ඔබට ඇහෙනවනම් -23

බිල ගෙවා ඔහු රිසිට් පත දුන්නේ මගේ අතට ය. මගේ අත් සීතලෙන් මිදී, උගුර ගොළු වී තිබුණා ට හිත වින්දේ කිසි දා වචන වලට නැගිය නො හැකි ප්‍රීති ප්‍රමෝදයකි. ඔහු ගේ ඇස් වල ප්‍රීතිමත් මිනිසෙකු ගේ සතුටත්, ආදරණීය මිනිසෙකු ගේ ආදරයත් විය. දිගු කොරිඩෝරය දිග ඔහු ගේ සපත්තු ගැටෙන හඬ මගේ පපුව පත්ලෙන් මට ඇසිණි. ඒ හඬ අසමින් මම හෙමිහිට පිය තැබුවෙමි. කුලාන් ගේ විලවුන් සුවඳ මගේ පෙනහලු ආදරණීය උමතුවකින් පුරවා දමා තිබිණි. ඔහු වෙනුවෙන් මියෙන්නට වුව හැකි බවක් මට දැනුණේ කුමක් නිසා දැයි මා දන්නේ නැත. සෝපානයට තවත් කෙනෙකු නැග සිටියේ ය. කුලාන් මගේ සිරුරේ ගෑවෙන නො ගෑවෙන දුරකින්, මට යාන්තම් ඉදිරියෙන් සිටගෙන සිටියේ මහා රැකවලෙකු මෙනි. පිටුපසින්, ඒ උර මඬල මත කම්මුලක් තියා ඇස් පියාන සුව නින්දකට වැටෙන ලෝභී ගැහැනු සිතිවිල්ල මැඬගෙන මම ඒ තත්පර කිහිපය ගත කළෙමි.

අම්මා සිටින කාමරයට යන තුරුත් අප අතර වචනයක් හෝ හුවමාරු වී තිබුණේ නැත. 

“යමු. මං ඕගොල්ලංව ගෙදරිං දාන්නං”

කාමරයට ආ ඉක්බිති අම්මා ත් තාත්තා ත් ඉදිරියේ හෙතෙම කීවේ ය. මම අම්මා දෙස බැලුවෙමි.

“අනේ…තවත් අපි නිසා කරදර වෙන්න ඕන නෑ පුතේ”

“අපිට ටැක්සියක් අරං යන්න පුළුවන් සර්”

තාත්තා කුලාන් ගැන සිතන්නේ කොයි විදිහට ද කියන කුකුස මා තුළ විය. කොහොමටත් අම්මා වාගේ තාත්තා පිටස්තරයින් ට ළෙංගතුකම් පෙන්වන්නට යන්නේ නොවේ. කුලාන් සම්බන්ධයෙන් ඔහු ගේ ප්‍රතිපත්තිය, ඉස්සර ඉස්කෝලේ යන කාලේදී මග තොට හිඳ මට විහිළු කරන කොල්ලෙකු පිළිබඳව වූ එකය කියා මට හිතෙමින් තිබුණේ ඇයි කියා ද නො දනිමි.

“ආයෙ ටැක්සි ගන්න ඕන නෑ තාත්තෙ. අම්ම ගෙ බඩු ටික පැක් කර ගන්න නිම්නා”

තාත්තා එරෙහි ව යමක් කීවේ නැත. කුලාන් ගේ මුදල් වලින් අම්මා ගේ සැත්කම කළ එකේ, ඔහු ගේ රියෙහි නැගී ගියාම මොකදැයි තාත්තා හිතා ගන්නට ඇත. කුලාන් ට කීකරු ව මම අඩුම කුඩුම එකලාසයක් කළෙමි. මා හා තාත්තා බෑග් මලු අතින් ගත්දී, අම්මා නංවා ගත් රෝද පුටුව තල්ලු කළේ කුලාන් ය. මට අඩුවකට දැනුණේ මගේ පුතා විතර ය. නො එසේ වී නම් ඒ මොහොතේ මා සර්ව සම්පූර්ණ ගැහැනියකි.

අප නැගුණේ මුලින් අප ගිය විදුලි සෝපානයට ම ය. කුලාන් ගේ ඇස් අමුතු අඩ සිනහවකින් මදෙස බැලුවේ ය. ඔහු ගෙන් ඇස් මුදා බිම බැලුවත් මට දිගට ම එසේ සිටිත හැකි වූයේ නැත. යළිත් මා ඔහු දෙස බලත්දීත් කතාවක් සඟවා ගත් ඒ සිනහව ඔහු ගේ මුව මත නළියමින් තිබිණි. ලජ්ජාශීලී ස්ත්‍රී හැඟීමකින් මගේ හදවත නැහැවෙන්නට විය.

අම්මා ව රියෙහි පසු පස අසුනට නැංවූ කුලාන් ‘නගින්න තාත්තෙ’ කියමින් ඉදිරි දොර තාත්තා ට හැර දුන්නේ ය. හදවත වාං දමන ආඩම්බරයකින් යුතු ව මම අම්මා ළඟින් හිඳ ගතිමි.

රිය පසුපස අසුනේ හිඳ ගෙන උන්නාට හිතෙන් මා හිටියේ රෝහලේ විදුලි සෝපානයේ ය. කුලාන් ගේ දැඩි ග්‍රහණයේ උණුහුම, ඒ වෙලාවේ නො දැනුණ ආශ්වාදයේ මිහිර, හරියට ම මට දැනෙන්නේ දැන් ය. ගෙල ඉහත්තාවේ තිබී, ඔහු ගේ ලවන් සිසිල මට හමු විය. මගේ සියොළඟ සීතලෙන් වෙව්ලා ගියේ ය. මම යටි තොල තදින් සපා ගෙන ඉදිරිය බැලුවෙමි. කුලාන් ගේ ඇස්, ඉදිරි කැඩපතින් මා ග්‍රහණය කළේ ය. ඒ තොල් පෙති අතර තවමත් අර දඟකාර කතාව විය. මම නිසංසලේ බිම බැලුවෙමි.

“අපි මෙහෙමම ඔෆිස් එකට යංද නිම්නා…ප්‍රෙස් එකටත් යන්න ඕනෙ යන ගමං”

මා හිතා උන්නේ අද යළි කාර්යාලයට නො යන්න ය. නමුත් කුලාන් ගේ වචනයකට එරෙහි විය නො හැකි මහ බලවේගයක් ඔහු වෙතින් මගේ හදවත වෙත විහිදුණේ ය. 

රියෙහි ඉදිරි අසුනේ, වෙනදා ට නො දැනෙන අයිතිවාසිකමක් මට දැනිණ. ඔහු ළඟ, මගේ ය යන හැඟීමක් මට විය. නමුත් ඒ සියල්ල වූයේ ඇතුලාන්තයේ ය. බාහිරයෙන් මම වෙනදාටත් වැඩිය ඔහු ට දුරස්ථ ව උන්නෙමි.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -33

පොළෝ හද ගැබ ඉරි තලා යන ලෙස දුක් දෙන්නට අහසට පුළුවන. ඉරි තලා ලේ ගලත්දී දරා ගන්නට පොළොවක් පැකිලෙන්නේ ත් නැත. නමුත් ඒ සියල්ලෙහි සීමාවක් තිබේ. අසීමිත ව පොළොව පෙළීමෙන් පසු දරා ගත නො හැකි ව අහසක් ඉකි බිඳ හඬන්නේ ය. එකඳුළු මහ වැහි වලින් දොවා ලන පොළොවට එතෙක් විඳි කඨෝර කර්කෂ ඍතුව අමතක ව යන්නට ගත වන්නේ නිමේෂයකි. 

මම ත් මහ පොළොව සේ වෙමි. කුලාන් ගේ දඩබ්බර පිරිමිකම් අස, මා පසු කර ගෙන ආ කටුක ගිම්හානය ඇසිල්ලකින් අතුරුදන් ව තිබේ.

නමුත් පොළොවක් කිසි දා අහසින් කිසිත් ඉල්ලා සිටින්නේ නැත. ලබා දෙන සුඛ දුක්ඛ සියල් දෝමනස්සයන් සම සිතින් විඳ ගන්නවා පමණකි. ඈතින් හිඳ බලා සිටිනවා මිස ලං කර ගන්නට හෝ සතු කර ගන්නට කිසි දා සිතන්නේ නැත. අහස හා පොළොව අතර වන සියල්ල මේ තරම් සුන්දර වන්නේ එබැවින් යයි නො සිතිය හැකි ද? පොළොවෙහි හිඳ අහස සිඹින මහ කඳු, අහසින් එළැඹිය හැකි බොහෝ පිරිපත වලින් පොළෝ ගැබ රැක ගන්නා විසල් වනස්පතීන් සේ ම රැලි නගනා සයුරු, මුහුදු, පොකුණු හා දිය කඳුරු ද අහස හා පොළොව අතර කාලයක් තිස්සේ පවතින අප්‍රකාශිත ප්‍රේමයක ප්‍රතිඵල නො විය හැකි ද? 

මගෙන් සුසුමක් ගිලිහුණේ මටත් නො දැනී ය.

“ඇයි…”

ඒ හඬෙහි ඉහ වහා ගිය ආදරයක් තිබිණි. එවන් ආදරයකට බැඳුණු විට වෙන් වෙන්නට වෙන්නේ පපුව පැළී මිය යාමෙනි. මට හදිසියේ ම කන්ථක සිහි විය. සිදුහත්  ගෙන් සදහට ම  වෙන් වන්නට වෙන බව දැනගත් වෙලේ කන්ථක ගේ හදවත පැළී මිය ගියේ ය. බොහොමයක් ගැහැනුන් ප්‍රේමය විෂයේ කන්ථක කුලයේ ය. මගේ හදවතෙහි භූමි කම්පාවක කම්පනය විය. මම හුස්මකින් රිදුම් පිරිමදින්නට උත්සාහ කළෙමි.

“මොනාද කල්පනා කරන්නෙ…ම්…”

ඔහු ගේ වත දෙස බල මම මන්දස්මිතයක් පෑවෙමි. පුළුවන් කමක් වී නම් මගේ ඇස්, ඔහු ව මා තුළට උරා ගනු ඇත.

“මොනාත් කල්පනා කරන්නෙපා”

කුලාන් වචන තෝරා බේරා ගන්නේ කල්පනාවෙන් කියා මට සිතිණි.

“නෑ සර්…මං මොනාත් කල්පනා කරන්නෑ. සර් බය වෙන්නෙපා. ඒ තුරුල් කර ගැනීම වෙනුවෙං සර්ගෙං මං මොනාත් ඉල්ලීම් කරන්නෑ. ඒත් ඒ වෙනුවෙං මගෙ මුළු සේසතම වුණත් සර්ට දෙන්න මං ලෑස්තියි. ඒක මේ වෙනකල් මං ඇත්තටම ජීවත් වෙලා තියෙන එක ම මොහොත. ඒ මොහොත මට දුන්නට සර්ට පෙරලා දෙන්න දෙයක් ඇත්තට ම මට නෑ. දැං ඉතිං ජීවත් වෙන ඉතුරු ටික කාලෙට පිරිමියෙක්ගෙං මං මොනවත්ම බලාපොරොත්තු වෙන්නෑ. මේ ආත්මෙදි මට මේ ඇති. මැරෙනකල් තුරුල් කරං ඉන්නත්, මැරෙද්දි තුරුල් කරං මැරෙන්නත් මට මේ ඇති…”

මම කතා කරමින් සිටියෙමි. නමුත් ඒ වචන වලින් නොවේ. මගේ හෘදය සාක්ෂියේ හඬ ඔහු ට ඇහෙන්නට විදිහක් නැත. නමුත් ඒ ඔහු ට දැනුණා නම්!

අපි මුද්‍රණාලයට ගොස් යළි කාර්යාලය වෙත ගියෙමු. අප දෙදෙනා ට අදාල වූ කිසිත් ඔහු කතා කළේ නැත. ඒ වෙනුවට රාජකාරී කටයුතු ගැන අටෝරාශියක් දේවල් මා හා කියන්නට ඔහු ට තිබිණි.

“මගෙ හිතේ ලොකූ හීනයක් තියෙනව නිම්නා. බිස්නස් එක උපරිමයට දියුණු කරන්න. මෙහෙම නිකං පත්තර කාරයෙක් වෙලා ඉඳල වැඩක් නෑ. මට ඕනෙ මීඩියා ෆීල්ඩ් එකේ මුලිංම කියවෙන බිස්නස්මන් කෙනෙක් වෙන්න. ටීවී චැනල් එකක් එෆ් එම් චැනල් එකක් පටං ගන්න තැනට යන්න ඕනෙ. ඒක පහසු ගමනක් වෙන්න විදිහක් නෑ නිම්නා”

“හැබැයි බැරිත් නෑ සර්”

ඔහු මදෙස හැරී බැලූ බැල්මෙහි වූයේ මානව ඉතිහාසය පුරා පිරිමි දෑස් වල වූ, ඒත් බොහොමයක් ස්ත්‍රීන් ට කියවා ගත නො හැකි වූ කතාවකි. ඒ අරමුණ යශෝදරා හැඳින්නා ය. ඈ පමණක් නොව ඉතිහාසය පුරා අල්පයක් පමණ වූ ස්ත්‍රීහු ඒ අරමුණ හැඳින්නෝ ය. ඔවුහු ලෝක ඉතිහාසයේ සදාකාලික ප්‍රේමවන්තියන් ගේ සලකුණ තැබූහ.

අප කාර්යාලයට එන විට කුෂ්ලානි කුලාන් ගේ කුටියෙහි හිඳ උන්නා ය. දොර හැරෙත්දී ම ඈ හැරී බැලූයේ කුලාන් ට ඔබ්බෙන් මදෙසයි. ඒ ඇස් වල වූ හැඟීම් දැන හැඳින ගන්නට තරම් කාලයක් මම ඒවා දෙස බලා නො සිටියෙමි.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 2

“මොකද්ද වුණේ…”

මා දුටු වන අශිකා මගේ කියුබිකල් එකට දිව ආවා ය.

“ඇයි…මොනාත් නෑ. අම්මව ඩිස්චාජ් කළහම ගෙදර බස්සල මේ ආව”

මම හැකි තාක් සාමාන්‍ය තත්වයෙන් පිළිතුරු දුන්නෙමි. නමුත් ඕ අමුතු බැල්මකින් මදෙස බලා ඉන්නට වූවා ය.

“මො…කද…”

“මොනාත් නැති වෙන්නනං බෑ. කෙල්ලගෙ මූණෙන්නං පේන්නෙ මොනා හරි වෙලා වගේ”

“පිස්සුද අප්ප”

වසංගන්නට හදන සියල්ල හිත තුළ දැනවූයේ මිහිරකි. අශිකා කොයි තරම් ජීවිතයට සමීප වුණත්, ඇයට වුව නො කියා රස විඳින යමක් කුලාන් අරබයා හදෙහි වීම මා උමතු රසවත් බවක ගිල්වී ය. කුණාටු සුළඟක් හිත හොලවා ගෙන එසැනෙන් හමා ගියේ ය.

“කුෂ්ලානි මැඩම් ඇවිත් ගොඩක් වෙලාද…”

“හ්ම්. පැයකටත් වැඩියි”

“සර්ට කෝල් කළේවත් නෑනෙ”

“සමහර විට හොර අල්ලන්න ඉන්න ඇති”

“හොර…”

“හ්ම්. කාත් එක්කද කුලාන් එළියට ගිහිං තියෙන්නෙ බලන්න”

හද ගැස්මෙහි මඳ වැඩි වීමක් දැනුණත් මට බියක් වූයේ නැත. එය අශ්ලීල සතුටක් නම් නොවන බව මම දනිමි. ඇයට අයිති වූ යමක් උදුරා ගන්නට හෝ රහසිගත ව ළඟ තබා ගන්නට හෝ මා සිහිනෙනුදු හිතා නැත. නමුත් තුරු මත පිපි මලක් දකින්නටත් විඳින්නටත් කාටවත් කාගෙන්වත් අවසර උවමනා නැත. නෙලන්නට නො සිතන තාක් කල් මල් කාගේ වුණත් කිම ද? 

වීදුරු කුටිය තුළ කුලාන් හා කුෂ්ලානි අතර බහින් බස් වීමක් සිදු වෙනවා සේ මට දැනිණ. බහින් බස් වීමක් කීවාට කුලාන් කතා කළේ ස්වල්පයකි. නමුත් කුෂ්ලානි දිගට ම කියවූවා ය. ඇය මවෙත ඇවිත් බැණ වදීවිද කියන සිතිවිල්ල මගේ හිතට ආවේ, මීට පෙර ඇය කෙලින් ම නැතත් වක්‍රාකාරයෙන් හෝ මට අනතුරු ඇඟවීමක් කර තිබූ නිසාවෙනි. නමුත් මේ වතාවේ එවැන්නක් නො කොට ඕ නික්ම ගියා ය. බෙදා හැරීමේ අංශය වෙත ගොස් එමින් සිටි මා ඉදිරියට ඇය ඇවිද එමින් සිටියා ය. මූණ බලා හිනා වෙන්නට බැරි කමක් මට නැතත්, කුෂ්ලානි මගේ මූණ දෙස නිකමට හෝ බැලුවේ නැත. කුලාන් හිසින් ඉඟි කොට මා සිය කුටියට කැඳවී ය. ඔහු ඉදිරියෙහි වන අසුනට මා බර වූයේ සියොළඟ දැවෙනවා වැනි සංවේදනයක් ද සමග ය.

“බය වෙලාද ඉන්නෙ…”

ඔහු හදවතට කතා කළේ ය. ඔව් කියන්නවත් නෑ කියන්නවත් මගේ මුවට වචන ආවේ නැත. හිස සලා ඉඟියක් කරන්නට හෝ නො හැකි පාෂාණිභූත වීමක් මට දැනෙමින් තිබිණ. 

“කොහොමද සර් එහෙම කළේ” කියන සම්ප්‍රදායික ගැහැනු ප්‍රශ්නය මගේ හිසෙහි නො නැගුණා ම නොවේ. නමුත් ඒ වගේ දුරුවල දියාරු කතාවක් කීම මගේ හැඟීම් වල වන වටිනාකමට නො ගැලපෙන බවක් වහා මට දැනිණ. සම්ප්‍රදායික ගැහැනියක නම් මෙබඳු තත්වයකදී දෙයාකාරයකින් හැසිරිය යුතු ය. එකක් නම් මින් මතු කුෂ්ලානි සමග ඇසුරෙන් ඔහු වළකාලන්නට උත්සාහ කරන එක ය. අනෙක නම්, ඇයට වරදක් වෙන්නට ඉඩ දිය නො හැකි බව පවසමින් ඔහු ගෙන් දුරස් වෙන්නට හදනා එක ය. නමුත් ඒ දෙක ම කරන්නට මට ඕනෑ නො විණ. කුලාන් ට සැබෑ ඔහු ලෙස පවතින්නට ඉඩ දී ඒ මහත් පිරිමි පෞරුෂය හදවතින් විඳ ගන්නට පමණක් මට ඕනෑ වී තිබිණි ද? 

“ජීවිතේ කියන්නෙ මේකට නිම්නා. ජීවිතේ හොය හොයා සංචාරේ කරන මිනිස්සුන්ට නවතින්න ඕන වෙන වෙලාවක් එනව. නවතින්න. සීතලට උණුහුමට ඔරොත්තු දෙන ගරා වැටෙන්නෙ නැති නවාතැනක් දැක්කහම මිනිස්සුංගෙ ඒ හිතේ හැංගිලා තියෙන උවමනාව එළියට එනව. ස්ටැබ්ලිෂ් වෙන්න ඕන කියල හිතෙන මිනිහෙක්ට ඕනෙ විශ්වාස කරන්න පුළුවන් ගෑනියෙක්. කුෂ්ලානි එහෙම කෙනෙක් කියල හිතන්න හදනකොට එයා ඒක එහෙම නෙවෙයි කියල ඔප්පු කළා. ඒත් අපිට අතීතයක් තියෙනව නිම්නා”

බඩ පපුව දැවී යන ගින්දරක් උගුරේ සිට උදරය දෙසට පල්ලම් බැස්සේ ය. නමුත් මම මඳහසක් නගා ගන්නා උත්සාහයකින් කුලාන් දෙස බැලුවෙමි. ඔහු ගේ තොල් කොනක් අංශභාග රෝගියෙකු ගේ සෙයින් සැලී යනවා මම දුටිමි.

4.9 7 votes
Article Rating
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
1 month ago

හම්මේ, මේකට ඇබ්බැහි උනා මං…
❤️

1 month ago

Mamath…

Hemi
1 month ago

🧡🧡🧡