මන්දාරම් හැන්දෑවක -36

වියළි කලාපයේ මද්දහන කොහොමටත් උණුසුම් ය.උඳුවප් මාසය කියා වෙනසක් නොවූ හිරු රැසෙහි උණුසුම දරාගෙන බිනර මංසන්දියක නැවතී බලා සිටියේ ය.කුඩා ඉනුලි සිටියේ ඔහුව වැරෙන් බදා ගෙන ය.එහෙත් හිතේ ආවේගය රියේ ආවේගය වැඩි කරතැයි බියෙන් බිනර පැමිණියේ ඉබි ගමනින් ය.ඔහු සිටියේ සසල හදවතකිනි.පැමිණි වේගය නිසා සල්වතුර මහත්මිය මඟ හැරෙන්නට ඇති බවත් අතරමඟදී හමු වූවෙකු වෙද ගෙදරට යන පාර නිවැරදිව කියන්නට ඇති බවත් සිතෙද්දී ඔහු සිටියේ සසැලෙමිනි.

රුවන් රිය පැදවූයේ අවසාන මොහොතේ පරීක්ෂාකාරී වෙන්නට සිතමිනි.දැන් දෙවන අවස්ථාවකට කිසිසේත්ම කාලය නොවේ.එහෙත් තමන්ගේ හැසිරීම බොහෝ දේ තීරණය කරන බව ඔහු වටහා ගෙන සිටියේ ය.පටු මාවතේ පහත් වී මෝටර් සයිකලයේ යමක් පිරික්සන තරුණයා සහ ඔහු අසල සිටින සිඟිත්තිය දෙස ද මෝටර් සයිකලයේ අංකය දෙස ද රුවන් බැලුවේ පරීක්ෂාවෙනි. වාහනය නැවතූ ඔහු සහ බිනර අතර හුවමාරු වූයේ ක්ෂණික බැල්මකි.

හදිසියේ ලැබුණු පිටපතකට අනුව දෙබස් කියන්නට කිසිදා හමු නොවූ තරුණ නළුවන් දෙදෙනාට අපහසු වූයේ ද නැත.

“මල්ලි, හේරත් වෙද මහත්තයගෙ ගෙදරට දුර ද?”

රුවන් එය අසද්දී බිනර වසන්ති සල්වතුර මහත්මියට ද මඳ සිනාවක් හෙළී ය.

“අයියො අයියෙ, අද වෙද මහත්තයා බෙහෙත් දෙන දවසක් නෙවෙයි.අද ලෙඩ්ඩු බලන්න එළියට යන දවස..”

වසන්ති සල්වතුර වහා කතාවට මැදිහත් වූවා ය.නාස්ති කරන්නට කාලයක් ඇත්තේ නැත.

“නෑ, අපි ආවේ බෙහෙත් ගන්න නෙවෙයි.ඔය ළමයට පුළුවන්ද පාර කියන්න..”

බිනර මඳක් නිහඬ විණි.දැන් කළයුතු දේ සිතන්නට උවමනා ය.එහෙත් රුවන් වහා ක්‍රියාත්මක වූයේ ය.

“මැඩම්, අපි අර කෙල්ල ගැන අහමු..මැඩම් මේ ෆලෝ කරන්නේ ලණුවක් වෙන්නත් පුලුවංනෙ..”

එහෙත් සල්වතුර මහත්මිය එය පිළි ගන්නට සූදානම් නොවිණි.ඇයට මොරීන් ගැන තද විශ්වාසයක් විය.ඈ නැවත බිනරගෙන් මාවත ඇසුවේ පැහැදිලි ස්වරයකිනි.බිනර තමන් පසුපස එන්නට රුවන්ට පවසා සයිකලයට නැගුණේ ය.ඔහු යළිත් හැරී බැලුවේ සල්වතුර මහත්මිය “ළමයො” යැයි හඬ ගසන හඬට ය.

“ඔය බබෙක්ව හෙල්මට්වත් නැතුව බයික් එකේ දාං ඉන්නෙ ඇයි.වාහනේට නග්ගවන්න..අපි යන තැනටවත් එක්ක යන්නං”

කුඩා ඇල්ටෝ රථයක ගමන් බිමන් යන ඉනුලිට සැබෑ ලෙසටම හිමි විය යුත්තේ ඔවැනි සැපපහසු රථ බව බිනර මුවින් නොබැණ සිතුවේ ය.ඔහු කිසිත් නොපැවසුව ද ඉනුලි එයට නිහඬ පිළිතුරක් දුන්නේ හැකි වැර යොදා කිටිකිටියේ බිනර වැළඳ ගැනීමෙනි.

මෝටර් සයිකලය අනුව ගිය රිය නැවතුණේ සාමාන්‍ය නිවසක් ඉදිරිපිට ය.පාරම්පරික වෙද නිවෙසක අපේක්ෂාවෙන් ආ වසන්ති සල්වතුර රියෙන් නොබැස කල්පනාකාරී වූවා ය.මොරීන් පැවසුවේ පාරම්පරික වෙද ගෙදරක කතාවකි.ඈ අපේක්ෂා කළේ ද සලරුවක පරිදි පැරණි නිවසකි.මෝටර් සයිකලයෙන් ඔසවා තැබුණු දැරිය ගෙතුළට දිව යනුද තවකෙකු හා පිටතට පැමිණෙනු ද සල්වතුර මහත්මිය බලා සිටියා ය.අව් කණ්නාඩියකින් වැසුණු දෑසින් ඈ එදෙස බලා සිටියේ ඕනෑවට එපාවට ය.එහෙත් නිවෙසින් මතු වූ තරුණයා දුටු ගැහැනිය රියෙන් බිමට බැස ගත්තේ විදුලි වේගයෙනි.

බොහෝ කාලයකට පසු දකින දසුන දෙස ඈ බලා සිටියේ කම්පිතව ය.දශක තුනකටත් එහා දවසක සූතිකාගාරයේ අප්‍රමාණ වේදනා විඳ දෝතට ගත් ප්‍රථම මල් සම්පත දුටු දා ඈ සිටියේ හැඬීමටවත් හිනැහීමටවත් නොහැකිව ගල් ගැසී ය.මේ මොහොත ද ඈ හුන්නේ ඒ හැඟීමෙනි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 4

“මැඩම් ගෙට යං..මේ පෙරිමියන්කුලමේ වෙද මහත්තයගෙ ගෙදර නෙවෙයි, දොස්තර මහත්තයගෙ ගෙදර.මැඩම් හොයන කෙනා ඉන්නෙ වෙද ගෙදර නෙවෙයි දොස්තර ගෙදර.”

බිනර හඬ අවදි කළේ ය.තමන් මෙවැනි මොහොතක් වෙත ගෙන එන්නට මේ නොදන්නා තරුණයා මේ කතාන්දරයේ දන්නා තරම දැන ගන්නට ඇයට ඕනෑ විය. එහෙත් ඈ සිටියේ වදන් සොයා ගන්නට අපහසු ව ය.

“අම්මා..වාඩිවෙන්න!”

රෝහලේ දී නිතරම පැවසෙන වචනයක සැබෑවටම ඇති බර දිනිඳුට බොහෝ කාලයකට පසු දැනිණ.එහෙත් ජීවිතයේ ඇති හොඳම සෙවණ ලෙස දැන් ඈ නොදැනීම ගැන ඔහුට උපන්නේ ශෝකයකි.

“කෝ සමාධි?”

සල්වතුර මහත්මිය එසේ අසන්නට වචන අමුණා ගත්තා ය.දිනිඳුටත් ජනිඳුටත් ඇත්තේ තාත්තාගේ හැඩරුව ය.දිනිඳුට වඩා සමීප රූපයක් දරන කුඩා දැරිය ඔහුගේ දරුවා බව ඇයට අනුමාන කරන්නට අපහසු වූයේ නැත.දිනිඳු බිනර දෙස බැලූ බැල්මකින් බිනර බොහෝ දෑ තේරුම් ගත්තේ ය. ඉනුලි වඩාගත් බිනර නිවසින් පිටතට ගියේ ගින්නක් අවුලවාලීමට ආ ගැහැනිය දැනටමත් ගිනි ඇවිලෙමින් පවතින වග දැනගත් පසු හැසිරෙන ආකාරය කුඩා ඉනුලි දකින්නට නුවුමනා වග සිතමිනි.

සමාධි හදිසි ලියුකේමියා තත්ත්වයකින් මිය ගොස් සිවු වසරක් වග හෙළි කළ දිනිඳු අම්මාගේ මුහුණ දෙස බැලුවේ තියුණුව ය.බිඳී ගිය තැන් පිළිසකර කරන්නට ඔහුට ඕනෑ වූයේ නැත.හදවත පුතෙකුගේ හැඟිම් වලට වඩා වේගයෙන් පියෙකුගේ හැඟීම් ජනිත කරමින් ඇති වග ඔහු වටහා ගත්තේ ය. දියණියගේ යහපත වෙනුවෙන් ද වීරසේකරලාගේ හැම අකටයුත්තටම එරෙහිව ද හඬ නැඟිය යුතු බව ඔහු සිතුවේ ය.

“චූටි ලීක් කරපු වීඩියෝ එකේ ඉන්න ගෑනු ළමය හොයාගෙන අම්මා වගේ බිසී ලේඩි කෙනෙක් මෙච්චර දුරක් ආවෙ ඇයි අම්මෙ? ඒ ළමය ඒ ළමයගෙ පාඩුවෙ හිටියාවෙ.නොදන්නකමට වැරදි කරන අම්මගෙ චූටි පුතා ඒ ළමයට මේ කැලෑවෙ හැංගෙන්න ඉඩ හදල ඉවරනෙ..දැන් ඇයි අම්මා ඒ ළමය හොයන් එන්නෙ.”

ඉතා වේදනාත්මක ස්වරයකින් බිරිඳ අහිමි වූ වේදනාව කියන පුතෙකුගේ හඬ අසන්නට බලා සිටි අම්මාට ඇසුණේ ඔහු නඩු අසන හඬකි.ඈ කෝපයට පත් වූවා ය.

“එන්නෙ ඒකිට සාධාරණයක් කරන්න කියල නිමාෂා අලුත් නැටුමක් නටන හින්ද. ඒ උගුලට ඔයාගෙ සුදු මල්ලි අහු වෙලා ඒකිව බඳින්න යන නිසා.මං කොහොමද මේ වල් ගෑනු ගේ අස්සෙ දාගන්නෙ.”

දිනිඳු උස් හඬින් හිනැහුණේ ය.

“තරිඳු කොහොමද මේඝා බඳින්නෙ අම්මා.මං එයාව මැරි කරල ඉවරනෙ.ඒක සුදු මල්ලි දන්නව.අම්මලගෙ දේපල ඉල්ලන් මම එන් නෑනෙ.ඉතිං අම්මට මේඝෙක් ඕන නෑ..මේඝා එන් නෑ අම්මගෙ ගේ අස්සට.”

අම්මාගේ දරුණු අතුල් පහර වැඩිමහල් පුතුගේ මුහුණේ නතර වූයේ ඇසිපිය හෙළන පමාවට ය.හිඟන්නියක සමඟ සැඟව ගොස් කැලෑවක දුක් විඳිමින් සිටියදී කොහෙවත් යන වල් ගෑනියකගේ මායමට හසු වීම ගැන දරුණු වචන ප්‍රහාරයක් මතු වූයේ ඉන්පසු ය.දිනිඳු ඒ සියල්ල දරා ගත්තේ ය.ඈත දවසක මල්ලිලාගේ හැම වරදටම දඬුවම් විඳි කුඩා කොලුවා සේම ඔහු ඒ සියල්ල අසා දරා ගත්තේ ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක-26

“මං හිඟන කෙල්ලෙක්ට ආදරේ කරා තමයි.ඒත් ඒ හිඟන කෙල්ල එක්ක මේ කැලෑවට ආවේ වෙන රටකට යන්න හිටිය ගමනක් කැන්සල් කරල.ඔයාගෙ හස්බන්ඩ් මගෙන් ඒ ළමයා ඈත් කරන්න දවස් ගාණක් එයාව හංගගෙන එයාව රේප් කරා කියල ඔයාගෙ කාන්තා විමුක්ති රේඩාර්වලට අහු උනෙ නැද්ද? නැත්නං වෙනද වගේම දන් නෑ වගේ ඉන්නවද? මං අර දරුව කරගෙන හදන්නෙ මගෙ චූටි නංගිව.ඔයාගෙ පුතා ලෝකෙ පුරා වයිරල් කරන්න හදපු වීඩියොඉ එකේ කෙල්ල තමයි දැන් ඒ පොඩි කෙල්ලගෙ අම්ම වෙලා ඉන්නෙ.ගේ අස්සෙ තියන කුණු ගැන හොයල රටේ ප්‍රශ්න විසඳන්න අම්මෙ. තමන්ගෙ මනුස්සයයි පුතයි නාස්ති කරලා දාන ගෑනුන්ට සාදාරණේ ඉස්ට කරන්න මුලින්ම.සමාධියි මේඝායි කියන්නෙ වීරසේකරලගෙ අවලංකමේ ගොදුරු.අර පොඩි කෙල්ල ඒ ප්‍රතිඵලයක්.හැබැයි උන් තුන් දෙනාම මට වටිනව..අම්මට බෑ මාත් එක්ක සෙල්ලං කරන්න..”

අම්මා සිටියේ අධි රුධිර පීඩනය වැඩි වී මියෙන්නට පතමිනි.එහෙත් පුතු කියවීම නැවතුවේ නැත.සය වසරක පීඩනය පුපුරා ගලා යමින් තිබිණ.ඔහු එය ඔහේ ගලා යන්නට ඉඩ හැරියේ ය.

“අම්මෙ, අපි කාටත් ලෝක තියනව. තාත්තා ඔය සෙල්ලක්කාර ජීවිතේ අතාරින් නෑ.අතෑරවගන්න අම්මා උනන්දු වුණෙත් නෑ.චූටිට හරි වැරැද්ද කියා දෙන්න අම්මට උවමනාවකුත් නෑ.හැබැයි අම්මට තියනව අම්මගෙ ලෝකයක්.අම්මට තියනව ලොකු සිවිල් බලයක්.රටේ ගෑනියෙක්ට දරුවෙක්ට කරදරයක් උනාම මේ ගංවල මිනිස්සු පවා අම්මගෙ නම කියනව.අම්මව හොයනව.ඉතිං වසන්ති සල්වතුරගෙ ලොකු පුතා ඇවිල්ලා තමන්ගෙ වයිෆ්ව රේප් කරා කියල තමන්ගෙ තාත්තට අවුරුදු හයකට පස්සෙ නඩුවක් දැම්මම ඒකෙන් වැඩිම ඩැමේජ් එක අම්මට.තාත්තට චූටි දූට වන්දියක් දෙන්න වෙයි. මායි දූයි ඒ සල්ලි අරන් වෙන රටකට යයි..ඒත් අම්මා අවුරුදු ගාණක් ඒ වගේ දෙයක් හංගලා සමාජ සේවෙ කරාට නින්දා විඳියි..

දිනිඳු කතාව නැවතුවේ අම්මා ඉකි බිඳින්නට ගත් හෙයිනි.ඈ බොහෝ ඈත දවස් ගැන කියමින් වැළපුණා ය.නොයෙල් වීරසේකර අත හරින්නට බැරි වූ රාහුලයන් තිදෙනා ගැන කියමින් ඉකි ගැසුවා ය.එහෙත් දිනිඳුට ඒවා වචන පමණක් ම විණි.අම්මා සමාධිට ජීවිත තර්ජන පැමිණෙද්දී ක්‍රියා කළේ අන්ධ වූ සේයාවෙනි. මේඝා සම්බන්ධ හැසිරීම ඊට වැඩියෙන් අසෝබන ය.

“අපි මේ ඉන්න විදියටම ඉමු අම්මෙ. අම්මා ඔය අම්මගෙ සෝෂල් සර්විස් කරගෙන ඉන්න.තාත්තයි මල්ලියි හති වැටෙනකං ඔහෙ දුවපුවාවෙ. සුදු මල්ලි ආයේ ඇමරිකා යයි.ඌට ජෙනිෆර් එක්ක සැනසිල්ලෙ ඉන්න අරින්න.මම මගෙ කෙල්ලො දෙන්නා එක්ක මගෙ පාඩුවෙ ඉන්නං”

දිනිඳු අම්මාට සමු දෙන්නට පෙර පැවසුවේ ය.සය වසරකට පසු හමු වූ වැඩිමහල් පුතුගේ නිවසින් වතුර උගුරකුදු බොන්නට පමා නොවී වසන්ති සල්වතුර නික්ම ගියා ය.මේඝාට හොඳ පාඩමක් උගන්වන්නට පෙරිමියන්කුලමට ආ ඇය නික්මියේ රිදුම් දෙන දෑසිනි; බර වූ හදවතිනි.

ඒ තරමටම වේදනාවකින් දිනිඳුව දැවී යන්නට විය.නැහැවී යන තරමට මව් ස්නේහයක් කිසිදා දෙන්නට සමත් නොවූ අම්මා පරාජිත ගැහැනියක සේ නික්ම යන අයුරු බලා හුන් ඔහු පුටුවකට බර වී දෑත් මත හිස ගසා ඉකි ගසන්නට වූයේ ය.සය වසරක් පුරා නොහෙළා දරා ගත් දරුණු වේදනාවන් ඒ කඳුලේ දිය වෙමින් ශූන්‍ය වන්නට පටන් ගත්තේ ය.

4.3 7 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
27 days ago

ලස්සනයි,හරිම ලස්සනයි දුව.බුදුසරණයි.

සුජා
19 days ago

අම්මා හරිම
දේ කරන්න බැරිව , දුකට පත් වෙච්ච ගෑනු දරුවන්ට පාඩම් උගන්නන්න යන්වා.