ඔබට ඇහෙනවනම් -22

දුක වූ කලී වැඩ කරන්නට ජවය සපයන ඉන්ධනයට කියනා නමකි. අවිනිශ්චිත නො වුණත් අයිතියක් නැති දුකක් මගේ හදවත් කුටීර වල වන රුධිරයේ දිය කර ගෙන සිටියෙන්, මා ද ඒ දුක උහුලා ගන්නට වැඩ කළ යුතු ව තිබිණි. එහිදී මම පණ ඇති යන්ත්‍රයක් සේ වීමි.

කසුන් කාර්යාලයට ඇවිත් කෑ කෝ ගැසීමත්, ඊට කුලාන් මැදිහත් වීමත් පිළිබඳව කාර්යාලයේ සහෝදර සේවකයින් එක එක කතා කියන්නට ඇත. නමුත් මගේ මුහුණට ඔවුන් කිසිවෙකු කිසිවක් කීවේ නැත. ‘නිම්නා ඩිවෝස් වෙලාලු ඉන්නෙ’ යන ආරංචිය නම් ලැව් ගින්නක් සේ පැතිර ගොස් තිබිණ. 

ඇයි දෝ මන්දා ඔය එකක් ගැන හෝ මගේ හදවතෙහි කලබලයක් නො විණි. මා හිටියේ එන්නතක් ගසා හිරිවට්ටන ලද එකියක ගානට ය. ඉතා අඩු මාත්‍රාවකින් පවා මා රොබෝවරියක කල ඉන්ධනය වනාහි කුෂ්ලානි ය.

එක වරක් පමණක් දුටු, අංජන තවරා නිල්වන් කරන ලද ඉතා දිගු හා තියුණු වූ ඇගේ ඇස් මගේ මතකයෙන් අමතක ව ගිය මොහොතක් ඉනික්බිති උදා වූයේ නැත!

කසුන් කාර්යාලයට විත් කළ හදිය ගැන මම තාත්තා ට කීවෙමි. ඔහු ට බලා ඉන්නට බැරි වී තියෙන්නේ මා හිස කෙලින් තබා ගෙන ජීවත් වීම බවත්, ඒ වගේ මිනිසෙකු පාමුල ආත්මය විනාශ කර ගන්නට යළි මා කොහෙත් ම මට ඉඩ නො තබන බවත් ඉතා ආවේගශීලී ව කීවෙමි. තාත්තා නිහඬ කල්පනාවකට වැටී අරමුණක් නැති බැල්මක ඔහේ හිටියේ ය.

“අනේ මන්දා ළමයො මට මේ පපුවෙ අමාරුවක් තියෙනවය කියල දොස්තරල මෙච්චර කල් කිව්වෙ බොරුවක්ද කියලත් හිතෙනව…”

උන්හිටි ගමන් තාත්තා කී කතාවේ අගක් මුලක් ගැන හිතා ගත නොහී මම විපිළිසර වීමි.

“එහෙම ලෙඩක් තිබුණනං මේ සිද්ද වෙන දේවල් වල හැටියට මං මෙහෙම ඉඳීද…එක පාරටම හුස්ම ටික නතර වෙලා යන්නෙ නැතුව…”

“අනේ තාත්තෙ”

මම තාත්තා හිඳ උන් හාන්සි පුටුව ළඟ බිම හිඳ, ඔහු ගේ උකුලෙහි හිස හොවා ගතිමි. ඉස්සර ම දවස් වල තාත්තා ගේ සරම් තොටිල්ලේ නැලැවුණ යුගය හීනයෙන් සේ හිතේ ඇඳී මැකී ගියේ ය. 

“ආයෙමත් බඳින්න මට ඕන නෑ තාත්තෙ. මන්දා…දැම්මනං ඒ ගැන මට හිතන්නවත් බෑ. ටික දවසක් මෙහෙම ඉන්න දෙන්න. මට මගෙ අරමුණු ටික ඉෂ්ට කර ගන්න ඕනෙ”

තාත්තා මගේ හිස මතක් අතක් තැබුවේ ය. ඒ අත සීතල ව ගොස් තිබිණ. මම මගේ අතකින් තාත්තා ගේ අතක් අල්ලා ගතිමි.

“මං දුර්වල කෙල්ලෙක් නෙවෙයි තාත්තෙ. කසුන් ගෙන් දික්කසාද වෙලා මේ ඉන්න නිම්නා ශක්තිමත් ගෑනියෙක්. තාත්තා මං ගැන බය වෙන්න එපා”

පසු දා කාර්යාලය ට යන්නට පෙර මම අම්මා ව අස්ථි ශල්‍ය වෛද්‍යවරයෙකු ට පෙන්වා සැත්කම සඳහා දින ලබා ගත්තෙමි. ත්‍රීරෝද රියක නංවා අම්මා හා තාත්තා ව ගෙදර යවා කාර්යාලය ට යත්දී මගේ හිතේ වූයේ සැනසිල්ලකි. නමුත් කුලාන් ගේ කුටිය තුළ කුෂ්ලානි හිඳිනු වීදුරු පව්රෙන් දුටු ඇස් බිමට හැරුණේ ය. හදවත හැකිළී යනවා මට දැනිණ.

“අරය පිටිපස්ස හැරිල ඔයා දිහා හොඳට බලං හිටිය”

මවෙත දිව ආ අශිකා කීවා ය.

“කුෂ්ලානි. හරිනං එයාට පේන්නෑනෙ ඔයා එනව. එයා වාඩි වෙලා ඉන්නෙ අනිත් පැත්තට හැරිලනෙ. සර් බලපු නිසා වෙන්නැති එයා එච්චර උනන්දුවකිං බලන්න ඇත්තෙ”

වැරදීමකින් හෝ ඒ වීදුරු කුටිය දෙස නො බලන්නට මම ප්‍රවේසම් සහගත වීමි. නමුත් මා මොන වරදක් කළ නිසා ද මන්දා කුලාන් ගෙන් සමු ගෙන යන ගමන් ඇය ආවේ මගේ කුටියට ය.

“මැඩම්…”

මම වහා අසුනෙන් නැගිට ගතිමි. ඇය සිනහවක් නැති වතින්, අතින් මට හිඳගන්නයි ඉඟි කරමින්, අනවසරයෙන් ම මගේ මේසය ඉදිරියේ වන අසුන් දෙකෙන් එකක හිඳ ගත්තා ය. වායු සමීකරණ සීතල, මගේ පංචස්කන්ධය ඍණ අගයක් දක්වා සීතලෙන් ගල් කරවන ලදී.

“කුලාන් මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්. ඇත්තටම ඒ වචනෙ ගැලපෙනවද මන්දා…අපි කාලයක් එකට ජීවත් වුණා. හස්බන් ඇන්ඩ් වයිෆ් වගේ…”

ඈ කියන්නේ මට අලුත් දෙයක් නොවන නිසාවෙන් කිසිදු කැළඹීමකින් තොර ව මට ඇදෙස බලා සිටිය හැකි විය. සාමාන්‍යයෙන් මගේ මුව මත නිරන්තර වන මඳහස ද නො වෙනස් ව පවත්වා ගන්නට මට ඕනෑ වී තියෙන්නට ඇත.

“මැඩම්…මට ඒව කියන්නෙ…”

තවත් ගැහැනියක ඉදිරියේ නිවට නියාළු වනු වෙනුවට කෙළින් බලා කතා කරන්නට හැකි වීම ගැන මම මගේ ආත්ම ශක්තියට ස්තුතිවන්ත වීමි.

“අයි සෝ ට්වයිස්. දෙසරයක්ම මං දැක්කා. එයාගෙ ඇස් ඔයා දිහා බලන විදිහට මං කැමති නෑ”

මම යටි තොල දසන් අතරට ඇද ගතිමි. ඒ මගේ ලවන් අතරට පැමිණි සිනහව ඇගෙන් සඟවා ලනු පිණිස ය. එක්වර ම උස් කඳු මුදුනකට ඔසවා තැබුණා වන් ප්‍රීතිමක් බවක් මට දැනෙන්නට ගත්තේ ය. මගේ දෑස් පවා සිනහ වෙන්නට ඇත. 

ඒ මෙතෙක් දවස් මගේ හදවතට සීමා වී තිබූ දෙයකි. මට කුලාන් විශේෂිත වූයේ ය. මම ඔහු කෙරේ වසඟයට පත් වෙමින් සිටියෙමි. පාසල් සමයේ දී ජනප්‍රිය චරිත කෙරේ උන්මාදයට පත් වූවා සේ මම කුලාන් ට පිස්සු වැටෙමින් සිටියෙමි. ඔහු මට කරුණාවෙන් සැලකුවේ ය. නමුත් ඔහු ගේ ඇස් වල මා කෙරේ අමුතු බැල්මක් වනවා ය කියා හිතන්නට තරම් දිරියක් මට වූයේ නැත. අවුරුදු කිහිපයක් ඔහු සමග එකට ජීවත් වූ ගැහැනිය ඇවිත් මගේ මූණ දෙස බලාගෙන දැන් එහෙම කියයි. ඇගේ ඇස් වල වන උමතු ඊර්ෂ්‍යාව මම ඉතා සමීප ව විඳ ගතිමි.

“මැඩම් ඉතිං…මං මොකද්ද ඒකට කරන්නෙ…”

මා එය කීවේ කිසිදු අහංකාරයකින් නොවේ. ඉතාමත් අහිංසකව ය. නමුත් ඕ මා දැවී හළු වී යන ලෙස මට රැව්වා ය. අනතුරුව වදනකුදු නොදොඩා නික්ම ගියා ය.

ඈ ගිය ගමන් කුලාන් මා කැඳවී ය.

“මොකද්ද වුණේ…”

මම පසුබෑවෙමි. ඔහු ට ඒ කතාව කොහොම කියන්නද? නමුත් මුවගුලු දමා ගෙන ඉන්නට ඔහු මට ඉඩ දුන්නේ නැත.

“කියන්න නිම්නා. සිද්ද වෙච්ච දෙයක් මාත් දැනගන්න ඕනනෙ”

“සර්…ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. මැඩම්…පොඩි වැරදි වැටහීමක ඉන්නෙ”

මගේ හිස වඩාත් බිමට හැරවිණි. තත්පර කීයකට පස්සේ ද මන්දා යළි මා හිස නගා බලන විටත් කුලාන් මදෙස බලා ගෙන ම සිටියේ ය. කුෂ්ලානි කී ලෙස ඒ බැල්ම විශේෂිත ද කියා දකින්නට මට ඕනා විය. ඔහු මදෙස බලන්නේ ඇදෙස බලනාකාරයෙන් නොවේ ද? මෙතැන වැඩ කරනා අනිත් සේවකයන් දෙස බලනාකාරයෙන් නොවේ ද? 

“සර්ට පුළුවන්නං…මං දිහා වෙන විදිහකට බලන්න. මැඩම් කැමති නෑ…සර් මං දිහා ඔහොම බලනවට”

මට වචන නො පැටළුණා පුදුම ය. කුලාන් දිගට ම වෙනස් නො කර ගත් පෙර බැල්මෙන් ම බලා සිටියේ ය. මගේ මුළු සිරුර ම වෙව්ලන්නට ගන්නවා මට දැනිණ. මම දිව්‍යමය ප්‍රීතිය ස්පර්ශ කරමින් සිටියෙමි. එය මනුස්සාත්ම භවයෙහි දී පහසුවෙන් ළඟා විය නො හැකි තත්වයකි. අප ඒ ප්‍රීතිමය මනෝ භාවයට  පත් වන බවට කෙතෙක් පුරසාරම් දෙඩවූව ද ප්‍රීතියේ  උපරිම තලයට ළඟා වීමේ පරිපූර්ණත්වය මා නම් ඒ වින්දා ම ය. 

තත්පර කිහිපයකට පස්සේ සිරුරේ ගැස්ම අඩු වී ගොස් මම සන්සුන් වෙමින් සිටියෙමි. ඉනික්බිති මම බිම බලා ගතිමි.

කුලාන් සිනහ වෙන හඬ යන්තම් ඇසිණ.

“කුෂ්ලානි!”

තමන්ට ම එසේ මුමුණා ගනිමින් හෙතෙම අසුනේ පිටුපසට වැටුණේ ය. තත්පර කිහිපයක් ඔහු නෙතු පියාන ශාන්ති සුවයකට පත් වෙන හැටි මම බලා සිටියෙමි. මා බලාපොරොත්තු නොවූ මොහොතක යළි ඇස් ඇරි කුලාන් පුටුව කිරි කිරි හඬ නංවමින් ශක්තිමත් අශ්වයෙකු සේ මේසය ඉදිරියට බර වී මවෙත නැඹුරු වූයේ ය.

“ඩොක්ටර් මොකද කිව්වෙ…”

“ඇඩ්මිට් වෙන්න කිව්ව සර්…අම්මට ආයෙ ඇවිදින්න පුළුවන් කරල දෙන්නං කිව්ව”

ඒ වචන ඇහුණ වෙලේ මගේ හිතට දැනුණ සැනසීම මේ මොහොතේත් මගෙන් දර්ශනය වන්නට ඇත.

“සර්ට පිං සිද්ද වෙනව”

“මට ඕනෙ පිං නෙවෙයි”

‘එහෙනං’ කියා අසන්නට මට ඕනා වුණත් ඇයි දෝ මන්දා එසේ අසා ගත හැකි දිරියක් වූයේ නැත.

“හරි. එහෙනං වැඩ ටික කරං යමු. අර කුඩ ටික අද ලැබෙනව නේද…”

“ඔව් සර්”

“ඒජන්ට්ස්ලටයි ඩිස්ට්‍රිබියුටර්ස්ලටයි කතා කරල හෙට මීටින් එක කන්ෆර්ම් කරන්න”

“ඕකේ සර්”

කුලාන් පරිගණකය දිග හැරියෙන් මම අසුනෙන් නැගිට ගතිමි.

“නිම්නා”

එවර ඒ හඬ දඟකාර වූයේ ය.

“දැං මං කොහොමද ඔයා දිහා බලන්න ඕනෙ…”

මඳ අපහසුතාවයක් හදට දැනිණි. ‘මැඩම්ගෙන් තමයි අහන්න වෙන්නෙ සර්’ කියා කියන්නට තිබුණා නම් හොඳ ය. නමුත් මම දෙතොල් තද කොට පියාන ඉක්මනින් එතැනින් නික්ම ගියෙමි.

මගේ කුටියට ගොස් අසුන් ගත වෙන්නට හදත්දීත් ඔහු ගේ ඇස් හා තොල් මත අර දඟකාර බැල්ම තියෙනවා මට දකිත හැකි වූයේ ය. කුලාන් සෙල්ලමක් කරන්නට හදනවා ද? මම කිසියම් ගැස්මකට ලක් වීමි. නමුත් මා තුළින් කිසිවෙක් කෑ ගසා කියන්නට වූයේ ඔහු විශ්වාසවන්ත බව යි.

විශ්වාසය!

එය වූ කලී හදවතක ස්වයංජාත වන, විශ්වයෙහි ඇති සුන්දරතම හා සුව දායක ම හැඟීම ය.

අම්මා රොහල් ගත වී සැත්කමට බඳුන් වූවා ය. එක වතාවක දී එක් කකුලක් පමණක් සැත්කම් කොට, අනෙක තව මාස කිහිපයක දී සිදු කිරීම වෛද්‍ය අදහස වූයේ ය. අම්මා ව රෝහලෙන් නිදහස් කරන දා කුලාන් එහි ආවේ ය. අම්මා ගේ ඇස් වල කඳුළු පිරෙන හැටි මම දුටිමි.

“පුතාට මේ ලෝකෙ තියෙන හැම යහපත් දෙයක්ම සිද්ද වෙන්න ඕනෙ. හිතේ තියෙන හැම පැතුමක් ම ඉෂ්ට සිද්ද වෙන්න ඕනෙ”

ඔහු ගේ අතක් අල්ලා ගෙන අම්මා හදවතින් ම පැතු පැතුම, මමත් එකත් පස් ව අනුමෝදන් කළෙමි. කුලාන් ගේ ඇස් වල අලුත් දීප්තියක් විය.

“අම්ම ඔහොම ප්‍රාර්ථනා කරද්දි මට බය නෑ. එහෙනං හිතේ තියෙන දේ ඉෂ්ට වෙයි”

දරුවෙකු දෙස බලා සිටිනා මවක ගේ හදක විය හැකි දෝරෙ ගලන සෙනෙහස මගේ ඇස් වලින් පිටාර ගැලුවා දැයි නො දනිමි. මිනිස් සම්බන්ධතා තුළ එවන් දැඩි පෘථග්ජන හැඟීම් පවතින බව මා ඉගෙන ගනිමින් සිටියේ අලුතෙනි.

“නිම්නා”

පිරිමි කටහඬකට, ගැහැනු හිතක රිදී සීනු හඬවන්නට හැකි  ය.

“සර්…”

“බිල් එක සෙට්ල් කරල එමුද…”

විදුලි සෝපානය තුල වූයේ අප දෙදෙනා පමණකි. මගේ සිරුරේ රුධිර උෂ්ණත්වය  සෙල්සියස් අංශක ගණනකින් ඉහළ ගොස් ඇතිවා මට දැනිණ. සෝපානය පහළට යන්නට හදනකොට ම මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස කුලාන් මා සිය ළයෙහි හොවා ඉතාමත් දැඩි ව වැළඳ ගත්තේ ය.

ඒ කොහොම නිමේෂයක් ද කියා පැහැදිලි කොට කියන්නට මා දන්නේ නැත. හදවත ගැස්ම උච්චස්ථානයකට පත් ව, ඉනික්බිති මම නිවෙන්නට වූයෙමි. මේ ජීවිතයෙහි මා මුළුමනින් ජීවත් වූ මිහිරිතම නිමේෂය එය බව මරණ මංචකයේදීත් මට සිහි කළ හැකි වනු ඇත.

ඔහු ගේ සුවඳවත් ග්‍රහණයෙහි හිඳිමින්, ඒ පුළුල් උරයට මතින් මා බලා උන්නේ සෝපානයේ තොරතුරු පුවරුව දෙස ය. කවුරුන් හෝ එය මග නතර නො කිරීම ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වෙමි. තට්ටු පහක කාලය මට ඒ උණුහුමෙහි සිහිල විඳ ගන්නට ලැබුණේ එබැවිනි.

අප ට සෝපානයෙන් පිට වෙන්නට නියමිත බවට සංඥා හඬ නිකුත් වෙත්දී මා ඒ ග්‍රහණයෙන් මිදුණේ බලයෙන් සේ ය. දොර හැරෙන්නට මොහොතකට පෙර ඔහු මගේ කම්මුලත් ගෙලත් අතර මිහිරි අවකාශයේ සීතල හාදුවක් තැවරී ය.

විදුලි සෝපානයෙන් පිටතට අඩියක් තබා ගත නො හැකි තරමට මගේ දෙපා ගල් ගැසී තිබිණ. කුලාන් යන්තම් මගේ බඳෙහි සුරත තබා මා ඒ දුෂ්කර  දුර්ගයෙන් එතෙර කරවූයේ ය.

5 6 votes
Article Rating
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
4 months ago

❤️

Sudharshana Abeyrathne
4 months ago

ගංගා ඒ දෙන්නට දුකක්නම් දෙන්ඩ එපා.
මේක කියවන මගේ පපුව පැලෙයි

දිල්හාරා ❤️
4 months ago

එක හුස්මට කියෙව්වා කොටස් විසිදෙකම…..
අනේ හරිම ලස්සනයි ❤️

Hemi
4 months ago

🧡🧡🧡🧡

Madhushika Vitharana
4 months ago

23 kotasa dannako ikmanata.. Enakam balan inne..

Madhushika
4 months ago

මේ කොටස මං කී සැරයක් කියෙවුවද මන්දා.. හරිම ලස්සනයි..