මන්දාරම් හැන්දෑවක – 24

අයියා වෙසෙන කුඩා නිවහන පුරා ඇවිදිමින් තරිඳු බොහෝ වෙලාවක් ගත කළේ ය.ඔහු මෙවැනි ජීවිතයක් ගෙවිය යුතු කෙනෙකු නොවේ.දුෂ්කර පළාතක වෛද්‍යවරයෙකු වන සිහිනයක ඔහු ගිලී සිටි බව තරිඳුට අමතක නැත.එහෙත් ඒ දුෂ්කර මිනිසුන්ට බොහෝ උදව් කරන්නට පවා මිල මුදල් ඇති පවුලක වැඩිමහල් දරුවා වූ අයියාට තමන්ගේ දියණිය සාමාන්‍ය පවුලක දැරියක සේ ඇතිදැඩි කරන්නට සිදුවීම ගැන තරිඳුට දැනුණේ හද කකියවන වේදනාවකි.

“මං දන්නේ නෑනෙ ඔයා කොච්චර ලොකු බබෙක්ද කියලා. බාප්පා ආයෙ එනකොට මගෙ පුතාට සෙල්ලම් බඩු ගොඩක් ගේන්නම්…”

තරිඳු ඉනුලිට පැවසුවේ ඇය තුරුලට ගනිමිනි.තාත්තාගේ සුවඳ දැනෙන මේ නොදන්නා පුද්ගලයා ළඟ ඈ රැඳුණේ කෝල බවිනි.හදිසියේ දොරකඩ මතු වූ රූපය ඒ කෝල බව සඟවා ගන්නට හොඳම තැන බව ඉනුලිට දැනුණි.ඇය වහා බිනර තුරුලට පැන ගත්තා ය.

“අම්මා ටක් ගාලා කෑම හැදුවා දිනිඳු අයියේ. අමුත්තෙක් ඇවිල්ල කිව්වම..” බිනර දිනිඳු අත බර පාර්සලයක් තබද්දී මේ මේඝා නිසා බොහෝ කම්පිත වූ තරුණයා බව තරිඳුට සිහිපත් විණි. ඔහු බිනරට සුහදශීලි සිනාවක් පා කළේ ය.

“බිනර තමා මට සහෝදරයන්ගෙ අඩුව පිරිමැහුවෙ..තවම කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර්. ඒ උනාට මගෙ තාත්තා කියල මූ හිතන් ඉන්නෙ” දිනිඳු ගෙතුළට ගියේ එසේ කියාගෙන ය.

“අයියා නැති අඩුව විතරයි මං පිරිමැහුවෙ.. ” බිනර තරිඳු අසලින් අසුන් ගත්තේ එසේ කියන අතර ය.ඔහු ජනිඳු ගැන අමනාපයෙන් පසු වෙන බව ඒ වාක්‍යයෙන් තරිඳුට වැටහිණ.

“අනිත් අඩුවත් මල්ලි හොඳ විදියට නැති කරනවා නේද? අපේ අයියට නෙවෙයි..මේඝාට..”

තමන් උදෑසන මේඝා ගැන කම්පිත වූ තරමට තරිඳු වැරදි අවබෝධයක ගිලී ඇති බව වටහා ගන්නට බිනරට එතරම් වෙලා ගත වූයේ නැත. ඔහු සිනාමුසුව ඒ වරද නිවැරදි කරන්නට තීරණය කළේ ය.

“මේඝා මෙච්චර ඉක්මනට ආයේ අෆෙයා එකක් පටන් ගත්තේ නෑ අයියේ.එහෙම මානසිකත්වයක ඉන්නවනම් අර වගේ තීරණයක් ගනී යැ. එයා ඉන්නේ හුඟක් අප්සට් එකේ. මම තමයි මෙහෙ ඉන්න හොඳම යාළුවා එයාට. “

මේඝාව පෞද්ගලිකව නොදන්නා නමුත් ඇයට ජීවිතය යළි ගොඩ නඟා ගන්නට උදව් කළ යුතු බවට තදබල තීරණයක ගිලී හුන් තරිඳු ඇය සොයාගෙන ඈ විවාහ කරගන්නට තීරණය කළේ ඇය අරබයා ජනිඳුගේ වියරුව ඉහළ යද්දී ය.උදෑසන ඈ බේරා ගත් මොහොතේ සිට තරිඳු සිටියේ ඒ හැඟීමේ වඩාත් ගිලෙමිනි.එහෙත් මේ තරුණයා ඇගේ පෙම්වතාදැයි තරිඳුට වූයේ සැකයකි.”හොඳම යාළුවා” පෙම්වතා බවට පත් වීමේ ඉඩ වැඩි නිසා මඳක් කාලයට ඉඩදෙන්නට තරිඳු තීරණය කළේ ය.

තරිඳු ද දිනිඳු ද මේඝා සම්බන්ධයෙන් කාලයට ඉඩ දෙන්නට තීරණය කළ හ. නමුත් දැවෙමින් හුන් ජනිඳු එවැනි සැනසිලිදායක මානසිකත්වයක සිටියේ නැත.

වීරසේකර මැතිනිය උදෑසන සූදානම් වූයේ ළමා නිවාසයක කටයුත්තක් වෙනුවෙන් පිටත් වන්නට ය.නිවසේ රැඳෙනවාට වඩා පිටස්තර සමාජ සේවා කටයුතු ඇගේ හදවතට සහනයක් විණි.තුරුලෙන් ගිලිහ ගිය දරු තිදෙනා ද හදවතින් ගිලිහ ගිය සැමියා ද ඇති කරන වේදනා සඟවා ගන්නට සමාජ සේවිකාවක ලෙස ලබන නම්බු නාම ඇය පලිහක් කර ගත්තා ය.ජනිඳු ඇගේ කාමරයට පැමිණියේ කේලම් මල්ලක් රැගෙන ය. කලාතුරකින් කතාබහකට එන බාල පුත්‍රයා දෙස අම්මා බැලුවේ විමසුම් ඇසකිනි.

“අම්මගෙ පොඩි පුතා අන්න කෙල්ලක් හොයාගෙන රස්තියාදුවක ගිහිං..”

තොල් ආලේපන තවරන අතර වීරසේකර මැතිණිය නෙතු නඟා පුතු දෙස බැලුවා ය.

“කැම්පස් එකේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඇති. ඔයාට කියලද ගියේ චූටි පුතා?”

අම්මා එසේ අසද්දී පුතු කාමරය දෙදරවන අන්දමේ සිනාවක් නැඟී ය. කාමරයේ බිම වාඩි වී අලසව නිදි කිරමින් හුන් බලු සුරතලා වහා නැගිට ගත්තේ තමන්ගේ නින්දට බාධා කළ මිනිසා ගැන කෝපයෙනි.

“නෑ කාලයක් මං යාළු වෙලා හිටිය ගෑනියක්.ඒකි මේ වීඩියෝ වගයක් ලීක් කරගත්තා.මං අතෑරියා. අරයා අන්න මට බැන බැන ඒකිගෙ පස්සෙන් යනවා..”

වීරසේකර මැතිණියට දැනුණේ කෝපයකි, එයට ළඟ ශෝකයකි.ඇය අසාධාරණයට ලක් වූ යුවතියන් වෙනුවෙන් බොහෝ දේවල් කරන්නට ඇපකැප වූවා ය.තම ඥාති දියණිය වූ නිමාෂාට ඒ වෙනුවෙන් බරපැන ලබා දුන්නා ය.සුපිරි වෙළඳසැල් ජාලයක් ද නිමි ඇඳුම් කම්හල් කිහිපයක් ද හිමි නොයෙල් වීරසේකරගේ බිරිඳ බව ලෝකයාට හඟවනවාට වඩා සටන්කාමී නීතිවේදිනියක වූ නිමාෂා සල්වතුරගේ ඥාතිවරිය වීම ඇයට ආභරණයක් විය. ඇය වීරසේකර වාසගම භාවිතා නොකර සල්වතුර වාසගමම භාවිතා කරන්නට එකම හේතුව ද එය ය.කාන්තා අසාධාරණකම් වෙනුවෙන් පෙනී හිඳින නිමාෂා එය තමන්ගේ පෞද්ගලික ජීවිතයට ද ආදේශ කර ගත්තා ය.නමුත් වීරසේකර මැතිණියට
නමට කළු පැල්ලම් එකතු කරගත් යුවතියක ලේලිය කර ගන්නට නුවුමනා විණි.

“කොහෙ කෙල්ලක්ද?”

ඇය කෝපත් ස්වරයකින් ජනිඳුගෙන් ඇසුවා ය.ජනෙල් වීදුරු බිඳී යනතෙක් ක්‍රිකට් ගැසූ දිනයක ඒ වරදට පොඩි අයියා හසු කරමින් ප්‍රීති වූ සතුට සිහි කරමින් ජනිඳු අම්මාගේ ඇඳ මත හිඳ ගත්තා ය.

“මේ මහරගම..නර්සරි ටීච කෙනෙක්.අර වීඩියෝ ටික ලීක් උනාම ඒකි මෙහෙන් ගියා අම්මා. දැන් ඉන්නේ නුවරඑළියෙලු..”

වහා ඇගේ දෙමාපියන් හමු වන්නට වීරසේකර මහත්මිය තීරණය කළා ය.නියපොත්තෙන් කපා දැමිය හැකිව තිබූ කතාවක් පොරවකින්වත් කපා දමන්නට නොහැකිව අවසන්ව ගිය හැටි ඇය අමතක කරන්නේ නැත. සුනාමියෙන් දෙමාපියන් අහිමි වූ මිණිබිරියකට උදව් ඉල්ලා පැමිණි වයස්ගත සේවකයා ඇයට සිහි විණි.කාර්යාලයේ කාර්ය සහායකයා වූ ඔහුට උදව් කරන්නට උණු වූ හිතට අවසානයේ තමන්ට මව් පදවිය මුලින්ම ලබා දුන් වැඩිමහල් පුතු අහිමි කළ අන්දම සිහි කරමින් ඇය බොහෝ වෙලාවක් හුන් තැනම අසුන් ගෙන හුන්නා ය.

“ලස්සනම වැඩේ ඕවට උදව් කරන්නෙ අම්මගෙ නිමාෂා දුව. රටේ ප්‍රශ්න විසඳන්න ගිහින් කසාදයක්වත් කරගන්න වෙලා නැති නිසා එයා අනුන්ට මඟුල් හොයන්න දක්ෂයිනෙ.”

ජනිඳු කාමරයෙන් පිටතට පැමිණියේ එසේ කියමිනි.පුතු ඇවිල වූ ගින්නට මැදි වූ අම්මා දැවෙන්නට පටන් ගත්තා ය.අන්තර්ජාලයේ සංසරණය වන අසංවර වීඩියෝවක හිඳින තරුණිය තමන්ගේ මද්දුම පුතු භාර්යාව කර ගනිතැයි බියෙන් හිරි වැටුණු ඈ වහා නිමාෂා ඇමතුවා ය.

“නිම්, වීඩියෝ එකක් ලීක් වුණු ගර්ල් කෙනෙක්ගෙ පස්සෙ අපේ තරිඳු යන කතාවක් මට චූටි පුතා කියනවා. අපි ඉක්මනින් ඒ කෙල්ල හොයා ගන්න ඕන. ඊට පස්සෙ කොල්ලවත් හොයාගෙන විමෙන් රයිට්ස් ගැන කියලා බය කරලා ඒ කොල්ලට කෙල්ලව බන්දන්න ඕන..”

නිමාෂාගේ උස් සිනා හඬ දුරකථනය ඔස්සේ ගලා ආවේ ය. කාන්තා අයිතීන් ගැන හඬ නඟන නැන්දණියගේ පටු අරමුණ නිමාෂාට දවසක් තිස්සේ හිනැහෙන්නට හේතු ගෙනවිත් තිබිණ.

“එහෙනම්..නැන්දි එයාව ඔයාගෙ සුදු පුතාගෙන් ගලෝගෙන චූටි පුතාට කසාද බන්දන්න..මොකද ඒ වීඩියෝ එකේ ප්‍රධාන නළුවා එයා.ඔයාගේ චූටි පුතා.”

නිමාෂා එසේ කියා දුරකථනය විසන්ධි කර දැමුවා ය

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles