ඔබට ඇහෙනවනම් – 29

3
3216

ආයතනයේ සේවක සමූහයා මා දෙස බලන්නට වූයේ, දඟ ගෙයට යැවිය යුතු වරදක් මගෙන් සිදු වූවා මෙනි. කුලාන් හා ශ්‍රීනාත් ගල්හේන ද එසේ සිතනවා විය හැක. ඇතැම් විට මා ව විනාශ කර දමනු වස් කවුරුන් හෝ මේ උගුල ඇටවූවා වන්නට පුළුවන. නමුත් මා එහි පැටළුණේ නැති බව මම දනිමි. මගේ හොඳ ම යෙහෙළිය ද ඒ බව දනී. ඒ නිසා මම නො බියව හිස කෙලින් කර ගෙන සිටියෙමි. දැන් මෙතන කුමක් සිදු වෙන්නට නියමිත වුණත් මා වරදක් කර නැත. මගේ ආත්ම අභිමානය හා විශ්වාසය, ආයතනයක් මදෙස වැරදි ඇසින් බලා සිටිත්දීත් මා ඔසවා තබා ගෙන සිටියේ ය.

“නිම්නාට අපෙං වැරැද්දක් වෙලා තිබුණා. මං ඒක හොඳම විදිහට නිවැරදි කරන්න හිත හිත ඉන්නකොට තමයි මේ දේ ආරංචි වුණේ. නිම්නාට මේ ආයතනයෙ තිබුණ බලය අහිමි වුණා. ඒක කෙනෙකුගෙ හිතකට දරුණු පහරක් කියල මං දන්නව. අනිත් අතට නිම්නා වගේ වැඩ කරන කෙනෙක්ව අපේ පත්තර වල ඩේටා එන්ට කරන්න කම්පියුටර් එකකට සීමා කරල තියන එක ආයතනයට මොන තරං පාඩුවක්ද කියලත් මං හොඳටම දන්නව. ඒකයි නිම්නායි ආයතනයයි අතරෙ සම්බන්ධෙ තව ශක්තිමත් කරන්න ඕනෙ කියල මං හිතුවෙ”

කුලාන් ගේ ඇස් තාරකා සේ මවෙත පායා තිබෙන බව මට නො දැනුණා නොවේ. නමුත් මම කිසි සේත් ඒවායේ නො පැටලී මගහැර ඉන්නට ප්‍රවේසම් සහගත වීමි. කතා කරන්නට මගේ වාරයක් පැමිණිය හොත් ඇත්ත ඇති සැටියෙන් කියනවාද නැත්ද යන දෙගිඩියාව මා වසා ගෙන තිබිණි.

“අපිත් එක්ක තරඟකරී ආයතනයක් බලන්නෙ අපිට ඉන්න දක්ෂයන්ව බා ගන්න. ඒක සාමාන්‍ය දෙයක්. නිම්නාට මෙතනදි අසාධාරණයක් වෙලා තියෙනව කියලත් ඒ නිසා නිම්නාව ගලව ගන්න එක ලේසියි කියලත් ඒගොල්ලො හිතන්න ඇති.අපිට වුණත් එහෙම හිතෙනවනෙ. අපි කවුරුත් මිනිස්සුනෙ. ඒත් නිම්නා අපි අතරෙ ඉන්න දේවතාවක් වගේ ගෑනු ළමයෙක් කියල මේ හැමෝටම කියන්නයි මට ඕන වුණේ”

මට ඒ අන්තිමට ඇහුණ වාක්‍යය ඇත්තට ම ඇහුණ එකක් ද? ශ්‍රීනාත් මහතා ඇත්තට ම එසේ කීවා ද? මම තරමක් අන්ද මන්ද වූයෙමි. හැම කෙනෙක් ම මුමුණන්නටත් කොඳුරන්නටත් වන්හ. අශිකා මගේ අතක් තද කොට අල්ලා ගත්තා ය. මා අතැර නො යන යෙහෙළී!

“ඒක කෙනෙකුට කොච්චර වටින ඔෆර් එකක්ද…ඒත් නිම්නා ඒක රිජෙක්ට් කරල. එයා නැහිල වැඩ කරපු, එයා හුඟක් ආදරේ කරපු කම්පනි එකෙන් එයාට ලොකු අසාධාරණයක් වෙලා තියෙද්දිත් නිම්නා ඒක රිජෙක්ට් කරල”

කුලාන් ගේ වත මත ලස්සන ක්ෂණික සිනහවක් උපදිනවා මම පැහැදිලිව ම දුටිමි. මට ඒ ප්‍රමාණවත් ය. ඒ හිනාව ඇතුළේ කියා ගන්න ට බැරි කතා කෝටි ගණනක් වන බව මම හොඳාකාරව දනිමි.

ඇස් වලින් එළියට පනින්නට කඳුළක් දඟ කළේ ය. නමුත් ඊට ඉඩ නො දී ඉන්නට මට ඕනෑ විය. කඳුළ පරාජය කළ ගැහැනියක වන්නට මට ඕනෑ කර තිබේ!

“එයාට කොච්චර ලොකු හදවතක් තියෙනවද කියල මට හිතා ගන්න බෑ. කොන්දේසි නැතුව දේකට ආදරේ කරනව කියල කියන්නෙ මේකට තමයි කියල අද මං දන්නව. ආදරේ ගැන ඉගෙන ගන්න නිම්නා තරං හොඳ එක්සාම්පල් එකක් මං වෙන දැකල නෑ. මං රෙස්පෙක්ට් කරනව පුතේ ඔයාට”

ඒ මොහොතේ නම් කඳුළ පරාජය කරන්නට මම අසමත් වීමි. සිය ගණනක් සෙනග අතරින් නැගිට කුලාන් මට අත්පුඩි ගැසුවේ ය. අශිකා ද ඊට හවුල් වූවා ය. සත්‍යය හිරු සේ විශ්වයට නිරාවරණය වන බවට මා තුළ වූ විශ්වාස ගැන මහත් භක්තියක් මට දැනෙමින් තිබිණි.

“මං මේ කට්ටියට කතා කරන්න හිතුවෙ…අවංකව වැඩ කිරීම ගැන නිම්නාගෙං යමක් ගන්න උත්සාහ කරන්න කියල කියන්න. අවංක මිනිහට ලෝකය සලකනව. අපිත් නිම්නාට සැලකුවෙ නැත්තං ඒක අපේ දුර්වල කමක්. මං කල්පනා කළා නිම්නා ගෙ පෝස්ට් එක ගැන. කම්පනි එක වෙනුවෙන් හොඳම තීරණ ගන්න මාත් එක්ක හිටියෙ නිම්නා. දැං මං වැඩිය කම්පනි එකේ වැඩ වලට ඉන්ටෆියර් වෙන්නෑ. කුලාන් ඒක හරියට කරයි කියල විශ්වාසයක් මට තියෙනව. හැබැයි මගෙ අඩුව පුරවන්න මං නිම්නාව මෙතන ඉතිරි කරල යනව”

ශ්‍රීනාත් මහතා කතාව නවතා මඳ සිනහවකින් මා දෙසත් කාර්යාලයේ සිය සේවක සමූහයා දෙසත් බැලුවේ ය. ඒ සිනහව මා කම්පිත කරවන්නට සමත් විය. අනිත් අතට ඔහු කියන්නට යන දෙයක් මට හරිහැටි වැටහුණේ ද නැත.

“අද ඉඳල මං නිම්නාව අපේ කම්පනි එකේ ජෙනරල් මැනේජර් පෝස්ට් එකට පත් කරනව”

මගේ කන් අඩි පුපුරුවමින් අශිකා අත්පුඩි තැලුවා ය. මම යටි තොල් පට රිදෙන්නට සපා ගතිමි. සමහර දේවල් මෙහෙම සිදු වෙන්නේ කොහොමද කියා මට තේරෙන්නේ නැත. අප සිහිනෙනුදු සිතා නැති තැන් වෙත දෛවය අපේ ජීවිත කැටිව යන්නේ තරමක් නාටකීය ආකාර වලට ය. ජීවිතය වූ කලී රඟ මඬලකි!

“ඒක අපේ කම්පනි එකේ නො තිබුණ තනතුරක්. මොකද මෙතන එම් ඩී යි ජී එමුයි ඔක්කොම මමනෙ”

ශ්‍රීනාත් මහතා සිය තරබාරු සිරුර සෙලවෙන සේ හිනැහුණේ ය. ඒ මා ඔහු ගෙන් දකින්නට ආසා ම සිනහවකි. හෙතෙම එසේ හිනැහෙන්නේ අතිශය සැහැල්ලුවට පත් විට බව මම අත්දැකීමෙන් ම දනිමි.

“මේ වගේ පෝස්ට් එකක් දැං මේ ආයතනයට ඕනෙ. මීට පස්සෙ නිමිනා ට කම්පනි එකේ හැම සෙක්ෂන් එකක ම වැඩ ගැන හොයල බලන්න සම්පූර්ණ අයිතිය තියෙනව. එඩිටෝරියල්, ප්‍රෙස්, ඩිස්පැච්, සර්කියුලේෂන්…ඔක්කොමලම නිම්නාට උපරිම සහයෝගය දෙයි කියල මං බලාපොරොත්තු වෙනව. එතකොට නිම්නාට ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකක් අරේන්ජ් කරන්න කුලාන්”

“ඕකේ තාත්ත”

“එහෙමනං…හැමෝම හැම දේ ම ගැන දැනුවත් වුණානෙ. බෙස්ට් ඔෆ් ලක් නිම්නා”

සේවක පිරිස ශාලාවෙන් නික්ම යත්දී මම ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ දෙපා වැන්දෙමි. ඔහු ට වැන්දා ට පව් නැත. ඔහු මුලින් ම මට රැකියාවක් දී මගේ ජීවිතය දරා ගන්නට මට හයිය දුන්නේ ය. දැන් ඔහු කාන්තාවක ලෙස මට නිසි තැන ලබා දෙමින් මා ඉහළට ම ඔසවා තබා තිබේ.

“නිම්නා මටවත් කිව්වෙ නෑ එහෙම ඔෆර් එකක් ආව බවක්”

කුලාන් ගේ නෝක්කාඩුවෙහි වූයේ ළෙංගතුකම බව මම දනිමි.

“ඒක බාර ගන්න අදහසක් නොතිබුණ නිසා කියන්න ඕන වුණෙ නෑ සර්”

“කුලාන්…කෙනෙක් කරන්න යන වැඩ ගැන සද්ද කරන්න ඕන නෑ. හැබැයි එයා කරන වැඩ ඉබේම සද්ද වෙනව”

“එතකොට අංකල් දැං නිම්නාට තියෙන්නෙ මට වැඩිය ලොකු පෝස්ට් එකක්නෙ”

බලාපොරොත්තු නොවූ මොහොතක ඒ චෝදනාව නැගුණේ කුෂ්ලානි ගෙනි. 

“ඉතිං ඔයාට ඕන වුණේ කුලාන්ගෙ සෙකට්‍රි වෙන්නනෙ. ඒක ඔයාට ලැබුණනෙ…”

“ඒත් ජීඑම් කෙනෙක් ඉද්දි…”

“කුෂ්ලානි. දරුවො. ඔයාට තව ඉගෙන ගන්න දේවල් හුඟක් තියෙනව. ඉස්සෙල්ලම නිම්නාගෙං ඒව ඉගෙන ගන්න”

කියමින් ශ්‍රීනාත් මහතා අසුනෙන් නැගිට ගත්තේ ය. කුලාන් ගේ ඇස් මා සිප  ගන්නවා මට දැනිණ.

මම මගේ දෛවයට ස්තූතිවන්ත වීමි. දෛවය මා නරකාදිය වෙත කැඳවා ගෙන යන්නට සූදානම් වෙනවා යි, කසුන් දික්කසාදය ඉල්ලූ දා මම සිතුවෙමි. ඔහු කෙරේ විසල් ප්‍රේමයක් මසිත් හි නො තිබුණා වුණත්, අපේ පවුල් ජීවිතය වෙනුවෙන් කැප වී සිටින්නට මම හිත එකලස් කර ගෙන සිටියෙමි. එසේ සිටියදී ය දෛවය අකාරුණික ලෙස මගේ සිහින කුඩු පට්ටම් කර දැමුවේ. නමුත් මා කුලාන් ගේ කුල ගෙදර සරසන කඩදාසි මල වී සිටියා නම් අද මෙවන් තත්වයකට, තනතුරකට කිසි සේත් මට පත් විය හැකි වන්නේ ද? නැත. එසේ නම් දෛවය මේ සියල්ල කල් ඇතිව සැලසුම් කොට තිබෙන බවක් පෙනේ. 

ඒ දවස සිහිනයක් සේ ය. කුලාන් ගේ කුටියට යාබද වීදුරු කුටිය මට ලැබිණ. යන්තම් හිස හැරවූ කල මට ඔහු දකිත හැකි ය. අප අතර වන්නේ තුනී වීදුරු තහඩුවක පරතරයක් පමණකි. ඒ වීදුරුව තුළින් මම දුටිමි. ඔහු ගේ ලවන් මත පොපියන මඳහසකි.

ආයතනයේ විවිධ අංශ ව වලින් ඒ ඒ කණ්ඩායම් පැමිණ මට සුබ පැතූහ. නමුත් ඒ බොහොමයක් පැතුම් වල හැබෑ ජීවී බවක් හෝ උණුහුමක් නො වන බව වටහා ගන්නට මට නො හැකි වූයේ නැත. වැඩි දෙනෙක් සිනහ වුණේ වුව මූණිච්චාවට ය. මට ඒ සියල්ල කෙරේ උපේක්ෂා සහගත විය හැකි විය. හදවත ප්‍රීතියෙන් පිරී තිබුණෙන්, සියලු දෙනා දෙස දයාවෙන් බලන්නට මට හැකි විය.

අන්තිමට මගේ කුටියට ආවේ අශිකා ය.

“අනේ මන්දා ඉතිං. දැං නිකංම නිම් කියල කතා කරන්න බෑනෙ. අපේ ජීම් එම් මැඩම්…”

ඇය අවංක සතුටක් තැවරී ගත් නෙතින් මදෙස බලා මා වැළඳ ගත්තා ය.

“පිස්සි. කුලාන් සර් මේකෙ අයිතිකාරය වෙලත් අපි දෙන්නත් එකටයි ලන්ච් ගත්තෙ…කුෂ්ලානි මැඩම් එනකල්ම”

“ඒ ඉතිං වෙන වෙන අරමුණු හිතේ තියාගෙන නෙ”

“සෑහෙන කාලයක් තිස්සෙ මට යාළුවෙක් හිටියෙ නෑ. ඔයා ඉන්නකල්…ආයෙ මට වෙන යාළුවෙක් ඕන වෙන එකකුත් නෑ.පෝස්ට් එක මොකක් වුණත් ඔයා මගෙ ළඟ ම හොඳ ම යාළුව අශී…”

“දැන්නං වැඩක් කරගන්න හම්බ වෙන එකක් නෑ වගේ”

අශිකා එහෙම කීවේ නෙතගින් කුලාන් ගේ කුටිය විනිවිද බලම්නි. ඒ මොහොතේ ත් කුෂ්ලානි ඔහු සමග බහින්බස් වීමක බව පෙනෙන්නට තිබිණි.

“හැබැයි ගොයියො එහෙම වුණොත් මේ ප්‍රමෝෂන් කෑන්සල් වෙලා ආයෙ ඩිමෝෂන් තමයි”

 එදාත් අප දිවා ආහාර සඳහා ගියේ එකට ය.

“හරිනං අද අපිට හොඳ ලන්ච් එකක් දෙන්න ඕනෙ”

අශිකා ආඩපාලි කීවා ය. 

“හරි හරි දෙන්නං ඉතිං. මේ එක පාරටම එහෙම දේවල් කොහොම ප්ලෑන් කරන්නද…”

“ඔයා හරි නිම්”

“ඒ කිව්වෙ…”

“ඔයා හිතුව විදිහ හරි. සොබා දහම වුණත් ඉන්නෙ එහෙම හිතන අයගෙ පැත්තෙ වෙන්නැති. මොනා වුණත් ඔයා අර කම්පනි එකට ජොයින් වුණානං…මොනතරං ලොකු දේවල් ලැබුණත් ඔයාට අද මේ තියෙන සතුට නෑ. ඒකයි වටින්නෙ”

“මන්දා…මේ කිසි දෙයක් බලාගෙන නෙවෙයි. ඒත් මං මෙතන නතර වෙන්න තීරණේ කළේ හිතට එකඟව. අපි ඕන දෙයක් කරන්න ඕනෙ අපේ හෘද සාක්ෂියට එකඟව අෂී”

“අද වැඩි දෙනෙකුට හෘද සාක්ෂියක් තියෙනවද කියන එකයි ප්‍රශ්නෙ. ඔයා වගේ යාළුවෙක් ව ආශ්‍රය කරන්න ලැබෙන එකත් වාසනාවක් නිම්…”

එදා සිට ම මට කාර්යාලයේ වෑන් රියකින් ගමන් පහසුකම් සැලසිණ. අශිකා යන්නේ වෙනත් මාර්ගයක වුණත්, මම ඇය ව ගේ ළඟින් බස්වා ගෙන ගියෙමි.

“ඇයි පුතේ…අසනීපයක්වත්ද…”

මා වෑන් එකෙන් බැස ගෙට එත්දී තාත්තා හා අම්මා කලබලයෙන් සේ පෙර මගට පැමිණියහ. මට ලැබුණ අලුත් තනතුර හා වරප්‍රසාද ගැන දැනගත් ඔවුන් සැනසීමට පත් බවට සැක නැත.

“දැක්කද මං කිව්වෙ අර තැනට යන්න එපා කියල. තාත්තටනං ඕන වුණේ දූව එතනට යවන්නමයි”

අම්මා මගේ ජයග්‍රහණයේ අයිතිය ඈ නමින් පවරා ගත්තා ය. තාත්තා ගේ සිනහව තුළ හැංගී තිබෙන සතුට ගැන මිනුම් කරන්නට නො හැකි බව මම දනිමි.

“හරි හරි ඉතිං…අම්මයි දුවයි දිනුං…අපි පරාදයි”

“මං සම්පූර්ණයෙන් දිනන්නෙ පුතාව මගෙ ළඟට ගත්ත දවසට තාත්තෙ”

“නිම්නා දන්නව කරන්න ඕන දේ. ඔයා හොඳම දේ කරයි පුතේ. අපේ ආශිර්වාදයයි අපියි ඔයත් එක්ක හැමදාම ඉන්නව”

ජීවිතය මට බෙහෙවින් රිදවූ සමයක් තිබිණි. නමුත් හැම දා ම එහෙම නො වන බවත්, සෑම අඳුරු වලාවක් පිටුපස ම රිදී රේඛාවක් වන බවත් මම දැන් පසක් කරමින් හිඳිමි. දෛවයේ අනාගත සැලසුම් ගැන මම නො දැන සිටියෙමි. නමුත් වැටුණු තැන ම වැටී නො හිඳ එතැනින් නැගිට ගන්නට මට තිබූ උවමනාව කෙරේ දෛවයේ ආශිර්වාදය හිමි වූ බව දැන් මට සිතත හැකි ය.

දිය නා ගෙන විත් මා තේ එකක් තොල ගාමින් සිටියදී, හැර දමා තිබූ ගේට්ටු පියන් අතරින් විත් කුලාන් ගේ රිය අපේ මිදුලේ නැවතිණි. මම තරමක ගැස්මකට බඳුන් වෙමින් ම බරාඳයෙන් මිදුලට බැස්සෙමි.

5 4 votes
Article Rating
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
4 months ago

ආදරෙයි ගංගා.. ❤️

Anuradha silva
4 months ago

nimna jewithe dinai neda…harima lassanai ❤

දිල්හාරා ❤️
4 months ago

ගංගා, ආදරෙයි ඔයාට…. ❤️