මන්දාරම් හැන්දෑවක-26

මේඝා දිනිඳුගෙන් දෑස් මුදවා නොපෙනෙන අහස් කුස මත දෑස් රඳවා ගත්තා ය.හැන්දෑ අහස අද රත් පැහැ නැත.අඩුම තරමේ තඹ පාටක සේයාවක් වත් නැත. අද අහසේ මන්දාරමක් තැවරී ඇති බව ඈ දුටුවා ය

“මේඝා, ලෑස්ති වෙලා එනවද? මං ආවේ ඔයාවයි සඳලිවයි ගමනක් එක්ක යන්න.” දිනිඳු හැන්දෑ නිහඬතාවය බිඳ දැමී ය.මේඝා කුතුහලය ඇස් මත තවරා ගත්තා ය.අනතුරුව බිනර දෙස බැලුවා ය.

“මෙහෙමයි මොට්ටස්. ඔයා අර කොහෙවත් ඉන්න ගොබ්බ මිනිහෙක් කරපු තර්ඩ් ක්ලාස් මතක් කර කර වොරි වෙනවනෙ.කරන්න වැඩ ඕන තරම් තියෙද්දි ඔයාට අඬ අඬ ඉන්න ටයිම් නෑ.අඬන්න ඕනත් නෑ. අපි ටිකක් හිත හදා ගමු..”

බිනර ඉතා කාරුණිකව පවසද්දී සඳලි මේඝාගේ අතකින් මෘදුව අල්ලා ගත්තා ය.

“අපි නංගි පොඩ්ඩක් හිත හදා ගමු. මං ඔයාව ඩොක්ට කෙනෙක් ගාවට එක්ක යන්න ආවේ. අපේ හොස්පිටල් එකේ ඉන්න හොඳම මැඩම් කෙනෙක්. හිත හදාගෙන ෆයිට් කරන්න එයා දෙන උදව් නිසා ඔයාට ලේසි වේවි.”

මේඝා එක්වරම කෝපයට පත් වූවා ය. ඇය බිනර දෙසත් සඳලි දෙසත් ඒ කෝපී නෙත් ඇතිව බැලූයේ ඒවා දිනිඳුට පා කරන්නට අපොහොසත් ව ය.ඇයට එයට ධෛර්යයක් තිබුණේ නැත.නමුත් පහත් තැනින් ජලය ගලා යන්නට පටන් ගත්තේ ය.

“කොහෙවත් ඉන්න බල්ලෙක් කරපු වැරදි වලට ඇයි මං බේත් බොන්නෙ මට බෑ. අනික මං සූසයිඩ් කර ගන්න හැදුවට ඔයාලට මොකද? මේ ජීවිතේ මගේනෙ. ඔයාලට මාව මීට් වෙලා තාම ත්‍රී මන්ත්ස් විතර. මට ඕන නම් මං මැරෙනවා.මොකක්ද මේ මල වදේ..”

දිනිඳුගේ සන් කිරීම නිසා බිනරවත් සඳලිවත් මේඝාට පිළිතුරු දෙන්නට ගියේ නැත.ඔවුහු වදනකුදු නොදොඩා ඔහේ බලා සිටිය හ.සඳලි නම් හුන්නේ හඬන්නට ඔන්න මෙන්න තබා ය.

“ඔයා දන්නවද නංගි. අපිට දෙයක් ඕනමයි කියලා හිතල ඒ වෙනුවෙන් කැප වුණොත් මොන හේතුවකටවත් ඒක අපිට නැති වෙන් නෑ.බිනර ඔයාට ආදරෙයි.කුල ප්‍රශ්න,දුප්පත් පෝසත්කම් එන්නේ පස්සෙ.ඔයාලා දෙන්නා හයියට ඉන්න.අපි ඕවා විසඳා ගමු..”

එක්තරා දිනක තමන් දකින්නට ආ මේඝා හිස මතට හැලූ මල් වැස්ස සඳලිට අමතකව යන්නේ නැත.වෙද ගෙදරට පැමිණ හිඳින රූමත් කොළඹ කෙල්ල බිනරව ඉක්මනින් දිනා ගන්නට ඉඩ ඇතැයි මිතුරියන් ඈ සිත රිදවමින් සිටියදී මේඝා තමන් වෙත ආ අන්දම ඇය කෙදිනකවත් අමතක කර දමන්නේ ද නැත.

“මේඝා ඔය හිනා වෙලා හිටියට සඳූ ඒක ඇත්ත හිනාවක් නෙවෙයි..”

බිනර දිනක් මේඝා ගැන සියල්ල පැවසූ අන්දම සඳලි යලිත් සිහි කළේ කෝපත්ව කෑගසන මේඝාගේ අතක් අල්ලාගෙන ම ය.එවැනි සිදුවීමක් ඇසීම ම ගම්බද යුවතියක වූ සඳලි කෙසේ පිළි ගනීදැයි බිනරට ද සැක සංකා විය.නමුත් සඳලි මේඝා දරා හිඳින්නට ඔහුට එක් වූවා ය. අහිතක් නැතිවම එක් වූවා ය.

“මේඝා අක්කට හොඳ අයියා කෙනෙක් හම්බෙයි.”

සඳලි එසේ සිතමින් සිත සනසා ගත්තා ය.නමුත් ඈ සියදිවි නසා ගන්නට උත්සාහ ගත් ආරංචිය ද දැන් ඈ මානසික පීඩාවකින් පෙළෙන අන්දම ද දරා ගන්නට තරම් සඳලිගේ හිත දැඩි වී නොතිබිණ.අහඹු ඉකි ගැස්මක් ඈ වෙතින් පිට වූයේ එනිසා ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 4

මේඝා ඒ සිහින් ඉකි බිඳුමට සන්සුන් වූවා ය.දිනිඳු හඬ අවදි කළේ ඉන්පසු ය.

“නංගි, මේ බලන්න සඳලි අඬන හැටි.අපි මොන හේතුවකටවත් අපිට ඇත්තටම ආදරේ අයව රිදවන්න හොඳ නෑ නංගි.ඔයාගේ හිත රිදිලා නිසා දැන් වෙන්නේ ඒක.අපි ගිහින් අර මැඩම්ව මීට් වෙලා, ටිකක් කතා කරලා කොත්තුවක් එහෙම කාලා එමු..අනික බිනර හලල මෙහෙම ගමනක් යන එකත් වෙනම ජොලියක්නෙ”

මේඝා සිහින් සිනාවක් නැගුවා ය.ඈ අනතුරුව නිවස තුළට ගියේ සූදානම් වන්නට ය.

“ඉතිං ඇයි ඩොක්ටට බැරි මේඝා අක්කට බේත් දෙන්න..”

සඳලි පැනයක් නැඟුවා ය.

“මේඝාට තියෙන්නේ මානසික කම්පනයක්නෙ දරුවො.ඇත්තටම එයාට බේත් පෙති ගිලින්න වෙන එකක් නෑ. ටික කාලෙකට කලින් වුණු දේවල් අමතක කර ගන්න විතරයි ඕන..අමතක කරනවට වඩා ඒ දේවල් වලට වඩා හිතන්න ඕන දේවල් මතක් කර ගන්න එයාට දැන් උදව් ඕන.අන්න ඒකට මට වඩා හරියන්නේ මනෝ වෛද්‍යවරයෙක්.අපි යන්නේ ඒකට..”

දිනිඳු පවසන දේ අසා හුන් සඳලි බියපත් දෑසකින් බිනර වෙත හැරුණා ය.

“අනේ මේඝා අක්කට පිස්සු හැදිලද අයියේ..” ඇගේ දෑසට යළිත් කඳුලු පිරී ආවේ ය.

“පිස්සු හැදෙන්න ඕන නෑ සඳලි එහෙම ඩොක්ට කෙනෙක්ව මුණ ගැහෙන්න.අපේ හිත අපේ පාලනයෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා කියලා තේරුණාම අපි කාගෙන්හරි උදව් ගන්න ඕන.සමාධි නැති උනාම මටත් එහෙම උදව් ඕන උනා..ඕක සාමාන්‍ය දෙයක්..”

දිනිඳු කියනා දේ සඳලි හිස වනමින් අසා සිටියා ය.

“මං සඳලිටත් යං කිව්වෙ මේඝාට උදව් කරන්න ඕන හරිම විදිය මැඩම් සඳලිට කියා දෙන නිසා.හැබැයි සඳලි මටත් පොරොන්දුවක් වෙන්න ඕන.”

දිනිඳු පැවසුවේ ය.සැබෑවටම එය ගත යුතුම පොරොන්දුවක් විය.

“මේකයි, එක කාලෙකට මේඝාට මේ විදියට උදව් ඕන උනා කියන එක සඳලි ගාව තියන වෙපන් එකක් වෙන්න බෑ. මොකද සමහර යාලුවන්ට යාලුකම අමතක උනාම වෙන නරකම වැඩක් ඕක. මානසික ගැටලුවක් තිබ්බ කියන එක අපහාස කරන්න හේතුවක් නෙවේ හොඳේ.අපි කාටත් ජීවිතේ කොයිම වෙලාවක හරි වෙන්න පුලුවන් පොඩි ඇක්සිඩන්ට් එකක්..”

සඳලි බෙරි කර ගත් මුහුණකින් නැගිට ගත්තා ය.

“අනේ මං එහෙම නෑ ඩොක්ට. මං මේඝා අක්කට හරි ආදරෙයි..”

සඳලි පිටව ගියේ මේඝා සූදානම් දැයි බැලීමට ය.

“කොහොමත් මේඝා ටිකක් සැර වෙයි මල්ලි..ඒක කොහොමත් වෙනවමයි.ඩිප්‍රෙෂන් ආවම සමහරු නිතරම රන්ඩු අල්ලන්නේ එයාගේ කම්ෆර්ට් සෝන් එකේ අය එක්ක.ඕක අපි කාටත් වඩා විඳින්න වෙන්නේ බිනරට.මං හිතනව මදූටත් වඩා බිනර ඕකට ලෑස්ති වෙන්න වෙයි..”

බිනර එය බරපතල ලෙස බාර ගන්නට සිතුවේ නැත.ඔහු දඟකාර සිනාවකින් දිනිඳු දෙස බැලුවේ ය.

“ඒත් මං ඒකෙන් ටිකක් අයින් වෙන්න කැමති.ඒ නිසා අර ඩොක්ටගෙ ට්‍රීට්මන්ට්ස් යන අතරෙම ඔය ඩොක්ටත් ට්‍රීට්මන්ට්ස් පටන් ගන්නවට මම කැමති..”

දෙමිතුරන්ගේ උස් සිනා හඬ මිදුලේ නින්නාද නැංවී ය.

ජනිඳු තාත්තාගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ නෝක්කාඩු මුහුණක් මවාගෙන ය.

“ඇයි කීයක් ඕනද?”

තාත්තා ඇසුවේ ඔහු දෙස බලන්නටවත් ඉක්මන් නොවී ය.

“මට එක ගෑනියක් ඉවර කරල දාන්න ඕන..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 20

තමන්ගේ පාසල් මිතුරන් තමාට වඩා ජයග්‍රහණ අත්පත් කරගද්දී ඒවා වළකන්නට තාත්තාගේ කපටි මොළයෙන් උදව් ඉල්ලූ ජනිඳු දැන් ලෝකයේ පවතින බිහිසුණු අපරාධයක් වෙනුවෙන් වුව ද ඔහුගෙන් උදව් ඉල්ලා සිටින තරමට නිර්ලජ්ජී මිනිසෙක් බවට පත් ව සිටියේ ය.දිනිඳු ද තරිඳු ද තරමට යහපත්ව හැදී වැඩෙන්නට තිබූ තරුණයෙකු අයහපතට පෙළඹවූ තාත්තා නළල් රැළි ගන්වා බලා සිටියේ ය.

“අර තමුසෙ කුණු කේස් එකක් පටලවා ගත්තු එකීද?”

අනතුරුව වීරසේකර ඇසුවේ සිනාබරිතව ය.යහපත් තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවාගේ මුහුණ සමතලා කරන්නට වටිනා සිදුවීමක් මේ තාත්තාට සිනාවක් විණි.

“ඔව්..ඒකිව අපේ පොඩි අයියා කාරයා කසාද බඳින්න යනවා..”

එසේ කතාව ඇරඹූ ජනිඳු අයියා තමන්ගේ දුරකථන සහ පරිගණක අතුරුදහන් කළ අන්දමත් දැන් මේඝාව සොයමින් වෙහෙසෙන අන්දමත් හෙළි කළේ කාමරය පුරා නොසන්සුන් ව ඇවිද යමිනි.ඔහු ඉරිසියාව නමැති රෝගයකින් පිරී ගොස් තිබිණ.

“තමුසෙට ඕන ඒකි මරන්නද?”

තාත්තාගේ හඬ ජනිඳුට බොහෝ මිහිරිව ඇසිණ.එහෙත් ඒ තත්පර කිහිපයකට ය.

“තමුසෙට පිස්සුද මී හරකො.ඒ කෙල්ල ඉන්නෙ තමුසෙ දාපු ප්‍රශ්නෙකට මැදි වෙලා.මේ වෙලාවෙ වෙන මොකෙක්ගෙ හරි වාහනේකට ඒකි හැප්පුනත් අහු වෙන්නේ තමුසෙව.බූරුවෙක් වෙන්න එපා ඕයි..”

එහෙත් ජනිඳුට පැරදෙන්නට නුවුමනා විණි.

“ඒකි අරූ මැරි කරලා ඇමරිකා ගියොත්.අනික ඒ වගෙ හිඟන කෙල්ලකට මේ දේවල් වල අයිතියක් එනවට තාත්තා කැමතිද?”

තාත්තා උස් හඬින් හිනැහී පුතු දෙස බැලී ය.

“එහෙම උනොත් තරිඳුත් දිනිඳු වගේ සත්‍ය ප්‍රේමය නිසා අතුරුදහන් වෙයි. තමුසෙට ඒවා අදාළ නෑනෙ.”

ලොකු අයියා පවුලට කළ නින්දාවට ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වන්නට ඇතැයි බරපතල සැකයක් ජනිඳු වෙළා ගත්තේ ය.ඔහු ඉතා සිහින් ස්වරයකින් තාත්තා ඇමතුවේ ය.

“තාත්තා ලොකූව මැරුවද?”

තාත්තාගේ අසංවර හිනා හඬ අවසන් වන තුරු ඔහු කුතුහලය දරා සිටියේ අසීරුවෙනි.

“ඌ කොහෙහරි රටකට යන්න ඇති බං.මේ ඔෆිස් එකේ තේ හදන මිනිහගෙ මිනිබිරී එක්ක යාළු වෙන්න දිනිඳු කැමති උනාට ඌ වෙන මිනිහෙක්ගෙ ළමයෙක් බඩේ තියන් ඉන්න ගෑනියෙක්ව බඳින් නෑනෙ..ඒ කතාව ඉවර උනේ එහෙම..”

ජනිඳු තාත්තාට වඩා නැඹුරු විණි.ලැජ්ජාබිය අහිමි වී සිටින ඔහුට මේවා ඉතා කුණු රස ආරංචි විණි.

“සමාධි ප්‍රෙග්නන්ට් වෙලා හිටියද..ඒකි දැන් කෝ දන් නෑ..”

නොයෙල් වීරසේකරගේ මුහුණ වියරු සිනාවකින් ඔපවත් විය.ඔහු ඒ අප්‍රසන්න අතීතය ඉතා ප්‍රීතියෙන් සිහි කරමින් නළල අත ගාන්නට විය.

“දිනිඳු ලංකාවෙන් යන්න ගියාම ඒකි සූසයිඩ් කර ගන්න ඇති අයිසෙ.නැත්නම් තමුසෙගෙ නංගියෙක් හරි මල්ලියෙක් හරි නලෝනවා ඇති කොහෙට හරි වෙලා.”

ඒ වචන කිහිපය වෙනත් ඕනෑම පුතෙකුට තමන්ගේ පියා ගැන අප්‍රසන්න හැඟීම් ඇති කරන වාක්‍ය කිහිපයකි.තාත්තා කෙනෙකුට පෞද්ගලික ජීවිතයක් තිබිය හැකි වුව ද ඔහු තමන්ගේ අයියාගේ පෙම්වතිය දූෂණය කර ඇති බව ඕනෑම දරුවෙකුට අපුල දනවන සිදුවීමක් මිස අන් කිසිවක් නොවේ.

එහෙත් ජනිඳු තාත්තාගේ වීර ක්‍රියා ගැන උදම් වෙමින් ඔහු අනුව යන්නට ධෛර්යය ගනිමින් සිටියේ ය.ඒ අපැහැදිලි මාර්ගයේ කෙළවර ගැන පියපුතු දෙපළටම අවබෝධයක් වූයේ නැත.

5 3 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
1 month ago

Hapooi.. Aga hiri watila giya mage.. Mehemath minissu.. Aththatama samajaye innawane me wage hithak papuwak nathi minissu.. Pissu hadenawa..