fbpx

ඔබට ඇහෙනවනම් -38

මගේ දකුණු අත පැත්තෙන් අශිකා ය. වම් අත පැත්තෙන් කුලාන් ය. ඉදිරියෙන් තෙරක් නැති සයුර ය. ඉහළින් අපරිමිත අහස ය. ඒ සියල්ල අතරින් මා හුස්ම ගත්තේ ඉතා ම හෙමිහිට, වැරදීමක් වේ යයි බියෙන් සැකෙන් මෙනි. නමුත් මගේ තුන් සිත ප්‍රීති සයුරක දිය බුං ගසන්නට වූයේ ය.

ඔවුන් දෙදෙනා නොයෙකුත්  දේවල් කතා කළහ. නමුත් මා හිටියේ බෙහෙවින් නිහඬ සමාධියක ය. ඉඳහිට මා හ්ම් මිටි තැබුවා පමණකි. ටික වෙලාවකට පස්සේ ‘මට නිදිමතයි අප්පා’ කියමින් අශිකා නැගිට ගත්තා ය. 

“යං එහෙනං”

මම ත් නැගිටින්න ට ගියෙමි. නමුත් ඕ වහා මා නැවැත්වූවා ය.

“නෑ නෑ ඔයා ඉන්න ඉතිං. රෑ වෙනකල් අහසයි මුහුදයි දිහා බලං ඉන්න ඔයා ආසයි කිව්වනෙ. තනියක් නෑනෙ සර් ඉන්න නිසා. හැබැයි ඔන්න සර් ගියොත්නං තනියම ඉන්නැතුව රූම් එකට එන්න ඕනෙ හරිද…”

කියා ඕ අඩියට දෙකට හෝටලය දෙසට ඇවිද ගියා ය. මා හා කුලාන් අතරේ, ඉන්දියානු සාගරයේ රළ බිඳුම ඝෝෂාවක් ව නැගෙමින් තිබිණ. සියල් තරු නිවී ගිහින් විටෙක මුළු තරු ගගන කළුවරක ගිළුණේ ය. ඈත සයුරේ පා වෙන නෞකාවක පහන් එළි, නිසල කණාමැදිරි එළි සේ දිස් විණි. මුළු මහත් විශ්වය ම මගේ නෙතට හසු වෙන අභ්‍යවකාශ ගත හැඟීමකින් මම පා වෙවී සිටියෙමි.

“නිම්නා”

ඒ හඬ ආවේ ත් දුර ඈත සුර ලෝකයකින් යයි සිතන්නට මම ආශා කළෙමි.

“සර්…”

දුර ඈත සිටියත් ළඟ පාතින් ම ඇසෙනවා බඳු ද, ළඟ පාතින් ම සිටියත් දුර ඈතක සේ දැනෙනවා බඳු ද හැඟීමක මම අතීරණාත්මක ව දෝලනය වුණෙමි. 

“මොනාද ඔච්චර කල්පනා කරන්නෙ..”

මම සිහින් සරින් සිනහ වුණෙමි. ඔහු ට එය ඇසුණා දැයි මට නිනව් නැත.

“මුකුත් නෑ සර්…මේ මුහුදත් එක්ක…මේ අහසත් එක්ක…මේ හුළඟත් එක්ක තනි වුණහම කල්පනා කරන්න කිසි දෙයක් නැති වෙලා මං හිස් වෙලා ශුන්‍ය වෙලා යනවද කොහෙද…ඒක නිකං…පුළුන් වලාකුළක් උඩ පා වෙනව වගේ දෙයක්. එතන මං වත් නැතුව කල්පනා කරන්න දේවල් තියෙන්න විදිහක් නෑනෙ”

“අපි අතනට ගිහිං වඩේ කමුද…”

ඔහු ගේ යෝජනාව මගේ කතාව හා කොහෙත් ම නො සසැඳෙන එකක් වීම මත මට සිනහ ගියේ ය. මා විශ්වය සමග මුහු වීමක් ගැන කියත්දී ඔහු වඩේ ගැන කියයි. නමුත් මගේ හිස් තැන් ඒ විදිහට ඔහු ගෙන් පිරී යත්දී මට දැනුණේ සහනශීලී හැඟීමකි. 

මම පිළිතුරක් නොදී නැගිට්ටෙමි. යාබද හෝටලයක වෙරළ සාදයක් පැවැත්වෙමින් තිබිණි. ඊටත් එපිටින් වඩේ හා කඩල කරත්ත කිහිපයක් ඔබ මොබ සරමින් තිබිණි. මේ මනරම් රාත්‍රියෙහි මිනිස්සු ජීවිතය විඳිමින් සිටිති. කුලාන් කියන්නේ හඹා ගිහින් ජීවිතයේ සතුටු යාමයන් හොයනාකාරයේ පිරිමියෙකි. 

“අශිකා බනී එයා ගියාට පස්සෙ වඩේ කෑව කියල”

ඇත්තට ම මට ඈ මතක් වූවාට ඒ මෙතැනට ගැළපෙන කතාවක් නො වන බව මට නො දැනුණා නොවේ. අපි වඩේ කමින් වෙරළ තීරය දිග හෙමිහිට ඇවිද යන්නට වූයෙමු. තරු කඩා වැටුණ වෙරළේ සුමුදු වැලි තලාව පෙමින් අපේ දෙපා වැළඳ ගත් බවට සැකයක් නැත. තරුණයන් සමූහයක් මධු විතින් සප්පායම් වෙමින් සිටි තැනක් පහු කර යත්දී ඔහු තදින් මගේ අතක් අල්ලා ගන්නවා දැනුණේ ය.  එක කටකාර කොල්ලෙක් ‘හනිමූන් කපල්’ කියා හඬ ගා කීවේ ය. කුලාන් ඔවුන් දෙසට අතකින් ආචාර කරමින් ම මගේ සවනට කොට ‘අපි එහා පැත්තට යමු’ කීවේ ය. වෙරළ තීරය දිග නැවතත් ඇවිද ආ අපි මුලින් උන් තැන ම හිඳ ගතිමු. කුලාන් ගේ අතින් මගේ අත අත් හැරී ගියේ කොයි වෙලාවේද කියා මට හරි මතකයක් වූයේ නැත.

ඇවිදීමෙන් ද මුහුදු සුළං වැදීමෙන් ද තරුණයන් ගේ අනවශ්‍ය විහිළුවෙන් ද මම තරමක් තෝන්තු වී සිටියෙමි. නමුත් ඉක්මනට කාමරය සොයා යන කලබලයක් මට වූයේ නැත. එවන් නිර්භීත කමක් මගේ ගැහැනු හදෙහි ගොඩ ගැසී තිබීම ගැන මම මා ගැන සතුටු වෙමි. මේ රාත්‍රිය වීම නිසා හෝ පිරිමියෙකු අස මා තනි වී සිටීම නිසා හෝ අමුතු බියක සසල නොවී සිටීමට මට හැකි ය! 

“නිම්නා”

යළිත් අර දිව්‍යමය ආමන්ත්‍රණය! මම ඇයි කියා නො අසා හිස හරවා ඔහු ගේ මූණ බැලුවෙමි. මේ වාගේ නිශාන්තයක, හුදෙකලා පිරිමියෙකු දෙස ඒ විදිහට කෙළින් බැලිය හැකි කමක් ගැහැනියක සතුව තිබිය යුතු ය.

“මට බැරි වෙයිද තාත්ත වගේ බලාගන්න…”

“ආ….”

මගේ ඇස් කුඩා වී නළලත් රැළි නැංවිණි. එක්වර ම මට ඔහු කී දේ පැහැදිලි වූයේ නැත.

“මං අහන්නෙ…ඔයාගෙ තාත්තා වගේ ඔයාව බලා ගන්න මට බැරි වෙයිද…”

විශ්වය එක මොහොතකට නතර විය. ඒ හා සමග මම ද නතර වීමි. නමුත් ඒ වචන ටික මගේ හද කුටීර වල බිත්ති මත හැපෙමින් ප්‍රතිරාව නංවන්නට වූයේ ය. 

“මං ඇවිත් ඇහුවොත්…තාත්තා ගෙං ඔයාව ඉල්ලගන්න පුළුවන් වෙයිද…”

රාත්‍රිය ට සඳ එළිය වුව දරා ගත හැකි ප්‍රමාණයක් තිබෙන්නේ ය. හදවතකට ආදරය වුව උහුලා ගත හැකි සීමාවක් වන්නේ ය. කුලාන් ඒ සීමා මායිම් අතික්‍රමණය කරමින් සිටියා  කියා මම සිතමි. නමුත් තව දුරටත් මා සිටියේ අහසින් පොළොවට වැටුණු තිගැස්මක ය.

“ම්…බැරි වෙන එකක් නෑ නේද…”

ඔහු ට තමන් පිළිබඳව විශ්වාසයක් වූ බව පෙනිණි. උවමනාව තිබුණේ ඒ විශ්වාසය තහවුරු කර ගන්නට පමණක් විය යුතු ය. දෙකට නවා මඳක් එසවෙන්නට හැරි දෙදණහිස් මත නිදහහේ අත් බාහු තියාගෙන උන් තරුණයා සතු ආත්ම ශක්තිය ගැන අහස සක්වල පවා සසල ව සිටියේ ය.

“ආදරෙයි කියල අමුතුවෙන්  කියන්න ඕන්නෑ කියල මං දන්නව. ඒක ඔයා දන්න නිසා. ආදරෙයිද කියල අහන්නත් මට ඕනකමක් නෑ. ඔයාගෙ ඇස් හැමදාම මට ඒක කියපු නිසා. දැන් නවතින්න කාලෙ හොඳයි කියල මට හිතෙන්න ගත්තෙ සන් එකේදි ඔයාව මුණගැහුනට පස්සෙ. ඒත් අපි දෙන්නටම එකතු වෙලා යන්න ලොකු ගමනක් තියනව. ඔයා මගෙ ළඟිං ඉන්නවනං මට ඒක මහ දුරක් නෙවෙයි නිම්නා”

මගේ සමස්ත ආත්මයක ම ශිශිර නිද්‍රාවක ට සම වැදුණා  බඳු සිසිල් මිදීමකට ලක් විය. ඒ අයිස් කුට්ටියට ඕනෑ වූයේ කිසිදු චේතනාවක ගොදුරක් නොවී නිදහස් උත්තරාර්ධ ගෝලයක මිදෙමින් පවතින්න ට ය.

“අපි පොඩි ළමයි නෙවෙයි. ඔයානං මැරි කරල ඩිවෝස් වෙලා. මැරි කළේ නැති වුණත් මං ගෑනු අය ආශ්‍රය කරල නැති මිනිහෙක් නෙවෙයි. මැරීඩ් ලයිෆ් එකක් කියන්නෙ කොච්චර සංකීර්ණ දෙයක් ද කියන තේරුම ඇතුව අපිට පුළුවන් එතනට අඩිය තියන්න”

කුලාන් ගේ පිරිමි හඬ මේ ලුණු මුසු සුළඟ සමග අපූරුවට පෑහී තිබිණි. කාගේ වත් නෙත් කොන් බැල්මකුදු නො මැති මේ සිහිලැල් රාත්‍රිය සමග නුරාගී ව මුහු වී තිබිණි. ඒ උරහිසක හිස ටිකක් තියා ගැනීමේ ආත්ම ගත ආශාවකින් එක් වර ම මම නින්දෙන් අවදි වීමි. සිසිර සිහිනයෙන් අවදි වීම මා තුළ ජනිත කොට තිබුණේ මඳ කෝළ බවකි. කෙසේ වෙතත් හිතුවක්කාර ගැහැනු තෘෂ්ණාවක් හි ගොදුරක් වන්නට තරම් මා ඉක්මන් වූයේ නැත.

“අපි ආස විදිහට ජීවත් වෙන්න අපේ හීන ලෝක වල තියන තරං ඉඩ…මේ ඇත්ත ලෝකෙ නෑ සර්”

මම හෙමිහිට මුණිවත බින්දෙමි. මගේ හඩ ඉතාමත් පහළ ස්වර පරාසයක් දැරුව ද එහඬින් මුළු මහත් විශ්වය ම කම්පිත ව ගියා සේ සියල්ල එක නිමේෂයක ට නතර විය. කුලාන් වුව තත්පර කිහිපයක් යන තුරු හුස්ම හෙළුවේ හෝ නැත. නමුත් සිහිනයත් හැබෑවත් අතරේ ඇඳිය හැකි නිශ්චිත බෙදුම් රේඛාවක අවශ්‍යතාව මට දැඩි ව දැනෙමින් තිබිණි.

“ශ්‍රීනාත් සර් මට තාත්තා කෙනෙක් වගේ. ඒ සර්ගෙ තාත්තා. එයා සර් ගැන මාත් එක්ක ඕන තරං කතා කරල ඇති. ඒ වචන අතරෙ තිබුණ බලාපොරොත්තු කන්ද කොච්චරනං උසද කියල මං තරං දන්න කෙනෙක් තව ඉන්නවද කියලත් සැකයි. අනිත් කසාදෙ වුණත් ශ්‍රීනාත් සර්ට ඉන්නෙ දුවල දෙන්නෙක්. එම් ඩී සර්ගෙ ජීවිත අපේක්ෂාව සර්.  එහෙම බලාපොරොත්තුවක් මං වගේ නිකං ම නිකං වැඩට ආපු කෙල්ලෙක් ළඟ පාවල දෙන්න ශ්‍රීනාත් සර් ලෑස්ති වෙන්නෑ සර්. මං ඉන්ටවීව් ආවෙ ඔෆිස් එක අතුගාන ජොබ් එකක් හරි ඉල්ලගන්නව කියන බලාපොරොත්තුවෙන්. ඒ තරමට ඒ වෙලාවෙ මට ඕන වෙලා තිබුණෙ ජොබ් එකක්. එම් ඩී සර් මාව මල් වට්ටියක තියල පූජාසනේකට සුදුසු තත්වෙට පත් කළා. ඒත් එහෙමයි කියල…මං වගේ පර මලක් එයාගෙ පුතාගෙ ජීවිතේ සුවඳ කරයි කියල හිතන්න තරං එයා මෝඩ නෑ”

මා දිග කතාවක් කියා ගෙන ගොස් තිබිණ. එක දිගට කතා කළ නිසා මා හුස්ම ගත්තේ තරමක් වේගයෙනි. ඒවා ඉතා කෙටි හුස්ම ද වූයේ ය. ඔහු නො සිතා තිබූ කාරණයක් ගැන අලුතෙන් දැන ගැනීමේ කම්පනය කුලාන් ට දැනුණ බව මට දකිත හැකි විය.

“මං ඒව ගැන බලා ගන්නංකො”

තත්පර කිහිපයක අවකාශයකට පසු ඔහු තමා ගැන විශ්වාසකින් කීවේ ය. ඒ විශ්වාසයට මා වසඟ වූවා සේ ය.

“තාත්තල දන්නව තමයි වටින දේවල් මොනාද කියල. ඒක ඒගොල්ලො ජීවත් වීමෙනුයි ජීවිතේ අත්දැකීම් ලැබීමෙනුයි ඇති කර ගත්ත ඉවක් හරි ඥාණයක් හරි වෙන්න ඇති. ඔයාගෙ තාත්තත් දන්නවනෙ ඔයා කොච්චර වටින වස්තුවක් ද කියල. අපේ තාත්තාත් ඒක නො දන්නව වෙන්න බෑ”

“මට මෙහෙම හිටියහම ඇති සර්. සර්ව පේන තැනක….සර්ව දැනෙන තැනක”

ඒ අන්තිම ටික කියා ගෙන යත්දී මගේ හඬ බිඳ වැටෙන්නට ඔන්න මෙන්න වාගේ මට දැනිණ. නමුත් මේ සදානුස්මරණීය රාත්‍රිය මත කඳුළු පැල්ලම් තවරන්නට මට සිත් දුන්නේ නැත. 

සඳ පොහොට්ටුව අහස දිග ලොකු වටයක් සක්මන් කොට ඇති බව පෙනිණ. තාරකා ද තැන තැන නිදි කිරමින් සිටිනු දකිත හැකි විය. මට අශිකා සිහි විය.

“අශිකා රූම් එකේ තනියම”

“යං”

කියාගෙන කුලාන් නැගිට ගත්තේ ය. මම දෑතින් ම ඇඳුමේ වූ මහුදු වැලි ගසා දැම්මෙමි. සුළඟ රැගෙන ආ සුවඳෙහි ලවන සාන්ද්‍රනය බෙහෙවින් ඉහළ බවක් දැනිණ.

අපි ඉතා ලං ව නවාතැන වෙත ඇවිදින්නට වූයෙමු. කුලාන් ගේ ඇඟිලි මගේ ඇඟිලි වල ගෑවී නො ගෑවී පැවතිණ. ඒ අතක දැවටෙන්නට මගේ අතැඟිලි වලට ලොකු ආශාවක් වී ද, ඔහු එවැන්නකට ඉස්සර නො වූ එක ගැන මම සතුටු වෙමි. අපේ කාමරය තෙක් කුලාන් මා හා ආවේ ය.

“ගුඩ් නයිට්”

සමු ගන්නා සූදානමින් මම කෙඳිරුවෙමි. නමුත් හෝටලයේ බිත්තියක වූ ලොකු ඔරලෝසුව අළුයම පහ සනිටුහන් කර තිබෙනු දුටු මගේ හිත මට ම සිනහ වූයේ ය.

“ගුඩ් නයිට්”

මගේ ස්ත්‍රී බල කොටුවේ ආරක්ෂිත බැමි දෙදරවා ලන්න ට ඒ මිමිණුම සමත් වූයේ ය. උදාසන තෙක් ඉතිරි හෝරා කිහිපය සඳහා සමු ගන්නට ඔන්න මෙන්න ව තිබිය දී, ඔහු මගේ දෙකම්මුල්, දෙකන් හා ගෙල ආශ්‍රිත ඉසියුම් පෙදෙසින් මා අල්ලා ගෙන නළලත් හිස් මුදුනත් අතර සිය ලවන් තැබුවේ ය. ඒ දෙතොල් පෙති වල වූ සීතල මා ළඟ තියා හෙතෙම කොරිඩෝරය දිග නික්ම යන්නට වූයේ ජංගම දුරකතනය දෙස බලා ගෙන ය. මම දොර අගුල අල්ලා ගත් වන ගල් ගැසී ඒ දිග සෙවනැල්ල දෙස බලා සිටියෙමි. මගේ දුරකතනය ට පණිවිඩයක් ආවේ ය.

“ඒක මාව මතක් වෙන්න තියා ගන්න”

ඔහු හැරී බැලුවේ ය. ඒ අඳුරු සෙවනැලි අතරේ පවා කුලාන් ගේ දෙතොලතර වූ දඟකාර මන්දස්මිතය හැඳින ගන්නට මට බැරි වූයේ නැත. මම වයස අවුරුදු දහ අටක යුවතියක ගේ දාංගලයෙන් යුතු ව යහනට පැන්නෙමි. නිදි සේ උන් අශිකා දනි පනි ගා නැගිට ගත්තා ය.

“හෙර වගේ ඇවිත් සද්ද නැතුව නිදා ගන්න නේද හැදුවෙ…දැං වෙලාව එකත් පහු වුණා”

මම පොරෝනාවෙන් හිසත් එක්ක ම වසා ගතිමි. අශිකා එය ඇද පසෙකට කළා ය. 

“මෙච්චර වෙලා නිකංම හිටිය වෙන්න බෑනෙ. මට ඇත්ත කියනවා”

ඕ මගේ මූණට දබර ඇඟිල්ල දිගු කොට තර්ජනය කළා ය.

“මොකද්ද වුණේ…ආ…මේ රෑ ජාමෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි බීච් එකට වෙලා නිකංම ඉන්නෑනෙ”

මගේ සිනහව පුපුරා ගියේ ය. ඇය අමාරුවෙන් සිනහව ගිලගෙන සිටියා ය.

“නෑ නෑ. එහෙම මුකුත් වුන්නෑ.  අපි ඇවිද්දා. කොල්ලො සෙට් එකක් බීච් පාටි එකක්. උං කෑගැහුව හනිමූන් කපල් එකක් කියල. එතකොට මං බය වෙයි කියල වෙන්නැති මගෙ අත අල්ල ගත්තා. ඒ මිසක් ඇඟිල්ලකිංවත් ඇල්ලුවෙ නෑ වෙන”

“ඒ වුණාට මූණෙනං තියෙන්නෙ වෙන කතා ගොඩක්”

“තාත්තගෙං මාව ඉල්ලන්නද ඇහුව”

“ඇති යාන්තං. එහෙම කිව්වද…තෑන්ක් ගෝඩ්…”

අශිකා දැඩි ව මා වැළඳ ගෙන සුබ පැතුවා ය. ඇගේ හදවතේ වූ උණුහුම මට තදින්  දැනිණ.

“ඒත් ඒක වෙන දෙයක් නෙවෙයි අශී. මේ චමත්කාරයත් නැති වෙලා යයි එදාට. ගල්හේන පරම්පරාව මගෙ දුප්පත් කමටයි දික්කසාදෙටයි විරුද්ද වෙලා කැති පොලු අතට ගත්ත දවසට”

“මහුද හත් ගවුවක් තියා ගෙන ස්විමිං සූට් අඳින්නැතුව ඉන්නව. වෙන දෙයක් එදාට බලා ගමු”

තවත් බෝ වේලාවක් ගෙවෙන තෙක් අපි කතා කරමින් සිටියෙමු. උදේ කෑම සඳහා කුලාන් පැමිණියේ අප එහි ගොස් විනාඩි ගණනාවක් ගෙවී ගියායින් පස්සේ ය. ඔහු ගේ ඇස් වල දඩබ්බර කොල්ලෙකු ගේ හිතුවක්කාර කමක මුරණ්ඩු බැල්ම විය.

“නිම්නා ගෙ වගකීම මට පවරලයි අංකල් මෙයාව එව්වෙ. එච්චර රෑ වෙනකල් බීච් එකේ ඉන්නව කියල දන්නවනං මං මෙයාව දාල යන්නෑ”

අශිකා ගේ නෝක්කාඩු කතාවට මගේ වත රතු වෙන්නට ඇත. කුලාන් හඬ නැගෙන සේ සිනාසුණේ ය.

“ඔයාගෙ වගකීම මතක් වෙච්ච නිසා තමයි ඔය වෙලාවට එව්වෙ. නැත්තං ඔච්චර ඉක්මනට එවන්න වෙන්නෑ”

අශිකා ගේ කටකාර කටටත් කට උත්තර නැති වෙන්නට ඇත. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
4
0
Would love your thoughts, please comment.x
()
x