මන්දාරම් හැන්දෑවක -31

සාලයේ ඇති ගුවන් විදුලියේ සිහින් සරින් පිරිත් වාදනය වෙද්දී වෙද ගෙදර නිහඬතාවයේ ගිලී ගොස් තිබිණ. දවස පුරා සෙනුරිගේත් සෙනුජගේත් සිනා කෙළි කවට දරා ගනිමින් හිඳින වෙද ගෙදරට ගිමන් හරින්නට ඇත්තේ රාත්‍රියේ සුළු ඉඩකඩක් පමණි.රෑ බෝ වෙනතුරු බෙහෙත් කාමරයේ හුන් වෙද මහතා හීන් හඬින් ගෙරවිල්ලක ය.අත් උදව්වට යසා හිඳිය දී වෙහෙස නොවන්නැයි වරුණ කෙතරම් දෙස් දුන්න ද කනකට නොගන්නා වෙද හාමිනේ ද පිරිත් හඬට කන් යොමා නින්දට පිවිසෙමින් හුන්නා ය.ටෙලි නාට්‍ය සේරෝම නැරඹූ පසු සන්තෝසයෙන් නින්දට යන යසා ද හුන්නේ සිහින දකිමිනි.

වෛද්‍යවරියගේ ඔසු සහ උපදෙස් නිසා සන්සුන් වෙමින් හුන් මේඝා රෑ එකොළහේ කනිසමටත් පෙර නින්දට වැටුණේ වරුණගේ පොත් රාක්කයෙන් ගත් පොතකට ඇහැ අලවා සිටියදී ය.”යමෙක් සිය ඉරණම ලුහුබැඳ යාමට එඩිතර වන්නේ නම් ඔහුට එය ජය ගැනීමට උපකාරි වීම පිණිස මුළු ලොවම පෙළ ගැසෙයි.” පාවුලෝ කොයියෝ ලියා තැබූ ඒ වාක්‍යය ගැන දිගින් දිගටම සිතමින් හිඳියදී මේඝාට සැනසිලිදායක නින්දක් ළඟා විණි.සිහින ලුහු බැඳ යන්නට කොයියෝගේ අකුරු ඈ උත්තේජනය කරද්දී මේඝා නින්දට වැටුණේ අනාගත සිහින තුරුළු කරගෙන ය.සැනසීමෙනි.

මේඝා ගැන නිරන්තරයෙන් විමසිලිමත් වන්නැයි දිනිඳු දුන් උපදේශය සිහි වී මාධවී මේඝාගේ කාමරයට එබුණේ තවමත් දැල්වෙන විදුලි පහන් ගැන විමසිලිමත් ව ය.”සන්තියාගෝ නම් සැරිසරන්නා” තුරුළු කරගෙන නින්දට වැටී හිඳින නැගාණියට පොරවනය පොරවා නළල මත හාදුවක් ද තැවරූ මාධවී කාමරයෙන් පිටතට ආවේ අතීත දවස් සිහි කරමිනි.මේඝා කුඩා කාලයේ පටන් නින්දට යන්නේ පොත් කියවන අතර බව ඇයට සිහි විණි.වරුණගේ කාර්යාල කාමරයේ ද තවමත් විදුලි පහන් දැල් වේ.ඔහු වර්ෂ අවසාන වාර විභාග කටයුතු නිසා කාර්යබහුල ය.

“ඔයාට තේ එකක් ගේන්නද වරුණ?”

මාධවීගේ නිදිබර දෑස කාමරයට එබෙද්දී වරුණ සලකුණු කරමින් හුන් පිළිතුරු පත්‍රය පසෙකින් තැබුවේ ය.ඇය සමඟ ඔහුට කතාවක් විය.අද සවස් යාමයේ දිනිඳුට පැයකටත් අධික කාලයක් වෙන් කළ පසු ඔහු සිටියේ හිතේ බරකිනි.දස වසරක් පමණ තිස්සේ හුරු වූවා මෙන් ඒ බර මාධවී සමඟ බෙදා ගන්නට වරුණ සිතුවේ ය.

“දැන් එපා මදූ. අක්කා මලෝ නිදිද?”

“දෙන්නම දොයි.අද පුංචිත් ඇල්කෙමෙස්ට් තුරුළු කරං කලියෙන්ම නිදි”

මාධවී කියන්නේ වරුණ පරීක්ෂා කර පසෙකින් තැබු පිළිතුරු පත්‍රයක් අතට ගන්නා අතරේ ය.ඇය උඩින් පල්ලෙන් ඒවා කියවමින් මොහොතක් නිහඬව හුන්නා ය.

“තව ගොඩක් ඉතුරුයිනෙ අනේ. මං ලකුණු එකතු කරන්නද..දිනිඳු සෑහෙන වෙලාවක් කියෝ කියෝ හිටිය නිසා වැඩ ටික එහෙමමයි නේද?”

මාධවී එසේ කියමින් රතු පෑනක් අතට ගත්තා ය.වරුණ එය නැවත ගෙන පසෙකින් තැබුවේ ය.මේ මොහොතේ මාධවී උවමනා ප්‍රශ්න පත්තර පිරික්සන්නට නොවේ.

“දිනිඳු මාත් එක්ක කතා කරපුවා ඔයාට කියන්නත් තමයි මං හිටියේ මදූ.කොයිවෙලේ හරි තේ එකක් හදන්න අහගෙන ඔයා එයි හිතුණා..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -33

දිනිඳු පුටුවේ හරිබරි ගැසුණේ ය.ඔහු මේඝා ගැන බියජනක ආරංචියක් පැවසුවේදැයි මාධවී බියෙන් හිරි වැටී ගියා ය.ඇය දැන් හිඳින්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් බව මාධවීට අමතක නොවේ.

“දිනිඳුට ආයෙ මැරි කරන්න අදහසක් ඇවිල්ල මදූ.කොල්ලා පොඩි කාලයක් නෙවෙයිනෙ තනියෙං හිටියෙ..ඒකෙ නම් වැරැද්දක් මට පේන්නෑ..”

වරුණ කතා කරන්නේ හරි අඩක් හිතේ සඟවා යැයි මාධවීට සිතිණ.ඇයට සිහි වූයේ එක්තරා අඳුරු උදෑසනක දොරකඩ මතු වූ දිනිඳු ය.”මධූ, අපේ සර් කෙනෙක් සමාධිව ටෙස්ට් කරා.ඒ කැන්සර් එකක්..”එසේ කියා පුටුවක් මත ඇද වැටී ඉකි ගැසූ තරුණයා සමාධිට ඉතිරිව ඇත්තේ කෙටි දින ගණනක් බව දරා ගත් හැටිත් අනුරාධපුර මල් ශාලාවක නිසලව වැතිර සිටි සමාධි දෙස බොර කරගත් දෑසින් හඬන්නට අමතකව බලා සිටි හැටිත් ඇගේ සිතින් මැකී යන්නේ නැත.ඔහුට නැවත විවාහයක් සඳහා බල කළ සෑම අවස්ථාවකට ඒ කතාව මඟ හරින ආකාරය ද ඇයට අමතකව නොයයි.

“හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ගැන අදහසක් ඇවිල්ලද වරුණ..හොඳයි නං තමා.ඒත් කෙල්ලට අම්මෙක් වෙන්න පුලුවං වෙයිදත් හිතෙනව. මේ අපෙ කෙල්ල අවුරුදු ගාණක් තිස්සෙ මගෙනුයි අක්කගෙනුයි හැංගුවට මොරීන් ආන්ටි මේ ළමයාව නොසලකා හැරිය කියලමයි මගෙ හිතනං කියන්නෙ වරුණ..එහෙව් එකේ කුඩම්මෙක්ව ඉනුලි කොහොම බාරගනිද හිතෙනව.මොරීන් ආන්ටිලට වඩා දැන් කෙල්ලො දියුණූයිනම් තමා..”

මාධවීට කියවාගෙන යන්නට ඉඩ දී වරුණ බලා සිටියේ ය.අනතුරුව ඔහු ඇය වෙත ආවේ ය.

“ඔයා මේ ගැන අහල කලබල වෙන්න එපා මදූ.ඔයා අකමැතිනම් මේක මෙතනින්ම නවතිනව.දිනිඳුට අපේ පොඩ්ඩි ගැන තමයි අදහසක් තියෙන්නෙ..හැබැයි අපි කැමතිනම් විතරයි.”

ඕනෑම අක්කා කෙනෙකු මෙන් මාධවී කම්පනයට පත් වූවා ය.තමන්ගේ නැගණිය ගැන ඊයේ පෙරේදා වෙනතුරුම ඇයට බොහෝ සිහින විය.ඈ විවාහයක් සඳහා කැමති කරගන්නටත් ඇයට සහකාරයෙකු සෙවීම පසුගිය සිදුවීම් නිසා අසීරු වන්නටත් ඉඩ ඇතැයි සිතා ඈ තැවුණා ය.

“සුදු රෙද්දෙ නම්බුව බලන ගෝතයෝ නෑ මදූ අක්කා දැන්.ඒ වීඩියෝ සීන් එක හරියට බලන ඕනෑ කොල්ලෙක් තේරෙනව ඒක රිලේෂන්ශිප් එකක් අතරේ වුණු දෙයක් කියල.කොහොමත් ඕවා යට ගිහින් අලුත් වීඩියෝ එනවනෙ.තේරුම් ගන්න හොඳ කොල්ලෙක් මේඝාට නොලැබී ඉන්නෙ නෑ..”

ඒ විස්සෝපය බිනර සමඟ බෙදා ගත් දා ඔහු කීවේ එවැනි කතාවකි.

“මේ ගැන මේඝා මොකුත්ම දන් නෑ මදූ.මට දිනිඳු කිව්වෙ අපි අකමැතිනම් ඒක එයා මේඝාට කියන්නෙත් නෑ කියල..ඔයා මොකද හිතන්නෙ..”

වරුණගේ සන්සුන් කටහඬ ඇසිණි.

“මං කොහොමද අනේ ඒකට හා කියන්නෙ.දිනිඳු දරුවෙක් ඉන්න තාත්තෙක්නෙ වරුණ.අනික නංගිට වඩා අවුරුදු දොලහක් විතර වැඩිමල්.මේක හරියන එකක් නම් නෙවෙයි..” එසේ පැවසූ ඈ අනතුරුව සුපුරුදු වාක්‍යයට පිවිසුණා ය.

“ඔයා හිතන්නෙ මොකක්ද කියන්නකො.මට වඩා ඔයාට තේරෙනවනෙ..”

“මං කැමතියි. ඒ අපිට පහුගිය කාලෙ වෙච්ච දේවල් එක්ක මේඝාව කසාදයක් බන්දන්න බැරිවෙයි කියලනම් නෙවෙයි.ඒ වගේ රිදුණු බිදුණු පොඩි කෙල්ලෙක් පරිස්සමින් බලා ගන්න මන්තරේ දිනිඳු දන්න නිසා.සමාධිට උනත් ඔයාල නොදන්න ප්‍රශ්නයක් තිබ්බ.ඒ ප්‍රශ්නෙ දිනිඳු බාර ගත්තු විදිය මං දන්න නිසා අපේ සුදු නෝනා ජීවත් වෙලා හිටියනම් මං අපේ කෙල්ලව ඌට දෙනව මදූ..මට හිතෙනව පොඩ්ඩි මේකට කැමති උනොත් කෙල්ලට ජීවිතේම සැනසිල්ලෙ ඉන්න පුලුවන් කසාදයක් මේක..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -40

මාධවී නළල ඇඟිලි තුඩු වලට තද කරගෙන තවත් සිතන්නට වූවා ය.සැබෑවකි,දිනිඳුගේ බිරිඳ මිය ගොස් ය.ඈ ජීවතුන් අතර හිඳියදී මේඝාට ළං වන්නට ඔහු යත්න දැරුවානම් මිස දැන් මෙහි වරදක් නැත.මේඝාට සතුටින් හිඳින්නට ඉඩ ලැබෙන තැනක ඇයට නවතින්නට ඉඩ දිය යුතු ය.

“නංගිට කසාදයක් බැඳගෙන පාඩුවෙ ඉන්න අර මූසල මිනිහ ඉඩ දෙයිදත් මට බයයි වරුණ..”

මාධවී අනතුරුව කීවා ය.එයට පිළිතුරු ලෙස වරුණගේ මුහුණේ ඇඳුණේ පුළුල් සිනාවකි.බොහෝ දේ දන්නා බව හඟවන සිනාවකි.

“ඒ චූ කොල්ල කා එක්ක හැප්පුණත් දිනිඳු එක්ක හැපෙන්න එන්නෙ නෑ. බය වෙන්නම එපා..”

මාධවී අසුනින් නැගිට ගත්තේ සෙනුජ අවදි වී හඬන හඬට ය.වහා ඔහු වෙත යා යුතු ය. එහෙත් මේඝා උස් හඬින් ඔහු නළවන හඬ ඇසුණේ තත්පර කිහිපයක් ගෙවෙද්දී ය.

“කුඩම්මෙක් කියන්නෙ ඇත්තටම මොනවගේ කෙනෙක්ද කියල අපේ කෙල්ල දන්නවනෙ වරුණ.ඉනුලිට අම්මෙක් වෙන්න ඒකිට පුලුවං වෙයි.ඒකම පිනක්නෙ.පොඩ්ඩි කැමති නොවෙන්න හේතුවක් නෑ.අම්මා එයාගෙ වෙලාව බලල කිව්වෙත් තුන්මාසෙකිං කසාදයක් වෙන්න පුලුවං කියල.”

සිහින් හඬින් ඇසෙන මේඝාගේ නැළවිලි ගීයට කන් දී මොහොතක් සිටි වරුණ හිනැහී ය.

“එහෙනං දැන්ම තියා පොඩි කලර් වොෂ් පාරක් එහෙම දාලා ලෑස්ති වෙමු.අපේ සුදු නෝනාගෙ වෙඩින් එක කියල හිතන් මේඝාගෙ වෙඩින් එක ජයට ගන්න අපේ අම්මයි අප්පච්චියි හරි ආසාවෙ ඉන්නෙ..”

මාධවී කාමරයෙන් පිටතට ආවේ හීන් කඳුලක් පිසදා ගනිමිනි.නැගණියට වඩා ගැළපෙන බිමක පැළවෙන්නට ඉඩ හරින්නට ඈ සිතුවේ මහත් ආදරයකිනි. දෛවය ඇයට පිරිනමන්නට යන ජීවිතය බාර ගන්නට ඉඩ දිය යුතු බව මාධවී සිතුවා ය.ඇය නිදන කාමරයට පිවිසෙද්දී මේඝා සිටියේ සෙනුජ ඇඳ මත තබා ගී මුමුණමිනි.

“මං අයියා එක්ක ටර්ම් ටෙස්ට් පේපර් බැලුව. පුතා මෙහෙමම නිදා ගනී පොඩ්ඩි.ඔයා ගිහිං නිදා ගන්න..”

මාධවී මේඝාගේ හිස පිරිමැද පැවසුවා ය.මේඝා කෝපිමල් සිනාවක් දෙතොලට ගත්තා ය.

“පුතා අක්කා නෑ කියල ඇඬුවෙත් නෑ.හොඳට තුරුල් වෙලා නිදා ගත්ත..”

ඈ පිටව ගියේ එසේ කියමිනි.මාධවී විදුලි බුබුල නිවා ඇඳ ලාම්පුව දැල්වූයේ සෙනුරිගේ මුහුණට නෙත් අලවාගෙන ය.තම දියණිය සමඟ උස්මහත් වූ මව අහිමි කුඩා ඉනුලි ඈට සිහි විණි”ඉතුරු ජීවිත කාලෙම ඒ පැංචිට අම්මා වෙයං පොඩ්ඩියෙ. ආයේ කිසිම ආත්මෙක අම්මාගෙ ආදරේ උඹට නැති වෙන එකක් නෑ..” මාධවී තනිව මුමුණා ගත්තා ය.

5 6 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
30 days ago

ආදරේ හිතෙනවා … ❤️❤️

Sudharshana Abeyrathne
30 days ago

Adareyi pelenda.
Hebeyi aruta danduwamkuth demu ne?
Ammatayi puthatayi dennatama denawanam mama kemathi.