මගේ කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් තාත්තා ට හෝ අම්මා ට නො පෙන්වා සිටීම මගේ අරමුණ වූයේ ය. මා නිසා ඔවුන් විඳවූවා දැටමත් වැඩි ය යන සිතිවිල්ලෙන් මිදීම මට පහසු වූයේ නැත. නමුත් මා සඟවා ගෙන හිඳින දුක තාත්තා දැක තිබිණි.
“පුතාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද…අපි ට නොකියා ඉන්න…කසුන් ට හරි…ඔෆිස් එකට හරි…කොතනකට හරි සම්බන්ධ ප්‍රශ්නයක් …”
“නෑ තාත්තෙ”
කියා මා සිනහවකින් බිම බැලුවා ට දූ ලා ගේ හිත් තාත්තලාගෙන් වසැංගිය නො හැකි ය. මා නො පිළිගෙන දෝ තාත්තා සුසුමක් හෙළුවේ ය.
“කුෂ්ලානි මැඩම් සර්ගෙ සෙකට්‍රි වුණ එක මට චුට්ටක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් මං කරපු වැඩ ටිකවත් දිගටම මට කරන්න තිබුණනං…ඉස්සර මං එතන වැඩ කළේ මගෙම තැනක වගේ හැඟීමකින්. ශ්‍රීනාත් සර් මට එහෙම කරන්න නිදහස දීල තිබුණා…ඒත් දැං මං එතන ඉන්නෙ අනුංගෙ තැනක බලෙං ඉන්නව වගේ හැඟීමකිං. ඒක මගෙ හිතට වදයක් තාත්තෙ”
“ඇයි ලොක්කගෙ පුතා නිම්නාට හොඳට සැලකුව නේද…”
“ඒත් සර්ව බඳින්න ඉන්න කෙනා සෙකට්‍රි වුණාට පස්සෙ හැම දේම වෙනස් වුණා. අවුල් වුණා”
“ගෑනියෙක් මැද්දට පැන්නට පස්සෙ දෙයක් අවුල් නොවී තිබුණොත්නෙ පුදුමෙ”
කියමින් තාත්තා හඬ නැගෙන සේ හිනැහුණේ ය. නමුත් මා තුළ එහෙව් සැහැල්ලුවක් වූයේ නැත. අනිත් අතට ගැහැනිය පිළිබඳව ඒ ආකාරයෙන් සිතන්නට ද මම නො රිසි වෙමි. විශේෂයෙන් ම කුෂ්ලානි වාගේ තැනැත්තියක මේ විදිහට හැසිරීමේ යම් පුදුමයක් තිබේ. මන්ද ඇගේ ස්වභාවය මෙය වී නම් කුලාන් ඈ කෙරේ නො බැඳෙන බව මම සක් සුදක් සේ දනිමි. ඇය වූ කලී වසර කිහිපයක් ඔහු සමග එක යහනක් බෙදා හදා ගත් ගැහැනියකි. ඉන් නො නැවතී ඔහු ගේ ජීවිතය බෙදා හදා ගනු වස් ඔහු විසින් තෝරා ගන්නා ලද ගැහැනියකි. එහෙව් ඇය මේ සා පටු රාමුවක ඔහු හිර කර තබන්නට හැදීම ම තරමක් නාටකීය ය. එසේ නම් මේ විදිහට හැසිරෙන්නට ඇයට වෙන යම් හේතුවක් තිබිය නො හැකි ද?
“තාත්තට කියන්න තව දෙයක් තියෙනව”
තාත්තා මගේ තීරණයට එකඟ වේවි ද එරෙහි වේවි ද යන දෙගිඩියාවෙන් වුව ඒ ගැන ඔහු ට කියන්නට මම තීරණය කළෙමි.
“වෙන කම්පනි එකකිං මට කතා කළා. මීටත් වැඩිය වැඩි සැලරි එකකට. ඒගොල්ලො මට ට්‍රාන්ස්පෝට් දෙන්නත් කැමතියි. කල්පනා කරල උත්තරයක් දෙන්න කිව්වා. ඒත් තාත්තෙ…මට මෙතනිං අයිං වෙන්න ඕන නෑ”
“ඔයා ඒක තීරණේ කරල ඉවරනෙ ඉතිං”
තාත්තා සුසුමක් අත් හළේ ය.
“තාත්තා කැමති නැද්ද ඒ තීරණේට…”
“ඔයා කැමති විදිහට දෙයක් තීරණය කරන්න ඔයාට නිදහස තියෙන්න ඕනෙ. එතනදි ඔයා දැනගන්න ඕනෙ තමුන්ට අවම හානියක් වෙන විදිහට තීන්දු තීරණ ගන්න. ඔයා දැං ලොකු ගෑනියෙක්. කල්පනා කරල හොඳම දේ කරන්න. මේකත් මතක තියා ගන්න. ඉස්සරහට යන මිනිස්සු තමුන්ට ලැබෙන හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්නව”
ඉදිරියට යන මිනිස්සු ඔවුන්ට ලැබෙන හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ලබති. ඒවා මග හැර නො යති. ඒ කියන්නේ මා වූ කලී කිසි දා ඉදිරියට යන තැනැත්තියක නොවේ ද?
“අනේ වෙන තැනකට යන්න එපා පුතේ. ඒ මිනිස්සු අපිට සුවල්ප උදව්වක්ද කළේ…අපිට හීනෙකිංවත් හිතන්න පුළුවන් දෙයක්ද ප්‍රයිවට් හොස්පිට්ල් එකක මේ ඔපරේෂන් එක කරනවයි කියන එක. ලෝබ නැතුව ඒ මිනිස්සු ඒක කළානෙ”
අම්මා එක හෙලා කීවා ය.
“ඒ මිනිස්සු එහෙම කළේ නිකං නෙවෙයි. නිම්නාගෙං කොම්පැනියට ඊට වඩා ලාබ ලැබෙන නිසා. ඔය වෙන තැනකිං කතා කරන්නෙත් නිකංද…නෑ. නිම්නාගෙ වටිනාකම දන්න නිසා”
“ඒ වුණාට අපිට කෙළෙහිගුණ මතක තියෙන්න ඕනෙ”
තීරණ ගැනීමේදී ගැහැනුන් හා පිරිමින් සිතන්නේත් ක්‍රියා කරන්නේත් දෙයාකාරයකිනි. ගැහැනු හදවතින් තීරණ ගන්නා අතර පිරිමි තර්කානුකූල බුද්ධියට ඉඩ දෙති. තාත්තා ඉස්මතු කරන කාරණය මට නො තේරෙනවා නොවේ. වෘත්තීයෙන් ඉහලට යන්න නම් එක තැනක එල්ලීගෙන නො සිටිය යුතු ය. නමුත් මට වන්නේ කුලාන් පෙනෙන මානයෙන් නික්ම යන්නට ඇති නො හැකියාව නොවේ ද?
“ගිය ආත්මෙක ගල්හේනලගෙං ලොකු ණයක් අරං ගෙවල නැද්ද කොහෙද. ඒකයි මේ ආත්මෙ පණ ඇරගෙන ඒක ගෙවන්නෙ”
අශිකා නෝක්කාඩු කීවා ය. ඒ මට වන ළෙංගතුකම නිසා බව ඉඳුරා දැන සිටියෙන් මම ඇයට වචනයකුදු කියන්නට නො ගියෙමි.
“කුලාන් එක්ක මුකුත් සම්බන්දෙකුත් නෑ. ඒ මනුස්සය බඳින්න කෙල්ලෙකුත් ඇවිත් ඉන්නව. ඇයි දෙයියනේ. ඉතිං අහවල් දේකට මේක අතෑරල යන්න බැරුව ඉන්නවද…”
ප්‍රේමයක් හා විවාහයක් යනු දෙකක් බව මා ඇයට නො කිව මනා ය. ප්‍රේමයක් නැතිවත් විවාහයක් ඇති වන්නට පිළිවන. මා හා කසුන් අතර වූයේ එවැන්නකි. එසේ වීත් ජීවිත කාලය ම නො බිඳී පවත්නා විවාහ බැඳීම් මේ මිහි මත ඕනෑ තරම් තියේ. ප්‍රේමයත් විවාහයත් යන දෙක ම එකට පවත්නේ වී නම් එය වාසනාවකි. නමුත් ප්‍රේමයෙන් ඇරඹෙන විවාහයන් ද දිනෙක දික්කසාදයෙන් කෙලවර වන අවස්ථා ඕනෑ තරම් තිබේ.
කුලාන් ගැන මට දැනෙන හැඟීම ප්‍රේමයට ළඟ එකක් වන්නට පුළුවන. නමුත් එය ඉන් ඔබ්බට දුර දිග යන එකක් නො වන බව මම ඉඳුරා දනිමි.
හැන්දෑවේ කාර්යාලයෙන් පිට වෙන්නට ඇඟිලි සලකුණ තබන කොට ම කුලාන් ගේ අංකයෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මට අශිකා ගේ මූණ බැලිණි. කෑම විවේකයේ දී නික්ම ගිය පසු කුලාන් කාර්යාලයට පැමිණ තිබුණේ නැත. මීට ස්වල්ප වෙලාවකට පෙර කුෂ්ලානි ද නික්ම ගොස් තිබුණා ය.
“ආන්සර් කරනව”
අශිකා සැර කළෙන් මම පමා වී එය සවනට ගතිමි.
“සර්”
“නිම්නා…”
ඔහු ගේ හඬෙහි වෙනසක් මට දැනිණි. ඔහු ගේ හඬෙහි බීමත් බවක් මට දැනිණි.
“සර්…ඇයි මේ…”
මා කතා කළේ කලබලයෙනි. මගේ හඬ ගැස්සී ගියේ ය. අශිකා පවා ඇස් වලින් ඇයි දැයි ඇසුවා ය.
“ඔයා දන්නවද මං ඉන්නෙ කොහෙද කියල…”
“කොහෙද සර්…”
“අර හොස්පිට්ල් එකේ”
“සර්…”
පපුවට කටු තුඩු අනිනා නිහැඬියාවක් දෙ අන්තයෙහි ඇති විය. මොනවා කියන්නද කියා සිතා ගන්නට මට නො හැකි වූයේ ය.
“සර් ඩ්‍රිංක්ස් අරගෙන නේද…දැං කොහොමද ඩ්‍රයිව් කරන්නෙ….”
සැබවින් මගේ හිත ගිනි වැදී තිබිණි. නමුත් ඔහු සිනහ වුණේ ය.
“අනේ සර්…ඔෆිස් එකේ ඩ්‍රයිව කෙනෙක්ව හරි ගෙන්නගන්නකො. මං කියන්නද ඔතනට එන්න කියල ටැක්සි එකක් දාගෙන…”
“මැරෙන්න එච්චර ලේසිද නිම්නා…ආ…ඩ්‍රිංක්ස් අරං ඩ්‍රයිව් කළහම මැරෙන්න පුළුවන් ද…”
“අනේ සර්…”
මගේ හඬ බිඳී ගියේ ය. අශිකා නළලත අතක් ගසා ගත්තා ය.
“එහෙනං කා එක ඔහොම තියෙද්දි සර් එන්නකො ටැක්සි එකක් අරං”
“මං ගැන ඔයා ඇයි ඔච්චර වද වෙන්නෙ…”
“අනේ සර්…”
“මට ඒකට හේතුව දැනගන්න ඕනෙ…ඇයි ඔයා වද වෙන්නෙ…ම්…”
“සර් එන්නකො. මං ඔතනට ටැක්සි එකක් එවන්නං”
“එපා එපා. මං එන්නං”
“ඩ්‍රයිව් කරන්නනං එපා සර්”
“හරි මං ටැක්සි එකක එන්නං. හැබැයි එක පොරොන්දුවක් උඩ”
“පොරොන්දුවක්…”
“මං එනකල් ඔයා ඉන්න ඕනෙ. බස් හෝල්ට් එකේ”
“හරි. මං ඉන්නං. සර් එන්න”
දුරකතන සම්බන්ධය බිඳී ගියේ ය. මම පුටුවක් මතට වැටුණෙමි. අශිකා කිසිවක් ම නො කීවා ය. ඇය එතැන ඒ මේ අත සක්මන් කරන්නට වූවා ය.
“මොකද්ද නිම් මේ වෙන්න යන්නෙ…”
ටික වෙලාවකට පස්සේ ඈ එසේ ඇසුවේ ඒ ප්‍රශ්නය ට මා ළඟ පැහැදිලි පිළිතුරක් නො වන බව හොඳට ම දැන ගෙන ය. ටික වෙලාවක් මම හුස්ම ගැනීම විතරක් ම කළෙමි. කිසිවක් සිතිය නො හැකි තරමට හිත අකර්මන්‍ය ව තිබුණේ ය. ගෙදරට දුරකතන ඇමතුමක් දී පමා වන බව කියන්නයි කීවේ අශිකා ය.
“ඇයි කියලද කියන්නෙ…”
එහෙම අසරණ කමක් මීට පෙර ඇය මගෙන් දැක නැති බව විශ්වාස ය.
“මාත් එක්ක ශොපින් කරනව කියන්න”
එහෙම වෙලාවක ඒ තරම් ආදරණීය යෙහෙළියක් ළඟ ඉන්නා එක මොන තරම් හවුහරණක් ද කියා තේරුම් ගන්නට එවන් තත්වයකට පත් විය යුතු ය.
තවත් ටික වෙලාවක් යන තෙක් මා හිටියේ පියවි තත්වයෙන් මඳක් ඔබ්බෙහි විය යුතු ය. සාමාන්‍ය තත්වයට ආසන්න වෙමින් සිටියදී මම අසුනෙන් නැගී සිටියෙමි.
“මොකද්ද දැං මේ සිද්ද වෙන්නෙ…කුලාන් වගකීමක් ඇතුව වැඩ කරනවනං කිසිම ප්‍රශ්නයක් නෑ නිම්නා. ඒත් එයා කරන්න හදන්නෙ සල්ලිකාර පවුල් වල හුඟක් කොල්ලො කරන දේමනං…”
“එහෙම මුකුත් නෑ අශී”
“දෙකෙං එකක් තීරණේ වෙන්න ඕනෙ හරිද…”
“ආදරේ තියෙන්නෙ ඒ දෙකෙං කොතනද අශී…”
“පිස්සුද ඕයි…හීනෙං බය වෙලාද…අවුරුදු දහ අටක කෙල්ලෙක් වගේ කතා කරන්න එපා. ආදරේ ගැන මනස්ගාත හිතපු වයස පහු කරලයි අපි ඉන්නෙ දැං”
මම බිම බලා ගතිමි. අශිකා දිගින් දිගට ම අවවාද දෙන්නට වූවා ය. මා ගැන මටත් වඩා ඇය බිය වී සිටි බව පෙනිණ. සත්තකට මා ගැන මට එවන් බියක් නො දැනෙන්නේ මන්ද? මා උමතු වී ගෙන එනවා වත්ද?
කුලාන් ආවේ කුළී රියක නොවේ. ඔහු ගේ රිය පැදගෙන ය. වම් පසට බර වී රියෙහි ඉදිරි දොර හැරි ඔහු පොඩි දරුවෙකු දඟකාරකමක් කළා සේ හිනැහුණේ ය. මම අශිකා දෙස බැලීමි. ඇය මට ඉඟි කර ගෙන බසයක් වෙතට දිව ගියා ය. මම රියට නැග ගතිමි.
“අනේ ඇයි සර් මේ…”
ඒ ප්‍රශ්නය ට උත්තර නැතිව ම හෙතෙම රිය පෙරට ගත්තේ ය.
“මෙහෙම ඩ්‍රිංක්ස් අරං ඩ්‍රයිව් කරන එක හොඳද…”
“ඔයා කතා කළහම වෙරි හිඳුනා අප්පා”
“සර්නං හිනා වෙයි”
එහෙම කීවාට ඇත්ත ම ඇත්ත නම් මා ඒ සිනහවට වශී වෙමින් සිටි බවයි.
“දැං ඔයා බයද මගෙ කා එකේ යන්න…කැබ් එකක් ගමුද එහෙනං…”
“මැරෙන්න මං බය නෑ සර්. මගෙ පුතා ඉන්නෙ එයාගෙ තාත්ත ළඟ. අම්මයි තාත්තයි බලා ගන්න කෙනෙක් නැති එක මිසක්…මේ දැං මැරුණත් මට කමක් නෑ”
අන්තිම ටික කියා ගෙන එත්දී මගේ උගුර රිදෙන්නට ගත්තේ ය. කට හඬ බර වේගෙන එන බවක් ද දැනිණ. මම දසන් දෙපෙළ අතරේ දෙතොල් හිර කර ගතිමි.
“කාට කියන්නද ඉතිං මේව”
ඔහු සුසුමකින් මුමුණනු ඇසිණ. රිය තුළ වූයේ හුස්ම හිර කරවන බර ගතියකි. ඉන් පසු අප අර කතා බහක් සිදු වූයේ නැති තරමි. මහාමේඝවත්ත පාර ට රිය හැරිණි. උස් වූ තාප්ප බැඳුණු නිහඬ නිසසල මැදුරු සහිත හුදෙකලා පෙත් මගක ඔහු රිය නතර කළේ ය. ඊළඟට ලොකු ම හුස්මකින් පෙනහළු පුරවා ගත්තේ ය.
“නිම්නා…කුෂ්ලානි ප්‍රෙග්නන්ට්ලු”
හිතා ගන්නවත් බැරි වෙලාවක මහ පොළොව දෙබෑ වී මා ඒ තුළට ගිලී යන්නට විය. සිද්ද වෙන දෙයක් වුණාවේ යි සිතා මම තද කොට ඇස් දෙක පියා ගතිමි.