fbpx

ඔබට ඇහෙනවනම් -21

කුලාන් ගේ විධානය මත කසුන් ගේ ඉල්ලීම නොතකා හැරීම ගැන කිසියම් දෙගිඩියාවක් මට නො දැනුණා ම නොවේ. නමුත් ඒ විදිහට කසුන් ට බලා ඉන්නට හැරීම ගැන විකෘති සතුටක් ද මට දැනිණ. ඔහු වෙනුවෙන් වසර කීයක් නම් මම බලා සිටියෙම් ද? කසුන් හැසිරුණේ ඒ බවක් නො දැන සිටියා මෙනි. ඒ නිසා මේ ලැබුණ අවස්ථාව මට මහ මෙරක් සදිසි ය. නමුත් හිතේ වූ දෙගිඩියාව වෙනත් හේතුවකට නෑ කම් කියන්නකි. ඒ, මා කුලාන් සමග දිවා භෝජනය ගනිමින් කසුන් ව පමා කරවීමයි. ඒ මගේ දරුවා ගේ පියා ය යන සිතිවිල්ල හිතට වද දෙත්දී මම අඩක් කෑ බත් පත වසා තබා නැගිට්ටෙමි. නැගිටින අතරේ දී අපේ සිව් නෙත් අතර හමු වීමක් විය. ඒ ඇස් වල තරවටුවක් වූ බව මතක ය. නමුත් මම ඒ නොදුටුවා සේ නික්ම ගියෙමි.

“තමුංගෙ හස්බන්ට තියෙන සැලකිල්ල නේ…පණිවිඩේ දීල කොච්චර වෙලාවක් මට මෙතන බලං ඉන්න වුණාද…”

මා අමුත්තන්ගේ කාමරයට ගිය ගමන් කසුන් නෝක්කාඩු කීම ඇරඹුවේ ය.

“මං ලන්ච් ගන්න ගමං හිටියෙ. ඔයා මට කලිං ඉන්ෆෝම් කරල ආවෙ නෑනෙ”

ඒ නො රිස්සුම ඒ මොහොතේ මට දැනෙන්නට ගත් එකකි.

“ආ…එහෙමත් කරන්න ඕනද දැං…ඒක මං කලිං දැනං හිටියෙ නෑනෙ”

“මොකටද දැං ඔයා ආවෙ…”

“මෙතනට මං එනවට ඔයා අකමැතියි වගේ…ඇයි…බොස් දකියි කියල බයද…”

“ක…සුන්. විකාර කියවන්නෙපා මෙතන. කාටවත් ඇහුණොත් එහෙම…”

හෙමිහිට මුත් තදින් මා එසේ කීවේ පිළිගැනීමේ නිලධාරිනිය දෙස යටැසින් බලමිනි. කේන්තියක් සේ ම පිළිකුළක්  ද එකවර මසිත් හි මෝදු වී ආවේ ය. ඇසුරු කරන ගැහැනුන් අතරේ දී තමන් ට වීරත්වය ආරෝපණය කර ගන්නට බොහොමයක් පිරිමින් තුළ යටපත් කළ නො හැකි ආශාවක් ඇතිවා විය යුතු ය. ඔවුන් ඇසුරු කරන පිරිමින් අතරින් තමන්ට හිමි වන්නේ කෙබඳු තැනක් දැයි දැන ගන්නටත්, ඒ ඉහල ම තැන ලෙස සිතන්නටත් පිරිමින් ට අවශ්‍ය ය.

“දැං මොකද්ද තීරණේ…”

ඊළඟට ඔහු අමුතු අහංකාරයකින් ඇසුවේ ය. මම ඇස් හකුළුවා ගෙන මගේ නො රිස්සුම හොඳින් පෙනෙන්නට සැලැස්වීමි.

“මොන තීරණයක්ද…”

“අම්මයි තාත්තයි කැමතිනෙ මගෙ යෝජනාවට…”

“ඒත් මං කැමති නෑ”

“මොකද්ද…”

ඔහු ගේ හඬ මඳක් උස් වූවේ ය. මම රවා බැලීමි.

“මොකද්ද කියන්නෙ…ඒකට හේතුව තමුසෙගෙ බොස් වෙන්න ඇති නේ…”

“වඳින්නං කට වහගෙන මෙතනිං යනවද…මට ජීවත් වෙන්න තියෙන රස්සාවත් නැති කරන්න හදන්නෙ නැතුව”

කුලාන් අප සිටින තැන පසු කොට ප්‍රධාන දොරටුව වෙත ගියේ ය. වීදුරු දොර ළඟ නැවතී මඳක් පිටත බලා උන්නේ ය.

“නිමිනා. මේක මං ළමය ගැන හිතල ගත්ත තීරණයක්. ඒකට බෑ කියන්න ඔයාට කිසිම අයිතියක් නෑ. ළමය ගැන හිතන්න උවමනාවක් නැද්ද…”

කියන්නට දේවල් පේළි ගැහී හිත ළඟට ආවේ ය. සිනහවක් ද මගේ තොල් ඇද නො කළා නොවේ. නමුත් කුලාන් අත පොවන මානයේ හිඳින නිසා මම කිසිවක් නො කියා ඉවසා ගතිමි.

“ඇයි හිනාවෙන්නෙ…මාව විහිළුක් වගේද පේන්නෙ…”

කුලාන් හැරී බැලුවේ ය. මම ඉක්මනට බිම බැලුවෙමි. 

“නිම්නා…ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද…”

කුලාන් උන් තැන සිට ම ප්‍රශ්න කළේ ය.

“නෑ සර්”

මම හෙමිහිට කොඳුළෙමි.

“මිස්ටර්”

කසුන් කුලාන් ව ඇමතූයේ මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙසට ය.

“ප්‍රශ්නයක් වුණත් ඔයා වොරි වෙන්න එපා. මොකද මේ ඉන්නෙ මගෙ වයිෆ්”

කුලාන් අප වෙතට ආවේ දිගු පියවර තබා අඩියට දෙකට ය. මගේ හද ගැස්ම උත්සන්න වෙනවා මට හොඳට ම දැනිණ.

“මිස්ටර්. ඔයාගෙ වයිෆ් එක්ක තියන ප්‍රශ්නයක් ගෙදරදි විසඳ ගත්තනං නේද හොඳ…මොකද මේක කම්පනි එකක්නෙ. අනිත් එක මං දන්න තරමට නිම්නාට හස්බන් කෙනෙක් නෑ. එයා ඩිවෝස් වෙලා ඉන්නෙ”

“ඒකද මේ ගෑනිව කාර් එකේ දාගෙන තැං තැං වල රවුං ගහන්නෙ”

“කසුන් ප්ලීස්. වඳින්නං ඔයා මෙතනිං යන්න. අපි පස්සෙ මේ ගැන කතා කරමු”

මම බැගෑපත් වුණෙමි. මගේ මුව පුරා දහදිය බිඳු නැගෙන්නට වූයේ ය. ඒ කොහොම බිය මුසු ලැජ්ජාවක් ද? 

“නිම්නා…ඔයා ඇතුළට ගිහිං වැඩ කරන්න”

කුලාන් විධානයක් දුන්නේ ය. නමුත් ඔහු එතැන කසුන් ළඟ දමා ඇතුළට යන්නට මට සිත් වූයේ නැත.

“කසුන් කරුණාකරල යන්නකො. ඔයා ආයෙ ඔෆිස් එකට එන්න එපා”

ඔහු මා ව එසේ නො කියා බැරි තත්වයට පත් කළේ ය.

“ආ එහෙමද නෝනා…”

කියා ගෙන හෙතෙම නික්ම ගියේ මා දවා හළු කරවන බැල්මෙනි. කාර්යාලයේ කිහිප දෙනෙක් ම එහෙන් මෙහෙන් එබිකම් කරමින් අප දෙස බලා සිටියහ. මම සිහිනයෙන් සේ ඇවිද ගොස් මගේ අසුනට වූයෙමි. අශිකා මවෙත දිව ආවා ය.

“කට්ටියම අද දැනගන්න ඇති මං ඩිවෝස් වෙලයි ඉන්නෙ කියල”

“මේ මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී ඇයි කියල හිතා ගන්න බෑ අප්පා”

ඇය කම්පිත ව සිටියා ය.

“සර් කොහොම මොනා හිතුවද දන්නෑ අශී”

“එක අතකට ඔහොම පුපුරල ගිය එක හොඳයි. ගිනි කන්දක් වුණත් දවසක පුපුරන්න ඕනෙ. වෙන දෙයක් වෙන්නෙ ඊට පස්සෙනෙ”

මේ පුපුරා ගියේ නම් ගිනි කන්දක් ම ය. විදාරණයේ කම්පනයෙන් මිදෙනු වස් මම වෙනදාටත් වැඩිය කාර්ය බහුල වීමි. වැඩ කරත්දී අනිත් සියලු ප්‍රශ්න අමතක වී යයි. මට නම් කිසිත් අමතක වූවා නොවේ. අමතකයි වගේ ඉන්නට මට ඕන වී තිබිණි.

හෝරාවකට පමණ පසු මා සිය කුටිය වෙත කැඳවූ කුලාන්, මාත් එක්ක එක්ව පසු ගිය මාසයේ පුවත් පත් වල අලෙවි තත්වයන් ගැන විමසීමක් කළේ, කිසිත් නො සිදු වූ බවක් හෝ සිදු වූ කිසිත් ඔහු ඒ හැටි වගකට නො ගත් බව මට හඟවන්නට විය යුතු ය.

“ඕක අමතක කරල දාන්න”

ටික වෙලාවක් වැඩ කර ගෙන යාමෙන් පස්සේ ඔහු කීවේ ය. මම මගේ විඩාපත් ඇස් තටු විවර කොට බැලුවෙමි. 

“සොරි සර්”

මගේ උගුරෙන් බැරෑඬි හඬක් නිකුත් විය. 

“කසුන් සර්ට කතා කරපු විදිහ ගැන මට ලැජ්ජයි”

“මොනා වුණත් මිනිහ ඔයාට ආදරෙයි වගේ නේ…”

“ඒක ආදරේද සර්…”

අප දෙදෙනා ම සුසුමක් හෙළුවේ එකට ය. ඊළඟට අපි අපේ දෙස බලා ගතිමු.

“දෙයක් අහන්නද…”

ඒ වචන දෙක හදවත් පටක කම්පනය කළත්, මම අහන්නයි කියන්නට හිස සැලීමි. නමුත් ඔහු අසන්නට යන දේ අසා සිටින්නට තරම් මගේ සවන් සූදානම් නැති බවක් ද මට දැනෙන්නට විය.

“කුෂ්ලානි මොකද කිව්වෙ…”

මම වහා බිම බැලුවෙමි. අද උදේ සිට හෝරා කීයක් නම් අපි   එක් ව වැඩ කළෙමුද? කුලාන් මේ ප්‍රශ්නය මගෙන් අසාවියි කී වතාවක් නම් මට සිතෙන්නට ඇත්ද? ඇය මගේ කුටියට ආවේ ඔහු ගේ අනුදැනුම ඇතිව ද, ඈ එසේ කළේ කිම ද යන ප්‍රශ්න බොහෝ සේ හිතට වද දීමෙන් අනතුරු ව හිත කොනක ගුලි වී නිසල විය. කුලාන් ඒ ගැන ඒ තරම් හිතන්නට නැතැයි අවසාන වශයෙන් මම හිත සකසා ගතිමි. නමුත් මෙතෙක් ඔහු හුස්ම ගෙන ඇත්තේ ඒ ප්‍රශ්නය සමගින් බව දැන් මා ඉදිරියේ අනාවරණය වී තියේ.

“තමුංගෙ දේවල් තැං තැං වල දාල යන එක හොඳ දෙයක් නෙවෙයි කියල”

මම කෙඳිරුවෙමි. කුලාන් ගේ විලවුන් වල වියැකී යමින් තිබෙන අන්තිම සුවඳ පොද මගේ ඇතුලාන්තයේ එහෙ මෙහෙ තැවරෙමින් ශෝකී විලාසයක් දැනවී ය.

“මට කොහොම අමතක වුණාද මන්දා ඒ පෑන…”

මා කතා කළේ ළඟ ම ඥාතියෙක් මිය ගිය ශෝකය මගේ ම හදට දනවන මළානික ස්වරයකිනි.

“මැඩම් කිව්වෙ ඇත්ත. ඒක මගෙ ජීවිතේට පාඩමක්”

“නිම්නා”

පහළට බර වී තිබි ඇස් පියන් පත් ඉහළට ඔසවා මම ඔහු දෙස බැලුවෙමි.

“ජීවිතේ හැම සිද්දියක්ම පාඩමක් තමයි. එහෙම බැලුවොත් ජීවිතේ කියන්නෙ පාඩම් පොතක්. ඒත් පාඩං කියල දෙන්න හදන අය ඒ පොතෙං කොච්චර ඉගෙනගෙන තියෙනවද කියන එක තමයි ප්‍රශ්නෙ”

මම දෙතොල් තර කොට පියා නිහඬ වීමි. වෙනදා ට කුලාන් ඉදිරියේ කියවෙන පණ්ඩිත කතා කිසිවක් අද මුවට ගලා එන්නේ නැත. මම මුළුමනින් හිතෙන් අකර්මන්‍ය වී හිඳිමි. 

මේසය මත වූ ඔහු ගේ ජංගම දුරකතනය හැඬවෙන්නට වූයේ ය. ‘කුෂී’ කියන නම මම එහි දුටිමි. ක්ෂණික විදුලි දහරක් හදවත් කුටීර හරහා පැතිර ගියේ ය.

“කියන්න”

ඔහු අසුනේ හරි බරි ගැහුණේ ය. ඇය සිංහල ද ඉංග්‍රීසි ද යොදා ගනිමින් මොන මොනවා හෝ කියවූවා ය. කුලාන් කළේ ඉඳ හිට හ්ම් මිටි තැබීමකි. 

“ඕකේ අයිල් කම්”

අන්තිමට ඔහු දුරකතනය තැබුවේ එහෙම කියමිනි. එන්න එන්න ම මා බිඳ බිඳ හිස් ව යන බවක් මට දැනෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x