fbpx

ඔබට ඇහෙනවනම් -36

කුෂ්ලානි ගේ මානසික ප්‍රතිකාර වෙනුවෙන් ටික දිනක් ලංකාවේ නතර වන්නට ඇගේ මාපියන් තීරණය  කොට තිබිණි. පුතු ගේ අයිතිය ඉල්ලා පැවරූ නඩුවේ ප්‍රථම උසාවි දිනය ද ඒ අතරේ එළඹියේ ය. සියලු තොරතුරු සලකා බැලූ විනිසුරුවරිය මාසයකට නඩුව කල් දැමුවා ය. නමුත් මගේ නීතීඥවරිය විශ්වාස කළේ ජයග්‍රහණය මුලුමනින් ම ඇත්තේ අපේ පැත්තේ කියා ය. ඊළඟ නඩු වාරයේ දී පුතා ගේ අයිතිය නිසැක වශයෙන් ම ලබා ගත හැකැයි ඇය කියා සිටියා ය.

ඒ මගේ ජීවිතයේ විශාල ම ජයග්‍රාහී හැඟීම බව කිව යුතු ය. අම්මා කෙනෙකු ට දරුවෙකු කියන්නේ සිය ජීවිතයේ ම කොටසකි. ඇය දස මසක් එකී දරුවා ව සිය කුසයෙහි දරා ගෙන හිඳින්නී ය. ඉන් පසු ජීවිත කාලයක් ම දරු දුක හදෙහි දරා හිඳින්නී ය. දවසක් ගානේ දරුවෙකු උස් මහත් වන අයුරු, ඇස් පිය නො සලා බලා ඉන්නට ඇයට පුළුවන. මාතෘත්වය කියන්නේ ඒ තරමට අසිරිමත් පදවියකි. මම ටික කලකට මගේ අයිතිය අහිමි කරනු ලැබූ මවක වෙමි. නමුත් දැන් මගේ අයිතිය වෙනුවෙන්, මගේ පුතු ගේ ආදරය වෙනුවෙන් මුළු ලෝකයක් සමග වුව සටන් වදින්නට මට ශක්තිය තිබේ.

“නිම්නා”

උසාවි ගිහින් ආ දා හැන්දෑවේ තේ බොන ගමන් අශිකා කල්පනා බර හඬකින් මට කතා කළා ය. තේ එක දෙස බලා උන් නෙතු ඔසවා මම ඈ දෙස බැලුවෙමි. අශිකා ගේ ඇස් වල වූයේ ආගන්තුක දීප්තියකි.

“මටත් හිතෙනව දරුවෙක් අරං හදා ගන්න”

මගේ අතේ වූ කෝප්පය ගැස්සී තේ ටිකක් මේසය මත හැළිණි.

“මොකක්…”

“ඇයි…ඒක අවුල් වගේද…”

පැහැදිලි උත්තරයක් දෙන්නට තරම්, ඒ කාරණය ගැන මීට පෙර කිසි සේත් මගේ අවධානය යොමු වී තිබුණේ නැත.

“අවුල් නෙවෙයි. ඒත්…”

“ඔයා කියන්න යන්නෙ මං වගේ මැරි කළේවත් නැති කෙල්ලෙක් ළමයෙක් ව අරං හදා ගන්නෙ මොකටද කියලනෙ..”

“මං කියන්නෙ…ඔයාට ඔයාගෙම දරුවෙක් හදා ගන්න පුළුවන් නෙ”

“ඒත් ඒකට බැඳල ඉන්න එපැයි. එහෙම නැතුව දරුවෙක් හම්බ වුණහම අපේ රටේ එහෙම ගෑනු කෙනෙක්ට වගේ ම දරුවෙක්ටත් තියෙන පිළිගැනීම ගැන මං ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නිම්නා”

ඈ කියන්නේ සැබෑවකි. පීතෘත්වය ඔප්පු කළ නො හැකි දරුවන් ට අපේ සමාජයේ වන්නේ හීන කුල මිනිසුන්ට එදවස වූ නො සැලකීම ම ය. එය දරුනු හිත් රිදීමක් ඇති කරන නිසා ම, එවන් මව් වරු නීත්‍යාකූල පියෙකු නො මැති දරුවෙකු සමග ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට අතිශය බිය වෙති. එනිසාවෙන් ම එවන් දරුවන් ඉපදුණ ගමන් වැසිකිලි වළ වල, කුණු ගොඩ වල දමා යනු බහුල ව දැකිය හැකි ය. නො එසේ වී නම් කරන්නේ ඉපදෙන්නට පෙර නීත්‍යානුකූල නො වන සහ විද්‍යාත්මක නො වන ක්‍රම වලින් දරු ගැබ විනාශ කිරීම ය. එසේ කරන්නේ සිය ජීවිතය ගැන ආශාව ද උකසට තබා වන්නට පුළුවන. 

පියෙකු නොමැති ව වුව දරුවන් තනා ගත හැකි ලෙස මව්වරුන් සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් වේ නම්, මව්වරුන් ට  තනිව සිය දරුවන් ඇති දැඩි කිරීමේ ශක්තිය සැපයෙනු ඇත. එකී හීනමානය දුරු වී යනු ඇත.

එසේ නො කෙරෙන රටක, අවිවාහක යුවතියක දරුවෙකු ගේ මාතෘත්වය භාර ගැනීම කෙසේ පිළිගනු ඇත්දැයි සිතා ගත නො හැක.

“ඇයි නිම්නා කල්පනා කරන්නෙ…ඔයා හිතන්නෙත් ඒක හරි සදාචාර විරෝධී…”

“නෑ නෑ නෑ…”

මම ඇය කියන්න ට ගිය දේ ට බාධා කරමින් මැදින් පැන්නෙමි. 

“මං හිතුවෙ ඔයාට තාමත් මැරි කරන්න පුළුවන් කියල විතරයි”

“ගෑනු ළමයෙක් ට අවුරුදු තිහ වෙන්න කලිං පළවෙනි බබා හම්බ වෙන එක හැම අතිංම හොඳයි කියලයි ඩොක්ටර්ස්ල කියන්නෙ. අපි දැං තිස් පහ පැනං යන අය. මැරි කරනව කියන එක අවුරුද්දක් ගානෙ පස්සට ගිය අතීතයක්නෙ මට තියෙන්නෙ නිම්නා. ඉතිං කාටද කියන්න පුළුවන් තව අවුරුද්දකින් බඳියිද දෙකකින් බඳියිද කියල…ඒ බැන්දත් එතකොට බබෙක් කන්සීව් වෙන්න තියෙන සම්භාවිතාව ගැන කාටද ශුවර් කරන්න පුළුවන්…”

“ඒ වුණත් දරුවෙක් ඉන්නව කියන එක ඔයාගෙ කසාදෙ ට නරක විදිහට බලපාන්න පුළුවන් කියන එකයි මට කියන්න ඕන වුණේ”

“අපෝ ඔව්. ගොඩක් පිරිමි මොන වැරැද්ද කළත් බඳින ගෑනු ළමය පත්තිනි දේවියක් වෙන්න ඕන කියල හිතන අයයෙ. ඒත් මට ඒක එච්චර ගාණක් නෑ වගේ දැනෙනව නිම්”

මම ඈ විනිවිද බැලුවෙමි. වෙන කිසි දා කත් නො වූ සටන්කාමී පෞරුෂයක් මේ වෙලාවේ අශිකා වෙතින් දැකිය හැකි විය.

“ඒ ළමයත් එක්ක ම මාව බාර ගන්න කැමති කෙනෙක් හම්බ වුණොත් එහෙමයි. එහෙම නැතත්…දැං හිතන්නකො ඔයා පුතාව ඔයා ළඟට ගන්න ෆයිට් කරන්නෙ… පිරිමියෙක් නැතත් දරුවා හදා ගන්න ඔයාට පුළුවන් නිසානෙ. පිරිමියෙක් නැතත් ජීවත් වෙන්න ඒ දරුව බලාපොරොත්තුවක් නිසානෙ. කසාදයක් නැතත් හදා ගන්න ගත්ත දරුවෙක් හරි හිටියොත් මගෙ ජීවිතේ ට අරමුණක් එකතු වෙයි නිම්නා. දවසට වයසට ගිය කාලෙක වුණත් තනියට තමංගෙමයි කියල කෙනෙක් ළඟ ඉඳියි. අර කුලාන් කිව්ව වගේ දරුවොනං කාගෙ වුණත් මොකද නිම්නා. ආදරේ කළොත් උං අපිටත් පෙරලා ආදරේ කරයි. ලෝකෙ පවතින්න ඕන කරන්නෙ ආදරේ විතරයි නෙ”

අශිකා ඒ ඔස්සේ බොහෝ දුර දිග සිතා ඇති බව පෙනෙන්නට තිබිණි. ඒ නිසාවෙන් මට කියන්නට දෙයක් නැති සෙයක් දැනුණේ ය. මවක වන්නට ගැහැනියක තුළ තිබෙනා ආශාව වූ කලී සසර පුරුද්දකි. ගැහැනු දරුවන් කුඩා  වියේ පටන් ආශක්ත වන්නේ බෝනික්කන් ට ය. බෝනික්කන් නැලවීම ඔවුන් ගේ ප්‍රධාන ක්‍රීඩාව වන්නේ ය. ඒ, දරුවන් තැනීම පිළිබඳව ඈ තුළ වන නිසඟ ඇල්ම හා බලාපොරොත්තුව නොවේ කියා කෙසේ කියන්න ද? විවාහයක් පිළිබඳ සිහිනය යටපත් කර ගත හැකි වී ද, දිය යට ට ඔබා උන් රබර් බෝලයක් සේ ඔය මතු වන්නේ අශිකා ගේ ගැහැනු හිතේ දරුවෙකු පිළිබඳව වූ ඇල්මයි. 

‘සන් පබ්ලිකේෂන්ස්’ ආයතනයේ වර්ෂික විනෝද සවාරිය සඳහා දින සසැඳී තිබුණේ මේ දින වලට ය. සැබවින් විවිධ ගැටළු සහගත තත්වයන් මත එය මඳක් පස්සට ගොස් ද තිබිණි. ආතනයේ සේවක පිරිස වරින් වර මේ ගැන ප්‍රශ්න කළෙන්, තව දුරටත් එය කල් දැමිය යුතු නැතැයි කුලාන් තීරණයකට ආවේ ය.

“ඕන ම දෙයක් නියමිත වෙලාවෙදි වෙන්න ඕනෙ. වෙන වෙන කාරණා නිසා ඒ ෂෙඩූල්ස් වෙනස් වෙනව කියන්නෙම අවුලක්”

මා සමගින් ගමනේ සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කරමින් කුලාන් කීවේ ය.

“ඒත් සර් කුෂ්ලානි මැඩම් ගෙ ට්‍රීට්මන්ට්ස් තාම හරියකට ඉවර වෙලත් නැති එකේ…”

ඇය ව අතැර දමා මේ ගමන යන එක ගැන, මොකක්දෝ තේරුම් කළ නො හැකි වරදකාර හැඟීමක් මට දැනිණ. එය හරියට සටනේ තරඟකරු නොමැති ව සටන දිනා පළක් නැත වැනි ආකාරයක මානසිකත්වයකි. මා එසේ කී විට කුලාන් මා එහි ඇද ගන්නා තියුණු ඇසකින් බලා සිටියේ ය.

“කුෂ්ලානි කියන්නෙ මේ ආයතනයට අමතක කරන්න බැරි සාමාජිකයෙක් නෙවෙයිනෙ නිම්නා. කුෂ්ලානි නිසා මේ ගමන තව කල් දාන එක මෙතනට දාඩිය හලපු හැම සේවකයෙක්ටම කරන ලොකු අසාධාරණයක්”

ඔහු ගේ තොල් කොනක අමුතු සිනහ රේඛාවක් වූයේ ය.

“ඔන්න ඔයා වෙනුවෙන් එහෙම කරන්න වුණා නං ගැටළුවක් නෑ”

මම බිම බලා ගතිමි. 

“දවස් දෙක තුනක් මේ හැම දේකිංම ඈත් වෙලා ඉන්න එක මටත් ලොකු සහනයක් වෙයි”

ඔහු අසුනට හිස බර කොට, මඳක් ඉහළ බලා ගෙන ඇස් පියා ගත්තේ ය. මම තත්පර කිහිපයක් බාධාවකින් තොර ව ඔහු ගේ වත දෙස බලා සිටියෙමි.

“කට්ටිය කැමති සී සයිඩ් එකට යන්න නිසා…මං හිතන්නෙ දුර යනවට වඩා ඩවුන් සවුත් හොඳයි. ට්‍රැවල් වලට වේස්ට් වෙන ටයිම් එකේ කට්ටියට එන්ජෝයි කරන්න පුළුවන්නෙ. අනිත් එක හොඳ හොටෙල්ස් තියෙනවනෙ. මං හිතන්නෙ මේ ට්‍රිප් එකෙං අපි ට්‍රයි කරන්න ඕනෙ එන්ජෝයි කරන ගමං රෙස්ට් කරන්න. නිම්නා මොකද කියන්නෙ…”

“එහෙම හොඳයි සර්”

“මං කියන ඕන දේකට ඔයා හොඳයි කියන්නෙ ඇත්තටම එහෙම දැනෙන නිසා ද…”

නැවතත් ඒ පිරිමි ඇස් වල ග්‍රහණය ට හසු වන්නට මට සිදු විය. කුලාන් ඔය විදිහට මා කොටු කර නො ගන්නවා නම් හොඳ ය කියා මට සිතිණ. 

“වැරදි දේකට හොඳයි කියන පුරුද්දක් කොහොමටත් මට නෑ සර්”

“මං වැරදි නෑ කියල ඔයාට දැනෙනවද…”

ඔහු අහන දේ හා අදහස් කරන දේ අතර සම්බන්ධයක් තිබේ දැයි හිතන්නට මම උත්සාහ කළෙමි. 

“මේක සර්ගෙ කම්පනි එකනෙ. ඉතිං…ඒක සම්බන්ධයෙන් සර් වැරදි තීරණයක් ගන්න එකක් නෑනෙ…”

ඔහු ගේ ඇස් වල නො කියූ කතාවක් හැංගිමුත්තන් කරනවා මට දැනිණ. මට උවමනා වූයේ ඒ කතා නො කියා ම, ඔහු ගේ ඇස් වල ම තියෙන්නට හරින්නද කියා නො දනිමි. සමහර කතා කිසි දා ක නො කියා ඉන්නා එක වඩා යහපත් වන නිසාවෙනි. 

තාත්තා ගේ හිතේ කුලාන් මා ව ආශ්‍රය කිරීම ගැන කුකුසක් ඇති වූවා ට පස්සේ, මුල දී වූ නිදහස් හැඟීම මගෙන් ද මඳක් දුරස් වූවා බඳු ය. පාසල් වියේදීත් මට තිබුණේ තාත්තා ට බයෙන්, හිත බැඳුණු පිරිමි ළමයින් අමතක කිරීමේ සාහසික අතීතයකි. ඒ නිසා ම මගේ හිතේ ප්‍රේමයක් ජනිත නො කළත්, මට විවාහ යෝජනාවක් ගෙන ආ කසුන් ට ‘තාත්ගෙං අහන්න’ කියා නිදහස් වෙන්නට මම සිතුවෙමි. තාත්තා ඔහු ට කැමති වූයේත් මගේ අවාසනාවකට කියා සිතෙන්නේ දැන් ය.

මීට වඩා මට මා ගැන ස්වාධීනත්වයක්  තිබිය යුතු බව අද නොව එදා පවා මම සිතුවෙමි. පාසලෙන් කැටිව යන විනෝද ගමන් වලට පවා තාත්තා මා සහභාගී නො කරවත්දී, මම එකට එක කියා ඇත්තෙමි. නමුත් ඔහු ඉක්ම යන දිරියක් කවදත් මට වූයේ නැත.

“තාත්ත වැරදි නෑ. එක සැරයක් විශ්වාස කරපු පිරිමියෙක් නිසා එයාගෙ දුව දික්කසාද ගෑනියෙක් වෙද්දි…ඒ තාත්තා ආයෙ පිරිමියෙක්ව විශ්වාස කරන්නෙ කොහොමද නිම්…”

අශිකා තාත්තා ගේ පැත්ත ඉතා සියුම් ව සාධාරණීකරණය කළා ය. ඔහු හරි වුවත් වැරදි වුවත් ආදරය නිසා ඔහු ට කීකරු වන හොඳ හෝ නරක පුරුද්දක් මට තිබිණි. අතීතයේ දී මා කසුන් හා විවාහ වන්නට කැමැත්ත දෙන්නට ඇත්තේ ත් ඒ නිසා යයි හඟිමි.

“ඔයාව ඕනෙනං කුලාන්ට තියෙන්නෙ කෙලිංම ගෙදරට ගිහිං කතා කරන්නනෙ”

“ඒත් මං කැමතියි කුලාන් අපි අතරෙ තියල තියෙන මේ පරතරේට”

මම ඉක්මන් කොට කීවෙමි. සැබවින් මෙතෙක් එය මටත් සිතී තිබූ දෙයක් නොවේ. නමුත් මගේ යටි සිත් හි එය නිදන් ගත ව තිබෙන්න ට ඇත.

“ඒ ස්පේස් එක පිරිල තියෙන්නෙ ආදරෙං ද කියල මට හිතෙන තරං. ඒක කඩාගෙන ඇවිත් ප්‍රපෝස් කරන එක නිකං…මන්දා…මට ඒක එච්චර දැනෙන්නෑ. ඊට පස්සෙ ඒ ස්පේස් එකේ මුකුත් නැති වෙලා හිස් වෙයිද කියල මට බයයි”

“ආයෙ මැරි කරන්න ඕනෙ නැත්තං ඔය වගේ ඩ්‍රීම් වර්ල්ඩ් එකක ඉන්න පුළුවන්. ඒත් කොච්චර ලොකු කං කියෙව්වත් කසාදයක් ඇතුළෙ තියෙන සුරක්ෂිත කම විඳින්න ඕන දෙයක් නිම්. මැරි කරන එක වදයක් කියල මං වගේ කසාදෙ පරක්කු වුණ අය පෙන්නගෙන හිටියට…එහෙම අයගෙ හිත් ඇතුළෙ තියෙන්නෙ ඩිවෝස් වෙන්න හරි මාසෙකට හරි බඳින්න තිබුණනං වගේ ෆීලින් එකක්. ඇත්ත ඒකයි නිම්. ඒක නිසා ඔය ආදර හැංගිමුත්තම ඇතුළෙ එදා වේල පිරිමහගන්නව වගේ ජීවත් වෙන්නැතුව…ඔයා පිළිවෙලක් ගැන හිතනවනං හොඳයි”

ඈ කීවේ බොරුවක් නොවේ. ඈ විවෘත ව කීවේ හැම ගැහැනු හිතක ම ඇත්ත කතාවයි. නමුත් එක එක හේතූන් ඉස්සරහට දමා ගෙන අපි ඒ ඇත්තෙන් වහං වී ගෙන ඉන්නෙමු. 

“අනිත් එක එක සැරයක් ඩිවෝස් වෙච්ච ගෑනියෙකුට ආයෙ තමංගෙ ජීවිතේ ගැන හිතන්න අයිතියක් නැද්ද…දෙවනි එකත් හරි ගියෙ නැත්තං මන්නං හිතන්නෙ ආයෙ ඒ ගැන හිතුවත් මොකෝ…බඳින්නැතුව ඉන්න වගේ ම තමංට හරි කෙනා හම්බ වෙනකල් ඩිවෝස් වෙන්නත් ඕන කෙනෙක්ට අයිතිය තියෙනව”

“ඒත් සමාජෙට බය නිසා අපි අපෙං ඇත්ත අපිව හංගගෙන ඉන්නව. ඇත්තට ම අපි බයයි ඒ ඇත්ත අපිට. ඒකයි අපි එයාගෙං හැංගිල ඉන්නෙ අශී”

අශිකා අනුකම්පා සහගත දෑසකින් මදෙස බැලුවා ය. නමුත් ඇගේ ඇස් වලින් මට මගේ ම සිත කියවා ගත හැකි විය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x