Chat With Smart Lady- ප්‍රවීණ සූපවේදිනි චතුරිකා අනුරාධා

0
514

අද Chat With Smart Lady හරහා අපේ කතා බහට එකතු වෙන්නේ ඔබ නිතර දෙවේලේ වෙළඳ දැන්වීම් හරහා දකින චරිතයක්.රස මවන්නියක් වගේම ඒ රස රහස් ඔබට කියාදෙන ඇය ප්‍රවීණ සූපවේදිනි චතුරිකා අනුරාධා

කොහොමද මේ දවස් වල වැඩ කටයුතු?

ජීවිතේ ඉතින් හැමදාම අපි සටනක් තමයි ගෙනියන්නේ.මං හිතන්නේ ජීවිත සටනට මුහුණ දෙන්න කාන්තාව බොහොම දක්ශයි.මාත් ඒ සටන ගෙනියමින් ඉන්නවා

අද අපි ඔබව ප්‍රසිද්ධ සමාගමක් නියෝජනය කරන සූපවේදිනියක් විදියට දකිනවා.ඉතින් ඔබේ ළමා කාලය සහ තරුණ කාලය මතක් කලොත් ? කොහොමද ඒ කාලයන් ගෙවුනේ සහ ඔබ මේ වෘත්තියට පිවිසෙන්න කලින් රැකියාවන් කලාද?

ළමා කාලය කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම කාලය.බරක් පතලක් නෑ.අපිට හැමදේම ලැබෙනවා.ඉතින් බොහොම සැහැල්ලුවෙන් ගතකරන කාලයක්.මට බොහොම සැහැල්ලු සුවපහසු ළමා කාලයක් ලැබුනා.මම බොහොම වාසනාවන්තයි.ඒකට පින් සිද්ධ වෙන්න ඕන මගේ දෙමව්පියෝ දෙන්නට.මම මියුසියස් විදුහලේ ඉගෙන ගත්තේ.මම අද මේ සූපවේදිනියක් හැටියට ඔබ ඉදිරියේ පෙනී හිටියට මම ඉස්සර සූපවේදිනියක් නෙමෙයි.මම multidisciplinary designer කෙනෙක්.ඒක විස්තර කලොත්, designer කෙනෙක් ගත්තම සැකිල්ලේ ඉඳලා packaging දක්වා designer කෙනෙකුට තියන කාර්‍යභාරය විශාලයි.ඒක අපි ඉදිරිපත් කිරීමේදි ඒක මිනිස්සුන්ට ගැලපෙන විදිය , අපි කොහොමද මේක සමාජයට දෙන්නේ ,මොකද්ද ඒක ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න ඕන, වර්ණ සංකලනය ,ඒ හැමදේම කල්පනා කරන්න ඕන.මම මොරටුවෙ ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් ඉගෙන ගත්තේ.මම බොහොම ආඩම්බරයෙන් කියනවා මම පිරි නිර්මාණ ශිල්පිනියක් හැටියට ඉගෙන ගත්‍ත දේවල් තමයි මට නිර්මාණශීලි විදියට සූප වේදයටත් යොදාගන්න ඉවහල් උනේ.ඔබ පුදුම වෙයි එකිනෙකට පරස්පර දේවල් තමයි මගේ ජීවිතේ මම කරලා තියෙන්නෙ කියලා ඇහුවම.මම උසස් පෙළට කලේ භාශා.ජර්මන් ,සිංහල ,ප්‍රංශ වගේ භාශාවන් තමයි මම කලේ.හැබැයි මම අද සතුටු වෙනවා ඒ හැමදෙයක් ගැනම දැනුම ලබාගන්න මට අවස්ථාව ලැබුන එකට.මොකද ඇත්තටම අපිට ජීවත් වෙලාම තමයි ජීවිතේ ඉගෙන ගන්න පුලුවන්.ඒ ජීවත් වෙනකොට අපිට මේ හැම ක්ශේත්‍රයෙම දැනුම ටික ටික හෝ අවශ්‍යයි.ඉතින් සූපවේදිනියක් වෙන්න මම අහම්බෙන් තමයි මට හිතුනෙ.මට හිතුනා නිර්මාණ ශිල්පියෙක් කිව්වම මේ ලංකාවෙ තියන අවස්ථාවන් බොහොම අඩුයි කියලා .මම පිරි නිර්මාණ ශිල්පිනියක් හැටියට Architecturing , jewellery ,textile , ceromic හැමදේම ඉගෙන ගත්තා.මම jewellery designer කෙනෙක් හැටියට සහ casting division එකක incharge හැටියට වැඩ කලා ප්‍රසිද්ධ සමාගමක. හෝටල් ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීණ සූපවේදීන් චෙෆ් පබිලිස් ,චෙෆ් ලොයිඩ් වගේ ප්‍රවීණයින් මේ ක්ශේත්‍රය ඉස්සරහට ගෙනවිත් තිබුනානේ.ඒත් මේ lady chef ලා අඩුයි.එතකොට මේ ක්‍රීඩා පිටියේ අපිට සෙල්ලම් කරන්න බය නැත්තම් සෙල්ලම් කරන්න පුලුවන් කියලා හිතෙනවා නම් ,මේ ක්ශේත්‍රයට බැස්සොත්, සූපවේදිනියන් අඩු නිසා මට යම් දෙයක් කල හැකියි කියලා හිතුනා.

කාන්තාවන් අතර සූපවේදිනියක් කියන වෘත්තීය ලංකාවේ ප්‍රසිද්ධ නැති කාලෙක තමයි අපි ඔබව සූපවේදිනියක් හැටියට රූපවාහිනීයේන් දකින්නේ.කොහොමද මේ ගමනට පිවිසුනේ? මොනවද ඔබ මුහුණ දීපු අභියෝග ?

මටමයි හිතුනෙ මම මේ ක්ශේත්‍රය මාරු කරන්න ඕන කියලා.මේ සිතුවිල්ල මට එනකොට මට අවුරුදු 33ක් . නමුත් ඒක සාමාන්‍යයෙන් වෘත්තියක ස්ථාවරත්වයක් ගොඩ නගා ගෙන සිටිය යුතු වයසක්.නමුත් මට මගේ ගැන විශ්වාසය තිබුනා.අපිට මේ ලෝකේ ඕනතරම් යන්න පුලුවන් දුරවල් තියනවා.අපිට ඕනෙ අපේ ආත්ම විශ්වාසය.මට මා කෙරෙහි විශ්වාසයක් තිබිය යුතුයි මට මේක කරන්න පුලුවන් කියලා.අනිත් එක අපි හිතන්න ඔන මට මේ දේ කරගන්න බැරි උනොත් මම මෙතන නවතින්නෙ නෑ මම මෙතනින් මේ පැත්තට යනවා කියලා .ඒ වගේ අපිට මාර්ගයක් හැම වෙලේම අපි තියාගෙන ඉන්න ඕන.එතකොට තැනකදි නතර උනාම ඔලුව විකාර කරගන්න අවශ්‍ය නෑ,බය වෙන්න අවශ්‍ය නෑ සහ ගැටලු ඇතිවෙන්නෙ නෑ.ඉතින් මම සූපවේදිනියක් විදියට Win – Stone හෝටල් පාසලෙන් ඉගෙන ගත්තෙ.ඒකත් මම බොහොම ආඩම්බරයෙන් කියනවා. Win -Stone පාසලේ විදුහල්පතිනිය ඉයන්ති ගුණවර්ධන මහත්මිය මට අම්මා කෙනෙක් වගේ .ඇය තමයි මේ පාරට එන්න මට බොහොම උදවු කලේ.මං හිතනව මගෙ ඇතුලේ හිටපු නිර්මාණ ශිල්පිනි තමයි එතනදි වැඩ කලේ කියලා.මොකද මේ සූපවේදය කියන්නෙත් එහෙම දෙයක්.අපි තුනපහ සහ ගින්දර එක්ක සෙල්ලම් කරන්නෙ.එතකොට අපිට මේ දේවල් වලින් කරන්න පුලුවන් දේවල් තියනවා.තුනපහ ගම්මිරිස් ලුනු එකතු කරොත් ගිනි ගන්නෙ නැහැනෙ.ඉතින් අපිට පුලුවන්කම තියනවා මේ දේවල් එකතු කරලා අලුත් රසවල් හොයාගන්න.ඒක තියෙන්නෙ ඕන තමන්ගේ හිතේ.තමන්ගේ නිර්මාශීලිත්වය මත තමයි ඒක තියෙන්නෙ.ඉතින් ඔහොම ගමනක් මම ගියා.අනිවාර්යයෙන්ම ජීවිතේ කියන්නෙ හැම තප්පරේකම අපිට මුහුණ දෙන්න වෙන අභියෝගයක් නේ.ඒ වගේම මම කැමතියි දැනුම බෙදාගන්න.අපි මේ ජීවිතේ ගොඩක් දේවල් බෙදාගැනීම නෙ තියෙන්නෙ.එතකොට දැනුම බෙදාගන්න නම් මම හෝටලයක් ඇතුලට කොටු වෙලා සිටිය නොයුතුයි කියලා මට හිතුනා.එහෙම හිතලා මම හෝටල් වල වැඩ කරන එකෙන් එලියට බැහැලා මම ප්‍රසිද්ධ ආයතන වල වැඩ කලා.මං හිතන්නෙ මම ලංකාවේ හැමතැනම ඇවිද්දා. ඔයාලා රූපවාහිනීයෙන් මාව දකින්න කලින් ,මම මිනිස්සු අතරට ගියපු සූපවේදිනියක්.ඒක හරි ආඩම්බරයක් සහ හරි ආදරණීයයි.මිනිස්සු ටීවි එකෙන් දකින චෙෆ්ලා තමන් අතරට එනවට එයාලා හරි ආසයි .ඒ මිනිස්සු හරි අහිංසකයි,ආදරණීයයි .මම ඒක අත්විඳපු කෙනෙක්.ඉතින් රූපවාහිනීයේ දකින්න කලින් මම ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්තේ මිනිස්සු අතරට ගිහිල්ලා මට පුලුවන් දේ කරලා මගේ දැනුම බෙදාගෙන.

කියවන්න :  Chat with smartlady - රංගි රාජපක්ෂ

ජීවිතය ,ආදරය සහ විවාහය ගැන ඔබේ දැක්ම මොකද්ද?

ආදරය මත තමයි මට නම් හැමදේම පදනම් වෙලා තියෙන්නෙ.ආදරය කියන්නේ ශෛලෝකිය විදියට කල හැකි දෙයක් නොවෙයි.සමහරු කියනවා ආදරයේදි බුද්ධිය පාවිච්චි කරන්න ඕනෙ කියලා .සමහරු කියනවා ආදරයේදි හදවත පාවිච්චි කරන්න ඕන කියලා.මං හිතනවා මේ දෙකම අවශ්‍යයි ආදරයේදි.මොකද අපි තීරණ ගත්තොත් බුද්ධියෙන් , ඒක සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරනකොට බුද්ධිය මෙහෙයවන්නේ,මේක කලොත් මෙහෙම කියලා.නමුත් ආදරය කියන්නේ කොන්දේසි විරහිත ගණුදෙනුවක් .එතකොට ඒක තමන්ගේ හදවතට දැනෙන විදිය.තමන් හදවතින් බාරගන්න විදිය.ජීවිතේක හෝ විවාහයක මං හිතනවා ආදරය තමයි අත්තිවාරම විය යුත්තේ.ඒක මත ගොඩනැගෙන දේ යම් දවසක කඩා වැටුනත් අර අත්තිවාරම ශක්තිමත් නිසා නැවත ගොඩනගන්න පුලුවන් .අත්තිවාරම දෙදරුවොත් අපිට ඒක මුල ඉඳලා ගලවන්න වෙනවා.එතකොට ඒ කතන්දරේ එතනින් නතර වෙනවා.අපිට ජීවිතේ නොයෙකුත් විදියට මුහුණ දෙන්න වෙන අවස්ථා තියනවා,සමහරුන්ගෙ ජිවිත වල හරි කෙනා වැරදි කාලවලදි මුණ ගැහෙනවා.සමහර වෙලාවට වැරදි කෙනා හරි කාලෙදි මුණ ගැහෙනවා.එක එක්කෙනාගේ දෛවය මත තමයි ඒක සිද්ධ වෙන්නේ.නමුත් බුද්ධිය මෙහෙයවාගෙන අපි ජීවිතය ඉදිරියට ගෙනිච්චොත් සිනහව අතර කඳුලත් ,කඳුල අතර සිනහවත් තියෙන්නෙ.ආදරය නිසයි අපි ජීවත් වෙන්නෙ.

අපි හැමෝටම එනවා ජීවිතේ කටුක කාලයන් . ඔබ කොහොමද ඔබේ ජීවිතේ එහෙම කාලයන් වලට මුහුණ දෙන්න ශක්තිමත් උනේ?

කාන්තාවක් කියන්නෙ නොපෙනෙන ශක්තියක් ඇතුලේ හැංගිලා තියන කොට්ටාශයක්.දැන් අපේ රටේ ගත්තත් අපේ රටේ බොහොම ප්‍රසිද්ධ චරිත ,නම් වශයෙන් කිව්වොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ,චන්ද්‍රිකා මැතිණිය ,සෝමා එදිරිසිංහ මැතිණිය ,මිලිනා සුමතිපාල මැතිණිය වගේ අපේ රටේ ඉහලටම ගිය කාන්තාවන් තමන්ගේ ස්වාමියා නැතිවුනා කියලා එතනින් නතර උනේ නෑ.එයාලා යන්න පුලුවන් ඉහලටම ගිහින් තමයි නැවතුනේ.එතකොට ඒ කියන්නේ එතුමියන්ලාට වගේම සාමාන්‍ය කාන්තාවන් තුලත් සැගවිච්ච ඒ දරාගැනීමේ ශක්තිය තියනවා.ගොඩක් දෙනා ඒක අඳුරගන්නෙ නෑ.මගෙ ජීවිතේත් ඒ වගේ කඩා වැටීම් හිත් රිදීම් ,අහිමි වීම් තිබුන කාල අනන්ත අප්‍රමාණ තිබුනා.ජීවිතේ කියන්නෙ අපි යම් පසුබෑමකට ලක් උනොතින් එතනින් අපි ජීවිතේ විනාස කරගත යුතු නැහැ.එතකොට මොකද්ද අපෙ දරුවන්ට දෙන ආදර්ශය ? මම හැමදාම විශ්වාස කරනව අපි ජීවිතේ ඇත්තට මුහුණ දිය යුතුයි.ඇත්ත කතා කල යුතුයි.එතකොට කවදාවත් අපිට කාගෙන්වත් හැංගෙන්න ඕන නෑ.හිතට හරි සැහැල්ලුයි.අනිත් එක අපි දැනගන්න ඕන අපිට කක හැක්කේ මොකද්ද , එතකොට ප්‍රශ්නයක් ආවොත් අපි මුලින්ම සංසුන් විය යුතුයි.කලබල උනොත් අපිම දන්නෑ මොනවද කරන්නෙ කියලා .සන්සුන් වෙලා හිතන්න ඕන මොකද්ද මේකට ගන්න පියවර කියලා.ඊට පස්සෙ මම මොකද්ද කරන්නෙ ,මේක මෙහෙම උනොත් කොහොමද ,මට වැරදුනොත් කොහොමද ,හරි ගියොත් හොඳයි කියලා.වැරදුන වෙලාවට අපෙ ඔලුවට වැටෙන දේවල් එක්ක අපිට නිවැරදි මග පෙන්වන්නෙ නැතිවෙන්න පුලුවන් .නිවැරදි තීරණය ගන්නෙ නැති වෙන්නත් පුලුවන් .සුලු දේවල් වලින් තමයි අපි ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න ඕන.අපේ සතුට කියන දේ තියෙන්නේ අපි ලඟමයි.අපි බලාපොරොත්තු වෙනවනෙ වෙන කෙනෙක් අපිව සතුටු කරයි කියලා.නෑ.වෙන කෙනෙක්ට අපිව සතුටු කරන්න බෑ.මොකද අපේ සතුටේ පරිමාව , අපි සතුටු වෙන්නෙ මොනවයින්ද කියලා දන්නෙ අපි.ජීවිතේ හරි අවිනිශ්චිත දෙයක්.මේ තප්පරේදි මම මියැදුනොත් මම මොනවද මට කරගෙන තියෙන්නෙ, ඒ කියන්නෙ සල්ලි,දේපල එකතු කරගෙන ඉන්න එක නෙමෙයි.අපේ පවුල අපේ නෑයෝ එක්ක සතුටින් සැනසීමෙන් ඉන්න එකයි අපි කරන්න ඕනෙ.මගේ අවුරුදු අටේ පුංචි දුව හරිම පොඩි දේකින් පවා සතුටු වෙනවා.මං එයාගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා තවමත්.ඉතින් මම විශ්වාස කරන්නෙ සතුට ගොඩනගාගන්න පුලුවන් තමන්ට මයි.තමන් ඒ තුල ජීවත් විය යුතුයි .

කියවන්න :  Chat with Smartlady - ප්‍රතිභා ප්‍රභා

දැනට ඔබේ ජිවිතෙ දැන් ඉන්න වටිනාම කෙනා කවුද?

දැනට ඉන්න වටිනම කෙනා තමයි මගේ දුව.ඒ කියන්නෙ මෙහෙමයි .වටිනම මිනිස්සු ඉන්නවා.මගෙ දෙමව්පියන් එහෙම මට වටිනවා.නමුත් මම දුව කියලා කියන්නේ,එයා මේ ලෝකේට ආවේ එයාට උවමනාවට නෙමෙයිනේ.මට උවමනාවට.ඇය තාම පොඩියි.මං විශ්වාස කරනවා ළමයි කියන්නේ මැටි ගොඩවල්.මැටි ගොඩක් අපි අඹන්නෙ මොන රූපෙන්ද අන්න ඒ රූපෙ තමයි හැදෙන්නෙ.මම ඒකෙන් හැදුවොත් හාවෙක් ,හාවෙක් හැදෙනවා.යකෙක් හැදුවත් ,දෙවි රූපයක් හැදුවත් හැදෙන්නෙ ඒක.මගෙ වගකීම තමයි මගේ දරුවා සමාජයට දානකොට නිර්මාණය කල යුතු ආකාරයක්.අන්න ඒ හින්දා දුව ඉපදුනු දවසේ ඉඳලා මගෙ ජීවිතේ පලවෙනි වගකීම ඇය.

ඔබේ දියණියගේ වගකීම් ඔබට දැන් තනිව දරන්න සිදුවෙනවා.කොහොමද ඔබ ඒ අභියෝගයට මුහුණ දෙන්නෙ?ඒ වගේම ලංකාව තුල දියණියක් ගැන අම්මා කෙනෙක්ට තියන වගකීම ඔබ කොහොමද දකින්නේ?

දියණියකට විතරක් නෙමෙයි දැන් හැම දරුවෙක් ගැනම දෙමව්පියන්ගේ වගකීම දැඩිව තිබිය යුතු කාලයක් මේක.බොහොම විශම සමාජයක් තියෙන්නේ. මිනිස්සුන්ගේ අවංක බාවය ,කාරුණිය බාවය සහ මනුශ්‍යත්වය කියන එක ගැන බොහොඉ ගැටලු සහගත සමාජයක් මේක.මේ කාලය මෙහෙම නම් මම හිතනවා අපෙ දරුවෝ ලොකුවෙලා එන කාලය වෙනකොට මට හිතාගන්න වත් බෑ මේ අපි ඉන්නෙ කොතනද කියලා.වාණිජකරණය වෙලා මේ හැඟීම් කියන දේවල්.මම මගේ දුව හදන්නේ මම නැතුව ජීවත් වෙන්න පුලුවන් විදියට.මොකද දැනටත් මගෙ දෙමව්පියන් මගෙ පස්සෙන්මයි.නමුත් මම මගේ දරුවට කියලා දිය යුතුයි මම නැතුව කොහොමද ජීවතේට මුහුණ දෙන්නෙ කියලා.හඬා වැලපෙනවද නැත්තම් හදවතින් දරාගෙන යනවද කියලා.අපි හඬා වැලපුනොත් ඒ පේන්නෙ අපේ දුර්වලතාවය.මිනිස්සු ඒක වැරදියට අර්ථකථනය කරන්න පුලුවන් .ඉතින් මොන දරුවෙක් උනත් ,සවි ශක්තිමත් ,ආත්ම ශක්තියකින් ඉදිරියට යන්න තමයි අම්මලා කියලා දෙන්න ඕන.

සමාජයේ තියන මතයක් තමයි පවුල් ජීවිතයකට විශේෂයෙන්ම වැදගත් වෙන්නෙ ගැහැණියගේ ඉවසීම කියලා.ඒ ගැන ඔබට මොකද හිතෙන්නෙ? ගැහැණිය විතරද ඉවසිය යුතු?

කාන්තාවක් ඉවසිය යුතුයි .කාන්තාවකගේ සහජයෙන් ලැබෙන දායාදයක් තමයි ඉවසීම.දෙන්නගෙන් එක්කෙනෙක් දෙවල් කැපකරන්න ඕන.ඒක හැමදාම සැමියාට කරන්න බෑ.හැමදාම බිරිඳට කරන්නත් බෑ.එතකොට එකඟතාවයකට එන්න ඕන.දෙන්නගෙන් එක්කෙනෙක් කැපකරන්න ඕන.ඒක ආදරය මත සිද්ධ වෙන දෙයක් කියලා මං විශ්වාස කරන්නෙ.කෙනෙකුගේ ඉවසීම මෙතනයි කියලා දැන දැන ඒක අයුතු ලෙස පාවිච්චි කරන්න යා යුතු නෑ.ඕනම බැඳිමක ඉවසිම විශ්වාසය කියන දේවල් සමබරව ගියෙ නැතිවුනොත් ,පදම හරි ගියේ නැතිවුනොත් හොද්ද හරි නෑ වගේ තමයි.

සාමාන්‍යයෙන් දික්කසාද උන හෝ තනිවුන ගැහැනියකට මේ සමාජයෙන් නොයෙකුත් බලපෑම්, අපහස වගේ දේවල් එල්ල වෙනවා. ඔබ ඒ සම්බන්ධයෙන් දරණ අදහස මොකද්ද?

ජීවිතේ ඔය වගේ ප්‍රශ්න එනකොට අපි ඇත්තටම මම නම් හිතන්නෙ ඒ අපහසුතාවයට පත් කරන මිනිස්සු, ඒ අයටත් ඒ ප්‍රශ්නම තියනවා.එක්කෝ ඔවුන්ට ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන්කම නෑ.එක්කො ගැලවීමේ ශක්තිය නෑ.නැත්තම් ගැලවෙන්න දන්නෙ නෑ.එතකොට ඒ ප්‍රශ්නෙන් ගැලවිලා යන කෙනා ගැන ඇතිවෙන්නෙ තරහක්.කෝපයක් ,වෛරයක් හා ඉරිසියාවක්.එතකොට ඒ ඔස්සේ ඉඳලා අර අපි කියන විදියට කෙනෙකුට අපහස කරනව කතන්දර හදනවා නමුත් ඇත්ත හැම වෙලේම යටගිහින් නේ තියෙන්නෙ.නමුත් තමන්ගේ හෘද සාක්ශිය දැනගන්න ඕන අනිත් මනුස්සයාට සලකන්නේ කොහොමද ,ඒක හරිද කියලා.

ඔබෙ ජීවිත කතාව ඇහුවම ඔබ බොහොම අභියෝග වලට මුහුණ දීපු කාන්තාවක්.එහෙම පන්නරය ලබපු ඔබට මේ බලන් ඉන්න කාන්තාවන්ට දෙන්න තියන පණිවිඩය මොකද්ද?

හිනාවෙලා දවස පටන් ගෙන හිනාවකින්ම ඒ දවස අවසන් කරන්න පුලුවන් නම් ඒ ජීවිතේ තෘප්තිමත් .අපි යන්නෙ මොන වගේ වාහනයකද ,ඉන්නෙ මොන වගේ ගෙදරකද කියලා නෙමෙයි බලපාන්නේ අපේ හදවතේ තියන මනුස්සකම.අහිංසකකම සහ සරල බව .එතකොට මම බොහොම ළෙන්ගතුයි මිනිස්සුන්ට.මිනිස්සුත් එක්ක හිනාවෙලා කතා කරලා ඉන්න එක තමයි ලොකුම සැනසීම.හිනාව කියන්නේ ඇතුලාන්තයෙන් එන දෙයක් නිසා ඒකට අපිට සල්ලි වියදම් වෙන්නෙ නෑ.හිනාවෙලා හිටියොත් කවදහරි මියගිය දවසක අව්‍යාජ හිනාවක් හදන්න උවමනා නෑ.

අද අපේ කතා බහට එකතු වුන ප්‍රවීණ සූපවේදිනී චතුරිකා අනුරාධා මහත්මියගේ ජීවිතයෙන් ඔබ බොහො දේ එකතු කරගන්නට ඇති කියලා අපි හිතනවා.තවත් මෙවැනිම හරවත් කතා බහකින් Smartlady.lk වෙතින් ඔබ හමුවටඑන්න අපි බලාපොරොත්තු වෙනවා

නාට්‍ය පිටපත් රචිකාවක ලෙස රේඩියෝ නාලිකාවක සේවය කර ඇත.ටෙලිනාට්‍යය කිහිපයකට තේමා ගීත රචනයෙන් දායක වී ඇත.වෘත්තියෙන් ගී පද රචිකාවක් ලෙස කටයුතු කරයි.
5 1 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments