මන්දාරම් හැන්දෑවක -33

උඳුවප් සඳ රුවන්වැලි මහ සෑය මුදුනත දිදුලමින් තිබිණ.සඳවතුර සෑ මළුවට ගලා හැලෙන රාත්‍රියේ මේඝා ඉනුලි උකුලේ හිඳුවාගෙන සෑ මළුවේ හිඳගෙන සිටියේ අප්‍රමාණ සැනසීමකිනි.ජනයා රැස් කන උදෑසනකටත් මද්දහනකටත් වඩා සෑ මළුවේ පැවතුණේ නිස්කලංක සැනසිල්ලකි.දන්නා ගාථා සියල්ලම හඬ නඟා කියන සිඟිත්තිය දෙස මේඝා බලා සිටියේ ආදරයෙනි.

බිනරත් දිනිඳුත් සිටියේ මේඝාට මඳක් ඈතට වන්නට ය.සඳලිව ද කැටුව එන්නට තිබුණානම් කදිමයැයි මේඝා සිතුවේ දුකිනි.රාත්‍රී ගමනකට අවසර ගන්නට අසීරු නිසා ඇය මෙතැන නැත.ඇගේ ජීවිතයට ද යහපත උදා වෙන්නට මේඝා පැතුවේ සැබෑ සහෝදර ප්‍රේමයකිනි.තව බොහෝ කාලයක් අත අත නෑර ඈ සමඟ රැඳෙන මිතුරු හිතක් සඳලි සතු බව මේඝා දැන සිටියා ය.ඒ හැඟීම ම ඇයට සැනසීමක් විය.

“අපි හඳමාමා එක්ක ඇවිදින්න යංද බටිච්චි..”බිනර ඇසුවේ ඉනුලි සමීපයට විත් ය. ඉනුලි දෑතම පා නැඟී සිටියා ය.

“එන්න යන්නට අපි හඳමාමේ..තිසාවැවේ වැව රවුමේ..හඳමාමේ..”

මේඝා නැගී සිටි ඉනුලි තුරුලට ගෙන පහත් හඬින් ගැයුවා ය.ඉනුලි දෑස විසල් කරගෙන ඈ දෙස බැලුවේ අලුත් අදහසක් හිතට නැගෙද්දී ය.

“මේ මහ රෑ තිසා වැවේ යන්න බෑ බටිච්චි.පුංචි ඕවා දන් නෑ. එන්න අපි තරු බලන්න යං..” ඔහු ඉනුලි ද රැගෙන පිටව ගියේ තමන්ට දිනිඳු සමඟ රැඳෙන්නට ඉඩ හැර යැයි දැනෙද්දී මේඝාට දැනුණේ කෝල බවකි.ඈ දිනිඳුට පා කළේ ද කෝල සිනාවකි.

“එයත් අම්මා වගේ තමයි..සින්දු කියන්න හපනි..”

දිනිඳු මේඝාට කීවේ ඈතට යන බිනරත් ඉනුලිත් දෙස නෙත් නොපියා බලා හිඳිමිනි.

“අයියට සමාධි අක්කා මීට් වුණේ කොහෙන්ද..ස්කෝලෙ යනකොට ද?” මේඝා ඇසුවේ ඔහුගේ ආදර කතාව ගැන දැන ගන්නට තිබූ නොඉවසිල්ල නිසාම ය.
දිනිඳු හිනැහී හිස වැනී ය.

“ඒත් සමා මට කැමති උනේම නෑ.කොච්චර පස්සෙන් ගියත් බෑ කියල යාලුවො අතේ පණිවිඩ එවනව. පස්සෙ එයාම ඇවිත් මට කතා කරා. මං කවුද එයා කවුද කියලා මතක් කරේ හරි බයෙන්..”

දිනිඳු බොහෝ වෙලාවක් රෑ අහසට නෙත් දල්වා සිටියේ ය.මේඝා සිටියේ එළිවනතුරු හෝ ඔහු අසා හිඳින්නට ආසාවෙනි.

“අපේ තාත්තගෙ ඔෆිස් එකේ පියන් තමයි එයාගෙ සීයා.අම්මයි තාත්තයි නංගියි මල්ලියි සුනාමියට අහු වෙලා නැති වෙලා නිසා සමා හිටියේ සීයයි ආච්චියි ගාව.ශිෂ්‍යත්වේ පාස් වෙලා විසාකා යන්න ගත්තට පස්සෙ එයා කොහොමත් කොළඹ තමයි ඉඳල තියෙන්නෙ.අම්මලා නැති උනාට පස්සෙ එයාට ගෙයක් දොරක් නැති උනා. සීයා තමයි හැමදේටම වියදම් කරේ..”

“අක්කට ඇයි මෙඩිසින් යන්න බැරි උනේ..” මේඝා අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළා ය.

“එයාට රිසල්ට්ස් මදි උනා නංගි.මටත් මෙහෙ කැම්පස් යන්න බෑ.රිසල්ට්ස් මදි. කොහොමත් එයා එක්ක ජීවත් වෙන්න ගෙදර අය ඉඩ නොදෙන නිසා තමයි මං රෂියා ගියේ. මෙඩිසින් කරන්න.ඊට පස්සෙ වෙන රටකට ගිහින් එයාව ගෙන්නගන්න ප්ලෑන් කරේ.. මං ෆයිනල්ස් ඉවර කරලා ලංකාවෙ ඉන්න කාලෙ මගෙ චූටි මල්ලි ඒක ගෙදරට මාට්ටු කරා. ඊට පස්සෙ ආපු ප්‍රශ්න දරා ගන්න බැරි තරම්.එයත් සයන්ස් ඩිග්‍රිය ඉවර කළා විතරයි.මොනවත් ප්‍රශ්න නාවනම් අපිට කොහෙහරිම රටකට ගිහිං ඉන්න තිබ්බා..”

මේඝා ඒ නුදුටු යුවතිය හිතේ මවා ගන්නට තැත් කළා ය.ජීවතුන් අතර නැති වුව ද ඈ ගැන මේඝාට ඇති වූයේ ආදරයකි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 3

“ඊට පස්සෙ මෙහෙ ඇවිල්ලා හැංගිල හිටියා. ඉනූ හම්බුනා..අක්කා අසනීප උනත් ඔයා එක්ක හිටිය කාලෙ සතුටින් හිටියනෙ අයියෙ..”

මේඝා එසේ කියද්දී දිනිඳු හැඟීම් විරහිත මුහුණකින් ඈ දෙස බලා සිටියේ ය.

“ඒ කතාව එච්චර ලස්සන ෆෙයරි ටේල් එකක් නෙවේ මේඝා.. සමා මෙහෙ එනකොටත් ප්‍රෙග්නන්ට්.එයා හිටියේ හොඳටම මෙන්ටලි ඩවුන් වෙලා..”

මේඝා නිරුත්තර වූවා ය.ඉනුලිගේ පැමිණීම ඉක්මන් කර නොගන්නට තිබුණායැයි කියන්නට සිතුණ ද ඈ නිහඬවම සිටියා ය.

“මම ඔයාට කියන්න යන්නෙ අහන්න වටින කතාවක් නෙවෙයි නංගි. මෙහෙම තැනකම මේක කියනවට සමා වෙන්න.වරුණ ඇරුණම මේක දන්නෙ ඔයා විතරයි.ඔයා ඒ රහස ජීවිතේ තියනකම් පරිස්සම් කරයි කියල මං හිතනව….”

දිනිඳුගේ හඬ බිඳී ගියේ ය.ඔහු කතා කරන්නට බොහෝ උත්සාහ දරන අන්දම මේඝා බලා සිටියා ය.

“ඉනුලි මගෙ දරුවෙක් නෙවෙයි නංගි.ඒ මගෙ සමාගෙ දරුවා නිසා සදහටම එයාගෙ තාත්තා මම තමයි..ඒත් ඉනුලිගෙ තාත්තා මම නෙවේ..”

මේඝා කැබලිවලට පුපුරා ගියා ය.තමන්ගේ ආදරය දිනා ගන්නට දිනිඳුට මෙතරම් සාහසික බොරුවක් කියන්නට උවමනා නැති බව ඈට විශ්වාස ය.මේ සෑ මළුවට වී ඔහු වැන්නෙකු අසත්‍ය පවසන්නට කොහොමටත් ඉඩක් නැත.මේඝා කතාවේ ඉතිරිය අසා හුන්නේ කම්පිතව ය.

“මේක කියන්නත් අප්පිරිය කතාවක් නංගි. මගෙ ගෙදර ඉන්නෙ මල්ලිලා දෙන්නෙක් උනාට මගෙ සහෝදර සහෝදරියො ලංකාව පුරාම ඇති.වෙන රටවල්වලත් ඇති. ඉනුලි කියන්නෙත් මගෙ සහෝදරියක්. මගෙ තාත්තා කියන මනුස්සයගෙ දරුවෙක් තමයි ඉනුලි..”

ඒ ප්‍රේමයක ප්‍රතිඵලයක් නොවිය හැකි බව මේඝා ඉඳුරාම වටහා ගත්තා ය. තමන්ගේ ජීවිතය ගැන කම්පිත වෙමින් හුන් ඈ නොදුටු සමාධි ගැන වේදනාවෙන් මිරිකෙන්නට ගත්තා ය. අන්තර්ජාලයේ ඇති වීඩියෝවේ තමන් සැබෑවටම හිඳින්නේ සතුටිනි.ඒ ඇය ආදරය කළ මිනිසා ය.ඒ සෑම තත්පරයක් ම ඇය ගෙවූයේ මිහිරකිනි.නමුත් සමාධි දැරියකට උපත දී ඇත්තේ තමන්ගේ පෙම්වතාගේ පියා අතින් අපහරණයට ලක් වීමෙනි.

එහෙත් දිනිඳු මේඝාට නොකියා සඟවා ගත් එක් දෙයක් විය.ඒ අශිෂ්ට මිනිසා ජනිඳුගේ පියා බවත් ජනිඳු තමන්ගේ බාල සහෝදරයා බවත් මේඝාට කියන්නට ඔහුට සිත් වූයේ නැත.

“අනේ අයියෙ කවදාවත් ඉනූට වෙනස්කමක් කරන්න එපා. ඒ පැටික්කි ඔයාට පණ ඇරලා.තව අවුරුදු ගාණක් ගිහිං හරි එයා දැනගත්තොත් මේවා කෙල්ලට දරා ගන්න බැරි වෙයි..”

දිනිඳු කිසිත් නොකියා මන්දහාසයක් හෙළී ය.බිනරගේ ඇඟේ වෙළෙමින් මෑත දුරක හිඳින දැරිය ඔහුගේ ප්‍රාණය බව මේඝාට කියන්නට ඔහුට උවමනා වූයේ නැත.මේඝා එය දන්නා බව ඔහු විශ්වාස කළේ ය.

“මම තව අවුරුදු තිහක් තිස්පහක් ඉඳී නංගි..මිනිහෙක්ට ඊට වඩා කාලයක් ඉන්න බෑනෙ.ඒ කාලෙ ඇතුළෙ මගෙ කෙල්ලට ඕවා කියන්න ඕන නෑ..ඒත් මට ඔය නරුමයා හම්බෙන්න යන්න කාලෙ ඇවිල්ල තියෙන්නෙ. මං ඩීඑන්ඒ ටෙස්ට් එකක් ඉල්ලල නඩු දානව.මගෙ කෙල්ලට තේරෙන වයස එන්න කලින් ඒක කරන්න ඕන..”

“අනේ ඕන නෑනෙ අයියෙ.මොකටද..” මේඝා වහා කීවා ය.

“ඒ දේපලවලින් මං අබ ඇටයක් ගත්තෙ නෑ නංගි.සුදු මල්ලි ගන්නෙත් නෑ. එයා ඇමරිකාවල සිටිසන් ගත්තම ආයෙ මෙහෙ පස් පාගන් නෑ. ඒත් මගෙ කෙල්ල ඒ මිනිහගෙ අසාධාරණ සල්ලිවලින් ඉපදුණු කෙල්ලක්.එයාට යුක්තියක් ඉෂ්ට වෙන්න ඕන..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -29

මේඝා දිනිඳුගේ කේන්තිය නිවෙන්නට හැර බලා සිටියා ය.

“ඒ වගේ මනුස්සයෙක් උපයන සල්ලි ඉනුලිටත් ඇයි අයියෙ. අනික ඔය නඩුව ගැන මීඩියා කාරයො කොහෙන්හරි හොයා ගනී..සෝෂල් මීඩියා වල යාං හෑලි යයි.අයියට ප්‍රශස්ති ලියයි.ඊටපස්සෙ? ඉනූ ලොකු උනාම.. දැන් එයාට මොකුත් තේරෙන් නෑ තමයි.ඒත් දවසක ඕවා දැක්කම..”

දිනිඳු මේඝා දෙස බලා හුන්නේ සෙනෙහස පිරුණු දෑසකිනි.පාසල් සිසුවෙකු කාලයේ කළ තෝරා ගැනීම තරමටම මේ තෝරා ගැනීම ද නිවැරදි බව ඔහු දැන සිටියේ ය.

“අයියා ඩොක්ට කෙනෙක්නෙ.එයාට හොඳ අනාගතයක් හදන්න අයියට පුලුවං.එයාගෙ බාප්පා ඉන්නෙ ඇමරිකාවෙ.හයිස්ටඩීස්වලට එයාට දවසක බාප්පා ගාවට ගියෑකි.එච්චරයිනෙ.ඔය කුණු ගෑවුණු සල්ලි ඉනූව හදාවඩා ගන්න ඉල්ලන්න එපා.”

මේඝා තමන්ගේම වචන ගැන පුදුම වූවා ය.මේ තරම් උද්‍යෝගිමත් සහ බරසාර ලෙස දිනිඳු වැනි කෙනෙකුගේ ගැටලුවලට පිළියම් හොයන්නට තමන් කවුදැයි සිතමින් ඉනික්බිති ඈ පසු තැවෙන්නට ගත්තා ය.

“ඉනුලිට අම්මා කෙනෙක් ඕන කියල මට හිතෙනව නංගි..”

ඔහු ඉන්පසු පවසද්දී මේඝාගේ හිසේ ලේ සිඳී ගියේ ය.ඇගේ අම්මා වන්නට තමන්ට හැකි බව කියන්නට තරම් මේඝාට සිත් විණි.නමුත් මේ සිහිනයෙන් ඇහැරෙන්නට කාලය බව මේඝා වටහා ගත්තා ය.

“අයියා මැරි කරොත්? එයාටත් මේක දැනගන්න අරිනවද..” ඈ ශෝකය වචනවලට හැරවූවා ය. මතකය නිසා බොර පැහැ වූ ඇස් තාරකා තරමටම දීප්තිමත් කරගනිමින් දිනිඳු ඈ දෙස බැලුවේ ය.

“ඉනුලිගෙ අම්මා වෙන්න ඕන මටත් වඩා එයාට ආදරේ කෙනෙක් නංගි.එයා හොයා ගන්න මටයි දුවටයි අමාරු වෙන් නෑ..”

ඔහුගේ හඬේ විශ්වාසය ගැබ් වී තිබිණ.සමහර කාරණා වචන වෙන්නට ඕනෑ නැති බවත් බැල්මකින් සහ හැඟීමකින් ඒවා දැනෙන්නට හරින්නට හැකි බවත් දිනිඳු දැන සිටියේ ය.දිනිඳුගේ ආදරය විනාශ කරන්නට නොයෙල් වීරසේකර සමාධි අපහරණය කළ නමුත් දිනිඳු තම ප්‍රේමවන්තිය අතැර දැමුවේ නැත.ඇයට කළලය ගැන වෛරයක් ඇති වන්නට ඉඩ නොදී ආදරයක් ඇති කරන්නට ඔහු සමත් විණි.හඬමින් වැළපෙමින් ගෙවන්නට තිබූ කාලයක් සමාධි ගෙවා දැම්මේ උතුරා යන ආදරයකින් නැහැවෙමිනි.ආදරය දැනෙන්නට ඉඩ දිය යුතු හැඟීමක් බව දිනිඳු විශ්වාස කරන්නට ගත්තේ ඉන්පසුව ය.ඔහු තවමත් එය විශ්වාස කරමින් සිටියේ ය.

“තාත්තා අතින් සනීප කරන්න අමාරු තුවාලයක් වෙච්ච කෙල්ල ජීවිතේ අන්තිම අවුරුදු දෙක ගෙව්වෙ එහෙව් තුවාලයක් උනාදවත් අමතක වෙලා.එයාගෙ පුතාගෙ බූරු වැඩකට තාම් දඬුවම් විඳින ඔයාට එච්චර තුවාලයක් වෙලා නෑ මේඝා..ඔයා මාවයි දූවයි බලා ගන්න.මං ඔයාව බලා ගන්නම්.අපි අපිව සනීප කරගන්න ගමන් මේ ගමන යං..සමහරවිට මං ඇත්තටම තාත්තා කෙනෙක් වෙයි.හැබැයි ඉනුලිට වෙනසක් නොකර ඉන්න අපිට සිද්ධ වෙනවා..”

දිනිඳු ඒ කිසිත් වචන වලට පෙරළුවේ නැත.එහෙත් ඔහු සඳවතුර ගලන සෑ මළුව මතට වී ඒ සියල්ලේ සාරාංශයක් වචන කිහිපයක තවරා මේඝාට පැවසුවේ ය.

“අඳුරේ ඉඳගෙන දුක් වෙන්න එපා මේඝා.ඔයාව කොහෙවත් ඉන්න මිනිහෙක් දාපු අඳුරට වෙලා හිටියා ඇති.එළියට ඇවිත් ෆයිට් කරන්න පටන් ගන්න. ඔයාට කරන්න වැඩ ගොඩක් තියනව..”

මේඝාට ඒ වචන තේරුම් ගත නොහැකි වූයේ නැත.ඇගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට විය.

5 5 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
සුනේත්‍රා
30 days ago

ආදරය උතුරා ගලා යනවා…

සුජා
20 days ago

දිනිඳු ඇත්තම
කිව්වානම් හොඳයි කියලා හිතෙනවා.

මේඝා වෙන විදියකට දැන ගත්තොත් ජනිඳු කොයන්නෙ දිනිඳුගෙ මල්ලි කියලා?? මේඝාට හැමෝම එපා වෙයිනෙ🤔🤔