ට් ටෝයිස්.. පොළෙන් ගෙන්නල පොඩි උන් රවට්ටල මහිතේ. දිනිඳු අයියා ඕවට අහු වෙනවද?” බිනරගේ කතාවට මේඝා ඔහුට පහරක් ගැසුවා ය.

“ඊයේ යසා කොට්ට පුළුන් වගයක් අරන් කොට්ට හද හද හිටියා.. මට නිකං හිතුණු වැඩක් අයියේ. අක්කගෙ පරණ රෙදි කෑලි වගයක් හොයාගෙන කරේ..ලස්සනට ආවේ නෑ එච්චර.ෆෙල්ට් කරන්න මැටීරියල් තියනවනෙ. මං නර්සරි ඉන්න කාලේ බබාලට කතන්දර කියල දෙන්න පොඩියට හදනව..අකුරු එහෙම..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -30

මේඝා අතීතයේ සොඳුරු තැන් සිහි වූ සතුටින් කියවාගෙන ගියා ය.දිනිඳු සතුටින්‍ රත්පැහැ ගත් ඇගේ කම්මුල් දෙස බලා හුන්නේ වදනකුදු නොදොඩා ය.ඇය ඉතා කුඩා හේතූන් මත සන්තෝසය තවරා ගන්නියකි.ජනිඳු අර තරමට පහත් ක්‍රියාවක් නොකොට ඇයව ජීවිතයට අලවා ගත්ත ද මේ සැහැල්ලු ප්‍රීතිමත් දැරියට හිමිතැන එතැන නොවන බව දිනිඳු සිතුවේ ය.

“ඔයාට ඒ වැඩේ ආයෙ පටන් ගත්තැකිනෙ නංගි..” දිනිඳුගේ ඉල්ලීම අපූරු එකක් වග බිනරට ද සිතිණ.

“ෆෙල්ට් රෙදි එහෙම හොයා ගන්න ඕන අයියෙ. මෙහෙ ඒවා තියනවද දන් නෑ..අනික ෂොප්ස් වලින් ගනීද කියන්න බෑනෙ.. මං අපේ බබාලා තුන්දෙනාට නම් හදන්නං..”

මේඝා ගැටළුකාරී තැන් සිහි කළා ය.

“ඔයාට ඒවා අපි හොයල දෙන්නං..පණ්ඩිත නොවී වැඩේ පටන් ගන්නවකො.. අනික විකුණන්න නම් කඩවල් මොකටද? ෆේස්බුක් පේජ් එකක් හදමුකෝ..”

බිනර අදහස් ඉදිරිපත් කළේ ය.මේඝාගේ මුහුණ ඇද වූයේ ඇය ෆේස්බුක් සහමුලින්ම අතැර දමා ඇති නිසා බව ඔහුට ඒ සමඟම සිහිපත් විණි.

“ඔයා ෆේස්බුක් ඉන්න ඕන නෑ මොට්ටස්..මං හදන්නං..ඕඩර්ස් ගත්තම ඔයාට තියෙන්නෙ හදන්න..මෙහෙමයි හැබැයි.ඇත්ත ගාණ හාරසීය නම් මං කියන්නෙ අටසීයයි කියල.ලස්සන කෙල්ලො එහෙම ඉල්ලුවම හාරසීය තුන්සීය කරල කියන්නත් පුලුවං මට..”

බිනර කියවද්දී මේඝාත් දිනිඳුත් උස් හඬින් සිනා සුණහ.මේඝාට මාර්ගයක් සොයා දීම ගැන දිනිඳුට දැනුණේ සතුටකි.ඇය ඔහේ පරව ගොස් සිටිය යුතු යෞවනියක නොවේ.

“මේඝා, ඇත්තටම ඔයා මොනව හරි පටන් ගන්න ඕන තමයි. නිකං ඔහේ බලන් ඉන්න ඕන නෑනෙ..දැන් ඔයා මෙහෙ ඇවිල්ල මාස තුනකුත් ඉවරයි..නිකං හීල්ලුව කියල ඔයාට ලැබෙන දෙයක් නෑ..ඔයාට හිනා වෙවී හිටිය ලෝකෙ ඔයා දාල ඉස්සරහට ගිහිං..උන්ට හිනා වෙන්න ටොපික්ස් බර ගාණකුත් ආවා..ඔයා මේ කොහොඹ ගහ යටට වෙලා හූල්ල හූල්ල හිටියා දැන් ඇති..”

දිනිඳු යන්නට ගිය පසු බිනර පැවසුවේ වගකීම් සහගත කටහඬකිනි. සැහැල්ලුවෙන් විහිළු කතා කියමින් හිඳ තත්පරයක් ගෙවෙද්දී බැරෑරුම් කතා කියන්නට ඔහුට අපූරු හැකියාවක් ඇත.ඒවා හදවත පතුලේ ම තැන්පත් වන්නේ එනිසා බව මේඝා සිතුවා ය.ඇය හිස වනා බිනරට එකඟ වූවා ය.නමුත් යෝජනාව රැගෙන ආ දිනිඳු සම්බන්ධයෙන් හදවත වැඩි ස්තූතියක් පිරිනමන වග ද ඇයට දැනුණා ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -29

මේඝා යළි සිනා විය යුතු බව ඉරණම යළියළිත් සිහිපත් කරමින් සිටි අතර රාත්‍රියේ තරු බලමින් මිදුලේ සක්මන් කරන ඇය වෙත තවත් පණිවිඩයක් ඉගිල ආවේ ය.මාධවී දෙදරුවන් නිදි ගන්වා මේඝා වෙත පැමිණියා ය.මේඝා දැන් නොහඬමින් සතුටින් සිටීම ඇයට ද සැනසීමකි.හිසවත් නොපීරා දවස් ගෙවූ යුවතිය වෙද පොත් වලින් අහුලා ගන්නා රූපලාවණ්‍ය සත්කාර අත්හදා බලන්නට බිනර කොහොඹ ගස්,වෙරළු ගස්වලට ද නැංවීම ගැන වෙද හාමිනේ කතා කරන්නේ සන්තෝසයෙනි.වෙද හාමිනේ ද මේඝාගේ හිස ගල්වන්නට ඖෂධීය තෙල් පවා සකසන බව මාධවී දැන සිටියා ය.මේඝා යන යන තැන ආදරයම උදුරා ගන්නා අපූරු කෙල්ලකි.

වරුණ ද පැමිණි නිසා මේඝාට කතා කරන්නට මාධවී සූදානම් වූවා ය.

“එන අවුරුද්දේ ඉඳන් අපේ කෙල්ලයි ඩොක්ටගෙ බබයි මොන්ටිසෝරි දාන්න ඕන නංගි..මාසයක්වත් නෑ ඉතිං..”

මේඝා දෑස් ඔසවා අක්කා දෙස බැලුවා ය.

“ටවුන් එකට එක්ක යන්න ඕනද අක්කා? ත්‍රීවිල් එකක් වගේ කතා කරල දුන්නොත් එක්ක යන එක්ක එන වැඩේ මං කරන්නං.. දෙන්නටම හෝම් වර්ක් කරවන්නත් මට පුලුවං..දන්න දේනෙ..”

වරුණ මාධවී දෙස බැලුවේ මාතෘකාවට ප්‍රවිෂ්ට වීමට හොඳම තැන මේඝාම මතු කළ නිසා ය.

“ඔයා දන්න නිසා තමයි පොඩ්ඩි අක්කයි මායි ඔයාට කතා කරන්න හිතුවෙත්..”
මේඝා කුහුලින් බලා හුන්නා ය.

“මේ කිට්ටුවත් මොන්ටිසෝරියකට ආණ්ඩුවෙන් දීපු බිල්ඩින් එකක් තියෙනව.ටීච කෙනෙකුත් හිටියා..ඒ කෙල්ල ජනවාරියෙම මැරි කරනව.කුරුණෑගල පැත්තෙන්..ඉතිං මොන්ටිසෝරිය කරන්න කෙනෙක් නෑ..”

මේඝාට හදිසි ආශාවක් හට ගත් නමුත් එය පැවසීමට කෝල හැඟීමක් ආ නිසා ඇය නිහඬවම හුන්නා ය.

“ඔයාට ඒක කරගෙන ගියෑකිනෙ පොඩ්ඩි. ඔයා සුදුසුකම් තියන කෙනානෙ..මං ප්‍රාදේශීය සබාවෙ අවසරේ අරගෙන දෙන්නං ඔයා කැමති නම්..”

මාධවී අසද්දී මේඝා අක්කාගේ දෝතින්ම අල්ලා ගත්තා ය.ඇගේ දෑස් කණාමැදිරි එළිවලටත් වඩා දීප්තිමත් ව බැබළෙමින් තිබිණ.

“අනේ මං කැමතියි පොඩි අක්කේ.. මං කැමතියි.. අක්කා මට ඒක හදල දෙන්න.”

මාධවී සැනසිලිදායක බැල්මකින් වරුණ දෙස බැලුවා ය.නැවත සතුට උදාවීම ගැන ප්‍රීතියෙන් මේඝාට සඳ එළිය ඉහිරුණු වැලි මිදුල මත නටන්නට තරම් සිත් විය.

වසන්තය උදා වෙමින් තිබිණ.

.

5 4 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments