ඔබට ඇහෙනවනම් – 35

2
2475

මහරගම අහස අරා පායා තිබූ සූර්යයා, උදේ කාලය වුණත් දැඩි රශ්මියක් විදා හළේ ය. නමුත් කුලාන් ගේ සෙවනැල්ල යට මට මුවහ විය හැකි හෙවනක් විය. කසුන් ගේ ඇස් ගිනි ගත්තේ ය. එදා මගෙන් නිදහස් වෙත්දී ඔහු ගේ ඇස් වල වූ අවඥාවට කුමක් වී ද? 

“දැං මොකද්ද ඔයා කියන්නෙ…”

කුලාන් ඍජු ව ප්‍රශ්න කළේ ය.

“ඇයි ඇයි මොකද තමුසෙ චණ්ඩියෙක්ද…”

කසුන් කෝපයෙන් කලබල වී සිටියේ ය. කුලාන් ලස්සන සිනහවක් හෙළනු මා බලා ගෙන ය.

“හපොයි නෑ. මන්නං චණ්ඩියෙක් නෙවෙයි. හැබැයි චණ්ඩින්ට බය මිනිහෙකුත් නෙවෙයි”

“තමුසෙද දැං මේ මෙයාව කුලප්පු කරල පිස්සු නටවන්නෙ…ආ…අපි දන්නව අයිසෙ තමුසෙලගෙ සෙල්ලං. ටික දවසක් සෙල්ලං කරල විසික් කරල යනකොට මේ සෙල්ලං බඩු වලටත් තේරෙයි වෙච්ච දේ”

“ඔයානෙ එහෙම කරල තියෙන්නෙ”

“මේ හලෝ. මං මේ ගෑනිට කියලයි තියෙන්නෙ මේ පොඩි එකා නිසා ආයෙ එකතු වෙමු කියල. තමුසෙ රැස් වලට ඇස් නිලංකාර කරගෙන තමයි මෙයා ඒකට අකමැති වෙලා ඉන්නෙ”

“දැං එතකොට ඔයා යන්න කියනකොට යන්නයි එන්න කියනකොට එන්නයි ඕනෙද…අනිත් එක…අම්මගෙං අහලද ඔයා ආයෙත් මෙයාට එන්න කිව්වෙ…පස්සෙ අම්මා බැන්නොත් එහෙම…”

“මොකද්ද යකෝ කියන්නෙ…”

කියා ගෙන කසුන් කුලාන් වෙතට පැන්නේ ය. නමුත් ඔහු දිග හල අත කුලාන් අල්ලා ගත්තේ කිසි වෙහෙසකින් තොරව ය.

“දැං ගහගන්නද ඕනෙ…එහෙනං ඊට කලිං අම්මට කෝල් එකක් දාල කියන්න මෙතනට ඇම්බියුලන්ස් එකක් එවන්න කියල”

“උඹේ කට වැඩියි හරී”

කියමින් කසුන් අනිත් අතින් පහරක් ගසන උත්සාහයක් දැරුවේ ය. කුලාන් ඒ පහර වළකා ලූයේ, පොඩි කාලේ කතන්දර වල මා අසා තිබූ වීරයෙකු සිහිපත් කරවමිනි.

“ඔයා නිම්නාව ඩිවෝස් කරල දැන් සෑහෙන කාලයක්නෙ නේ. ඉතිං දැං එයා කනවද බොනවද අඳිනවද කියල හොයන්න ඔයාට අයිතියක් නෑනෙ. එයා කැමති විදිහකට ඒව කර ගත්තදෙං. ඔයා පාඩුවෙ වැඩක් බලා ගන්න. ඊළඟ කසාදෙවත් අම්මට ඕන විදිහට නෙවෙයි ඔයාට ඕන විදිහට ගත කරන්න”

“අපි යං සර්…”

මම කෙඳිරුවෙමි. මා කෙතරම් බිය පත් ව සිටිනවා දැයි, දෙතොල් වල වෙව්ලීමෙන් ඔහු වටහා ගන්නට ඇත. කුලාන් මගේ බඳ යන්තම් අල්ලා මා තුළ සුරක්ෂිත හැඟීමක් දනවන්නට උත්සාහ කළේ ය.

“ළමයවනං දෙන්නෑ පුතෝ. දැනගනිං නිම්නා. මං උඹෙං පළි ගන්නෙ එක දවසකටවත් ළමයව උඹට පෙන්නන්නැතුව ඉඳලයි”

කසුන් මවෙත තර්ජනාත්මක වූයේ ය. මොනවාට බය නැතත් පුතා ගැන කී ඒ කතාවට මම වෙව්ලන්නට වීමි.

“ඒක බලා ගමු උසාවියෙදි”

කියමින්, රියෙහි ඉදිරි දොර හැරි කුලාන් මා ඊට ගොඩ කරවූයේ ය. ඊළඟට ඔහු කසුන් ට යමක් කියනු පෙනුනත් ඒ කුමක් දැයි මට හරියට ම වැටහුණේ නැත. අනතුරුව කුලාන් විත් රියට නැගුණේ ය.

“කොහෙද පුතා දැං අපි යන්නෙ…ම්…”

රිය පණ ගන්වමින් ඔහු එසේ ඇසුවේ පුතා යම් තිගැස්මකට ලක් ව හිඳිනවා නම් ඔහු සැහැල්ලුව ට පත් කරන්නට මෙනි.

“තාත්ති ඔයාට ගැහුවද…”

අප කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස පුතු ප්‍රශ්න කළේ කුලාන් ගෙනි. මම අසරණ ව ඔහු දෙස බැලුවෙමි.

“නෑ පුතා. අපි ටිකක් කතා කළා. දැං පීසා කමුද…”

“පීසා හට් එකේ ඉඳගෙනමද…”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -43

“ඔව්”

“හා”

පුතා ගේ මුහුණ සිනා මලකින් පිපිණි. ඔහු එතැන ම හිඳ පීසා කන සිහිනයක සිටි දරුවෙකි. නමුත් මම හැමදා ම ගෙදර ගෙන ගොස් ඔහු ට කන්න දුන්නෙමි. ඊට ප්‍රධාන ම හේතුව වූයේ මගේ තනි කමයි. එවන් තැන් වලට වැඩිපුර දරුවන් එන්නේ පවුල් පිටිනි. මගේ පුතා ට එවන් පිරිසක් අතර දී තාත්තා අප සමග නැති අඩුව දැනේවියි දෙගිඩියාවක් මට විය.

කුලාන් හැසිරුණේ කසුන් සමග කිසිදු බහින් බස් වීමක් සිදු නොවූ ගාණට ය. නමුත් වරින් වර මගේ මනස යළිත් එතැනට දිව්වේ ය. පුතා ලබා ගැනීමට නො හැකි වන ලෙස කසුන් කුමන උගුලක් අටවාවි ද යන දෙගිඩියාව මට කරදර කරන්න ට වූයේ ය.

“අපි පුතා ගන්නව. බය වෙන්න එපා”

මා අතරමං වී උන් සිහිනය දෙදරා ගියේ ය. පියවි සිහියට වහා එළඹෙමින් මම නෙතු විදා කුලාන් දෙස බැලුවෙමි.

“මං කිව්වෙ…ඔයාට පුතාව ගන්න පුළුවන්. කොහොමටත් බුරන බල්ලො වැඩිය හපාකන්නෑ කියල ඔයා අහල ඇතිනෙ. බාකිං ඩෝග්ස් සෙල්ඩම් බයිට්ස්”

“අනේ සොරි සර්. කසුන් ට මොනා වෙලාද කියල මට තේරෙන්නෑ. මගෙත් වැරැද්ද”

“මොකද්ද ඔයාගෙ වැරැද්ද…”

“සර්ව මේවට මැදිහත් කර ගන්න එක…”

“ඔයාගෙ අම්මිවනං පනිෂ් කරන්න වෙනව දැං පුතා…”

පුතා දත් හැලුණු කටින් හුරතල් සිනහවක් පෑවේ ය. කුලාන් ඔහු ගේ හිස් මුදුනේ කෙහෙ රැලි අවුල් කළේ ය.

“අපේ අම්ම නැති වුණාට පස්සෙ…කුඩම්ම මට වෙනස් කමක් කළේ නැති වුණත් මං එයාට ලං වුණේ නෑ. එහෙම ලං නොවෙන්න හේතුව එයා මට ආදරයක් පෙන්නුවෙ නැති එක වෙන්න ඇති. ළමයි කාගෙ වුණත් උන්ට ආදරේ ඕනයි කියන එක මං ඉගෙන ගත්තෙ ඒ නිසයි. ලොකු මිනිස්සු ත් ආදරේ හොයන එකේ…පොඩි උං එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි”

ඕනෑ ම විෂයක් ගැන කතා කළ හැකි විශේෂ ලක්ෂණයක් මේ වන විට මම කුලාන් වෙතින් හඳුනා ගෙන සිටියෙමි.  එය වූ කලී ඔහු ලද උපාධි සහතික මත තීරණය වූ උගත් කමක් කියා මම නො සිතමි. ජීවිතයේ අනේක විධ අත්දැකීම් ලබමින් ද, ලෝකයේ විවිධ තරාතිරමේ හා සංස්කෘතීන් ගේ ආභාෂය ලත් මිනිසුන් පහු කර ගෙන යාම මගින් ද ඔහු වර්ධනය කර ගත් බුද්ධියකි. එය ඔහු ට රැස් වළල්ලක ප්‍රතාපවත් බවක් එක් කොට ඇති බව වඩා හොඳින් දකින කෙනෙකු ට පෙනේ. මම ඔහු ගේ ඒ ඕරාව කෙරේ මුල සිට ම ආශක්ත වෙමින් සිටියෙමි.

කුෂ්ලානි දරු ගැබක් දරමින් යයි කියමින් ඔහු වෙත එත්දීත්, ඒ දරුවා ගේ පීතෘත්වය පිළි ගත නො හැකි යයි නො කියා සිටියේ, කුලාන් ගේ ඒ අසීමිත බව නිසා වන්නට ඇත.

අම්මා කෑම කා යන්නට කීවත් කුලාන් නැවතුණේ නැත. ඔහු නික්මුණේ වෙනත් දවසක ඒ සඳහා පැමිණෙන පොරොන්දුවක් ඇය ට දෙමිනි.

“ඒ දරුවට රසට කෑම වේලක් උයල දෙන්න ඕනෙ. මන්දන්නෑ මහ පුදුම දරුවෙක්. හරියට ගිය ආත්මෙක අපේ පවුලකට සම්බන්ද වෙලා හිටිය වගේ…”

අයිස් කුට්ටියක් උගුර දිගේ පහළට කිඳා බසිමින් තිබිණි. කුලාන් ඇවිත් ගිය වෙලේ පටන් තාත්තා ගේ වෙනසක් මට දැනිණි. ඔහු මගදී මා හමු වීම තාත්තා ගේ හිතට විෂ දළ පහර වදින්න ට හේතු වන්නට ඇත. මා හිටියේත් දෙගිඩියාවේ ය. 

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 41

“දැං ඔය කොම්පැනිය අයිති මහත්තය මොන අදහසකින්ද මෙහෙ යන්නෙ එන්නෙ…”

ගැඹුරු කල්පනාවකට වැටී උන් තාත්තා උන් හිටි ගමන් එසේ ඇසුවේ ය. මට අම්මා ගේ මුහුණ බැලිණි. 

“ඇයි අනේ…ඒ දරුව ආවහම මොකද වෙන්නෙ…නරක අදහසක් තියං එහෙම කරන ළමයෙක් නෙවෙයි කියල අන්දයෙකුට වුණත් පේනවනෙ”

“අනේ මේ නිකං මෝඩ අම්මණ්ඩියෙක් වගේ කතා කරන්නෙපා මානෙල්”

මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස ඔහු උදහස් වූයේ ය.

“මේ ගෙදර ඉන්නෙ ළමිස්සියෙකුත් නෙවෙයි. දික්කසාද වෙලා ගෙදර ආව තරුණ ගෑනියෙක්. කසාදයක්වත් නො බැඳපු ඉලන්දාරියෙක් එහෙම තැනකට යනව එනවය උදවු කරනවය කියන එකේ මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෙ. ඒව දකින රටේ මිනිස්සු හරි හේතු හදන්න බලනව. එක පාරක් වැරදිච්ච ගෑනියෙක් හිතන්න ඕනෙ තව මොනා වරදින්නද කියල නෙවෙයි. හුස්ම ගත්තත් පරිස්සමට ඒක කරන්න ඕන කියලයි”

තාත්තා කතා කළේ ඉර හඳ වැනි සත්‍යය බව මම දනිමි. කුලාන් කියන්නේ ස්ත්‍රී සන්තානයක මධුර සිත්තමක් වර්ණ ගැන්විය හැකි විදිහේ ආත්මයක් සහිත පුරුෂයෙකි. මා පත් ව සිටියේත් ඒ චමත්කාර යන් මිදී යා නො හැකි අරුමැසි සිහිනයකට ය. නමුත් ප්‍රායෝගික ජීවිතය තියෙන්නේ ඊට බොහෝ එපිටින් බව මා නො දන්නවා නොවේ.

“දැං ඔය මහත්තය නිම්නාට මුකුත් යෝජනාවක් එහෙම කරල තියෙනවද…”

මම හිස වඩාත් බිමට හරවා ගතිමි. තාත්තා ගේ මූණ දෙස කෙලින් බලා කතා කළ නො හැකි අපහසුවක් මට දැනෙන්නට වූයේ ය.

“එහෙම මුකුත්…නෑ තාත්තෙ”

“අන්න ඒකනෙ. එයා මොනා හිතේ තියාගෙන මේ විදිහට හැසිරෙනවද කියල කවුද දන්නෙ…”

“ඒ ළමය නරක ළමයෙක් නෙවෙයි කියලනං තේරෙනව”

“ආයෙත් කියනව. පිටිං බලං පිරිමිංගෙ හොඳ නරක තීරණය කරන්න හිතන විදිහට කවදාවත් දුවෙක් හදන්න හොඳ නෑ මානෙල්”

තාත්තලා සිය දූවරු ගැන හිතන්නේ මොන තරම් ප්‍රවේසමකින් ද? මේ කතාව ගැන දැනගත් වෙලේ අශිකා කී කතාව මා සසල කරන්නට සමත් විය.

“දවසක කුලාන් වුණත් එහෙමයි නිම්නා. එයාගෙ දුව ඇස් දෙකේ තියාගෙන පරිස්සං කරයි. කොල්ලා කාලෙදි ගෑනු ළමයිංගෙ ජීවිතත් එක්ක තමං දාපු සෙල්ලං හැම පිරිමි හෘද සාක්ෂියකම තියෙනවනෙ. වෙන පිරිමියෙක් තමංගෙ දුවට එහෙම කරයි කියල තාත්තල වුණාට පස්සෙ ඒගොල්ලො හැම මොහොතකම බයෙං ඉන්නව ඇත්තෙ”

“ඒත්…මගෙ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි”

“හැම දුවෙක්ටම තමංගෙ තාත්තා ගැන හිතෙන්නෙ එහෙම”

ඇගේ තර්කය බිඳීමේ ලා අවශ්‍ය කරන ශක්තිය නො මැති ව මම බිඳී විසිරී යමින් සිටියෙමි.

 “අම්මල දුවලට ආදරේ කරන කොල්ලන්ට පණ ඇරං ආදරේ කළාට තාත්තල උන් දිහා බලන්නෙම සැකෙං. ඒ සදාකාලික සැකේ අළු යට ගින්දර වගේ තියෙන දෙයක්”

අම්මා කුලාන් ට පෙන්වන අපරිමාන ආදරය මට සිහි විය. වයසත් එක්ක එය මාතෘ ස්නේහයක මුහුණුවර ගත්ත ද හැම ස්ත්‍රී යටි හිතක ම සිය වස් ගණනක් තිස්සේ නිදන්ගත පිරිමි පෞරුෂය ඒ වාගේ පිරිමියෙකි. 

දින දෙකකට පස්සේ කුෂ්ලානි ගේ මවු පියන් ලංකාවට පැමිණියහ. එය මගේ ජීවිතයට සම්බන්ධ සිදුවීමක් නො වුණත්, මට ම නො තේරෙන හේතුවකට මම කැළඹී ගිහින් සිටියෙමි.

5 1 vote
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
1 month ago

ඇයි අනේ කුලාන් නිම්නාට කෙලින්ම propose කරන්නෙ නැත්තෙ?

දිල්හාරා ❤️
1 month ago

හප්පෝ කුශ්ලානි ගෙ පේරන්ට්ස්ලා මොන ජවුසමක් නටාවිද දන්නෙ නෑ…. නිම්නට මොකුත් නොවුනොත් ඒ ඇති. ❤️