ඔබට ඇහෙනවනම් -34

ඇස් පිය සලන පමාවට විදුලි එළියක දීප්තිය මට දැනිණ. එ්, මා ඉදිරියේ අසුනෙහි හිඳ ප්‍රශ්නාර්ථයෙන් මදෙස බලා ඉන්නා කුලාන් ගල්හේන ගේ ඇස් වල විදුලි කෙටීම නොව අහසෙහි පුපුරා ගිය අකුණක එළිය බව දැන ගන්නා විට, ඒ පිපිරුම් හඬින් මා තිගැස්සී ගොස් අවසන් ය. පුංචි කාලේ දී සේ ම මගේ දෑත් කන් දෙක වසා ගත්තේ ය.

“එක පාරටම…”

මට කියැවිණි. කුලාන් කිසි කලබලයක් හෝ ගැස්මක් නැති නිවුණු සැනැහුණු මුණිවර ස්වරයකින් පිළිතුරු දුන්නේ ය.

“අකුණු පුපුරන්නෙ එක පාරටම තමයි නිම්නා. අපිට හිතන්නවත් වෙලාවක් නොදී”

ඔහු කී දේ හි අරුත කුමක් දැයි සිතා ගන්නට මට අවසරයක් නො දී ම වැස්සක් කඩා වැටෙන්නට ගත්තේ ය. කළු වලාකුළු සමූහයක් අහස මුදුනට පොදි ගැහෙමින් තිබිණි. සුළඟ සියල්ල හැඩි කර ගෙන හමා ගියේ ය. තව නොබෝ වෙලාවකින් විජේරාම පොළොව දිය වී බොර දිය ලෙස ගලා ගොස් කාණු තුළ පතිත වනු ඇත.

“සමහර මිනිස්සුත් මේ හුළඟ වගේ. ඇවිත් ජීවිත හැඩි කරල දාල යනකල් අපි දන්නෑ”

කුලාන් කතා කරන්නේ මොනවා හිතේ තියා ගෙන මොනවා ගැන දැයි මට වැටහීමක් වූයේ නැත. මගේ ලෝකය ඉතා කුඩා එකකි. වෘත්තීය තුළ මේ නිලය පිරිනැමෙන තෙක් ම මගේ ලෝකය ඉතා සීමිත එකකි. එහි සංකීර්ණ වූ මිනිස් බැඳීමකුදු වූයේ නැත. ආතරයිටිස් නිසා රෝද පුටුවකට සීමා වූ අම්මා ත්, මාසයකට වතාවක් හෘද රෝග සායනයට ගියා ට ඉතා විශාල හදවතකින් මා ගැන සිතූ තාත්තා ත්, මට බොහෝ ඈතකින් උන් නමුත් හුරතල් තෙපුලින් නිරන්තර මගේ හද තුළ ඔබ මොබ සක්මන් කළ පුතුත් හැරෙන්නට මට වූයේ උදේට ගොස් හවසට යළි ගෙදර ආ රැකියාවක් පමණකි. අශිකා, මිතුරියක ලෙස තරු එළියක් සේ පායා සිටියා ය. එපමණකි. නමුත් දැන් දැන් සිදු වන සියල්ල ඊට වඩා සංකීර්ණ ය. මේ තනතුර සේ ම ඈතකින් හිඳින කුලාන් නිසා ජීවිතයට ලං වූ සියල්ලත් හදවත මත බරක් පටවා ඇති සෙයක් දනවයි. ඔහු ගේ ජීවිතය ගැන දැනට මා දන්නා දේවල් ද, ඔහු කතා කරන දේවල් හා ඔහු ගේ මානව සම්බන්ධතා වල ස්වභාවය ද, කුරා කුහුඹු අපේ ලෝක වලට ඉතාමත් දුර ය. විසල් ය. දැවැන්ත ය.

ඔහු මගෙන් ඇසූ ප්‍රශ්නය මට සිහි වූයේ වැහි කෝඩයක හඬත් එක්ක පැටළී ගෙන ය. 

“දැංවත් ඔයා මාව විශ්වාස කරනවද…”

මම ඔහු ගේ මූණ බැලුවෙමි. නමුත් මා දුටුවේ ඒ ඇස් ය. මහා සාගරයක පත්ල බඳු ගැඹුරු සමාධියක් මට ඒවායේ තිබී හමු විය. කොහොමටත් ගැඹුර නිසල ය!

“සර්ව මං අවිශ්වාස කළා ද…එහෙම වෙන්නත් බෑ. ඒත්…කුකුෂ්ලානි මැඩම් කියන්නෙත් මගෙම ආත්මයෙ කොටසක් වගේ සමහර වෙලාවට මට දැනිල ඇති. පොදුවේ ගෑනු අයගෙ පැත්තෙ ඉඳල බැලුවොත්….පිරිමි කියන්නෙ ඉතිහාසෙ පුරාම එයාලගෙ විශ්වාසෙ බිඳපු ජාතියක්නෙ සර්…”

“මං කුෂ්ලානි ගෙ පේරන්ට්ස්ලට කතා කළා. එයාල මුලිංම තියෙන ෆ්ලයිට් එකේ එයි”

“සර් ඉගිලෙන්න ඕන කෙනෙක්. කූඩු වෙන්න නෙවෙයි”

“මට ඕනෙ නවතින්න නිම්නා. මාව දරාගන්න පුළුවන් අහසක….මට ඉගිල්ලෙන්න අසීමිත නිදහසක් තියෙන අහසක. එහෙම නිදහස් අහසක ඉගිලීමක් කියන්නෙ ම නැවතීමක්…”

වැස්ස සැඩ වන බව පෙනිණ. සුළඟ ද දැඩි ව හමා ගියේ ය. කුලාන් ගේ වචන මගේ සන්තානයෙහි අමුතු දෙදරීමක් ඇති කරමින් පැවතිණ. ඒ හඬත් එහි රිද්මයත් අරුතත් කියන සියල්ල මේ මුරුගසං වැස්ස හා අපූරුවට මුහු වී ඇති බවක් මට දැනිණි. එය එක්තරා ආකාරයක සමපාත වීමකි. මගේ ආත්මය සමගින් කිසියම් බලවේගයක් සමපාත වෙමින් තිබිණි. ඒ කවරක් දැයි සොයන්නට නො වෙහෙසී ම මම ඒ හා මුහු වෙමින් සිටියෙමි.

වැස්ස සැඩ වීමත් එක්ක ආයතනයේ සේවක පිරිස වැඩ නතර කොට කල්ලි ගැසී කතාවට වැටී ඇති බව මට පෙනිණ. ඔවුන් ගේ ඇස්, විටින් විට අප වෙත යොමු වූයේ එක එක විදිහේ කතා ඒවායේ ලියා ගෙන ය. තියා ගෙන ය. මම හිත යටින් ඔවුන් ට සිනහ වුණෙමි. ඔවුන් වූ කලී කෙතරම් අසරණ ප්‍රාණීන් කොටසක් දැයි මට සිතිණි. දැන් මේ මොහොතේ ඔවුන් අප දෙදෙනා ගැන මොනවා කතා කරනු ඇත්ද? එසේ අවුස්සා තැබීමත් මා තුළ ඇති කළේ එක්තරා ආකාරයක සතුටකි. මිනිසුන් සිනහ වෙන්නට බලා ඉන්නේ අනුන් ට වරදින තුරු ය! ඔවුන්, තමන් නිසා සිනහ විය හැකි මාර්ගයක් සොයා ගන්නේ ඉතා ම කලාතුරකිනි!

“ගෑනු ගණනාවක් ම පහු කරගෙන ගිය ම්නිහෙක්ට වුණත්…එතනිං එහාට තව අඩියක් තියා ගන්න බැරි වෙන වෙලාවක් එන්න පුළුවන්. අමාරු ගෑනු ශරීරයක් ළඟ නතර වෙන එක නෙවෙයි….ගෑනු හිතක් ළඟ නවතින එකයි කියල මට දැනෙන්න පටං අරං තියෙනව. ඒ වගේම…කුෂ්ලානි කියන්නෙ මාව නතර කරන්න පුළුවන් අහසක් නෙවෙයි නිම්නා”

එපමණක් කියා ඔහු මේඝයක් සේ නැගී සිටියේ ය. මේ මහා වැස්සේත් මගේ උගුර කට වියළී ගිහින් තිබිණි. 

මම වීදුරු කවුළුව ළඟට වී හඬන අහස දෙස බලා ගතිමි. මගේ දෙතොල් පෙති අතරේ හස මලක් පීදී ගෙන ආවේ ය. මම කවුළු වීදුරුවෙහි කම්මුලක් තෙරපෙන්නට හැරියෙමි. සව්මිය සුවඳක් සුමුදු ලෙස හිතෙහි අහු මුලු පිරිමදින්නට වූයේ ය.

කුලාන්! 

ඔහු තබා ගිය ඒ අවකාශය මට සැනසුමක් දැනවී ය. 

වැස්සේ ම මා වෑන් රථයෙන් බැස ගත්දී, ඉස්තෝප්පුවට වී බලා උන් තාත්තා ඉක්මනට ලොකු කුඩයත් ගෙන පෙරට ආවා ය. 

“ඇයි අනේ ඔය දෙන්න හිරිකඩ වැදි වැදී මෙතෙන්ට වෙලා බලං ඉන්නෙ…මං එනවනෙ කොහොමත්”

ගෙට ගොඩ වෙමින් මා එහෙම කීවේ අම්මා ත් තාත්තා ත් සීතලේ ඉස්තෝප්පුවට වී සිටීම ගැන තැවුලෙනි. නමුත් ඔවුන් දෙදෙනා උනුන් ගේ මුහුණු බලා ගත් විදිහෙන්, කී කතාව ගැන පසු තැවීමක් මා තුළ උපදින්නට ඇත.

“ඇයි අමුතු විදිහකට මූණු දිහා බලා ගත්තේ…”

මම සාරි කටුව ගලවමින් ම ප්‍රශ්න කළෙමි.

“නෑ…ඔයා දැං ලොකු තනතුරක් දරන ලොකු නෝනා කෙනෙක් කියලත් වෙලාවකට අපිට අමතක වෙනවද කොහෙද…”

අම්මා එසේ කියත්දී මා හිස් වී ගෙන යන සෙයක් මට දැනිණ. 

“අනේ…මොකද්ද අම්මෙ ඒ කතාව…මං කිව්වෙ ඔය දෙන්න සීතලේ හිරිකඩ වැදිල අසනීප වෙයි කියන බයටනෙ…”

තාත්තා වදනක් හෝ නො දොඩා, පපුවේ රෝම පිරිමදිමින් සාලයත් ඉස්තෝප්පුවත් අතර සක්මන් කළේ ය. බැඳීම් දැඩි වෙන තරමට කුඩා දේ වලින් හිත් රිදෙන්නට තරම් එ්වා සියුම් වෙයි. මා මුළුතැන්ගෙට එන විට අම්මා වතුර කේතලය ලිප තබා තේ හදන සූදානමෙහි උන්නා ය. කොයි තරම් තිබහ දැනුණ ද හැන්දෑවේ තේ එක මා එන තුරු නො බී හිඳීම, මා රැකියාවට යන්න පටන් ගත් පසු ඔවුන් ගේ සිරිත ය.

“අම්ම ඉන්නකො. මං කෝපි හදන්නං

මම කෝපි බෝතලය පිටතට ගනිමින් කීවෙමි.

“ඔයාට මහන්සිනෙ පුතේ”

“නෑ. ඉස්සරනං බස් වල හිර වෙලා එන මහන්සිය තිබුණා. දැං එහෙම නෑනෙ”

මගේ හිතේ වැරදිකාර හැඟීමක් තිබිණි. ඒ මගේ වචන නිසා තාත්තා ගේ හිත රිදෙන්නට ඇත කියා ය. කෝපි එකත් ගෙන මා ඉස්සරහාට යත්දී ඔහු හිටියේ හාන්සි පුටුවේ වැතිර ගෙන ය.

“ඔය ඉතිං…ආයෙත් හිරිකඩ වදිනවනෙ…හදා ගන්නකො හෙම්බිරිසාවක්”

කෝපි එක අතට දෙන ගමන් මම පුංචි තරවටුවක් කළෙමි. අඳුර පහ ව ගොස් තාත්තා ගේ මුහුණට සිනහවක් වැඩියේ ය.

“ළමයි ලොකු වෙනකොට අපි ඉතිං නොදරුවො වගේ කීකරු වෙලා ඉන්න තමයි තියෙන්නෙ”

“ඔව් ඔව්. මං දැං බොස් කෙනෙක්නෙ. කීකරු වෙලා ඉන්න ඕනෙ”

පරණ කතා ටිකක් කියවමින් සිට මම කෝපි කෝප්පයේ අඩක් සහිත ව කාමරයට ආවෙමි. මොන බලවේගයක් මත ද මන්දා බෑග් එකෙන් දුරකතනය පිටතට ගෙන බැලුවෙමි. වට්ස්අැප් හි අලුත් පණිවිඩයක් සනිටුහන් ව තිබිණි. ඒ කුලාන් ගෙනි. මම විවර කර බැලුවෙමි. වැස්සට කෙසෙල් කොළයක් ඉහලා ගත් ගෙම්බෙකු ගේ ස්ටිකරයක් ඔහු එවා තිබිණි. මගේ දෙතොල් මතට මන්දහාසයක් ආවේත්, ‘සර් තාම මගද’ යන පණිවිඩය ලියා, මකා දමන්නට හිතෙන්න පෙර ඉක්මනින් එය ඔහු ට යොමු කළේත් එකට ම ය. හිතන්නට කල් ගත්තා නම් මා එය නො යවන්නට තිබිණි. ජීවිතයේ සමහර දේවල් දෙවරක් නො සිතා කරන එක හොඳ ය. ඒ හරියන්නට හෝ වරදින්නට එය කළ යුතු ම නිසාවෙනි. හරි ගියත් වැරදුනත් එය කිරීම තුළින් අපේ හදවත ට දැනෙන්නා වූ තෘප්තිමත් හැඟීම, නො කර සිටීම මගින් කිසි දා ලැබිය නො හැකි බැවිනි. 

එසැනෙන් ඔහු ගෙන් ඇමතුමක් ආවේ ය.

“මග නෙවෙයි. මං ගෙදර”

“මං හිතුව එළියෙ තෙමෙනව කියල”

“අර ගෙම්බා වගේද…”

මම සැහැල්ලුවට සිනහ වූයෙමි. මේ හැඟීමෙන්  වෙන කිසිවෙකු අස සිනහ විය හැකි බවක් මට දැනී නැත. 

“මොකද කරන්නෙ…”

“කෝපි බොනව සර්”

“සුවඳයි”

“මොනාද…”

“කෝපි”

තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයක් බරක් දනවමින් අප අතර හරස් විය.

“සර් කුෂ්ලානි මැඩම්ව බලන්න ගියෙ නැද්ද…”

“එන ගමං විසිට් කළා. විනාඩි කීපෙකට”

යළිත් නිහැඬියාව අතරේ වැස්සෙහි හඬ පමණක් විය. ඔහු යමක් මට ඒත්තු ගන්වන්නට උත්සාහ කරනවා ද? කෙසේ වෙතත් මේ විනිවිදභාවයට මම රිසි වීමි. 

“කුෂ්ලානි දවසක මට කතා කරයි කියල මගෙ යටි හිතේ බලං ඉඳීමක් තිබුණා තමයි. ඒත් පහුගිය කාලෙ ටික ටික ඒක තුනී වෙලා ගියා. කුෂ්ලානි ලංකාවට එනව කියල මට මේල් එකක් තියන්නෙ….එයාව මට අමතක වෙලා යමින් තියෙන අතරෙ”

“අමතක…”

“අමතක කියන්නෙ…මතක නැතුව යනව කියන එක නෙවෙයි. මතක් වෙන්නැතුව යනව කියන එක. එහෙම තමයි නිම්නා…ජීවිතේ කියන්නෙ එක තැනක නතර වෙලා තියෙන දෙයක් නෙවෙයිනෙ. පස්සෙ අපේ ජීවිත වලට එන අය පරණ අඩි පාරවල් මකල දානවනං…ඒක අපේ වරදක් නෙවෙයි. ගහක් වුණත් අලුත් මල් දරද්දි පරණ මල් ගැන මතකය සම්පූර්ණයෙන් ම අත්ඇරල දානව. ගෙවිල ගිය ඍතුව නතර වෙලා තිබුණනං අලුත් ඍතුවකට එන්න බෑනෙ. ජීවිතේ ඒ වගේ හරි සියුම් තැන් අපි පරිස්සමට තේරුං ගන්න ඕනෙ”

වැස්ස දුක් ගීතයක් ගයමින් තිබිණි. මගේ හදවත සුවදායක මිහිරක නැහැවෙමින් තිබුණේ ය. කටුක ඍතු ගැන තැවෙනු තබා පිපෙන නටුව ගැන හෝ නොසිතා පතොක් ගස් වල ද මල් පිපෙන්නේ ය. මම කෝපි කෝප්පය මේසය මතින් තබා, යහනෙහි වැතිරුණෙමි.

“හෙට පුතා ගන්න යනව නේද…”

“ඔව්…”

උත්තරය දෙත්දීත් ප්‍රශ්නය නිසා ඇති වූ දෙදරීම මා තුළ විය.

“මං මහරගමට එන්නං. පුතා එක්ක පීසා හට් යං”

මම ඇස් දෙක පියා ගතිමි. උදේ එළි වෙත්දීත් මගේ ඇස් යට ඒ සිහිනය විය. කසුන් ගෙන් පුතා ව ගන්නටත් පෙර මට කුලාන් හමු වූයේ ය. ඔහුත් එක්ක කසුන් වෙත යාම ගැන දෙගිඩියාවක් මට වුණත්, කුලාන් ට උවමනා වූයේ එය කරන්නට කියා පසු ව මට සිතිණි.

රියෙන් බැසි මා වෙතට කසුන් ව අතැර මගේ පුතා දිව ආවේ ය. රටක් රාජ්ජයක් දිනුවා සේ මම ඔහු වඩා ගතිමි. රියෙන් බැසි කුලාන් අප වෙත ආවේ ඇයි කියා මම නො දනිමි. කෙසේ වෙතත් ඒ නිමේෂයේ මුළු ලෝකය ම මගේ දෝතට පත් ව ඇති බවටත්, තව දිනන්නට දෙයක් මට නැති බවටත් හැඟීමකින් මම නිවී පහන් වෙමින් සිටියෙමි.

“තමුසෙට ලැජ්ජාවක් ඇත්තෙම නෑ නේද…අනුංගෙ ගෑනුංව කාර් වල පටෝගෙන යන්න…”

කසුන් උත්සාහ කළේ අනුන් ලවා ඇහැට ඇඟිල්ලෙන් අන්නවා ගෙන හඬන්න ද?

“නිම්නා පුතා එක්ක කා එකට නගින්නකො”

කුලාන් ස්ථිර සාර හඬකින් කීවේ ය. මම පුතා ඉදිරි අසුනට ගොඩ කර රිය දොර වැසුවෙමි. දැන් මෙතැන ඇති වෙන්නට යන තත්වය ඒ තරම් හොඳ විය නො හැකි බවට කතාවක්, දුහුවිලි සුළඟක් මට කියා ගෙන ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles