නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ වීම නිසා එල්ල වූ සමාජ පීඩාව නිසා දිවිනසා ගත් තරුණියක්.

0
690

පහුගිය දවස්වල සයිබර් බුලින් ගැන ෆේස්බුක් හරහා විශාල කතාබහක් ඇති වුණු හැටි ඔබටත් මතක ඇති. මේ කාරණා වරින් වර කතාබහට ලක් වෙන යළිත් යට යන කතාවක් බව නොකියාම බෑ.

කාන්තාවක් වීම, තරුණ දැරියක් වීම නිසා සයිබර් අවකාශයේ පහසු ගොදුරක් වීමට සිදුවීම ඇත්තටම ඛේදනීය කාරණාවක්.අපේ රටේ විතරක් නෙවෙයි.විදෙස් රටවල පවා සෙලිබ්‍රිටි තරුණියන් සයිබර් හරහා නොනවත්වාම අපහාස විඳීම් අපි ඕනෑතරම් දැකලා තියෙනවා.අද වෙද්දී සුන්දර විවාහ ජීවිතයක් ගත කරන අනුෂ්කා ෂර්මා විරාජ් කෝලිගේ ක්‍රිකට් තරග බලන්නට පෙම්වතිය කාලේ පැමිණි විට කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම නිසා අනුෂ්කාට සම්බන්ධතාවය නතර කරන්නට බල කරමින් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ෆේස්බුක් , ට්විටර් වැනි අවකාශයන් හරහා කරදර කළ අන්දම අපි කාටත් අමතක නොවන සිදුවීමක්.

අපේ රටේ පමණක් නෙවෙයි.විදේශයන් හි පවා සෙලිබ්‍රිටි චරිත මේ තත්ත්වය පාලනය කර ගන්නට කටයුතු කරනවා.නමුත් සාමාන්‍ය යුවතියන් තමන්ගේ නිරුවත් වීඩියෝවක් හෝ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම ආදිය නිසා ඉතා කණගාටුදායක දේ වෙත යොමු වීම දැන් වසර කිහිපයක් පුරා සිදු වන්නක්.

මේ වසර අටකට පෙර කතාවක්.මෙවැනි දේ නැවත නැවත සිදු වෙද්දී පවා අප තවමත් වින්දිතයන්ට හිරිහැර කිරීම් සහ අපහාස කිරීම් නවතා දමා නැති නිසා මේ කතාව යළි ඔබට සිහිපත් කරන්න අපි හිතුවා.

අමන්දා ටොඩ් මේ අවාසනාවන්ත ඉරණමේ අයිතිකාරියයි.

මේ සිදුවීමට මුහුණ දෙද්දී කැනේඩියානු යෞවනියක වූ අමන්දා පහළොස් හැවිරිදි වියේ පසු වූවා.අවුරුදු දොළහේ පමණ සිට ෆේස්බුක් භාවිතා කරන්නට ඇබ්බැහි වූ අමන්දා විවිධ පුද්ගලයන් සමඟ චැට් කිරීම පුරුද්දක් කර ගත්තා. ඇයට පෙම්වතෙකු හමු වන්නේ ඒ අතර.දිනක් වීඩියෝ ඇමතුමක ඉන්නා අතර පෙම්වතා අමන්දාට ඉල්ලීමක් ඉදිරිපත් කරනවා.ඒ ඇගේ උඩුකය නිරුවත් කර ඔහුට පෙන්වන ලෙසයි.කිහිපවතාවක් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු අන්තිමේදී එයට එකඟ වෙනවා. පෙම්වතා එහි Screen shots කිහිපයක් ලබා ගන්නේ ඇයට නොදන්වා.

ඉන්පසු මේ පුද්ගලයා ඇයට සම්පූර්ණයෙන් නිරුවත්ව හිඳිමින් ඇමතුම් ගන්නට බල කරත් අමන්දා එය ප්‍රතික්ෂේප කරනවා.ප්‍රේමවන්තයා එයට පලි ගන්නේ ඉතා නරුම ආකාරයට. ඔහු ඒවා ෆේස්බුක් පුරා ප්‍රචලිත කරනවා.

අමන්දා සමාජයට මුහුණ දිය නොහැකිව පදිංචිය සහ පාසල වෙනස් කරනවා. නමුත් ඇයට ලෝකයෙන් සැඟවීම අපහසු වෙනවා. ඇය කිහිපවතාවක් පාසල් මාරු කරනවා.අනතුරුව දැඩි මානසික පීඩාවට ලක්වෙන ඇය හිත හදා ගන්නට මත්ද්‍රව්‍ය භාවිතා කරනවා.සිරුරට කැපුම් සිදු කරගන්නවා. වස පානය කර මිය යන්නට උත්සාහ දරනවා.ඇයට කිසිවෙකුගේ මිත්‍රත්වය ලැබෙන්නේ ද නෑ. ඇය ඒ වෙනුවට විව්ධ රැවටීම්වලට ලක් වෙනවා.එක්වතාවක් ඇගේ ආදරය පතා එන පුද්ගලයෙකුටද උවමනා වන්නේ ඇගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගන්නටයි. අමන්දා ඔහුගේ සැබෑ පෙම්වතියගෙන් ගුටිබැට ප්‍රහාරයකට පවා ලක් වෙනවා.ඔවුන් ඇයට පහර දී කාණුවකට ඇද දමනවා. අමන්දා යළිත් සිය දිවි නසා ගන්නට තැත් කරත් ඇයව රෝහලේ දී බේරා ගැනෙනවා. මේ අතර ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරි පුද්ගලයා ද නොනවත්වා ඇයට තර්ජන එල්ල කරනවා.

ඇය Youtube හරහා වීඩියෝවක් මුදා හරිමින් තමන්ගේ වේදනාත්මක සිදුවීම ලෝකයට පවසනවා. “I have nobody.I need someone” වැනි වේදනාත්මක ප්‍රකාශ ඇති එහි ඇගේ වේදනාව සහ ප්‍රතික්ෂේප වීම් ගැන වචනයෙන් වචනය සඳහන්.නමුත් ඇයට කිසිවෙකුත් අවධානයක් හෝ ආදරයක් ලබා දෙන්නේ නෑ.ප්‍රතික්ෂේප වීම් දරා ගත නොහැකි තැන ඇය 2012 ඔක්තෝබර් දොලොස්වැනිදා සිය දිවිනසා ගන්නවා. ඇයට ජීවත් වීමට සහ ගොඩනැගීමට උවමනා වූ බවත් නමුත් ප්‍රතික්ෂේප වීම දරා ගත නොහැකි වන්නට ඇති බවත් ඇගේ දෙමාපියන් පවසනවා.

අමන්දාගේ යූටියුබ් වීඩියෝව 2021 පෙබරවාරි වනවිට මිලියන දහහතරක් නැරඹුම් වාර පසු කර අවසන්.ඒ නැරඹීම් අතර ඔබේ නැරඹුම් වාරයක් ද තිබිය හැකියි.නමුත් ඔබ ශ්‍රී ලාංකීය අමන්දා ටොඩ් කෙනෙකුට මේ මොහොතේ ද අපහාස කරන්නියක්දැයි ඔබේ හදවතින් විමසා බලන්න.නොදැනුවත්වම හෝ හැඟීම්වලට වහල් වීමෙන් අමන්දා ගමන් කළ මාර්ගයේ ගමන් කරමින් හිඳින්නියකදැයි කල්පනාකාරී වන්න.

ඇය මියගොස් නවවසරක් පිරෙන්නට ආසන්නයි. නමුත් අමන්දා ටොඩ්ලා නොනවත්වා බිහි වෙමින් සිටිනවා. ඒ නිසා සයිබරය හරහා හිංසනයට පත් වීමෙන් ද පත් කිරීමෙන් ද හැකිතරම් වැළකෙමු.

අතීතය යලියළිත් සිදුවිය යුත්තක් නොවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here