fbpx

ඔබට ඇහෙනවනම් -20

උදෑසන ම දිය නා වරලෙහි තෙත පෙරමින්  කාර්යාලයට ඇවිත් සිටි මම, ප්‍රබෝධවත් සිතින් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු වල නියැළුණෙමි. සැලසුම් කොට තිබූ පුවත්පත් අලෙවි නියෝජිතයන් ගේ හමුව සහ අලුත් ගොඩනැගිල්ලෙහි ඔප්පු ලිවීම සම්බන්ධ විද්‍යුත් ලිපි දෙකක මුද්‍රිත පිටපත් ගෙන කුලාන් ගේ අත්සන ලබා ගන්නට ඔහු ගේ කියුබිකල් එක වෙත ගොස් කළබලයෙන් ම දොර මඳක් හරිත්දී ය මා දුටුවේ අමුත්තෙකු අසුන් ගෙන හිඳින බව. එසැනෙන් මම යළි පසුපසට වී හැරී යන්නට හැදුවෙමි. නමුත් කුලාන් මට දෑසින් ඇතුළට ඇරයුම් කළේ ය. උද්‍යෝගී මන්දස්මිතයෙන් යුතුව මා ඔහු වෙතට ඉගිළුණා සේ ය. 

“ඩීඩ් එක සයින් කරන වැඩේට යන්න ලෑස්ති වෙලා ඉන්න නිම්නා. අපි එන ගමං සයිට් එකට ගිහිංම එන්න ඕනෙ”

“ඕකේ සර්”

ඒ දෑස මදෙසට දැල්වීගෙන ම තිබෙනවා මට දැනිණ. මා නිකමට මගේ ඇස් පා කොට බැලුවේ ඒක ය. ඒ තරම් තියුණු දෑසක් ඊට පෙර මා දැක ඇතිවා කියා නො සිතමි.

කුෂ්ලානි!

ඒ ඇය යයි මට කීවේ මගේ ගැහැනු හදවතයි. එසැනින් අභ්‍යන්තරික ගැස්මක් ඇති විය. නමුත් මම සංසාරික පුරුද්දෙන් ඒ ගැස්ම වසා ගෙන ගැහැනු ගතියට හිනැහුණෙමි. කෙලින් ම ඇගේ ඇස් දෙස බලා,හෘදයාංගම ව හිනැහුණෙමි. පෞරුෂයෙන් අනූන ගැහැනියක ගේ ආත්ම අභිමානය ද ආත්ම ශක්තිය ද මට මා වෙතින් දකිත හැකි විය.

නමුත් ඇය සිනහවකට අර ඇන්දේවත් නැත. එය රවා බැලීමක් ද කියා මට නො සිතුණා නොවේ. නමුත් ඈ මට රවන්නේ කුමට? ඒ මගේ හුදු ගැහැනු සිත යයි සිතා මම බිම බලා ගතිමි.

අත්සන් කළ ලිපි ගොනුව මා අතට දෙන ගමන් කුලාන් ගේ ඇස් සන්සුන් ව මා දෙසට පා වුණි. ඒ ඇස් මත කරුණාවේ මහා රැස් කදම්බයක් තිබෙනු මම දුටිමි. මම ඉක්මන් කොට කුටියෙන් නික්මුණෙමි.

හදවත ගැස්ම උත්සන්න වූයේ ඉනික්බිති ය. මම මගේ අසුනට වැටී ඉක්මන් කෙටි හුස්ම වලින් පෙනහලු වලට අවශ්‍ය ඔක්සිජන් ලබා දුන්නෙමි. 

ඇය ඇවිත් තියේ! 

ඇය මදෙස රවා බැලුවා ය!

මා ඈ ගැන දැන උන්නා ට ඇය මා ව දැන ඉන්නට විදිහක් නැත. වසර ගණනකට පසු ඈ එන බව කියන්නට විද්‍යුත් පණිවිඩයක් එවුවා මිස ඇය කුලාන් සමග දොඩමළුවකට එක් වී තිබුණේ නැත. එහෙම කළත්, ඔහු ට මා ගැන කියන්නට හේතුවක් නැත. එසේ තිබියේ වී ත් ඈ මට රැව්වේ කුමට?  ඇතැම් විට ඒ රැවීමක් නොව ඇගේ බැල්මේ ස්වභාවය වන්නට ඇත. නමුත් මගේ සිනහවට පිළිතුරු වශයෙන් මඳ සිනහවක් හෝ හෙළන්නට ඈ කාරුණික නො වූයේ ඇයි?

පරිගණක තිරය දෙස බලා උන්නත්, පුරුද්දට වාගේ දත්ත ගබඩා කිරීමේ කටයුත්තෙහි නියැළුණත්, මගේ හිත මා ළඟ නො වන කොහේදෝ දුර ඈතක බව මම දැන සිටියෙමි. ඒ විදිහට හිත ශරීරය හැර ගොස් ඇති විට දැනෙනුයේ පුදුම සහගත සැහැල්ලුවකි. මම ඒ සැහැල්ලුවේ මිහිරි රසය හිතේ හැටියට වළඳමින් සිටියෙමි. එක්වර ම දොර හැරුණේ යළිත් මා අහසින් පොළොවට පතිත කරමිනි.

කුෂ්ලානි!

ඇය සිනහවක් නැති වතින් මදෙස බලා ගෙන කෙලින් ම මවෙත එමින් සිටියා ය. අනිච්ඡානුගව ම මා අසුනින් නැගිටවිණි. හෘදය ස්ඵන්දනය උච්ච වෙනවා දැනිණ. සිනහ විය යුතු යයි සිහිපත් වුණත් තොල් කොනක් සෙලවුණේ හෝ නැත. මගේ මේසය ඉදිරියට ම ආ ඕ යමක් මවෙත දිගු කළා ය. මම ඒ අත දෙස හොඳින් බැලුවෙමි. එහි වූයේ පෑනකි. මට කිසිවක අගක් මුලක් සිතා ගත හැකි වූයේ නැත. 

“යුවර් පෙන්”

මගේ පෑන කුලාන් ගේ මේසය මත දමා එන්නට ඇත. ඒ බවක් මේ වන තුරු මා දැන සිටියේ නැත.

“තෑන්ක් යූ මිස්”

“තමුංගෙ දේවල් තැන් තැන් වල දාල එන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි”

ඇය පෑන මේසය මතට විසි කළා ය. කුමක් කියන්න ද කුමක් කරන්න ද කියා මට වැටහීමක් නො විණ. ඇය මා විනිවිද බැලුවා ය. මම ඇගේ බටහිර පන්නයැති පෙනුම මගේ නෙතින් ග්‍රහණය කර ගැනීමේ උත්සාහයක් දැරුවෙමි. ඩයනා කට් කපා කහ පාට වර්ණ ගැන්වූ කෙසක් හිමි ඕ සිහින් උස් යුවතියකි. එල්ලෙන ලොකු අරුංගල් යුගලක්, කම්මුල් වලට දිස්න දෙමින් සැලුණේ ය. තැඹිලි පාට තොල් ආලේපන ගැල්වූ පිරුණු තොල් ජීවය සපිරි ඒවා ය.

ඈ ආපසු හැරුණේ මට තව වචනයක් හෝ කතා නො කරමිනි. මම පුටුව මතට වැටුණෙමි. මගේ තොල් මගේ පාලනයකින් තොර ව සැලෙමින් තිබිණ. මම ඒවා දසන් දෙපෙළෙන් තද කොට ගතිමි.

අභ්‍යන්තර දුරකතනය හැඬවිණි. මම ඉක්මන් කොට ඒ සවනට ගතිමි.

“අපි යමුද නිම්නා”

මා ‘හෙලෝ’ කියන්නටත් පෙර ඔහු හිත පිරිමදින ස්වරයකින් කතා කළේ ය.

“අ…හරි සර්…”

වහ වහා රිසීවරය තැබි මා ගෙන යා යුතු ලිපි ගොනු එක් කොට ගත්තේ සිහිනයෙන් සේ ය. 

“නිම්නා”

කියාගෙන අශිකා මගේ කුටියට වැදුණා ය. ඇගේ පෙනුමේ විශ්මිත කලබලයක් දැකිය හැකි විය.

“කවුද ඒ…”

මට කුෂ්ලානි සිහි විය. නමුත් මම එවැන්නක් අශිකා ට හඟවන්නට නො ගියෙමි.

“කවුද…”

“අර අමුතු ටයිප් එකේ ගර්ල්…සර් එක්ක කතා කරල ඔයාගෙ කියුබිකල් එකටත් ආවෙ…”

මම හැකි තාක් සන්සුන් බව මවා ගතිමි. මගේ ඇතුලාන්තයෙහි වූයේ ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ වූ කැළඹීමක් විය යුතු ය.

“මිස් කුෂ්ලානි”

“ආ….කවුද ඒ…”

“කුලාන් සර්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්”

අශිකා ගෙන් මේ හැටි ඇස් සඟවන්නට මට වූ උවමනාව කුමක් දැයි නො දනිමි. 

“මං ගිහිං එන්නද අශී…වැඩ ගොඩක් ලිසා ලේට් වෙන්න පුළුවන්. ඔයා බඩගින්නෙ ඉන්න එපා එහෙම වුණොත්. ලන්ච් ගන්න හොඳේ”

මදෙස බලා ගෙන ම සිටියා මිස අශිකා වදනකුදු දෙඩුවේ නැත. මගේ ඉකිබිඳින හදවත වැළඳගෙන ඇය විසින් සනසනු ලබනවා සේ මට දැනුණේ ය.

“අර අක්ක ලංකාවට ඇවිත්. අපි ඉක්මනට වැඩේ කරමු. නඩු කියන්න සල්ලි මදි වුණොත් මගෙ රත්තරං බඩු උකස් තියල හරි අපි ඒක කරමු. කොහොම හරි පුතාගෙ කස්ටඩි එක ගමු”

ඇස් දෙක දිය වෙන්නට හැදුවේ ය. උගුරෙහි උණුසුම් තාප හිර වීමක් සිදු විය. හැඟුම් කෝටි ගණනක් පපුවේ හිර වී පිට වෙන්නට තැනක් නැතිව රිදුම් ඇති කළේ ය. මම අශිකා ගේ අතැඟිලි තද කොට අල්ලා ගෙන ඇයත් එක්ක ම කියුබිකල් එකෙන් පිටතට ආවෙමි. 

“බඩගින්නෙ ඉන්නෙපා හරිද…”

කියාගෙන මම කොරිඩෝරයේ දකුණු පසට හැරුණෙමි. ඇය වම් පැත්තට හැරී ගිනුම් අංශය වෙත ගියා ය.

කුලාන් ගේ රිය තුළ වෙනදා නො දැනුණ පීඩනයක් මට දැනිණ. දිගින් දිගට ම කුෂ්ලානි මගේ සිතිවිලි අද්දර හරස් වී සිටියා ය. මට ඇය ම සිහි විය. 

“නිම්නා”

ඔහු ගේ මුදු භාෂිතය මගේ තැවුල් පිරි සිත මත ඔසු ගල්වනවා හා සම විය.

“සර්…”

“ඒ තමයි කුෂ්ලානි”

“මං හිතුවා සර්”

මම මුදු මඳහසක් පෑවෙමි.

“දැං හොඳයි. සර්ට පාළු නෑ”

ඔහු එක එල්ලේ ඉදිරිය බලාගෙන රිය පදවමින් සිටියේ ය. මම මොහොතක් නිදහසේ ඒ මූණ දෙස බැලුවෙමි. හදවත් පටක නාය යන වේදනාව හරි රුදුරු ය. එහෙව් වේදනාවක් මඳහසකින් මුවහ කර ගෙන හිඳීම ඊටත් වඩා දරුණු දඬුවමකි.

“හැබැයි ඉතිං එහෙ කල්චර් එක නෙවෙයිනෙ සර් මෙහෙ තියෙන්නෙ. ඒක නිසා සර්ලට ඉක්මනට මැරි කරන්න වෙයි”

කුලාන් හුස්මක් ඉහළට අදිනා බවක් දැනිණි. නමුත් ඔහු එය කරන්නට උත්සාහ කළේ මට නොව ඔහු ට ම රහසේ ය.

“අශිකාත් ඇවිත් ඇහුවා ඒ කවුද කියල. මං කිව්ව සර්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල. මැඩම් ලස්සනයි. සර්ට හොඳටම මැච් වෙනව”

පෙරලා යමක් පවසනු වෙනුවට හෙතෙම කේන්තියෙන් රිය නලා හැඬවී ය. ඉදිරියෙන් යන රිය පසු කර යන්නට ඔහු ට ඒ සා හදිසියක් ඇති වූයේ කොහොමද කියා මට සිතා ගත හැකි වූයේ නැත.

“පිස්සෙක්”

ඒ රියෙහි රියදුරු ට හෙතෙම තනිව බැණ වැදුණේ ය.කුලාන් වෙතින් ඊට පෙර මා එබඳු හැසිරීමක් දැක තිබුණේ නැත.

ගොඩනැගිල්ල නීත්‍යානුකූල ව කුලාන් නමින් පවරා ගැනීමේ ලිය කියවිලි අත්සන් කිරීමෙන් අනතුරු ව ඔහු තරමක් සන්සුන් වී සිටියේ ය. අපි ඊළඟට බත්තරමුල්ල පැත්තේ පිළිගැනීමේ ශාලාවක් වෙන් කරවා ගැනීමට ගියෙමු. ‘බඩගිනිද’ කියා දෙවරක් ම ඔහු මගෙන් ඇසුවේ ය. මම ‘නෑ සර්’ කියමින් මඳහස පෑවෙමි. 

“කමු”

කාර්යාලය ළඟදී ඔහු රියෙන් බැස්සේ එහෙම කියමිනි. හදවත් කුටීර හතර මත ම එක වර පීඩනයක් යෙදුණා සේ යමක් සිදු විය. ඒ මොහොතේ මට දැනුණේ ඔහු වෙනත් පුද්ගලයෙකු නොව මගේ ම කොටසක් ලෙසිනි. ඒ මගේ කම කොහොම ඇති වූවක් ද කියා මම නො දනිමි.

“අශිකා නැතුව මෙයා ඉතිං කන්නෑ කියල දන්න නිසා මං එළියෙං කෑම කන්න කතා කළේ නෑ”

අපටත් පෙර කෑම ශාලාවට ගොස් සිටි කුලාන් අශිකා දෙස බලා කීවේ ය. නමුත් වෙනදා සේ ඕ මිත්‍රශීලී බවක් දනවමින් කතා කළේ නැත.

“මං අශීට කියලත් ගියේ ලේට් වුණොත් ලන්ච් ගන්න කියල. ඒත් බඩගින්නෙ ඉඳල මේ කෙල්ල”

“මං නැතුව තනියම කාල ආවනං බලාගන්න තිබුණා”

“තනියම නෙවෙයිනෙ…මාත් එක්කනෙ”

එක මොහොතකට ලෝකයේ භ්‍රමණය නතර විණි. නිහැඬියාව මහා ඝෝෂාවක් ව ඇහෙන්නට ගත්තේ ය. මම නෙතගින් අශිකා දෙස බැලුවෙමි. එතකොට ම මගේ ජංගම දුරකතනය හැඬවෙන්නට ගති. කසුන් ගේ අංකය දුටු මා තුළ මඳ නොරිස්සුමක් ඇති නොවුණා ම නොවේ.

“කියන්න”

“මං ඔයාගෙ ඔෆිස් එකට ඇවිත් ඉන්නෙ නිම්නා. රිසෙප්ෂන් එකට එන්න පොඩ්ඩක්”

අශිකා ට සේ ම කුලාන් ට ද කසුන් කී දේ ඇසෙන්නට ඇත. මම මගේ දිවා ආහාර ඇසිරුම් බඳුන වහන්නට එහි පියන අතට ගතිමි.

“කාල ඉන්න”

කුලාන් තදින් කීවේ ය. මට ප්‍රතික්ෂේප කළ නො හැකි ස්වභාවයක් ඒ ස්වරයෙහි තිබිණි. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x