මන්දාරම් හැන්දෑවක -19

ඉකි ගසමින් හඬන මේඝා සැනසීම ගැන කිසිදු අදහසක් නැතිව සිටි දිනිඳු සැනසුම් සුසුමක් හෙලූයේ මේඝා නුදුටු පණිවිඩයක් ද එහි ඇතැයි පෙනී යද්දී ය.

“හනේ මොට්ට ආච්චියෙ… අනුන්ගේ මැසේජ් බාගයක් හොරෙන් කියෝලා විලාප ගහන්න එපා බං.. මේ ඔක්කොම කියෝනවා..”

දිනිඳු පෙන්වූ දෑ දුටුහැටියේ බිනර මේඝා අසලින් හිඳ ගත්තේ එසේ කියමිනි.
මේඝාට දෑස් හැර බලන්නටවත් උවමනාවක් වූයේ නැත.ඇය නොනවත්වාම ඉකි ගසමින් සිටියා ය.

“ඌ එහෙම තර්ජනේ කරා කියලා මං සල්වතුර මැඩම්ට කිව්වා. තවම මොකුත් අප්ලෝඩ් වෙලා නෑ..මැඩම් ඇක්ෂන් එකක් ගන්න ඇති.මේඝාව බලාගන්න..”

මේඝා නොකියවූ පණිවිඩය බිනර හඬ නගා කියවද්දී මේඝා කඳුළු වැකුණු මුහුණින් දෑස් ඔසවා බැලුවා ය.බිනර අසීරු මොහොතක වුව සිනාවක් නගා ගත්තේ ය.

“කලබල වෙන්නෙපා බං ඔහොම.. මං දවසකුත් කිව්ව ගැරඬියෙක් දැක්කම නයෙක් නයෙක් ගාලා විලාප තියන්න එපා කියලා..හදන්නම බෑනෙ මේ මෝඩිව..”

බිනර එසේ කියද්දී දිනිඳු ද මේඝා අසලින් හිඳ ගත්තේ ය.සඳලි කිසිත් නොදැන ම බලා සිටියේ මේඝා වත්තන් කර ගනිමිනි. ඉතා කෙටි කාලයකින් ඇයට සහෝදරියක තරමට සමීප වූ මේඝාව හැඬවූ නොදන්නා මිනිසුන් ගැන සඳලිට ඇති වූයේ කෝපයකි.

“ගැරඬින්ටත් අපිව කන්න පුළුවං මේඝා..එතකොට කරන්න ඕන තුවාලෙට බේත් දාගෙන තමන්ගේ ගමන යන එක.. තුවාල කැලැල් මැකෙනවා.. කාලෙ තියෙන්නෙ ඒකට..”

දිනිඳුට දැන් කිසිත් සැඟවිය නොහැකි බව මේඝා දැන ගත්තා ය.ඇයට දැනුණේ වේදනාවකි. දිනිඳු තමා ගැන සත්‍යය දැන ගැනීම යළි ඔහුට මුහුණ දෙන්නට නොහැකි සිද්ධියක් වග මේඝාට සිතිණි.ඈ දණහිස් මත හිස ගසාගෙන ඔහේ සිටියා ය.

“ඔයාලා දෙන්න මෙතන චිත්‍ර අඳිනකොට කවුරුහරි ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් දැම්මනම් මොකද වෙන්නේ. මිනිස්සු හෝ ගාලා ෆේස්බුක් එකේ කවි ලියයි.. ඒක ඔයාලට ප්‍රශ්නයක්ද? “

දිනිඳු ඇසී ය. සඳලි එයට සිහින් හඬින් පිළිතුරක් දුන්නා ය.

“මං ආස නෑ ඩොක්ට.. කවුරුත් මගේ ෆොටෝස් නොකියා ගන්නවට මං ආසම නෑ..”

දිනිඳු සියල්ල සැහැල්ලුවෙන් බාර ගනීනම් බිනරට මෙන්ම ඔහුට ද මුහුණ දෙන්නට හිත හදා ගත යුතු බව මේඝා නැවත වතාවක් සිතුවා ය. ජනිඳුගේ මිතුරන් ඇයට අසභ්‍ය කතා පැවසුව ද මේ තරුණයන් තමා දෙස එසේ නොබැලීම ගැන ඇයට සිහින් සැනසීමක් දැනෙමින් තිබිණ.

“මේ රටේ මිනිස්සු අනිත් අයගෙ ෆොටෝස් ,වීඩියෝස් නොදන්වා අරගෙන සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න මාර හපන්.. සඳලි චිත්‍ර අඳින ෆොටෝ ෆේස්බුක් අප්ලෝඩ් කරනවට ආස නෑ කීව වගේම තමා මේඝා.. ඔයත් ඔයා සතුටින් හිටිය වෙලාවක ෆොටෝස් ඔයාට නොකියා අප්ලෝඩ් කරාට දුක් වෙනව. ඒත් ඒ අපරාධයක් කරපු ෆොටෝස් නෙවෙයිනෙ.. ඔයා මිනීමැරුමක් කරලා හරි හොරකමක් කරලා හරි සාක්කි ඉතුරු වෙලා නම් ඔහොම ඇඬුවට කමක් නෑ.. ඒත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැසිරුණා කියලා බය වෙන්නෙ දුම් වෙන්නෙ ඇයි?”

මේඝා කඳුළු පිරුණු ඇස් ඔසවා දිනිඳු දෙස බැලුවා ය.ඈ කොපමණ වේදනාවක් විඳීදැයි ඒ එක් බැල්මෙන්ම දිනිඳු වටහා ගත්තේ ය.ඒ වේදනාව පසුපස හිඳින්නේ තමන්ගේ බාල සහෝදරයා වීම දිනිඳු උසුලා ගත්තේ කෝපයෙනි.සැඟව හිඳීම පසෙක දමා ජනිඳු හමුවට ගොස් ඔහුගේ මුහුණ සමතලා වෙන්නට පහරක් ගැසීමේ නොතිත් හැඟීමක් ඔහු වෙලා ගත්තේ ය.

“ලෙඩෙක් වෙන්නෙ තමන්ගෙ පෞද්ගලික සිද්දියක් හරි හපන්කමක් වගේ වටේ බෙදන මිනිහා නංගි.. ඔයා ඕකට හිත රිද්දගෙන අඬන එක නතර කරන්න. ඔයා මේ නර්සරි එක කරන්න ඕන.. අර ෆෙල්ට් ආට්ස් පටන් ගන්න ඕන.. “

දිනිඳු මේඝා පියවි ලෝකයට ගෙනෙන්නට හැකිතාක් උත්සාහ දැරුවේ ය. නමුත් මොනයම් මොහොතක හෝ ජනිඳු තවත් වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා නොහැර හිඳීදැයි ඔහුට ද තිබුණේ සැකයකි.කම්පිත නොවන්නැයි ඉල්ලා සිටිය ද මේඝාට ඉන් හානියක් නොසිදුවේ යැයි කැට තබන්නට නොහැකි නිසා මේ සිදුවීම් යළි නොවන්නට කළ හැකි දෙයක් සිතමින් දිනිඳු පිටතට පැමිණියේ ය.

නමුත් ඔහුට පෙර තරිඳු ක්‍රියාත්මක වෙමින් සිටියේ ය.

තමන්ට ජනිඳුගේ තර්ජන එල්ල වූ බව තාරුකා පැමිණිලි කළ වගක් තරිඳුට පැවසුවේ නිමාෂා ය.එය ඇසුණු මොහොතේ පටන් තරිඳු සිටියේ කෝපයෙන් වියරු වැටී ය.එහෙත් කෝපය ගැටළු සමථයකට පත් නොකරන බවත් සම්‍යක් ප්‍රයෝග බොහෝ අවාසනාවන්ත සිදුවීම් වළක්වන බවත් සිතන්නට ගත් පසු කළ යුතු හොඳම දෙය තරිඳුට කල්පනා විණි. එය කෙතරම් පරාසයක් දක්වා ක්‍රියාත්මක කළ යුතු දැයි ඔහු ඉන්පසු සිතන්නට වූවේ ය.

තාරුකා බිය ගන්වා පැමිණි ජනිඳුට තමන්ගේ හපන්කම් මිෂෙල් හා බෙදා ගන්නට සිත් විණි. ඔහු මිෂෙල්ට අමතමින් බරාඳයේ එහෙමෙහෙ ඇවිදින විට තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්නට හොඳම වෙලාව එය බව තරිඳු දැන ගත් නමුත් උපාය දූතයා කොපමණ සා‍ර්ථක වේදැයි තිගැස්මක් ඔහුට නොතිබුණාම නොවේ.

අඩ හෝරාවකට පමණ පසු කාමරයේ දොරට සන් කරන්නේ නිවසේ රියදුරා වූ තරුණයා බව තරිඳුට වැටහිණ.වහා විවර වූ දොරටුවෙන් රියැදුරු,රුවන් කාමරයට ඇතුළු වූයේ ය.

“ෆෝන් එකේ විතරයි තියනවා කියන්නෙ සර්..අර ගෑනු ළමයට කීප පාරක්ම.කිව්වා ෆෝන් එකේ වීඩියෝ දෙක තුනක් තියනවා. ලැප්ටොප් එකකටවත් දාගන්න ඕන කියලා. ආ ඒ ගෑනු ළමයා කොච්චරවත් ඉල්ලුවා මහිතේ වීඩියෝ නම්..”

රුවන් එකහුස්මට කියාගෙන යද්දී තරිඳුට දැනුණේ කෝපය මිශ්‍ර තිගැස්මකි. තවත් තරුණියකගේ නිරුවත ඉල්ලා හිඳින මිෂෙල් ගැහැනියක් වීම ගැන ඔහු කෝපයට පත් වූ අතර තිගැස්ම ඇති වූයේ ඒවා දැනටමත් මිෂෙල් අත පත් වී නම් සිතද්දී ය.

“ඒ උනාට පොඩි සර් ඒවා යාලුවන්ටවත් නොදී අගේ කරනව.. පස්සෙ එවන්නං කිව්වා.. “

රුවන්ට ද ජනිඳු ගැන තිබුණේ අපුලකි. සේවයට පැමිණි මාස කිහිපය තිස්සේම ඔහු දුටුවේ ජනිඳුගේ අවකල් හැසිරීම ය.මේඝාගේ වීඩියෝ පටය දුටු දා එය වතාවක් දෙවතාවක් නරඹද්දී ඔහුට ජනිඳුගේ කතාබහ ඇසිණ.මේඝා නැටිච්චියක යැයි තිබූ හැඟීම වෙනස් කරගන්නට රුවන්ට මහ කාලයක් ගත නොවී ය.තරිඳුගේ ඔත්තුකරුවා වන්නට ඔහු දෙවතාවක් නොසිතා ම එකඟ වූයේ එනිසා ය.

තරිඳු ජනිඳුගේ කාමරයට ඇතුළු වූයේ කාලාන්තරයකට පසු ය. වසර දහයකට පමණ පෙර චෙස් ක්‍රීඩා කරමින් සටන් චිත්‍රපටි බැලූ කාමරය වසා පැතිරෙන සිගරට් ගඳ මිශ්‍ර මත්පැන් ගන්ධය තරිඳුට ගෙනාවේ අපුලකි. නාන කාමරයෙන් ඇසෙන අපිළිවෙල ගී හඬින් කියැවෙන්නේ ජනිඳු කාමරයට එන්නට වෙලාවක් ගත වන වග ය.ආරෝපණය වෙමින් පැවති ජංගම දුරකථනය අතට ගත් තරිඳු ඇඳ ඉහත්තාවේ තිබූ ටැබ් එක ද තමන්ගේ සන්තකයට ගත්තේ ය.

වේගයෙන් පහත මාලයට පැමිණ මෝටර් රිය පණ ගන්වාගෙන නිවසින් පිටතට ආ තරිඳු වාහනය නැවැත්වූයේ ඔහේ රිය පදවාගෙන කිලෝ මීටර ගණනාවක් පැමිණි පසු ය. ඈත අතීතයේ දී තාත්තා විදේශ සංචාර නිම කර පැමිණි විට මල්ලීට ගෙනා සෙල්ලම් බඩු මොනවදැයි පිරික්සන්නට අයියා සමඟ රහස් සංචාර සැලසුම් කළ හැටි තරිඳුට සිහි විණ.කාලය මොනතරම් කටුක ලෙස ගලා ගොස් ඇත්දැයි ඔහු සිතුවේ හදවත පුපුරා යන තරමේ ශෝකයෙනි.

සුක්කානමට හිස ගසාගෙන බොහෝ වෙලාවක් හුන් තරිඳු තම දුරකථනය අතට ගෙන මොහොතක් කල්පනාවට වැටුණේ ය.අනතුරුව නිමාෂාට බොහෝ බැගෑපත් ව ඉල්ලා ගත් අංකය අංකනය කළේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles