ඔබට ඇහෙනවනම් – 40

1
3135

නින්දේ දී දකින බොහොමයක් සිහින අවදි වෙන කොටත් අපට අමතක ය. ඇතැම් ඒවායින් යම් යම් කුඩා කොටස් පමණක් මතක ය. ඒ නිසා ද මන්දා සොබා දහම අපට නින්දේ දී නොව ඉඳහිටෙක හැබැහින් සිහින පෙන්වන්නේ ය. ඒවා අමතක කරන්න ට බැරි ව ජීවිත කාලයක් විඳවන්න ට බොහෝ විට අපට සිදු වේ. මියෙන තෙක් ම ඒ සිහින නටඹුන් වල සුන් බුන් අස්සේ හිර වී, ඒවායින් ගොඩ ඒ ගත නො හැකි ව තැවෙමින් වැළපෙමින් හුස්ම ගන්නට අපට සිදු වේ. මින් ඉදිරියට මා අභිමුවට එන්නට නියමිත ව ඇත්තේ එවන් කාල වකවානුවක් වන්න ට පුළුවන.

“මං තාත්තල එක්ක කතා කරන්න ආවෙ නිකං ම නෙවෙයි. හුඟක් මේ ගැන කල්පනා කරල. අපේ තාත්තා නිම්නා ට හුඟක් ආදරෙයි. ඒත් මන් දන්නෑ නිම්නා ව එයාගෙ ලේලි කර ගන්න ඒ හේතුව ප්‍රමාණවත් වෙයිද කියල. අපේ තාත්තා ගෙ කැමැත්ත අකමැත්ත කොහොම වුණත් නිම්නා එක්ක ජීවිතයක් පටන් ගන්න මට පුළුවන්. දැඩි වුණත් සමහර තීරණ අපිට ගන්න වෙනව තාත්තෙ”

කුලාන් ගේ වචන මට දැනුණේ වැස්සක හඬක් සේ ය. මම උවමනාවෙන් නො අසා, ඒ හඬ ඉබේ ඇහෙනයුරු දරා සිටියෙමි.

“මම නිම්නා ව අතරමගක අත් අරින්නෑ තාත්තෙ. නිම්නායි පුතායි දෙන්නවම…”

අම්මා කඳුළක් පිස ගන්නවා මම දුටිමි. තාත්තා නිහඬව ම අසා සිටියේ ය. 

“මං දන්නව පුතා නැතුව නිම්නා ට සතුටක් නෑ. ඒ වගේ ම තාත්තා ගෙයි අම්මා ගෙයි ආශිර්වාදය නැතුව එයා දිව්‍ය ලෝකෙටවත් යන්නෑ”

“මගෙ කෙල්ලට තියා මටවත් ආයෙත් ඒ දුක විඳගන්න හයියක් නෑ මහත්තයො”

තාත්තා ගේ හඬ බිඳී ගියේ ය. මට මොනවා විණි දැයි මම ම නො දනිමි. තාත්තා වෙත දිව ගිය මම පුටු අත මත හිඳ ගෙන තාත්තා ගේ ගෙල වැළඳ ගෙන ඉකි ගගහා හඬන්නට වූයෙමි. මා කසුන් සමග දීග ගිය දිනයේවත් තාත්තා මෙපමණ හැඬුවා ය කියා මට මතක නැත.

“අපේ එක්කෙනාගෙ හුස්ම ටික පුතේ ඔය. ආයෙ මේ කෙල්ලට දුකක් දෙන්න කලින් මේ මනුස්සයගෙ හුස්ම ටික යවල ඉන්න එක හොඳ වෙයි”

“මහත්තය කෙල්ලව බලා ගන්නවනං මට නිදහසේ මැරෙන්න හරි පුළුවන්”

තාත්තා කුලාන් ට ආශිර්වාද කළේ එහෙම ය. 

“තේ ටිකක් ලෑස්ති කරමු පුතේ”

කියා ගෙන අම්මා ගෙතුළ ට ගියා ය. මම ඈ පසු පස ගියෙමි. ගෑස් උඳුන මත වූ වතුර කේතලය උතුරමින්, දුම් දමමින් තිබිණි. මම තේ පිළියෙල කළෙමි. අම්මා රාත්‍රී ආහාර පිසින්නට පටන් ගත්තා ය.

“අද වගේ දවසක කෑම ටිකක් නොදී පිටත් කරන්න බෑනෙ”

ඈ තනි ව මුමුණනු මට ඇසිණ.

මා මුලින් ම තේ බන්දේසියත් ගෙන ගියේ තාත්තා ළඟට ය. 

“අර පුතාට අල්ලල ඉන්න”

ඔහු කීවේ ය. මම කුලාන් දෙස බැලීමි.

“නෑ නෑ තාත්තට දෙන්න”

ඔහු කීවේ ය. තාත්තා තේ එකත් ගෙන ගෙතුළට ගියේ ය. මම කුලාන් ළඟ පමා වීමි.

“සර් මට කිව්වෙවත් නෑ එනව කියල”

මගේ ස්වරයේ මඳ නෝක්කාඩුවක් තැවරී තිබිණි. පිළිතුරක් දෙන්නට ඔහු තත්පර කිහිපයක් පමා කළේ ය.

“කිය කිය හිටියනං තව කාලෙකට මේ ගමන එන්න වෙන්නෑ”

“තාත්තා බෑ කිව්වනං”

“එහෙනං උස්සගෙන හරි යනව”

“උස්සං…”

මම හිනැහුණෙමි.

“මං අඬගැහුවොත් ඔයා එන්නැතුව ඉන්නෑ”

කුලාන් ගේ ඇස් වල විශ්වාසක් විය. මට මහත් නිදහස් හැඟීමක් දැනිණ. ඕනෑ ම ගැහැනියක රිසි වන්නේ සිය ආත්මය ම ආදරණීය පිරිමියෙකු වෙත පවරා දී ඇය ට ඈ ගැන දැනෙන බරෙන් නිදහස් වෙන්නට ය. නමුත් ඇතැම් ස්ත්‍රීන්ට වරදින තැන ද එය වේ. වැරදි පිරිමියෙකු ඉදිරියේ ඒ පාවා දීම කළ කල, ඒ වරදට ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා සිදු විය හැකි ය.

“අදනං දන්න ශිල්ප ඔක්කොම දාල උයල වගෙයි”

තාත්තා කෑම මේසයට හිඳ ගත්තේ සිනහ වෙමිනි.

“ආ…වෙනදට මං රහට උයන්නෙ නෑනෙ මෙයාලට කන්න”

අම්මා නෝක්කාඩු කීවා ය.

“ඒ වුණාට ඉතිං මට මතකනෙ මං ඕගොල්ලොංගෙ ගෙදර යන දවස්. අපේ නැන්දම්මත් මෙහෙම තමයි කෑම මේසෙ ලෑස්ති කළේ. මතකද…ඕගොල්ලොංගෙ අයිය රණ්ඩු කරන්නෙ…අම්මා බෑණා බත උයන දවසට අහල ගං හතටම සුවඳයි කියල”

“බෑණා බත!”

කුලාන් හඬ නගා හිනැහුණේ ය. මගේ හිත ප්‍රීතියෙන් ද ආඩම්බරයෙන් ද පිරී ගිහින් ඇති සැටියක් දැනිණ. මේ වගේ සතුටක් ජීවිතයේ ප්‍රථම වතාවට මා මේ විඳිනවා ය. කසුන් නිසාවෙන් එවැන්නක් කවදාවත් මගේ හිත විඳ නො ගත්තේ, මගේ සිත්හි ප්‍රේමයක් ජනිත කරන්න ට ඔහු කිසි දා ක සමත් නොවූ නිසා විය හැක.

“මොනව වුණත් පුතාව මේ විදිහට අපේ ගෙදරට ගෙන්න ගන්න එක අපි කරන වැරැද්දක්. ගල්හේන මහත්තයගෙං ඒ චෝදනාව එන්න කලිං මේ ගැන තාත්තත් එක්ක කතා කළොත් හොඳයි”

රාත්‍රී ආහාරයෙන් පස්සේ කුලාන් සමු ගන්නට සූදානම් වෙත්දී තාත්තා සිහිපත් කළේ ය. 

“අනේ ඔවු පුතා”

අම්මා ද එකඟ වූවා ය. කුලාන් හිස සලා ඒ යෝජනාව පිළි ගත්තේ ය. රිය තෙක් මම ඔහු සමගින් පසු ගමන් ගියෙමි. යශෝදරා සේ අවසාන අත්භවය තෙක් ම මේ අයුරින් සසරේ ඔහු සමගින් පසු ගමන් යන්නට තියෙනවා නම් කියන පැතුම, සුසුමක දවටා මම විශ්වය ට මුහු කළෙමි.

“යන්න ද එහෙනං…”

රියට නැගී ඔහු ඉතාමත් හෙමිහිට විචාළේ ය. මම පිළිතුරක් දී ගත නොහී බලා සිටියෙමි.

“යන්න හිතෙන්නෑ ඉතිං”

ආයේ ඔහු ම කීවේ ය. 

“නොගියොත් එන්න බෑ කියනවනෙ. එහෙනං නිම්නා”

“පරිස්සමෙං යන්න සර්”

මගේ වචන අතරේ ඒ තරම් ආදරයක් තැවරිය හැකි යයි ඊට පෙර මා සිතා තිබුණේ නැත.  කුලාන් හිස ඇල කර සිනහ වුණේ ය.

“තාමත් සර්ද ඉතිං…”

“ගෙදර ගිහිං මට කෝල් එකක් දෙන්න”

මම ඔහු කී දේ නෑසුණා සේ කීවෙමි. කුලාන් රිය පණ ගැන්වූයේ ය. රාත්‍රිය අප ව දෙපසට වෙන් කරමින් පවුරු බැන්දේ ය. මම අලුත් සිහිනයක සැරිසරමින් ඉක්මනින් නින්දට වැටුණෙමි.

කුලාන් තාත්තා හමු වන්නට ආ බව මා අශිකා ට කීවේ උදේ ය. ඇගේ මුහුණේ පුළුල් සිනහවක් ඇඳිණි.

“එහෙනං කොල්ලා ඒක කළා නේ…”

“මටත් හිතා ගන්න බැරි වුණා”

“ගල්හේන අකමැති වෙලා ඕක නොකෙරුණත් දැං දුක නෑ නිම්…කුලාන් ආදරෙයි කියන එක බොරුවක් නෙවෙයිනෙ”

මම එකඟතාවය හඟවනු වස් හිස සැළුවෙමි. 

“දරා ගන්න බැරි වෙන් වෙන්න වෙන එක නෙවෙයි නිම්. ආදරේ කරල නෑ කියල දැනගන්න වෙන එක. බොරු කරලයි කියල දැනගන්න වෙන එක”

“හ්ම්”

“කුලාන් කියන්නෙ තීරණයක් ගන්න බැරි වයසක ඉන්න ඇටිකිති කොල්ලෙක් නෙවෙයිනෙ. ගල්හේන අකමැති වුණත් කුලාන් ලෑස්තියිනං මැරි කරන්න…පස්ස ගහන්න හිතන්න එපා නිම්නා. ජීවිතේ සමහර තීරණ අමාරුවෙන් වුණත් ගන්න වෙනව. එයා ටික කලක් ගිහිං හරි යාළු වෙයි. හැබැයි මේ වගේ කොල්ලෙක් නැති කර ගන්න වරදට ජීවිත කාලයක් ම විඳෝ විඳෝ දඬුවම් දීගන්න වෙයි ඔයාට ම”

ජීවිතයේ එවන් පැත්තක් ගැන හිතන්නට හෝ මා තුළ වූයේ පැකිළීමකි. විවාහකින් වෙන් වූ ගැහැනියකට තවත් විඳ ගත නො හැකි යමක් තිබිය හැකි දැයි කෙනෙකු සිතන්නට පුළුවන. දික්කසාදිත ගැහැනියක ගේ ජීවිතය දෙස සරල ලෙස බලමින් බොහෝ දෙනෙකු ඔවුන් ව සෙල්ලමකට ගන්න හදන්නේ එබැවිනි. දික්කසාදය කියන්නේ නීති පොතක ලියැවෙන දෙයකි. නමුදු ඇගේ හදවත තව දුරටත් ලේ පොම්ප කරන මාංශ පේෂී ගොනුවකි. වරක් දික්කසාද වූවා කියන්නේ ඇඳුම් මාරු කරනවා වැනි ව ඇය ට පිරිමින් මාරු කරමින් ගමන් කළ හැකි යයි කියන එකට කොවේ! 

පුතා යළි මවෙත ලබා ගන්නට කටයුතු කරන නීතීඥවරිය සමග මම දුරකතනය ඔස්සේ කතා කළෙමි. ඒ අවස්ථාව ගලිහී නොයා මවෙත ලබා ගත හැකි ඕනෑ ම දෙයක් කරන සූදානමක මම හිටියෙමි. වරක් පුතා මට මගහැරී ගිය බව ඇත්ත ය. මා තනි ව මහ ගෙදර ආවේ තනිව ය. ඔවුන් මට පුතු ගෙන යන්නට ඉඩ දුන්නේ නැත. නීතියේ බලය ද ඔවුන් ට ලබා ගත හැකි වූයෙන් බිම බලා ගෙන නිහඬ වන්නට මට සිදු ව්ය.

දැන් මා ඉදිරියේ ආදරය පිරි විවාහ බලාපොරොත්තුවක් තිබේ. මා යළි අලුත් විවාහයකට යන්නේ තනි ව නම් නොවේ. මගේ පුතා ත් එක්ක ය. ඔහු ට තාත්තා කෙනෙක් ද අම්මා කෙනෙක් ද ඇති ගෙදරකට ය. ඒ ගෙදර මට ජීවත් වන්නට අවශ්‍ය කරන ආදරය ද ගෞරවය ද සුරක්ෂිත බව ද වනු ඇත. 

මා හා අශිකා කතා කරමින් සිටිය දී අභ්‍යන්තර දුරකතනය හැඬවිණි. අශිකා රිසීවරය ගත්තා ය. 

“කවුද…කුෂ්ලානි මිස්…පොඩ්ඩක් ඉන්න”

රිසීවරයේ මුව විට අතකින් වසා ගත් ඕ රහස් හඬකින් “කුෂ්ලානි ඇවිත් ඔයාව හම්බ වෙන්න ඕන කියනවලු” කියා කීවා ය. කල්පනා කර කර ඉන්නට මට වෙලාවක් වූයේ නැත.

“එවන්න කියන්න”

“එවන්න”

කියා අශිකා රිසීවරය තැබුවා ය. මගේ හදවතට ගෙවැදුණු අලුත් ගැස්ම, මගේ මුහුණෙන් ඇය හැඳින ගන්නට ඇත. 

“එයාට මොනා හරි කියන්න ඇතිනෙ. ඒකනෙ ඔයාව මීට් වෙන්න එන්න ඇත්තෙ. ඒක අහගන්න. දුර්වල කමක් පෙන්නන්න එපා. ඔයාට මේක කරන්න පුළුවන්”

අශිකා මගේ මේසය ඉදිරියෙන් නැගිට ගත්තේ කුෂ්ලානි වීදුරු දොරට අත තියනකොට ය. මේ වෙලාවේ කුලාන් කාර්යාල පරිශ්‍රයෙහි වූයේ නැති එක මගේ හිතට සහනයක් දැනවී ය.

“ඉඳගන්න මැඩම්”

මම ආරාධනා කළෙමි. හදවත ඉතා වේගයෙන් ගැහෙමින් තිබිණි. ඇය දෙතොල් තෙරපා යන්තම් සිනහවක් පාමින් අසුන් ගත වූවා ය. ඒ සිනහව ව්‍යාජයක් බව මට හොඳට ම දැනිණ.

4.8 4 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
3 months ago

ඊළඟට මොනවයින් මොනා වේවිද මන්දා… ❤️❤️❤️