ඔබට ඇහෙනවනම් -31

කසුන් ගේ කෑ කෝ ගැසීම නිසා කුලප්පු වූ අහල පහල සුනඛයෝ එක සීරුවට බුරන්නට වන්හ. බල්ලන්ගේ බිරුම නිසා කසුන් ගේ වචන වල පැහැදිලි බව නැති වී ද, ඔහු මෙසේ බීමතින් කෑගසන්නට මෙහි විත් තිබුණේ, පුතා ගේ අයිතිය ඉල්ලා මා පැවරූ නඩු ප්‍රකාර ව ඔහු ට ලැබුණ දැනුම් දීම මත බව සිතා ගත හැකි විය.

“මේ කසුන්. බීගෙන පිස්සෙක් වගේ කෑ කෝ ගහගෙන කතා කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි ඒක. ඔවු අපි නඩු දැම්ම තමයි. ඒ ගැන උසාවියෙදි කතා කරමු”

තාත්තා කසුන් ගේ ගෝරනාඩුව තුනී වූ ඉක්බිති දැඩි ව කීවේ ය.

“ආ…එතකොට උඹල ඒ සයිස් එකෙන්ද…”

“මෝඩයෙක් වගේ කෑ ගහන්න එපා මනුස්සයො. මේ ඉන්නෙ ඒ දරුවගෙ අම්ම. නිම්නාට අයිතියක් තියෙනව ළමයව ඉල්ලන්න. මොකද දැං එයාට පුළුවන් ළමයව නඩත්තු කරන්න”

“උඹල මූගෙ හයිය අරං වෙන්නැති නේ මාත් එක්ක හැප්පෙන්න එන්නෙ”

එවර ඔහු චෝදනා කළේ කුලාන් ව ඈඳා ගෙන ය. මා තුළ ඉමහත් ලැජ්ජාවක් ඇති විය.

“නාකි ජෝඩුව හිතං ඉන්නෙ දික්කසාද වෙච්ච දුවව මූගෙ කරේ ගහල ගොඩ යන්න වෙන්නැති නේ…”

“කසුන්. ජරා කතා කියන්න එපා හරිද…”

“ආ…මේ ලොකු නෝනට කරන්න හොඳයි. මං කිව්වහම තමයි ජරා. මූගෙ කාර් එකේ රවුං ගහනකොට හූනා කියන්න වගේ මං කිව්වෙ නැද්ද….එහෙනං තමුසෙ මේ සැරේ ලොක්කගෙ හයිය අරං මගෙං ළමයව ගන්න හදන්නෙ නේ…බලමුකො…අපි කරල බලමුකො නෝනේ”

“කසුන්. දැං කරුණාකරල මෙතනිං යනව. නැත්තං මට සිද්ද වෙනව පොලීසියට කෝල් කර්න්න”

තාත්තා ඉවසුම් නැති කෝපයකට පත් ව සිටියේය. තවත් බීමත් කියවීම් පෙළකට පසු කසුන් නික්ම ගියේ මා තුළ මහත් අප්‍රසන්න හැඟීමක් ඉතිරි කරමිනි.

“අනේ සොරි සර්”

මම කුලාන් ගෙන් සමාව අයැදීමි. තාත්තා ගේ ඇස් වල ලැජ්ජාව මුසු වේදනාවක් විය. තාත්තා ආඩම්බරයක් ඇති ව ජීවත් වූ පුද්ගලයෙකි. අසල් වැසියන් ට පවා මේ කතා ඇසෙන්නට ඇති ය යන කරුණත්, කුලාන් ඉදිරියේ සිදු වූ අවමානයත් නිසා හෙතෙම අපහසුවට පත් වූවා ට සැක නැත.

“ගණං ගන්නෙපා. මිනිහ බීලනෙ”

කුලාන් ඒ ගැන පැවසූවේ එපමණකි.  එක මොහොතක් හා එක පුද්ගලයෙකු නිසා මුළු දවසක් පුරා මගේ හිත වාං දමමින් තිබූ සතුට විනාශ වී ගියේ එසේ ය.

පසු දා උදයේත් ඒ සන්තාපයේ ශේෂයන් හිතේ ඉතිරි වී තිබිණි. තේ විවේකයෙන් පසු අශිකා මගේ කුටියෙන් නික්ම ගිය ඉක්බිති කුලාන් මා කැඳවී ය. දැන් ඔහු හමු වන්නට මට කුෂ්ලානි ගෙන් අවසර ගන්නට හේතුවක් නැත!

“තාම අවුලෙන්ද…”

ඔහු මගේ ඇස් වලින් ඇතුලාන්තයට රිංගන උත්සාහයක් ගත්තේ ය. මම නැහැ යි කියන්නට හිස යන්තම් සැළුවෙමි. ඔහු ට සිනහ නැගිණි. ‘ඇයි’ කියන ප්‍රශ්නය රැඳි නෝක්කාඩු බැල්මක් මගේ ඇස් වල වන්නට ඇත.

“නෑ කිව්වට නැත්තෙම නෑ නේ…”

“මිනිස්සු මෙහෙම ඇයි කියල වෙලාවකට හිතා ගන්න බෑ සර්”

“මට හිතෙන්නෙ ඔයා දැං ඉන්නෙ ඔය දේ කියන්න ඕනෙ කාලෙ පහු කරලයි”

“සර් හිතන්නෙත් මං යකඩ ගෑනියෙක් කියලද…හිතක් පපුවක් නැති….කඳුළු වේලිලා තිබුණට තාමත් මේ හිතේ රිදෙන තැන් ඉතුරු වෙලා තියෙනව සර්”

“එහෙම දෙයක් නෙවෙයි මං කියන්න ගියේ. කසුන් නිසා තවත් ඔයා තැවෙන්න ඕන නෑ කියලයි”

“එයා නිසා තැවෙනව නෙවෙයි සර්. මන්දා…මේ කසාදෙ දික්කසාදෙං කෙලවර වෙලත් මට නෙවෙයි මගෙ තාත්තට සැනසීමක් නෑනෙ”

අන්තිම ටික කියාගෙන එත්දී මගේ හඬ බිඳිණි. සාමාන්‍යයෙන් කිසිවෙකු ඉදිරියේ පෙන්වන්නට අකමැති මගේ කඳුළු, නිදහසේ කුලාන් ළඟ වගුරුවා හරින තද උවමනාවක් මට දැනෙන්නට ගති. එහෙම නිදහස් වීමකුදු ගැහැනියකට නො තිබිය යුතු ද?

“හරි හරි ඕක අමතක කරමු. මං ඕකට නෙවෙයි කතා කළේ”

එසේ නම් කුමට දැයි අසන්නට මම දෑස් දැල්වීමි.

“ලස්සනයි. සාරි එකට…”

සාරියකින් සැරසී මා ප්‍රථම වරට කාර්යාලය ට පැමිණි දවස අද ය. කැඩපත ඉදිරියේ දී මගේ ස්ත්‍රී සුන්දරත්වයෙහි පරිසමාප්තිය මම දුටිමි. මා වූ කලී නිළියක හෝ නිරූපිකාවක වන් කඩා හැලෙන ලස්සනකින් අනූන ගැහැනියක නො වන මුත්, ඉස්සර නො දුටු අභිමානයක් හා පෞරුෂයක් මගේ සුමට ස්ත්‍රී ලාලිත්‍යය අභිභවමින් තිබෙන හැටි මට දකිත හැකි විය.

නමුත් කුලාන් ලස්සනයි කී විට අමුතු සතුටක් මට නො දැනුණේ, පිරිමින් ගේ එවන් කතා ගැන ටික කලක පටන් මා තුළ වන කුකුස මුසු නො රිස්සුම නිසා වන්නට ඇත. වෙන කිසි දිනෙකට වැඩියෙන් මේ මොහොතේ මට කුෂ්ලානි සිහි විය. විකාර රූපී සිතිවිලි පෙළක් මගේ මනස අවුල් කරන්නට වූයේ ය. කුලාන් ට මගේ ජීවිතය මත්තේ සෙල්ලම් කරන්නට ඉඩ නො දෙන්නෙමැයි හදිසි සිතිවිල්ලක් මා තුළ පහළ වූයේ ය.

“නිම්නා…ඇයි…”

මගේ අභ්‍යන්තරයේ වූ කැළඹීම ඔහු දකින්නට ඇත. මම මඳහසක් පෑවෙමි. ඒ සිනහව වුව කෘතිමයි කියා මට ම සිතුණේ ය.

“නෑ සර්…අනේ මන්දා. වෙලාවකට මට ම මාව තේරුං ගන්න බෑ. පිරිමියෙක් නිසා ජීවිතේ දූවිල්ලක් කර ගන්න ආයෙ මං හීනෙකිංවත් හිතන එකක් නෑ”

මගේ උත්තරයත් ඔහු ගේ ප්‍රශ්නයත් අතරේ පරස්පර බවක් ඇති බව මට නො දැනුණා නොවේ. නමුත් ඒ ගැන හිතන්නට මට ඕනෑ වූයේ නැත.

එක්වර ම දොර හැරිණි. මම යන්තම් හැරී බැලුවෙමි. කුෂ්ලානි ගිනි සිලක් සේ මවෙත ඇවිළී එමින් සිටියා ය. කිසිත් සිතා ගන්නට තත්පරයක් හෝ නොදී ඇගේ සුරත අකුණක් සරින් මගේ කොපුලක් මත පතිත විය. 

සැබවින් ම මට රිදිණි. එහෙව් අතුල් පහරක් මගේ මුළු ජීවිත කාලය මුළුල්ලෙහි මා අත් විඳ නැති බව ඉඳුරා විශ්වාස ය. දෑතින් ම මම ඒ කොපුල වැළඳ ගත්තෙමි. නමුත් පහරෙහි දැඩි බව කෙතරම් ද යත් තව දුරටත් කම්මුලෙන් දුම් දමනවා සේ වූයේ ය.

“කුෂ්ලානි. පිස්සුද…”

කියා කෑ ගසාගෙන කුලාන් අසුනෙන් නැගිට ගත්තේ ය. මම කම්මුල දෑතින් අල්ලා ගත් වන ම හිස නගා ඈ දෙස බැලීමි. කුෂ්ලානි නැවතත් පහරකට අත දිගු කළා ය. මගේ ඇස් වල විදුලියක් කොටත්දී, කුලාන් ඇගේ අත අල්ලා ගනු පෙනුණේ ය. මම අසුනෙන් නැගී සිටියෙමි. ඇය ඈ තුළ වන කිසියම් ආවේගයකින් දැවෙමින් සිටියා ය. ගිනි ගනිමින් සිටියා ය. මට ඇගේ සිතේ වන දේ පෙනුණේ නැත. නමුත් මම ඒ ගින්දර දුටිමි.

ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ දැයි සිතන්නට තරම් මම ඉවසිලිමත් වීමි. ආවේගයට ඉඩ දුන්නා නම් මා කරන්නට තිබුණේ මගේ සුරත දිගු කොට ඇගේ කම්මුලකට ප්‍රති ප්‍රහාර එල්ල කරන එක ය. නමුත් එසේ කරන්නට මට ඕනෑ වූයේ නැත.

“ඇයි මේ…”

මා ඇසුවේ තදිනි. වෙනදා ඇය වෙත පෙන්වූ ගෞරව සම්ප්‍රයුක්ත බව නො පෙන්වන්නට මට වූ හේතුව මගේ නිලයේ ඉහළ යාම නම් නොවන බව දිව්රා කිව හැක. ගෞරවනීය ව හැසිරෙන ඕනෑ ම කෙනෙකු ට පෙරළා ගෞරව කරන්නට මම දෙ වරක් නො සිතමි. ඔහු ගේ තරාතිරම කුමක් වුණත් කම් නැත. නමුත් මේ වෙලාවේ කුෂ්ලානි හැසිරුණේ කිසි සේත් එවන් ගෞරවයක් ලැබෙනාකාරයෙන් නොවේ.

“තමුසෙ…තමුසෙ මොකටද කුලාන් ගෙ අතින් අල්ලන්නෙ…පිස්සුද තමුසෙට…”

මා උස්සා පොළොවේ ගැහුවා සේ මට දැනිණ.

“කුෂ්ලානි…මොනවද මේ කියවන්නෙ…”

කුලාන් ද කැළඹුණ බව මට ඔහු ගේ ස්වරයෙන් ම හැඳින ගත හැකි විය.

“කුලාන් කියන්නෙ මං මැරි කරන්න ඉන්න කෙනා. කොහොමත් මෙයා මගෙ හස්බන්”

“කුෂ්ලානි මැඩම් ඔයා මොකක් හරි වැරදියට දැකල. අපි අතරෙ කොහෙත්ම එහෙම දෙයක් සිද්ද වුණේ නෑ”

“බොරු කියන්නෙපා හරිද…බොරුත් කියන්න එනව තව. ඔයාගෙ තාත්තට පිස්සු කුලාන්. මේ වගේ ජරා කෙල්ලෙක්ට ප්‍රමෝෂනුත් දුන්නා. මං ඔයාවත් අල්ල ගන්නං කුලාන්”

“මගෙ යකා අවුස්සන්නෙ නැතුව යනව යන්න මෙතනිං කුෂ්ලානි. තව සැරයක් මට කියන්න තියන්නෙපා”

කුලාන් පාලනය කර ගත නො හැකි කෝපය පුපුරුවා හැරියේ ය. කුෂ්ලානි ඉක්මන් ගමනෙන් නික්ම ගියා ය. මම තව දුරටත් ඒ සිදු වූ දේ වටහා ගත නො හැකි තත්වයක සිටියෙමි. මා කුලාන් ගේ අතකින් ඇල්ලූ කතාවක් ඇය කියයි. මේ මොන වගේ සිදුවීමක ඇරඹුමක් ද? ඈ ඒ තරම් බොරුවක් කියන්නේ කොහොමද? නැත්නම් ඇයට වැරදුණේ කෙසේ ද?

“සොරි නිම්නා. ඇත්තටම…ඇත්තටම ඔයාගෙං සමාව ඉල්ලන්නත් අයිතියක් නෑ”

කුලාන් අතැඟිලි වලින් නළල පිරිමදින්නට වූයේ ය. 

“මං යන්නං සර්”

කියා ගෙන මම මගේ කුටිය වෙත ආවෙමි. 

තව දුරටත් මගේ කම්මුල පුුපුරු ගසමින් තිබිණි. නමුත් ඊට වඩා රිදුම් දුන්නේ සිත ය. දෙ පයින් නැගී සිටින්නට වෙර ගන්නා හැම විටෙක ම යළි මා පොළොව මත පතිත කරන්නට විශ්වය ක්‍රියාත්මක වෙන හේතුවක් කිසි සේත් මට සිතා ගත නො හැකි ය. එය තව දුරටත් මේ මිහි මත වසන්නට තරම් සුදුසු දැයි මා පරීක්ෂා කරමින් සිටිනවා ද?

 කුෂ්ලානි කුලාන් ගේ කවුරුන් වුව මා එය ප්‍රශ්නයක් කර ගත්තේ නැත. මා ඒ ප්‍රශ්න කරන්නට ගියේත් නැත. මට ඊට අයිතියක් වේ ය කියා සිතුවේ ත් නැත. ඉතින් ඈ මේ විදිහට මාත් එක්ක පැටලී ගෙන එන්නට කාරණා කිම?

“මං එහෙමනං අත දික් කරල අනිත් පැත්තට දෙන්නෙ…සිහි නැති වෙලා වැටෙන්න”

මා අස්වසන්නට දෝ අශිකා සිය අප්‍රසාදය නො සඟවා හෙළි කළා ය. නමුත් එහෙම නො කළ එක ගැන මේ මොහොතේත් මා තුළ පසු තැවීමක් නො තිබිණි.

“මට දුක එයා මට ගහපු එක ගැන නෙවෙයි අශී. මං කුලාන් සර් ගෙ අතිං අල්ලං හිටියයි කියන කතාව ගැනයි හිතා ගන්නවත් බැරි. කොහොමද එයා එහෙම කියන්නෙ…මොන පදනමක් උඩද…”

“ලෝකෙ කොතන හිටියත් ගෑනු කියන්නෙ ගෑනුමයිද කොහෙද”

ඇගේ ස්වරයෙහි ත් ඉරියව්වෙහිත් අවඥාවක් විය. 

“ගෑනු කියන්නෙ එහෙම පහළ තැනකට දාල කතා කරන්න ඕනෙ සත්වයෙක් කියල මං තාමත් පිළි ගන්නෑ අශී. ආයෙ ඉපදුනත් මං කැමති ගෑනියෙක් වෙලා ඉපදෙන්න. ඒත් ඒ නමේ පරිසමාප්ත අර්තයෙන්ම”

“හැමෝම ඔයා වගේ නෑ”

“කුෂ්ලානි කියන්නෙත් හැමෝම නෙවෙයිනෙ”

අශිකා එතෙකින් කර බා ගත්තත් මට හිතන්නට කාරණා බොහෝ තිබිණි. කුෂ්ලානි දිගින් දිගට ම මේ ආකාරයෙන් හැසිරේවි ද? ඇය මෙසේ හැසිරීම පිටුපස වන බලවේගය කුමක් ද? ඒ ඇය කුලාන් ගෙන් පතන රැකවරණය පමණක් ම යයි හිතන්නට තරම් මගේ සිතිවිලි පටු මානයක සීමා කර ගත යුතු ද? නො එසේ නම් මේ සියල්ල පිටුපස වෙනත් අදිසි අතක් වෙතැයි බලාපොරොත්තුවෙන් මෙවක් පටන් කටයුතු කළ යුතු ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles