Chat with Smartlady – ධනුෂ්කා ජයරත්න

Chat with smart lady අද අපේ කතා බහට එකතු වෙන්නේ දක්ශ රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙමෙයි ඇය දක්ශ හඬකැවීම් ශිල්පිනියක්.මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කීපයක් ඔස්සේම ඔබ වෙත එන ඇය ” ධනුෂ්කා ජයරත්න “

මොනවද මේ දවස් වල වැඩ කටයුතු?

මේ දවස් වල ටිකක් කාර්යබහුලයි.ටෙලිනාට්‍යය පහක හයක වගේ රංගනයෙන් දායක වෙනවා.ඉන්ටර්නැසනල් කියන ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රිය උනා.ඒකේ සීසන් වන් ඉවර උනා.දැන් සීසන් 2 එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා.එතකොට සිත් කියන ටෙලිනාට්‍යයට එකතු වෙලා ඉන්නවා.සංජුල මහත්මයා අධ්‍යක්ශනය කරන.සුනිල් ප්‍රේමරත්න මහත්මයා අධ්‍යක්ශනය කරන විසි එක ටෙලිනාට්‍යය වගේම ටෙලිනාට්‍යය කීපයකම මේ ටිකේ රූගත කිරීම් වලට සහභාගී වෙනවා.ඒ අතරතුර හඬකැවීම් වලටත් දායක වෙමින් කාලය ගතකරනවා.ගෙදර වැඩ එහෙම්ම තියනවා.ඒ ටිකත් කරගෙන යනවා.

රංගනයට අමතරව ඔබ හඬකැවීම් වලටත් දායක වෙනවා.මේ ක්ශේත්‍රයන් දෙක ගැන ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නෙ?

රංගනයට වඩා හඬකැවීම පැහැදිලිවම අමාරුයි.මොකද තව කෙනෙකුට හඬ දෙනවා කියන එක ,ඔහු හෝ ඇය ඉන්න මූඩ් එකට යනවා කියන එක ලොකු අභියෝගයක්.ඒ කියන්නේ සමහර වෙලාවට මටම තේරෙනවා රංගන ශිල්පියා අඩුවෙන් හෝ වැඩියෙන් act කරලනේ කියලා .එහෙම තැන් තියනවා.එහෙම වෙලාවට මම දීලා හරියන්නේ නෑ මෙහෙමනෙ කරන්න ඕන කියන එක අපිට හඬ දෙන්න බෑ.රංගනය කියන එක යම් කෙනෙක්ට සහජ දක්ශතාවය තිබුනොත් හොඳම තැනට ගේන්න පුලුවන් .සහජ දක්ශතාවයක් නොතිබුනත් ඔහුට යමක් රංගනයේ කරන්න පුලුවන්.හැබැයි මම හිතනවා හඬකැවීම එහෙම කරන්න පුලුවන් එකක් නෙමෙයි සහ උගන්වන්න පුලුවන් එකක් නෙමෙයි.ඇතුලාන්තයෙන් එන්න ඕන එකක්.

නිර්මාණ වලට දායක වෙද්දි ඔබට ඕනෑ තරම් නවක ශිල්පීන් හමුවෙනවා.ඔබ ඔවුන්ට දෙන සහයෝගය මොන වගේද?

ක්ශේත්‍රයට නවකයෝ එන්න ඕන.නැත්තම් මේකේ පැවැත්මක් නෑ.මම මේ ක්ශේත්‍රයට ඇවිල්ලා අවුරුදු විස්සකට කිට්ටුයි.එතකොට මට දැන් මගේ බාහිර ස්වරූපය අනුව කරන්න පුලුවන් චරිත තෝරා බේරාගෙන නෙ කරන්නෙ.චරිතෙකට අලුත් ළමයෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඇයට හෝ ඔහුට හෝ මේ ක්ශේත්‍රයට එන්න තියන උවමනාව සහ උනන්දුව මේකේ පැවැත්ම හදාගන්න එකේ නෑ කියලා මම දැන් ඉන්න අයගේ දකිනවා.මම ක්ශේත්‍රයට ආව මුල් කාලේ මේකට ආවේ හරි ආදරෙන්.හරි කැමැත්තෙන්.මම එන කාලේ තමයි රංගන පාසල් ඇතිවුනේ.ඊට කලින් පිටරට ගිහින් ඉගෙන ගෙන ආව අයත් හිටියා.සමහර ඉන්නවා ප්‍රවීණයන්ගේ ඇසුරේ හැදිච්ච අය.ඒ අයත් ඇවිල්ලා ඉන්නෙ කාගෙ හරි ගුරුහරුකම් ඇතුව.මම හුගක් දේවල් ඉගෙන ගත්තේ බාහිර සමාජයෙන්.මං ඒක කියන්නම ඕන දෙයක්.මම මගේ චරිත වලට අදටත් ,මම දකින අහන දේවල් එකතු කරගන්නවා.පාරේ ඇවිදින්න , බස් එකේ යන්න මම හරි ආසයි.මම හරි සරල සැහැල්ලු කෙනෙක්.අද මේ වගේ ක්ශේත්‍ර වලට එන්න හරි ලේසියි.අපි දැක්කොත් කවුරු හරි දහදෙනෙක්,ඒකෙන් දෙන්නෙක් හරි ඉන්නවා මෙයා අර එකේ හිටියා නේ කියලා කියන්න පුලුවන් .මේක හුඟක් අමාරු දෙයක් නෙමෙයි දැන්.මම හරි ආසයි මේකේ පවතිනවා කියලා පේන නවක ශිල්පීන්ට ,ශිල්පිනියන්ට.හුඟක් දෙනෙක් මේකට එන්නෙ තමන්ගේ අනාගතය හදාගන්න.ඒ අයට මේ ක්ශේත්‍රය ගැනවත්,තමන් කරන නිර්මාණය ගැනවත් කැක්කුමක් නෑ කියලා දැනෙනවා එලියට.මේකට ඇවිල්ලා මූන චුට්ටක් එලියට දැම්මම ඇති එයාලට.හැබැයි මම කියන්නේ, මම හරි ආදරෙයි හරි අවංකව මේ ක්ශේත්‍රයට ඇවිල්ලා මේක ඇතුලේ යම් දෙයක් කරලා, ක්ශේත්‍රයත් ,අනිත් අයවත් අරගෙන ඉස්සරහට යන ,නිර්මාණ වලට දායක වෙන අයට.සමහර අය ඇවිල්ල දෙයක් කරන්න උත්සහ කරන්නෙ නෑ කියලා පේන කෙනෙකුට උනත් මම හොඳින් සලකනවා.නමුත් එයාලා තුල උනන්දුව නෑ කියන එක දැනෙනවා, එතකොට සහයෝගය කියලා අමුතුවෙන් දෙන්න දෙයක් නෑ ඔවුන්ට.තව අය ඉන්නවා හොඳට කතා කරලා,මේක කරන්නේ කොහොමද කියලා අහන, මම කියන්නේ එහෙම අහන්න ඕනත් නෑ, මම මගේ ප්‍රවීණයන් රඟපානවා ඈත ඉඳන් බලන් හිටියා.අදටත් මම රූපගත කිරිම් කරන තැන මම ආස කරන ආදරය කරන ප්‍රවීණ ශිල්පීන් රඟපානකොට මම බලාගෙන ඉන්නවා.මම හරි ආසයි ඒ වැඩේට.සමහර වෙලාවට මම දකිනවා ක්ශේත්‍රයට අලුතෙන් ආව අය ෆෝන් එක අරගෙන කොහෙට හරි වෙලා එක්කො සින්දුවක් අහනවා,නැත්තම් එෆ්බී එකේ.මම ඉතින් මගේ සහයෝගය උපරිමෙන් දෙනවා.කතා බහ කරනවා, හැමෝම එක්ක.හරි ආදරෙයි වැඩ කරන හැමෝටම.ඉතින් මම ඉල්ලනවා ක්ශේත්‍රයට ආදරේ වෙන්න, ක්ශේත්‍රයේ පැවැත්ම ගැන චුට්ටක් හිතන්න කියලා.ඕනම කෙනෙකුට මම මගේ සහයෝගය දෙනවා උපරිමයෙන් .

රංගන ශිල්පිනියන්ට සමහර වෙලාවට මේ සමාජයෙන් ගොඩක් අපහාස විඳින්න සිදුවෙනවා.ඒ ගැන ඔබ මොකද හිතන්නෙ?

මං විශ්වාස කරන විදියට කාටවත් අපහාස කරන්න කාටවත් අයිතියක් නෑ.යම් කෙනෙක් අපහස විඳිනවා කියන්නේ ඒ කෙනා ප්‍රශ්නෙක ඉන්නවා.ගොඩක් වෙලාවට එහෙමනේ.කෙනෙක් යම් ගැටලුවකට මුහුණදෙනකොට ඒ කෙනා තෝරගන්න විසඳුමට තමයි අපහස කරන්නේ .අපි එතනට වැටිලා බැලුවොත් ,කවදහරි මට ඒ ප්‍රශ්නෙට මූණදෙන්න උනොත් මම කරන්නේ මොකද්ද කියලා නොදැන ,මම ඒකට කලින් මූණදීලා නැතුව කාටවත් කතන්දරයක් කියන්න කාටවත් අපහස කරන්න කාටවත් අයිතියක් නෑ පැහැදිලිවම.හැබැයි යම් කෙනෙක් තමන් ,තමන් වෙලා තමන් ඉන්න තැන ජීවත් උනොත් ගැටලු එද්දි කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන සමාජෙට බයවෙන්නේ හෝ නෑදෑ හිතමිත්‍ර ආදින්ට බයනොවී ජීවත් උනොත් ඔය එල්ල වෙන අපහාස ඇතුලු කිසි දේකට බය වෙන්න ඕන නෑ.තමන් හරි පාරේ යන්නයි ඕනෙ.තමන්ට වැරදියි කියලා හිතෙන දේවල් නොකර හිටියම හරි.

මොනයම් හෝ ක්ශේත්‍රයකින් කාන්තාවක් ස්වාධීන වීමේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද ?

ඒක මම දකින්නෙ මෙහෙමයි.අද මේ තියන බිඳෙනසුලු සම්බන්ධතා අස්සේ කාන්තාව ස්වාධීන වීම විය යුතු දෙයක්.අනික කාන්තාවක් තමයි දරුවන්ට ගොඩක් ලඟින් ඉන්නේ ,එතකොට දරුවන්ගෙ අනාගතය සමෘද්ධිමත් කරන්න,ඔවුන්ට ආදර්ශයක් විදියට මම හිතනවා පිරිමි කෙනෙකුට වඩා ගැහැණු කෙනෙක් ඉන්න ඕන කියලා.ඒ නිසා ස්වාධීන වීම විය යුතුම දෙයක් කියලා මම විශ්වාස කරනවා මොනම ක්ශේත්‍රයකින් හරි.මම දකිනව යුරෝපිය රටවල් වල යම් දේවල් මෙහෙට එමින් පවතිනවා සහ මිනිස්සු ඒ දේවල් වලට හුරුවෙමින් පවතිනවා.ඉතින් මම හිතනවා අපිට යමක් කමක් කරගන්න බැරිවෙන කාලේ එනකොට අපේ ජීවිතේ ගෙනියන්න පුලුවන් මාර්ගයක් හදාගෙන ඉන්න ඕන කියලා අනිවාර්යයෙන්ම.

සමාජයේ බොහෝ වෙලාවට කාන්තාවක් යම් ක්ශේත්‍රයකින් ඉදිරියට යනකොට යම් යම් බලපෑම් විවිධ විදියට එල්ල වෙනවා. ඔබ කොහොමද ඒ වගේ බලපෑම් වලට මුහුණ දෙන්නෙ?

කාන්තාවක් වීම නිසාම ඔය දේවල් වලට මූණදෙන එක කටුක අත්දැකීමක්.මම විශ්වාස කරන විදියට ඕනම ක්ශේත්‍රයක කාන්තාවන් පිරිමින් එක්ක හරි හරියට වැඩ කරලා පෙන්නලා තියනවා, කාන්තාවකට කරන්න බැරි දෙයක් නෑ කියලා ඔප්පු වෙලා තියනවා.නෑ බෑ කියලා දෙයක් ඇත්තටම කාන්තාවක් ලඟ නෑ.මේ ලෝකේ තියන දරුණුම වේදනාවට මූණදෙන කාන්තාවට තව මූණදෙන්න ඊට වඩා ලොකු වේදනාවක් නෑ.ඒ නිසා කාන්තාවකට ඕනම දේකට මූණදෙන්න පුලුවන්

මේ ක්ශේත්‍රයට පිවිසෙන්න අද වෙනකොට ඕනෑ තරම් අවස්ථාව ,මාර්ග තියනවා. ක්ශේත්‍රයට එන නවකයන්ට ඔබට මොකද්ද කියන්න තියෙන්නෙ?

මං කලිනුත් කිව්වා වගේම මේ ක්ශේත්‍රයට එන්න දැන් හරිම ලේසියි.අපිට ලේසියෙන් ලැබෙන දේවල් අපි එච්චර අගය කරන්නේ නෑ.මම හිතනවා මේ ක්ශේත්‍රයට පිවිසෙන එක ,මේකට එන්න තියන ඉඩකඩ ඇහිරෙන තරමට මේක හරි වටින දෙයක් වෙයි මේක ඇතුලට ආවම.ඒ අඩුව මම දකිනවා ක්ශේත්‍රයේ .අනිත් එක තමයි මේකට ,කවුරු හරි කෙනෙක් අඩිය තිබ්බා නම් ඒ අවුරුදු ගානක් තිස්සේ දුක් විඳලා මහන්සි වෙලා.මම වේදිකා නාට්‍ය ශිල්පිනියක් ,මම අහලා තියනවා, වේදිකාවේ අපිට කලින් යුග වල හිටපු පතාක යෝධයෝ ප්ලේන්ටී එකේ රෝස් පාන් පොඟවන් කලා පුහුණුවීම් කරපු කාල තිබුනා කියලා .සමහර වෙලාවට හැතැප්ම ගනන් පයින් ගිහින් ,එයාලම සෙට් එක ගහලා ,මේකප් කරගෙන ,එයාලම ඇඳුම් හදන් දුක් විඳලා යම් තැනකට ගෙනල්ලා තියනවනේ ,ඒ ආව හැමෝගෙම මහන්සියට අපි වග කියන්න ඕන රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා නම් .විශේශයෙන්ම අලුතෙන් එන කෙනෙකුට වගකීමක් තියනවා අර මහන්සියට සාධාරණයක් ඉශ්ට කරන්න.ඒ නිසා මම ඉල්ලනවා ලේසියෙන් මේකට අඩිය තියන්න පුලුවන් එක ලේසියෙන් යන්නේ නැතුව , ඇවිල්ලා යම් දෙයක් කරන්න , ක්ශේත්‍රයේ පැවැත්ම උදෙසාත් දෙයක් කරන්න.ඉබේටම තමන්ට හරි යනවා.හුඟ දෙනෙක් දඟලනවා තරු වෙන්න,හැබැයි තරු ඉක්මනට කඩාගෙන වැටෙනවා.මේක ඇතුලේ චරිතාංග ශිල්පිනියක් වෙනවා කියන එක තමයි මගේ dream එක.ඒක යම්තාක් දුරකට මම සාර්ථක කරගෙන කියලා මට හිතෙනවා.මට ඕන විවිධ චරිත කරන්න.එක තැනකට කොටුවෙලා ඉන්න මට බෑ.මට අහුනොවිච්ච තැන් තාමත් ගොඩක් තියනවා.ඒවා අතපත ගාන්න මම හරි ආසයි.මම හිතාගෙන ඉන්න තැනට මම තාම ගිහින් නෑ,යන්න උත්සහ කරමින් ඉන්නවා.කවදාවත් මට රඟපාලා ඇතිවෙන එකකුත් නෑ,මම මැරෙනකන් රඟපාන එක අතාරින එකකුත් නෑ.එච්චරට මට මේක බද්ධයි.ඉතින් මම ඉල්ලනවා අලුතෙන් එන අයගෙන් මේකට ආදරේ කරන්න, තමන්ට හරියනවා එතකොට

අද අපේ කතා බහට එකතුවුන දක්ශ රංගන ශිල්පිනි දනුශ්කා ජයරත්නගේ කතාබහ ඇසුරෙන් Smartlady.lk හරහා අපව නරඹන ඔබ, ඔබෙ ජීවිතයට හරවත් යමක් එකතු කරගන්නට ඇතැයි අපි විශ්වාස කරනවා.තවත් මෙවැනිම වූ චරිතයක් අපේ කතා බහට නැවතත් එකතු කරගන්නට අප බලාපොරොත්තු වෙනව.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles