කවුද එන්නෙ,  දේදුන්නක් කන්න ?

දේදුන්න ගැන ලොකු පුංචි කවුරුත් අහල තියෙනවා. හැම කෙනෙක් ම එක පාරක් හරි දේදුන්න දැකලත් ඇති. ඒත් කවද හරි ඔබ දේදුන්නක් කාල තියෙනවද? රස වගේම ගුණ ගැනත් හිතල ආහාර අනුභව කරන හැම කෙනෙකුට ම දේදුන්නක් කෑවා වගේ හැඟීමක් ඇතිවෙන්න ඕනෙ කියලයි පෝෂණවේදීන් කියන්නේ.කොහොමද ඔබ ගන්නා ආහාර වේල දේදුන්නක් කරගන්න ඕනේ. බොහෝ ආහාර ඒවායේ වර්ණය අනුව විවිධාකාර පෝෂණ ගුණයන්ගෙන් සමන්විතයි. ජීවිතය පවත්වාගෙන යන්න මොනව හරි කාලා බඩ පුරවාගන්නෙ නැතිව නිරෝගී සුන්දර ජිවිතයක් ගත කරන්න කැමති හැම කෙනෙක් ම මේ වර්ණක ගැන, විවිධ ආහාරවල ඇති විවිධ පෝෂණ වටිනාකම් ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

ඔබේ ආහාර වේලට එකතු කරගත යුතු විවිධ වර්ණයන්ගෙන් යුත් ආහාරවල ඇති සෞඛ්‍යමය වැදගත්කම ගැන මේ තොරතුරු ඔබට නිසැකව ම වැදගත් වේවි.

තැඹිලි සහ රතු පැහැය තමයි ආහාර වරණාවලියෙහි පවතින ඉතාමත් ම වැදගත් වර්ණ වන්නේ. කැරට්, වට්ටක්කා, කහ බතල, ආදියෙහි කැරට්නොයිඩ්ස් නමැති සංයෝගය අඩංගු වෙනවා. කැරට්නොයිඩ්ස්වල අඩංගු බීටා කැරටීන් ශරීරය තුළ දී විටමින් ඒ බවට පරිවර්තනය වෙනවා. විටමින් ඒ ශරීරය තුළ දී සුවිශේෂ කාර්යභාරයක් සිදුකරනවා. එය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන සුදු රුධිරානුවල කාර්යාවලිය පහසුකරනවා. ඒ වගේම එය අස්ථිවර්ධනයටත් සෛල වර්ධනයට හා බෙදියාමටත් උපකාරී වෙනවා. තවත් කැරට්නොයිඩයක් වන ලයිකොපේන් පුරස්ථ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා.

කොල පැහැති එළවළු වර්ගත් ඔබේ ආහාර වේලට අත්‍යවශ්‍ය පෝෂණ වටිනාකමක් ලබා දෙනවා. බොක්චෝයි, රාබු, නිවිති, වැනි එළවළු වර්ගවල පොටෑසියම්, ෆෝලේට්, විටමින් ඒ විටමින් ඊ සහ විටමින් සී අඩංගු වෙනවා.

බෙරිවර්ග හා සහ තේ වල ඇති දම් රතු නිල් දුඹුරු පැහැයන් ආදි කාලයේ රාජකීයයන්ගේ ඇඳුම් වර්ණවත් කරගන්නටයි භාවිත කළේ. ඒත් දැන්නම් ඒවා වැදගත් ලෙස සලකන්නේ ඒ තුළ ඇති ෆ්ලැවනොයිඩ්ස් නිසයි. ස්ට්‍රෝබෙරි ක්‍රේන් බෙරි, චෙරි, රතු මිදි රතු වයින් හා දුඹුරු චොක්ලට් කොකෝ සහ සමහර තේ වර්ගවල බහුලව ඇති ෆ්ලැවනොයිඩ් මොලයේ නිසි ක්‍රියාකාරිත්වයටත්, රුධිර ගමනයටත් විශාල පිටුබලයක් ලබා දෙනවා. ධාන්‍ය කුරුට්ටෙහි සමහර එළවළු හා පළතුරුවල අඩංගු වන දිය නොවන තන්තු දුඹුරු පැහැයක් ගන්නවා. මේවා ආහාර ජීරණ පද්ධතියේ සහ ක්‍රියාකාරීත්වයට ආහාර මාර්ගයේ පිළිකා වැළැක්වීමටත් විශාල ලෙස උපකාරී වෙනවා. තවත් වැදගත් ආහාරමය තන්තු විශේෂයක් වන්නේ බීටා ග්ලූකෑන්. ඕට්ස් කුරුට්ටෙහි, හා ඕට්ස් පිටි, බාර්ලි සහ රයි ධාන්‍යවල අඩංගු වන බීටා ග්ලූටැන් නිසා හෘදයාබාධ වළක්වනවා.

සුදු පැහැති කිරි, මේද රහිත කිරි යෝගට් සහ චීස් වල විටමින් සී කැල්සියම් හා පොස්පරස් බහුල ලෙස අඩංගු වෙනවා. මේවා අස්ථි වර්ධනයට හා ශක්තියටත් නිසි ශරීර බර පවත්වා ගැනීමටත් මහෝපකාරී වෙනවා. යෝගට් වල අඩංගු ප්‍රෝ බයෝටීන් නමැති බැක්ටීරියා සංයෝගය දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද ශක්තිමත් කරනවා. ලෝකයේ පිළිගත් පෝෂණ නියාමනයන්ට අනුව පුද්ගලයෙක් දිනකට කිරි ආහාර වර්ග 3ක්වත් ගත යුතු බව නිර්දේශ කර තිබෙනවා.

ආහාර තෝරාගැනිමේ දී විවිධ වර්ණයන්ගෙන් යුත් ආහාර පරිභෝජනයට හුරුවීමෙන් ඔබේ ජීවිතයට කායික මානසික නිරෝගීබව වගේම දීර්ඝායුෂ ලබාගන්නත් හැකිවෙනවා.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles