ඔබට ඇහෙනවනම් -33

2
2498

වෛද්‍යවරිය විසින් කුෂ්ලානි ගැබිණියක නොවේ යි ප්‍රකාශ කිරීම අප තුළ ඇති කරන්නට ඇත්තේ වියවුල් සහගත බවකි. වෛද්‍ය පරීක්ෂණ වලින් ඒ බව ස්ථිර වී තිබිණි.

“ඒ වුණත් ඩොක්ටර්…එයාට මෝනිං සික්නස් තිබුණා. ඔෆිස් ආවට පස්සෙ එයා වොෂ් රූම් ගිහිං වොමිට් කරනව මං දැකල තියෙනව”

වෛද්‍යවරිය සමග මා තර්ක කළේ කුෂ්ලානි ඒ වගේ බොරුවක් ගොතා කුලාන් හා විවාහ වන්නට තරම් පටු මානසික තත්වයක් ඇති තරුණියක යයි තවමත් මට විශ්වාස කළ නො හැකි බැවිණි. කුලාන් හිටියේ කේන්තියෙනි. ඒ නිසා ම ඔහු වැඩිපුර කිසිත් කතා නො කර හිටියා කියා සිතමි. ඔහු ගේ කේන්තිය සාධාරණ වුණත්, මට මේ වෙලාවේ උවමනා වූයේ ඔහු ගැන බලන්නට නොව කුෂ්ලානි මෙසේ රැවටීමක් කරන්නට ඇත්ත හේතුව දැනගන්නට ය.

“එතකොට එයා බොරුවක් කරලද….ඒත් එහෙම වමනෙ කරන්න පුළුවන් ද හිතා මතා…”

මම උමතුවෙන් වාගේ කියවන්නට වීමි.

“ඩිලූෂන් කේස් එකක් වගේ”

වෛද්‍යවරිය කීවා ය.

“මේ මානසික තත්වෙට පත් වෙන අය එක එක නැති දේවල් මවාගෙන ඒව ඇත්ත කියල හිතං ජීවත් වෙනව. නැතුව ඒගොල්ලො හිතා මතා බොරු කරනව නෙවෙයි”

මගේ යටි පතුල් සීතල වී ගෙන ආවේ ය. මම කුලාන් දෙස බැලුවෙමි. ඔහු ගේ මුහුණ මත දහදිය බින්දු නැගී තිබිණි.

“තමං ප්‍රෙග්නන්ට් කියල මවා ගෙන ජීවත් වෙන එක සූඩොසයසිස් කියන මානසික රෝග තත්වය. මේක හරි කලාතුරකින් දකින්න ලැබෙන විරල මානසික රෝගයක්”

මා තව දුරටත් හිටියේ කම්පනයක ය. කුෂ්ලානි කී කතා ඔස්සේ කුලාන් සාමාන්‍ය බොරුකාර පිරිමින් ගේ ගණයෙහි ලා සැලකීම ගැනත්, මගේ හිත තුළ ඔහු ගැන අංශු මාත්‍රික හෝ නො රිස්සුමක් ඇති කර ගැනීම ගැනත් සිහින් පසුතැවීමක් ද මට දැනෙමින් තිබිණි.

“එයාලට ප්‍රෙග්නන්සි සිම්ටම්ස් එන්නෙත් බොරුවට නෙවෙයි. ඔයා කිව්වනෙ එයා ඇත්තටම වොමිට් කළා කියල. වොමිටිං නෝසියා වගේ මෝනිං සික්නස් ඇත්තටම එනව. ඒ විතරක් නෙවෙයි. මෙන්සන්ස් නතර වෙන එක..බඩ ලොකු වෙන එක…බ්‍රේස්ට් වල මව් කිරි වාගෙ ස්‍රාවයක් හැදෙන එකත් මේ ඇබ්නෝමිලිටි එකේදි ඇත්තටම වෙනව”

“ඇයි ඩොක්ටර් එයාට එහෙම වෙලා තියෙන්නෙ…”

හිතට වද දුන් පැනය මම වෛද්‍යවරිය ඉදිරියේ මතු කළෙමි. ඇය මඳ සිනහවක් නගා ගත්තා ය.

“මානසික ප්‍රශ්නයක්නෙ. එක එක හේතු බලපාන්න පුළුවන්. මේ සූඩොසයසිස් වලට මූලිකම හේතු විදිහට අඳුරගෙන තියෙන්නෙ කෙනෙක් දරුවෙක් ගැන තියෙන අසීමිත බලාපොරොත්තුව හරි බබෙක් කන්සීව් වෙයි කියන බය හරි. ඊට අමතරව ඉතිං වෙන වෙන හේතු නිසා වෙන්නත් පුළුවන්”

කුෂ්ලානි නොව මුළු මහත් ස්ත්‍රී සමූහයා වෙනුවෙන් ම උපන් ස්නේහයකින් මගේ හදවත රිදුම් දෙනවා මට දැනිණ.

“අපි මේ පේෂන්ට්ව සයිකෑට්‍රිස්ට් කෙනෙක් ට යොමු කරමු. පේෂන්ට් එක්ක කතා බහ කරල ඩොක්ටර් ඩිසයිඩ් කරයි එයා මෙහෙම වෙන්න බලපාපු හේතු මොනාද කියල”

කුෂ්ලානි ද කැටිව ඇගේ නවාතැන වෙත එත්දීත් මගේ හදවත ගැස්ම වැඩි වී ගත් වන පැවතිණ. කුෂ්ලානි පිළිබඳව මහත් දයානුකම්පාවක් මගේ හදවතේ දෝරෙ ගලන්නට වූයේ ය. මා කුලාන් ගේ අත අල්ලා ගෙන සිටිනු දුටුවා යි කියමින් ඈ මගේ කොපුල හරහා එල්ල කළ අතුල් පහර සිහි වී මගේ අත කම්මුල අල්ලා ගත්තේ ය. ඒ රිදුම මේ මොහොතේ ත් මට දැනිණි. නමුත් ඇය ට පෙරලා පහරක් නො ගසන්නට මා තුළ වූ සංයමය පිළිබඳව මම දෙවියන් ට ස්තුති වන්ත වීමි. මා එසේ කළේ වී නම් මේ මොහොතේ මට දැනෙන්නට නියමිත පශ්චාත්තාපය කොයි තරම් දැයි මිනුම් කළ නො හැකි වනු ඇත.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 41

“අපරාදෙනෙ ඕගොල්ලො මාව හොස්පිට්ල් අරං ගියෙ. මෝනිං සික්නස් කියන්නෙ බය වෙන්න දෙයක් නෙවෙයිනෙ. ෆේන්ට් වෙන එක වුණත් නෝමල්නෙ”

කුෂ්ලානි කීවා ය. මම ව්‍යාජ සිනහවක් හෙළුවෙමි. නමුත් ඇතුළාන්තයේ දැවීමක් විය. මම අවංකව ම  ඈ ගැන දුක් වූයෙමි.

“අපි ඉක්මනට මැරි කරමු කුලාන්. තව ටික දවසකිං බඩත් ලොකු වෙයි. ඊට පස්සෙ කොහොමද අනේ වෙඩින් එකක් ගන්නෙ…”

කුලාන් කුෂ්ලානි දෙස බලා ඉවත බලා ගත්තේ ය. මම ඇගේ අත් ගොබයක් පිරිමැද්දෙමි. මේ අප ඇය ව තේරුම් ගත යුතු ම මොහොතකි.

“මට ඔයාගෙ පේරන්ට්ස්ලට කතා කරන්න ඕනෙ කුෂ්ලානි. කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නකො”

කුලාන් මුණිවත බින්දේ කුෂ්ලානි ව ඇගේ නවාතැනෙහි දී රියෙන් බසින්නට සූදානම් වෙත්දී ය. ඇගේ වත සිනහවකින් පිරී ගියේ ය.

“වාව්. ඔයා අම්මිලත් එක්ක වෙඩින් එක ගැන කතා කරනවද…ඒගොල්ලො ඉක්මනටම ලංකාවට එයි”

ඇය ඉක්මනින් ම සිය දුරකතනයෙන් අංක කිහිපයක් කුලාන් ට එව්වා ය.

“අනේ මට ආයෙ ඔෆිස් එන්න දෙන්නකො”

හිස මඳක් ඇල කොට අහිංසක ලෙස එසේ ඉල්ලා සිටින්නටත් ඇය අමතක නො කළා ය.

“ඔය අසනීපත් එක්ක ඔයා ඔෆිස් එන්නැතුව ඉන්න එක හොඳයි”

කුලාන් එසේ කියත්දී මගෙන් සුසුමක් බැහැර වූයේ ය. කුෂ්ලානි මවෙතට තියුණු බැල්මක් හෙළුවා ය.

කාර්යාලය ට ගිය ගමන් මා කළේ සූඩොසයසිස් රෝගය ගැන අන්තර්ජාලය පීරමින් කරුණු සෙවීම ය. වෛද්‍යවරිය පැවසූ සියලු කරුණු එහි සනාථ කොට තිබිණි.

“ප්‍රෙග්නන්සි එක නිතරම ප්‍රොෆෙෂනල්ස්ල යටතෙ මොනිටර් කෙරෙන රටවල මේක මුලදිම අඳුරගන්න පුළුවන් නෙ. ඒත් ඔය අප්‍රිකානු කලාපෙ වගේ එහෙම නොකරන පැති වල ඩිලිවරි එකට දවස එනකල් ම මේක හොයාගන්න බැරි වෙනවලු”

මා අලුතෙන් දැන ගත් කාරණා ගැන අශිකා එක්ක කීවේ යටපත් කළ නො හැකි විශ්මයෙනි. 

“පුදුමෙ කියන්නෙ දවස් හරියද්දි ලේබර් පේන්ස් පවා එනවලුනෙ. එක ලේඩි කෙනෙක් ව සැරයක් සිසේරියන් එකට අරං. සීසර් කරල බලනකොට දරු ගැබක් නෑලු”

“මේ…ඇඟ හිරි වැටෙනවනෙ අප්ප ඕව අහනකොට”

“අශී මේ…ඒ මානසික රෝගයත් එක්ක ඇඟ ඇතුළෙ ප්‍රෙග්නන්සි හෝමෝන්ස් ස්‍රාවය වෙනවලු. ඒ නිසාලු සාමාන්‍ය ගර්භණී ලක්ෂණ ඇති වෙන්නෙ. කුෂ්ලානි පව් දෙයියනේ”

“කුෂ්ලානි දිහා නෙවෙයි කුලාන් දිහායි දෙවියො බැලුවෙ”

අශිකා, එතෙක් අපතර අවකාශයේ වූ හුස්ම හිර කරවන බර ගතිය තුනී කර දමමින් සිනාසුණා ය. මමත් සිනහවක් නගා ගතිමි.

“නැත්තං ඉතිං ඒ අහිංසකයට වෙන්නෙ මේ පිස්සිට කර ගහන්න. නූලෙන් බේරුණේ”

“පව් කතා කියන්නෙපා අනේ. ඒක උවමනාවෙන් හදා ගත්ත පිස්සුවක් නෙවෙයිනෙ”

ජීවිතය හැම විට ම සරල වූ සමීකරණයක් නොවේ. විවිධ අවස්ථා වල දී එය අප අභිමුවට පැමිණෙන්නේ විවිධාකාරයෙනි. ඒ කවරක් වී ද ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් අපට නොවේ. කුෂ්ලානි ද ඔය වැළඳ ගෙන ඉන්නේ ඈ අභිමුවට පැමිණි ජීවන පරීක්ෂණයකි.

” එක එක පිරිමිත් එක්ක එක එක කාල වලට ජීවත් වුණත් කෙල්ලෙක්නෙ දෙයියනේ. එයාගෙ හිතේ මොන වගේ දේවල් වද දිදී තියෙන්න ඇද්ද…සමහර විට එයාට බයක් තියෙන්න ඇති කොයි වෙලාවක හරි කන්සීව් වෙයි කියල. එහෙම නැත්තං එයාගෙ හිතේ ආසාවක් තියෙන්න ඇති පවුලක් ඇතුළෙ ස්ථාවර වෙලා දරුවෙක් හදං ඉන්න. ඒ කොයි දෙයක් හරි එයාගෙ මනසට බලපාපු එකට විසඳුම විදිහට මනස ඉදිරිපත් කරපු යෝජනාවක් වෙන්න ඇති ඔය”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -23

මා කතා කර ගෙන ගියේ සමස්ත ස්ත්‍රී වර්ගයා කෙරේ උපන් මහත් අනුකම්පාවකිනි. ඔවුහු ස්ත්‍රීන් වී ඉපදීම නිසා ම කෙතරම් නම් දෝමනස්සයන් හා පිරිපත ගොන්නක් විඳ දරාගෙන සිටිත් ද? දරු ඵල නැති වීම පිළිබඳව ස්වාමියා ගේ පාර්ශවයෙන් එල්ල විය හැකි නින්දා අපහාස හා හිරිහැර වලින් ගැලවීම උදෙසා, එබඳු සංස්කෘතීන් සහිත පරිසර පද්ධති වල කාන්තාවන් වැඩිපුර මේ මානසික ව්‍යාධියට ගොදුරු විය හැකි බව අන්තර්ජාලයේ තොරතුරු අතර සැරිසැරීමේ දී මට දැක ගත හැකි විය. ඔවුන් කෙතරම් නම් අසරණ ද? සමාජය විසින් ඈ මත එල්ල කරන්නා වූ පීඩනය කෙතරම් ද කියා මිනුම් කළ හැකි සමතෙක් හෝ එසේ මිනුම් කළ හැකි යන්ත්‍රයක් කිසි දා මෙලොව බිහි වනු ඇතැයි සිතිය නො හැකි ය.

“අපිට අපි කැමති ජීවිතයක් ගත කරන්න පුළුවන් ඇත්තට ම මානසික රෝගයක් ඇතුළෙදි විතරයි”

එහෙම කියත්දි මගේ හඬ මට ම හිතා ගත නො හැකි තරමින් අහිංසක හා පහළ ස්වරයක් දැරුවේ ය. දෙතොල් හා ඇස් පෙති මත සිනහවක සේයාවක් වන්නටත් ඇත. 

“බලාගෙන යනකොට අපි ගෑනු වෙනුවෙං වෙනම අරගලයක් කරන්න ඕනෙ. ඒත් මේ බොරු ස්ත්‍රී වාදීනුයි කාන්තා සංවිධානයි කරන තරමක් කරන්නෙ විහිළු. කොටිංම උන්දැල දන්නෑ මේ ලෝකෙ ගෑනුන්ට තියෙන ප්‍රශ්න මොනාද කියල. ඔය එක ස්ත්‍රී වාදිනියක්වත් ඔය කියන සූඩොසයසිස් කියන මානසික රෝගය ගැන දන්නව ඇද්ද…මං හිතන්නෑ. එහෙම මානසික ප්‍රශ්නෙකට ගෑනු අය ගොදුරු වෙන එක නවත්තන්න කිසිම විසඳුමක් උං ළඟ තියෙනවද…නෑ”

අශිකා කියවා ගෙන ගියා ය. ගැහැනුන් වශයෙන් අප දෙදෙනා ට ම මෙය එක ම ආකාරයකට දැනෙමින් තිබිණි. කිසි සේත් කුෂ්ලානි ට හොඳ වැඩේ යි කියන්නට අපේ දිව හෝ සිත් නැවුණේ නැත. 

කුලාන් මගේ කුටියේ දොර ඇර ගෙන ඇතුළට විත් අසුනක් මතට වැටුණේ අපේ කතාව හොඳට ම දුර දිග ගොස් තිබියදී ය. ඔහු ගේ මුහුණේ විඩාපත් බවක් තැවරී තිබිණි.

“මටත් වැඩ ටිකක් තියෙනව. මං යන්නද එහෙනං…”

කියා ගෙන අශිකා අසුනෙන් නැගී සිටියා ය. කුලාන් අසුණේ පසුපස ට බර වී හරි බරි ගැහුණේ ය. මොනවා කියන්න ද මොනවා අසන්න ද කියා මට වැටහීමක් වූයේ නැත.

“මොනා කරන්නද කියල මට තේරෙන්නෑ නිම්නා”

සුසුමක් එක්ක ඔහු ම මුණිවත බින්දේ ය. ඒ ඇස් දෙකේ වූ අහිංසක කම ඉදිරියේ මට ඉකි බිඳී හැඬෙන තරම් බරැති හැඟීමක් දැනෙන්නට ගති.

“හොඳ ම කියල හිතෙන දේ කරන්න සර්”

මම මුමුණා ගතිමි.

“දැංවත් ඔයා මාව විශ්වාස කරනවද…”

මේසයට බර වෙමින් මගේ ඇස් වල එල්ලී ගෙන හෙතෙම විචාලේ ය. ගැහැනියක කියන්නේ ඕනෑ ම පිරිමියෙකු ඉදිරියේ දිය වී යන සූදානමින් ඉන්නා අයිස් කන්දක් නොවේ. නමුත් මේ මොහොතේ මට ඔහු ඉදිරියේ දිය වී වැගිරෙන බලගතු උවමනාවක් දැනිණ.

5 1 vote
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
1 month ago

ඇත්තටම ගංගා, මං හැමදාම ඇඩික්ට් උනා ඔයාගෙ කතාවට….
ඒ තරං ලස්සනයි ❤️

Hemi
1 month ago

🧡🧡🧡