මන්දාරම් හැන්දෑවක – 27

මේඝා පූජා නගරය හරහා එද්දී සිටියේ බොහෝ සන්සුන්ව ය.වෛද්‍යතුමිය බොහෝ වෙලාවක් ගනිමින් ඇය සමඟ කතාබහක යෙදුණා ය.මේඝා සැහැල්ලුවෙන් රිය කවුළුවෙන් එපිටට නෙත් යොමා හිඳින අන්දම දිනිඳු සියුම්ව පිරික්සුවේ ය.හැන්දෑව මන්දාරමකින් වැසී ගොස් ය.ඒ සිහින් හිරිපොදට නෙත් යොමාගෙන මේඝා ඉගිල යන්නේ කොහේදැයි දැන ගැනීමේ ආශාවක් දිනිඳු වෙළා ගත්තේ ය.

“අක්කා..අපි හෙටානිද්දා දවසක හුඟක් රෑ වෙලා මහා සෑයට එමු..”

සඳලිගේ යෝජනාවට මේඝා සිහින් හිනාවක් සහිතව හිස වැනුවා ය.තුරු හිස් මතින් දිස්වන රුවන්වැලි මහ සෑයේ කොත් කැරැල්ල මේඝාගේ දෑසට ගෙනාවේ සැනසිලිදායක හැඟීමකි.හදවතේ ඇති බර ද වේදනාව ද සෑ මළුවේ තබා නිදහස් වන දොළකින් ඈ පිරී ගියා ය.

“ඒ ලෙවල් ඉකෝන් පේපර් එකට කලින් මං බය වෙලා උණ ගත්තනෙ.අප්පච්චි මාව රෑ එක්කන් ආවා මහ සෑයට.මං හුඟක් වෙලා වාඩි වෙලා උන්නා.බය වෙලා මොකක්වත් කරගන්න බෑ හිතේ ධෛර්යය තමයි වැදගත් කියලා මටම හිතුණා..”

සඳලි එසේ කියන අතර මේඝාගේ අතකින් අල්ලා ගත්තා ය.තාරුකා සමවයස් මිතුරියකි.ඕනෑම දෙයක් කියවමින් හිනැහිය හැකි ඇගේ මිත්‍රත්වයට වඩා මේඝා වැඩිමහල් සහෝදරියක ලෙස සලකන ඉතා මෘදු ලෙස මේඝා රැක බලා ගන්නට ඉදිරිපත් වෙන සඳලිගේ මිතුදම මේඝාට දැනෙන්නේ වෙනස් ආකාරයකිනි.නමුත් මේ ගැමි දැරියගේ පිරිසිදු මිත්‍රත්වය ඈ දෝත පා බාර ගත්තා ය.

“ඊට පස්සේ සඳලිට ඉකෝන් වලට ඒ එකක් ආවා.. ඒක මහ සෑයේ අනුහසක් කියලාත් අපිට කියන්න පුලුවං..ඒත් සඳලි ඔයා පාඩම් නොකර මැටි ගොඩක් වගේ ඉඳලා සෑය වඳින්න ගියානං ඔහොම රිසල්ට් එකක් එන්නේ නෑ. බුදු  හාමුදුරුවෝ ළඟ මැජික් නෑ.හැබැයි හිත නිවා ගන්න පාරක් තියනවා.මහ සෑය ළඟට වෙලා ඉන්නකොට හිත පැහැදිලි වෙනවා. බොර වතුරක් ටික ටික පෑදෙනවා වගේ..අන්න එතකොට බය වෙලා තිගැස්සිලා අපිව අවුල් කරපු දේවල් හිතෙන් අකා මකා යනවා. ඕකයි වෙන්නේ.

දිනිඳු රිය පදවන අතර සඳලිට පැහැදිලි කළේ ය.සමාධි සමඟ රුවන්වැලි සෑය වඳින්නට ආ නොගිනිය හැකි තරම් දවස් සිහි වෙද්දී දෑස් මත තුනී තෙතක් තැවරෙන අන්දම ඔහුට දැනිණ.සමාධි සිටියේ මේඝාටත් වඩා බරපතල තුවාලයක් දරාගෙන ය.එහෙත් රජරට සිහිල් සුළඟත් අටමස්ථානයත් ඇගේ වේදනාව තුනී කරන ඔසු විය.අත්‍යන්ත ආදරයකින් ඈ නහවද්දී සමාධි හිනැහෙන්නට පටන් ගත්තා ය.පිළිකාව සමඟ කෙටි කාලයක් සටන් කරද්දීත් ඇගේ මුවින් නොමැකුණු සිනාවක් විය.ඒ ආදරයේ සිනාව මේඝාගේ දෙතොලෙහි අඳින්නට දිනිඳුට හදිසි ආශාවක් හට ගත්තේ ය.

“සමා දරා ගත්ත වේදනා එක්ක ඔයාට දැනුණු දුක ඒ තරම් දුකක් නෙවෙයි දරුවො.. මං කාලයක් ආවම ඔයාට හැම දෙයක්ම කියන්නං..”

ඔහු එසේ සිතුවේ මේඝා දෙස බලමිනි.වැහි බීරම වැඩි වෙන්නට පෙර යුවතියන් දෙදෙනා නිවසට හැරලවන්නට සිතූ දිනිඳු වාහනයේ වේගය වැඩි කළේ ගමන වේගවත් කරන්නට කාලය පැමිණ ඇති බව සිතමිනි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -28

“මේඝා..බෙහෙත් ටික වෙලාවට බොන්න ඕන හරිද?” සඳලිව නිවසට හැරලවා එද්දී මේඝාට දිනිඳු සිහි කළේ ය.ඇය හිස වනා එකඟ වූවා ය.

“ඕක හරිම සාමාන්‍ය දෙයක්. අර ජනිඳු නිසා මේඝාට බෙහෙත් බොන්න උනා..ඒ නිසා මේඝා දැන් තවත් අසරණයි වගේ දේවල් හිතන්න ඕන නෑ..මේඝා සනීප වෙන්න නෙවෙයි බේත් බොන්නෙ. මොකද ලෙඩක් නෑනෙ.ඔයාට කරන්න අප්‍රමාණ වැඩ තියනවනෙ.අර ෆෙල්ට් හදන්න පුලුවන්.නර්සරි එක පටන් ගන්න තව සති ගාණයි.ජොබ්ලස් මිනිහෙක් කරපු දෙයක් නිසා හූල්ල හූල්ල නොයිද නංගි සන්තෝසෙන් වැඩ පටන් ගන්න..අපි ඉන්නවනෙ..”

දිනිඳුට පැවසීමට උවමනා වූයේ බහු වචනය නොවේ.ඒක වචනය ය.නමුත් මේඝා රිදී පෑරී හිඳින මොහොතක ඇයට ජීවිතය ගැන තීරණ ගන්නට ඉඩ දිය යුතු නැතැයි ඔහු සිතී ය.හැන්දෑව රාත්‍රියකට පෙරළෙමින් තිබූ අතර මේඝා දිනිඳුට සවන් දෙමින් අහසේ පිපෙන තාරකා දෙස නෙත් දල්වා සිටියා ය.

“අද මේඝාව බේරා ගත්තේ. දන්නවද ඒ කවුද කියල..”

වෛද්‍යවරිය මුණ ගැසෙන තුරුම තමන්ගේ තීරණය ක්‍රියාත්මක කරන්නට නොදුන් නන්නාඳුනන තරුණයා ගැන මේඝා හුන්නේ කෝපයෙනි.අහම්බයකින් ඔහු කඩාපාත් නොවූවා නම් අපහාස නින්දා බහුල මේ ලෝකය හැරදා ඇය දැනටමත් සුව නින්දක ය.

“ඒ මගෙ ලොකු මල්ලි මේඝා.එයා ඇමරිකාවලනෙ හිටියෙ.මතකද මං දවසක් කිව්ව. අවුරුදු ගාණකට පස්සෙ මාව බලන්න ඇවිල්ල..”

මේඝා අන්ධකාරය වැටුණු මාවතට නෙත් දල්වා මොහොතක් සිටියා ය.ඇයට උගුරේ යමක් හිර වෙන්නාක් බඳු හැඟීමක් දැනිණ.

“මට බිනර කියල තියනව, අයියා ඉනූ බබාගෙ අම්මිව මැරි කරනවට අයියලගෙ ගෙදරින් අකමැති උනා කියල.දැන් එයාලා ආයේ අම්මා බලන්න ආව කියන්නෙ අයියා ආයෙමත් කොළඹ යනවද?”

තමන්ට ජීවය දුන් මිනිසාගේ හුස්ම වැටෙන තුරු යළි එබිම පස් නොපාගන බව  කියන්නට තරම් ආවේගයක් දිනිඳුගේ හදවතේ වැඩෙන්නට විය.නමුත් මේඝා සමඟ හැම දෙයක්ම බෙදා ගන්නට තවම කාලය පැමිණ නැති බව ඔහුට සිහි විණ.

“මාත් එක්ක කතාබහ කරන්න ඇත්තටම ඕන වෙලා තිබ්බෙ ලොකු මල්ලිට විතරයි මේඝා.මම ඒකයි එයාට එන්න ඉඩ ඇරියේ.ඒත් ගෙදර අනිත් අය මාත් එක්ක තාමත් අමනාප ඇති..ඉතිං මායි දූයි හැමදාම මෙහෙ තමයි..”

හදවතට දැනෙන්නට වූ සැනසිලිදායක හැඟීමේ අගමුල ගැන සිතන්නට නොවෙහෙසී මේඝා ගෙදරට යන්නට ඇති කුඩා දුර ඕපාදූපයකට වැය කරන්නට තීරණය කළා ය.

“අයියගෙ ගෙවල් කොළඹ කොහෙද? මාව බේර ගත්ත අයියා ඇරුණම තව නංගිල මල්ලිලා ඉන්නවද?”

තම ජීවිතය ගැන අංශුමාත්‍රයක් නොසඟවා මේඝාට හෙළි කරන්නට දිනිඳුට සැබෑ උවමනාවක් තිබිණ.එක්ව ජීවිත ගමන අරඹන්නට පෙර ඈ ඒ සෑම දෙයක්ම දැන ගත යුතු ය.එහෙත් ජනිඳු තමන්ගේ සහෝදරයා බව දැනගතහොත් මේඝා කිසිදිනෙක තමන්ට ආදරය නොකරන බව දිනිඳු විශ්වාස කළේ ය.එනිසා කොටසක් සඟවා කොටසක් හෙළි කරන තීරණයකට ඔහු පැමිණියේ ය.

“තලවතුගොඩට කිට්ටුව නංගි.මට මල්ලිලා දෙන්නයි.බාලයා ෆැමිලි ස්ටයිල් එක ඉස්සරහට ගෙනියන කෙනෙක්.මං එයා එක්ක කවදාවත් ඇයි හොඳයියක් හදා ගන්න එකක් නෑ.”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -13

බාලයා තමන්ගේ ජීවිතයට අතිශය බාල වැඩක් කළ නරුමයා බව දැන ගත්තා නම් මේඝා අඳුරේම දිනිඳුගේ මෝටර් රථයෙන් බැස යන්නට තිබිණ.නමුත් ඈ එවගක් අනුමාන කළේ ද නැත.

“අයියෙ, අයියලගෙ මල්ලිට මං තෑන්ක්ස් කරා කියන්න.අඩුම ගාණෙ වැව කොච්චරක් ගැඹුරුද කියලවත් බලන් නැතුව එයා මාව බේරා ගන්න වැවට පැන්නනෙ. එහෙම අය හරිම අඩුයි..”

මේඝා සමු ගන්නට පෙර දිනිඳුට පැවසී ය.තරිඳුව ඇයට මුණ ගස්වන බවට ගිවිස්වා ගත් දිනිඳු නික්ම ගියේ මේඝා ප්‍රකෘතියට පැමිණීමේ සතුට හදවතේ පුරවා ගනිමිනි.

“මේ ජීවිතේ කොච්චර කෙටි ද.තමන්ට රිද්දපු මිනිස්සු  ගැන හිතන්නවත් දුක් වෙවී ඉන්න අපිට වෙලාවක් නෑ..කරන්න තියෙන්නේ තමන් තමන්ට කැප  වෙන එක..” උසස්පෙළ පන්තියේ උගන්නා කාලයේ දී පන්තිබාර ගුරුතුමිය පැවසූ දෙයක් මේඝාට සිහි වූයේ හදිසියේ ය.ඇය වැහි බීරම මැකී තරු පිරිවරා ගත් අහස යට හිඳ ගත්තා ය.ජීවිතය අහස වාගේ යැයි ඇය ඊළඟ මොහොතේ සිතුවා ය.වළාවකින් වැසී යන අහස හිටි හැටියේ ගිගිරුම් සහිත වැහි පොළොවට ගෙන එයි.නිල් පැහැයෙන් දිදුලමින් හිඳිය දී හීන් හිරි පොද ඇති මන්දාරමකින් වැසී යයි.තරු පිරී යන දවස් ද අඳුර වෙළා ගත් දවස් ද අහසට අනන්තවත් ඇත.එහෙත් ඒ සෑම මොහොතක් ම දරා ගන්නට අහස සමත් ය.

“අපි ගෑනු මේ ආකාහෙ වගේ තමා.සේරම දරා ගන්නෝන.බැරිනං අනෝරා වැස්සක හැම වේදනාවක්ම දිය කරලා දාලා ආපහු බැබළෙන්න ඕන.ගෑනියෙක්ට කරන්න බැරි දෙයක් නෑ.”

කසිප්පු මතෙන් ගුටිබැට දෙන සැමියෙකු ගැන අඳෝනා කියමින් එන ගැහැනියකට වෙද හාමිනේ දෙන උපදෙසක් මේඝා සිහි කළා ය.ගැහැනියක නම් ශක්තිවන්තියක විය යුතු බව ඇය සිතන්නට ගත්තේ මිහිරි සුගන්ධයකින් පිපී ගිය හෙන්දිරික්කා මලකට නෙත් අලවාගෙන ය.

“ජනිඳු මගෙ ෆස්ට් ලව් එක.එතනින් මං නොසෑහෙන පාඩමක් ඉගෙන ගත්තනෙ.දැන් දිනිඳු අයියා ගැන හීන මවන්න ගත්තා කියන්නෙ මං තාමත් මට්ටු වෙලා නෑ කියන එක.කෙල්ලෙකුට ජීවත් වෙන්න පිරිමියෙක් ඕනම නෑ.හොඳ ටීච කෙනෙක් වෙනව කියන්නෙ මං දරුවො සිය ගාණකට අම්මා කෙනෙක් වෙන එකනෙ.ආදරේ ගැන හීන මැවිල්ල නවත්තලා මං මට ආදරේ කරන්න ගන්නෝන.මාව ආපහු වට්ටන්න බැරි වෙන්න හදා ගන්නෝනෙ..”

ඇය තනිව මුමුණා ගත්තා ය.තරුපිරි අහස යට හිඳ ඈ නැවත ආදරය නොකර හිඳින බරපතල තීරණයකට එළඹියා ය.ඒ අහස යටම හිඳින දිනිඳු කිහිප වසරකට පෙර එක් තැනක නැවතී ගිය ජීවිතය මේඝා සමඟ අරඹන්නට සිතමින් නිවෙස වෙත යමින් සිටියේ ය.

ඒ තීරණ දෙකම අවකාශයේ නොදන්නා ඉසව්වක රැඳවුණේ එක් මොහොතක දී ය.ඉන් ජයගන්නා තීරණය ගැන දන්නා නමුත් නොදන්නා සේ හිඳින රාත්‍රී අන්ධකාරය තමන්ගේ රහස් ගබඩාවට තවත් රහසක් එක් කර ගත්තේ ය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
1 month ago

මේක හරිම sensitive story එකක් අප්පා..

Anuradha silva
1 month ago

Very sensitive

සුනේත්‍රා
1 month ago

පුදුම ලස්සන කතාවක්. සියලු දේ මැවිලා පේනවා