ඔබට ඇහෙනවනම් – 39

2
2326

මගේ ලෝකයට ඉහළින් අලුත් ඉරක් පායා ආවා සේ ය. ඒ අලුත් එළියකි. අලුත් උද්‍යෝගයකි. අලුත් සතුටකි. සියල්ල අලුත් ය. එළියට ප්‍රතිවිරුද්ධ දිශාවේ විය හැකි අඳුරු සෙවනැලි ගැන හිතීමෙන් මම හිතා මතා ම වැළකී සිටියෙමි. 

විනෝද ගමන ගොස් පැමිණි පළමු සතියේ තිබූ සුබ නැකතින්, ‘සන් පබ්ලිකේෂන්ස්’ ආයතනය අලුත් ගොඩනැගිල්ල ට ගෙන යන ලදී. කුලාන් සිටියේ අප්‍රමාණ වූ විජයග්‍රාහී  සතුටකිනි. හිතේ හැටියට ඔහු ඒ සතුට භුක්ති විඳින හැටි මම ආශාවෙන් බලා ගෙන සිටියෙමි. 

“ඊළඟට ඉවර කර ගන්න ඕනෙ පුතාගෙ වැඩේ”

සුබ නැකතින් කටයුතු නිම වීමෙන් පස්සේ ඔහු සැනසිල්ලෙන් කීවේ ය.

“මට ඕනෙ සම්පූර්ණ ආදරයක් තියෙන වයිෆ් කෙනෙක්. ඔයා සම්පූර්ණ වෙන්නෙ පුතා ඔයා ළඟ හිටියොත් විතරයි”

“එච්චර දේවල් හිතන්නෙපා සර්. හීන බිඳුනහම හිත හුඟක් දුර්වල වෙනව”

මා කීවේ අවංකව ය. ඔහු ඇස් කුඩා කොට මදෙස බැලුවේ ය.

“මුල ඉඳලම මාව වශී කර ගත්තෙ යකෙක්ටවත් බය නැති…යකා බැඳ ගත්තා වගේ වැඩ කරන කෙල්ලෙක්. ඒ කෙල්ල ෆයිට් කරනව මිසක් කිසි හේතුවක් නිසා කිසි දේකින් පැනල යන කෙනෙක් නෙවෙයි”

“ඒත් මං ඉන්නෙ ආදරේ වෙනුවෙන් ෆයිට් කරන්න පුළුවන් තත්වෙක කියල මං හිතන්නෑ”

“හැබැයි දැං මං ඉන්නෙ එහෙම තත්වෙක”

කුලාන් ගේ ස්වරයේ වගේ ම බැල්මේ ත් හිතුවක්කාර කොල්ලෙකු මම දුටිමි. ඔහු වගේ පවුල් පසුබිමක් ඇති, ඔහු වගේ ජීවන පසුබිමක් ඇති තරුණයෙකු ට ඒ වගේ හැසිරිය හැකි වී ද, ඊට වඩා වගකීම් සහගත ව මා මේ කාරණය ගැන ක්‍රියා කළ යුතු යයි මට සිතිණ. මා පුතෙකු සිටින අම්මා කෙනෙකි. ශ්‍රීනාත් ගල්හේන මහතා මා ව විශ්වාස කොට මෙහි නතර කොට ගියේ රාජකාරීමය වශයෙන් කුලාන් ට උපරිම සහයෝගය දෙතැයි බලාපොරොත්තුවෙන් මිස ඔහු ත් එක්ක මෙහෙව් පටලැවිල්ලක් ඇති කර ගනිතැයි සිතිවිල්ලක් හෝ ඇති ව නොවේ.

“සර් කුමාරයෙක්. ඒකයි මෙතන තියන ප්‍රශ්නෙ. මං සාමාන්‍ය පවුලක…”

“විකාරනං කියවන්න එපා නිම්නා”

මා කියන්නට ගිය දේ කියා නිම කරන්න ට හෙතෙම ඉඩ දුන්නේ නැත.

“මං මොකෙද්ද…අර රෝයල් ෆැමිලි එකේ හැරී කුමාරය බැන්දෙත් ඩිවෝස් වෙච්ච මේගන් ව. වයස අවුරුදු ගාණකිං වැඩියි හැරී ට වැඩිය. වෙන ජාතියක හරිම සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. අන්තිමට හැරී එයාගෙ වයිෆුයි බබායි වෙනුවෙන් රාජකීය වරප්‍රසාද කියන ඒවත් අත්ඇරල ඇමරිකාවට ගියා. ආදරේ කියන්නෙ එහෙම දෙයක්. ආදරේ වෙනුවෙං රජකං අත්ඇරපු රාජ කුමාරයො අපේ ඉතිහාසෙත් ඕන තරං ඉන්නවනෙ. ඕන වුණොත් ඕන දෙයක් අතෑරල දාල ජීවිතේ නිදහස හොයං යන්න මාත් ලෑස්තියි. මිනිහෙකුට අනිත් ඕන දේකට වඩා මුලින් ම වැදගත් වෙන්නෙ ආදරේ නිම්නා. ජීවත් වෙන්න තියන ලොකු ම හේතුව නේද ඒක…”

ඒ වෙලාවේ ඔහු වෙතින් දිස් වූයේ දඩබ්බර කොලු ගැටයෙකු නොවේ. ජීවත් වීමෙන් ජීවිතයෙහි පරිචය හැඳින ගත් තැන්පත් පිරිමියෙකි. ඒ දෙදෙනා ගෙන් මා වඩාත් රිසි කවර පුද්ගලයා ට ද කියා සිතන්නට මම උත්සාහ කළෙමි. නමුත් මට එක තෝරා ගැනීමක් කළ නො හැකි විය. ඒ ඒ අවස්ථා වල දී ඒ දෙදෙනා ම මා වසඟ කරන්න ට සමත් වී සිටියහ.

“ඉඳහිට රජෙක් ආදරේ වෙනුවෙං රජකම අත්අරින්න ඇති. ඒත් වැඩිපුර ඉන්නෙ වෙන ගෑනු කෙනෙක් වෙනුවෙං තමංගෙ වයිෆ් ව ගර්ල් ෆ්‍රෙන්ඩ්ව අත් අරින පිරිමි සර්”

ඔහු ටික වෙලාවක් මගේ මූණට එබී ගෙන බලා සිටියේ ය. ඊළඟට සුසුමක් හෙළමින් අසුනේ පිටුපස ට හරි බරි ගැහුණේ ය.

“ඒ හොයන්නෙ වෙනසක් නිම්නා. ගෑනු ශරීර වල වෙනස හොයං යන පිරිමි කාලෙකදි තේරුං ගන්නව දිව්වෙ මොන තරං මායාවක් පස්සෙන්ද කියල. ඇත්තට ම මැරි කරන්න කලිං පිරිමි මේ යතාර්තය තේරුං ගන්නවනං…ඒත්…අනේ මන්දා…මං ඔයාට කියපු දේනං සදහට ම වලංගුයි. මට දැන් ඕනෙ නවතින්න”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -31

මට වන එක ම පිරිමි අත්දැකීම පිළිකුල් කාරක ය. ඔහු සිය විවාහයේ වගකීම තනි ව දැරිය නො හැකි ව ඒ සඳහා අම්මා ගේ අතේ නැටැවුණු රූකඩයක් බවට පත් වුණේ ය. දැන් යළිත් කරළියට පැමිණ මගේ ජීවිතය ට අත පොවන්න ට හදයි. 

“කසාද බඳින්න ගෑනු ළමයෙක් තෝර ගද්දි පිරිමියෙක් වැඩි ම වටිනකමක් දෙන්නෙ එයාට ස්ථාවර වෙන්න එතන සුරක්ෂිතද කියන එක ගැනයි නිම්නා. ලෝකෙ වටේම කරක් ගහල ගෑනු ආශ්‍රය කරපු මිනිහෙක් වෙන්න පුළුවන්. ඒත් එයා නවතින්නෙ එයාට ගෞරව කරන්න දන්න ගෑනු කෙනෙක් ළඟ. පිරිමියෙක් කසාදෙකින් බලාපොරොත්තු වෙන ලොකු ම දේ ඒ සුරක්ෂිත කම. තමංගෙ ගෙදරිං ඒ දේ ලැබෙනවනං…මං හිතන්නෑ කිසිම පිරිමියෙක් වෙන ගෑනු කෙනෙක් නිසා පවුල් ජීවිතේ කඩා ගනී කියල”

“සර් කියන්නෙ පිරිමි වෙන ගෑනු පස්සෙ යද්දිත් අපි ගෞරව කරන්න ඕන කියලද…පවුල රැක ගන්න…”

මම අභියෝග කළෙමි. කුලාන් තත්පර දෙක තුනක් මදෙස බලා හිඳ සිනහවක් නගා ගත්තේ ය. 

“කෙනෙකුට ලෝකෙ තියෙන වටිනම දේ තමන්ගෙ පවුල නිම්‍නා”

මට මගේ කතාව ඉල්ලා අස් කර ගන්නට පවා සිතුණේ ය. කුලාන් වෙතින් විද්‍යමාන වූ සියල්ල එතරම් ම වගකීම් සහගත ය. 

“අම්මා නැති වුණාට පස්සෙ මටමයි කියල පවුලක් නැති වෙලා ගිය නිසා…කුඩම්මට ආන්ටි කියන්න මං පුරුදු වුණ නිසා…මට ම හොයාගන්න කාලයක් යන තරමට මගෙ ජීවිතේ බිඳිල විසිරිල සීසී කඩ වෙලා ගිය නිසා…මං දන්නව පවුලක අගේ. පුතා මට අංකල් නොකියා තාත්තා කියන්නයි ඕනෙ. අපේ ගේ ඇතුළෙ පවුල් දෙකක් තියෙනව දකින්න මට ඕන නෑ නිම්නා”

මගේ හදවත මැද්දේ මට ම දරා ගත නො හැකි රිදුමක් හට ගෙන තිබිණි. පපුවේ හිර වීම හුස්ම ගැනීමටත් බාධාවක් වූයේ ය. ඔහු ට සියල්ල තීරණය කරන්නට හැර නිහඬ වන්න යි මගේ ආත්මය කෑ ගසා කීවේ ය. ඔහු ට ආදරය කිරීම පමණක් ම කරන්න යි මගේ හදවත මගෙන් ඉල්ලා සිටියේ ය. 

“ගෑනුන්ට ගෑනුන්ගෙ අයිතිය වෙනුවෙන් නැගිටින්න වෙන්නෙ පිරිමි එහෙම අයිතියක් නොදී උන්ව දූවිල්ලක් ගානට දාන්න යනකොටනෙ”

අශිකා සියල්ල අසා සිට කීවා ය.

“එහෙම නැත්තං ඕන ම ගෑනියෙක් වැඩියෙංම කැමති ගෑනියෙක් වෙලා ඉන්න ලැබෙන අවකාශයට තමයි. කුලාන් කියන්නෙ හොඳ පිරිමියෙක් වගේ පේනව නිම්”

“ඔයාමනෙ කියන්නෙ පිරිමි හොඳද කියල අනාවැකි කියන්න බෑ කියල”

“මෙහෙමනෙ. අපිට පෙන්නන මූණ දිහා බලාගෙන නෙ මේගොල්ලො ගැන අපිට හිතා ගන්න වෙන්නෙ. පෙන්නන බාගෙකුයි නොපෙන්නන බාගෙකුයි කියල බාග දෙකක් අපි ඕන කෙනෙක්ට තියෙනවනෙ. නොපෙන්නන බාගෙ පේන්න පටංගන්නෙ ළඟින් ආශ්‍රය කරනකොට තමයි. සමහර විට අර පෙන්නන බාගෙත් වැඩිපුර තිබිල තියෙන්නෙ මවා පෑම් වෙන්න පුළුවන්. ඒත් කුලාන් ගෙ ඊට වැඩිය දෙයක් ඇති කියල මට හිතෙනව”

“ඒක හරියටම එහෙමද කියල ලං වෙනකල් කොහොමවත් තීරණය කරන්න බෑනෙ”

“මෙහෙමයි නිම්. වතුරට බහින්නැතුව පීනන්න බෑ. වතුර කෝප්පෙත් කිඹුල්ලු දකින එක දුරුවල කමක් මිසක් හපන් කමක් නෙවෙයි. ජීවිතේ කොයි දේකද අවදානමක් නැත්තෙ. පන්සලක සිල් සමාදං වෙලා ඉන්නකොට බෝ අත්ත කඩං වැටිල වුණත් කරදරයක් වෙන්න පුළුවන්. එහෙමයි කියල ලැබිච්ච ජීවිතේ ජීවත් නොවී ඉන්න එක මහ මෝඩ කමක්”

යෞවනය වියැකී යමින් තිබියදී තවමත් අවිවාහක ව සිටිය ද, විවාහය පිළිබඳව අශිකා ට වන දර්ශනය ගැඹුරු ය. ප්‍රායෝගික ය. එක් විවාහයකින් ජීවිතය වරදවා ගත් මට වඩා යමක් ඇය අවබෝධ කර ගෙන හිඳින්නී ය.

“ඔච්චර දේවල් දැන ගෙනත් ඔයා ඇයි බඳින්නැත්තෙ කියන එකනෙ මට තේරුං ගන්න බැරි”

මම ඇත්ත ම කීවෙමි. අශිකා සරල ලෙස සිනහ වූවා ය.

“ඒ මට දැනෙන පිරිමියෙක් සෑහෙන කාලෙකට මුණ ගැහුණෙ නැති නිසා. ඒත් කුලාන් ඔයාව හොඳට ම හොල්ලයි තියෙන්නෙ”

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 3

විනෝද ගමන ගොස් දෙදිනකට පසු සිකුරාදා හැන්දෑවේ මා ගෙදර විත් දිය නා ගෙන තෙත හිස කේ පිසිමින් බරාඳය වෙමින් සිටිය දී කුලාන් ගේ රිය අපේ මිදුලට විත් නැවතිණ. හාන්සි පුටුවේ දිගෑදී උන් තාත්තා කෙළින් වූයේ ය. අදිසි විදුලි දහරක් මගේ සිරුර දිග දිව ගියේ ය. තාත්තා මදෙස බලනු නෙත් කොනට පෙනුණත්, මම ඔහු දෙස නො බලා සිටියෙමි. සත්තකට මට තාත්තා දෙස කෙළින් බැලීමේ අපහසුවක් දැනෙමින් තිබිණි. අනිත් අතට කුලාන් මෙහි එන බවක් මට කියා තිබුණේ නැත. ඔහු ගේ හිතුවක්කාරකම් දරා ගැනීමට මා රිසි වී ද තාත්තා ගැන මම බිය වීමි.

රියෙන් බට ඔහු  මගේ ඇස් දෙක මුළුමනින් වසඟ කර ගත්තේ ය. තද නිල් සැහැල්ලු ටී බැනියමකට, අහස් නිල් පාට ඩෙනිම් කලිසමක් හැඳි ඔහු වෙතින් තුරුණු පෞරුෂය උතුරා හැලෙමින් තිබිණ. අනිත් පැත්තෙන් තාත්තා ගේ ඇස් ගැන දෙගිඩියාවක් මා පෙළන්නට විය. තාත්තා හා ආදරය කරන පිරිමියා යන දෙදෙනා අතරේ දී ඕනෑ ම ගැහැනු හිතකට මේ ගැස්ම පොදුයි කියා මම සිතමි.

“සර්…”

ඔහු ළඟ ට එත්දී ඇහෙන නෑහෙන තරම් හෙමිහිට මම කොඳුළෙමි. කුලාන් ගේ ඇස් දෙක, මගේ බියපත් හිත පිරිමදින සුව හැඟීමක් දැන වී ය.

“අනේ…පුතා ආවද…”

අම්මා ගෙතුළින් මතු වූයේ මගේ හිතට නිවනක සුවය ගෙන එමිනි.

අදනං ඔන්න කෑම ටිකක් නොකා යන්න බෑ”

කුලාන් සිනහ වෙමින් පුටුවකට බර වූයේ ය. ඔහු ට හිඳ ගන්න යි ආරාධනා කරන්නට පවා මට අමතක වී තිබිණි.

“සර් මේ කොහෙ හරි යමිං ගමං වෙන්නැති”

තාත්තා කීවේ ය. 

“නෑ තාත්තෙ. අදනං මෙහෙමයි ආවෙ”

මගේ හදවත ගැස්ම උත්සන්න වන්නට විය. මා ඔහු දෙස ම බලා සිටියත් කුලාන් මගේ ඇස් මගහැරියා සේ මට දැනිණ.

“එහෙනං අපි තේ එකක් බීල ඉමු නේද…තාම අපේ නිම්නාට තේ එකක් හදන්නත් බැරි වුණා”

කියමින් අම්මා ආපසු හැරුණා ය. නමුත් කුලාන් “අම්මෙ” කියා කතා කළේ ය. අම්මා ආපිට හැරුණේ ත්, මගේ හදෙහි භූමිකම්පාවක් ඇති වූයේත් එකට ම ය. මම යාදිනියක සේ ඔහු දෙස බලා සිටියෙමි. මට සැනසෙන්නයි කියන එක ම බැල්මක් පමණක් ඔහු හෙළුවේ ය. 

“තේ එකක් පස්සෙ බොමු. මට අම්මයි තාත්තයි දෙන්නම ඉන්න තැන කාරණයක් කියන්න තියෙනව”

මම බිත්තියක් අල්ලා ගතිමි. දෙපා වෙව්ලනවා මට දැනුණේ ය. 

“ඒ මොකද්ද පුතේ…”

අම්මා ද පුටුවක අසුන් ගත වූවා ය.

“කෙළින් ම කතාව කියනවනං…මං ආවෙ මං නිම්නාව කසාද බඳින්න කැමතියි කියන්න. අම්මයි තාත්තයි ඒකට අකමැත්තක් නෑ නේද…”

මම බිත්තියට හිස බර කොට ගෙන ඇස් දෙක පියා ගතිමි. මගේ හිස ඇතුළේ මහ සාගරයක කැළඹීම විය. කන් දෙක ගැඹුරේ දරුණු රිදීමක් ද විය. යළි මා ඇස් ඇරියේ අම්මා කතා කරනවා අසමිනි.

“අපිනං ඉතිං අකමැති වෙන්නෙ මොකටද පුතේ අපේ දරුවට හොඳක් වෙන එකට…”

“සර් මේ විදිහට ඇවිත් කෙළින් කතා කරපු එක ගැන මට සතුටුයි. ඒත් මේව කෙරෙන දේවල්ද මහත්තයෝ…”

තාත්තා ගේ වචන වල ගිල ගත් ප්‍රීතියක් ද ප්‍රතික්ෂේපයක භීතිය ද විය. මට තාත්තා වැළඳ ඉකි බිඳින්න ට සිතුණේ ය. මා නිසා ඒ තරම් අසරණ වෙන්නට එපා යයි කියා ඔහු ගේ පාද සිප හඬන්න ට මට ඕනා වුණේ ය.

“තාත්…තෙ”

මම මිමිණුවෙමි. නමුත් ඒ වදන පිටතට ඇහුණේ නැත. කෙඳිරිල්ලක් ලෙස හෝ මගේ හඬ පිට වූයේ නැත. එකෙනෙහි කඳුළු ලෙස හැඟීම් දිය වී වැගිරෙන්නට ගති. මගේ නෙත් බැමි පිපිරී කඳුළු ඉහිරිණි. කොපුල් තලා පොඟවමින් ඒවා ගලා ගියේ ය. කඳුළක ලුණු රස මගේ දිවට දැනිණි.

3.7 10 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
27 days ago

දිල්හාරා ❤️
27 days ago

ඉක්මනින් කතාව ඉවරවෙයිදෝ කියලත් බයයි….❤️