ඔබට ඇහෙනවනම් -43

4
2943

ශ්‍රීනාත් ගල්හේන ගේ මුහුණේ හොඳක් නොවූ බව මට දැනිණි. වෙනදා හැම මොහොතක ම ඒ මුහුණේ වන සිනහව කොහේදෝ පලා ගොස් තිබිණි. ඉඳ හිට මට විහිළුවක් කර හඬ නගා හිනැහුණ බවක් හෝ ඔහු ට අමතක ව ගොස් තිබුණා සේ ය. කුලාන් සමග වුව ඔහු කතා කළේ ඒ තරම් හිත හොඳකින් නොවේ. 

ගිලන් කුටියේ දැවැන්ත වීදුරු කවුළුව ළඟට වී මම සන්තාපයෙන් ඈතට පෙනෙන දසුන දෙස බලා සිටියෙමි. දුරට දකිත්දී ගෙන්දගම් පොළොව වුව සුන්දරය කියා හිතුණා ට ඒ සිතිවිල්ල දිග දුරට යා නො හැකි ව හිත හිර වී තිබිණ.  සමහර දේවල් හිමි වෙත්දී ඇතැම් ඒවා අහිමි වී යන්නේ හිතා ගන්නට බැරි විදිහට ය. ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ දයාව අහිමි කර ගෙන කුලාන් ගේ සෙනෙහස හිමි කර ගන්නට සැලැස්වීම විශ්වයේ සමබරතාව පිළිබඳ නියමය නම්, එය කෙතරම් අසාධාරණ දැයි මට සිතිණි. අනිත් අතට මේ විදිහට කුලාන් ගේ අතක පැටලී සිටියදී ගල්හේන මහතා ගේ නෙතට හසු වීම මගේ සිත් පීඩාව වැඩි කරන හේතුව විය. මා වූ කලී වරක් විවාහය බිඳ ගත් ගැහැනියකි. දැන් මා තැත් කරන්නේ සිය පුතණුවන් ගේ කරේ එල්ලෙන්න ට යයි ඔහු සිතාවි ය යන්න මට දරා ගත නො හැකි ම දෙය වූයේ ය. සාමාන්‍යයෙන් ලෝකයා සිතන ආකාරය එයයි. අසරණ වූ ගැහැනිය කියන්නේ ලෙහෙසියෙන් ම සිය අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කළ හැකි කෙළි බඩුවක් කියා ත්, ඔවුන් බලා සිටින්නේ තුත්තිරි කරලක් සේ කාගේ හෝ ඇඟේ එල්ලෙන්නට කියා ත් ඔවුහු තරයේ විශ්වාස කරති. මට ඒ ගොඩට වැටෙන්න ට කිසි දා උවමනා නොවූයේ ය. නමුත් කාර්යාලයේ පවා ඇතැම් පිරිමින් මා කිරා මැන බලන්නට උත්සාහ ගනිමින් ඇතැම් අවස්ථා වල කළ ඇතැම් අනවශ්‍ය විහිළු ගැන මට මතක ය. නිතර ම මා කටයුතු කළේ ඔවුන් ට කිසිදු අනුබලයක් නො සපයන ශක්තිමත් ස්ත්‍රීත්වයකිනි. නමුත් ඒ සියල්ල ගල්හේන මහතා මා කෙරේ තැබු විශ්වාස ඉදිරියේ ගඟ ට කැපු ඉණි සේ අපතේ ගියා වත් ද?

ශ්‍රීනාත් ගල්හේන මහතා කුලාන් ගේ ගිලන් කුටියෙන් නික්මුණේ යන බවක් මට කියන්නේ වුව නැතිව ය. ඒ කෙතරම් නම් දරුණු ප්‍රතික්ෂේප කිරීමක් ද? මට හැඬෙන්නට ආ තරමි. මම දිවගෙන වාගේ ගොස් දොර හැර ගෙන “සර්” කියා කතා කළෙමි. ගල්හේන මහතා මවෙත හෙළුයේ නො සැලකිලිමත් බැල්මකි. මගේ හදවත මගේ පය පා මුල ම කඩා වැටුණා සේ විය.

“මට සර්ට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද…”

මම හිතට දිරි ගෙන කතා කළෙමි. නමුත් ඇස් වලින් අනවසර කඳුළක් එළියට පැන්නේ ය.

“මටත් ඔය ළමයට කතා කරන්න ඕනෙ තමයි. ඒත් මේක ඒකට වෙලාව නෙවෙයි”

කිසිදු මොළොක් බවකින් තොර ව එසේ කී හෙතෙම නික්ම ගියේ මා අන්ත අසරණ කුරුකුහුඹු තත්වයකට පත් කරමිනි. මම බිඳී ගිය සිතින් ද අන්තයට ම දුර්වල වී ගිය කයින් ද යුතු ව දෙපා අද්දා ගෙන කුටිය තුළට ආවෙමි. මගේ ස්වරූපය අනුව කුලාන් යමක් වටහා ගන්නට ඇත. බරැති සුසුමක් හෙළමින් ඇස් වලින් මට ළඟට හඬ ගැසූ හෙතෙම, සුරත මගේ බඳ වටා යවා මා තවත් ලං කර ගත්තේ ය. මම ව්‍යාජ සිනහවකින් සන්තාපය මුවහ කිරීමේ අසාර්ථක උත්සාහයක් දැරුවෙමි.

“මං පොඩි ළමයෙක් නෙවෙයි. තේරුණාද? අවුරුදු ගාණක් වෙන රටක මං ජීවත් වුණේ තනියම. තාත්තා සල්ලි එව්ව තමයි. ඒත් තාත්තගෙ සල්ලි වලිං ජීවත් වෙන එක ටික ටික මං ආසම නැති දෙයක් වුණා. එතකොට මගෙ පොකට් මනි හොයා ගන්න මං රෙස්ටොරන්ට් වල පිඟන් හේදුව. ක්ලීනිං ජොබ් කළා. ඇඳුං අයන් කළා. පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගැහුව. ඕන තරං දේවල් කළා. ඉස්සරහටත් ජීවත් වෙන්න සල්ලි හොයා ගන්න ඕනම ජොබ් එකක් කරන්න මට පුළුවන්. මොකද…ජොබ් එකේ විදිහ අනුව මිනිස්සු මනින මිම්මක් මගෙ ළඟ නැති නිසා. කොටිංම මං අර කසුන් වගේ ෆැමිලි ලයිෆ් එක අම්මට හරි තාත්තට හරි ඕන විදිහට ප්ලෑන් කරන මිනිහෙක් නෙවෙයි. ඒක නිසා වෙන්න තියෙන දෙයක් වෙන්න අරින්න”

කුලාන් එක දිගට කියා ගෙන ගියේ ය. කලබල සිතින් අසා උන් මම හෙමිහිට මුණිවත බින්දෙමි.

“මිනිස්සු දෙයක් දෙන්නෙ තව දෙයක් හිලව්වට තියං සර්. සර්ව ලැබෙනවනං පුතාව ලැබෙන්නෑ. සර්ව ඕනෙ නං එම් ඩී සර් ගෙ කරුණාව ලැබෙන්නෑ”

මගේ හඬ බෙහෙවින් බිඳී ගොස් තිබිණි. සිත ද එසේ ය. නමුත් මම මඳහස මුවෙහි නතර කර ගෙන සිටියෙමි. ලෝකයෙහි වන්නේ තෝරා ගැනීම් ය. රිසි වූ හැම දෙයක් ම තෝරා ගන්නට බොහෝ විට අපට අවස්ථාව නො ලැබෙයි. දෙයක් ලැබෙත්දී තව දෙයක් අත්හැරී යාම ජීවිතයේ රටාවයි.

“කල්පනා කරන්නැතුව ඔෆිස් එකට ගිහිං වැඩ ටික බලන්න”

මම යන්තමින් හිස සැළුවෙමි. 

“ජීවිතේ පළ වෙනි පාරට මේ කෙල්ලෙක් නිසා ගුටි කෑවෙ. ඔයා මට කොච්චර දැනෙනවද කොච්චර වටිනවද කියල දැං මට වැඩියෙන් දැනෙනව”

“මං ගිහිං එන්නං සර්”

“නිකංම ඔහොම යන්නද හදන්නෙ…”

කියමින් ඔහු යහනින් බැස ගත්තේ ය.

“ඔය…බලාගෙන”

“මට ඉක්මනට අපේ ගෙදරක් ඕනෙ”

ඔහු මගේ දෙඋරහිසින් අල්ලා ගත්තේ ය. මම ඒ අතක් මගේ සුරතින් අල්ලා ගතිමි.

“මට මහන්සියි නිම්නා. ඒ මහන්සි නිවන ගෙදරක් මට ගොඩාක් ඕනෙ කියල දැනෙනව”

මා කුමක් කියන්න ද? කිසිත් පවසා ගත නො හැකි ගොළු බවකින් උගුර හිර වී තිබිණි.

“තාත්තලට කියන්න ඩේට් එකක් දා ගන්න කියල. අපි පුංචියට ළඟම අයට විතරක් පාටි එකක් දීල අපාට්මන්ට් එකක හරි පදිංචි වෙමු”

“සර් ට…ගොඩාක් ප්‍රශ්න එයි සර්”

බිඳුණු හඬින් ම මම කියා ගතිමි. ඔහු මාව සිය පපුතුර හොවා වැළඳ ගත්තේ ය. ඒ උණුහුම් පහස පතා සිටියා සේ මම ඔහු ට කීකරු වීමි.

“මේ විදිහට හරි තාත්තා දැන ගත්ත එක හොඳයි. දැං ඉතිං එයා කියයිනෙ එයාගෙ තීරණේ”

“මං දන්නව ඒ තීරණේ. එම් ඩී  සර් ගෙ මූණෙ ඇඳෙන හැම රේකාවකම වගේ තේරුම මට තේරෙනව සර්. එම් ඩී සර් මං ගැන කලකිරුණා”

කුලාන්  ගේ ග්‍රහණය දැඩි වෙනවා මට දැනිණ. තවත් තත්පර කිහිපයක් ඒ උණුහුම විඳ ගත් මම ඔහු ගෙන් මිදී ආවෙමි.

අශිකා සියල්ල අසා උන්නේ දෑස් මහත් කර ගෙන ය. සිදුහත් කුමරු බැහැ දකින්නට ආ අසිත තවුසා සේ මුලින් ඇය මඳහස පෑවා ය. ඊළඟට ඒ තොල් කොනක් සැලී යනවා මම දුටිමි.

“කුලාන් මං කැමතිම විදිහෙ කොල්ලෙක්”

මම බොරු නෝක්කාඩු මූණක් පෙන්වීමි.

“ඔහොම බැලුවට මට කුලාන් ව ඕනෙ කිව්වොත් ඔයා කේන්ති ගන්නෙ නැතුව කුලාන් එක්ක ඒ ගැන කතා කරන්න වුණත් පුළුවන් කෙල්ලෙක් කියල මං දන්නව”

“අ…ශී. කුලාන් සර් වගේ ම ඔයත් මාව ඕනවට වඩා විශ්වාස කරනව. ශ්‍රීනාත් සර්ත් එහෙම කරල…මං ඒ විශ්වාසෙ කඩල දාපු වේදනාව තාමත් මාව පුච්චනව”

“නිම්නා”

අශිකා බරැති සුසුමක් හෙළුවා ය.

“ශ්‍රීනාත් ගල්හේන කියන්නෙත් සල්ලි ගොඩ වැඩි කර ගන්න බලන තවත් මනුස්සයෙක්නෙ. වෙන වෙන ලොකු දේවල් ඒ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන එක භයානකයි. මෙතනිං එහාට ඔයාට පරිස්සමට අඩිය තියන්න වෙයි. මොකද ඔයා කියන්නෙ ගල්හේන ට තවත් එක සේවකයෙක් වෙන්න මේ හොඳට ම ඇති”

හිතේ බරක් වූ බය ඇත්ත ය. නමුත් මම සන්සුන් ව වැඩ ටික කර ගෙන ගියෙමි. කුලාන් ට ඒ හැටි අමාරුවක් නොවන බවත්, ඔහු ට පහර දීම කසුන් ගේ වැඩක් බවත් කියා අම්මා ට දුරකතන ඇමතුමක් දුන්නෙමි. නමුත් ගල්හේන මහතා අපතර ඇසුර ගැන දැනගත් බව කියන්නට මගේ හිත නැවුණේ නැත. අම්මා ටත් වඩා තාත්තා ඒ ගැන කල්පනා කරන බව දන්නා නිසාවෙනි.

“කොල්ලෙක් බැඳපු ගෑනියෙක්ට සෙට් වුණොත් ඉතිං ඉවරයි තමයි. මේව කාට කාටත් හොඳ පාඩං”

ගිනුම් අංශයේ වැඩ කරන මැදි විය ඉක්මවමින් හිඳින කාන්තාවක් මට ඇහෙන ලෙස තරුණයෙකු ට කීවා ය. මම නෑසුණා සේ එතැනින් ආවෙමි. ඔය වගේ දේ වලට හිත නො රිදවා ගත යුතු බව මම මගේ ම හිතට කීවෙමි. ඇය අසාර්ථක පවුල් ජීවිතයක් ඇතුළේ විඩාවට පත් ව හිඳින බව අශිකා මට කියා තිබිණි. ඒ නිසා ඇයට අනුකම්පා කළ යුතු බවත් මම දැඩි ව සිතා ගතිමි. මිනිසුන් ගේ දුර්වලතා වල ට පළි ගන්නේ නැති ව ඒවා ට අනුකම්පා කිරීම නිසා හිත සැහැල්ලු වේ. නමුත් ඒ තත්වයට හිත පමුණුවා ගැනීම පහසු නැත.

හැන්දෑවේ මාත් එක්ක රෝහල වෙත යන්නට අශිකා ද සූදානමින් සිටියත්, ඊට පෙර කුලාන් ව රෝහලෙන් නිදහස් කොට තිබිණි. මට මේ උසස් වීම ලැබී නො තිබුණා නම් අද මෙහි රැඳී හිඳීම කෙතරම් අසීරු විය හැකි ද කියා සිතෙන තරමට අමුතු බැල්මවල් හතර අතින් මදෙස ට එල්ල වෙමින් තිබිණි. ගැහැනියක ට ඒවා ට මුහුණ දීම පහසු නැත. මෙවන් අවස්ථාවක රැකියාව හැර දමා යාම ට වුව කෙනෙකු පෙළඹෙන්නට බැරි නැත.

“මිනිස්සුංව නොමරා මරන්න අපේ මිනිස්සු හරි කැමතියි. අනුකම්පා කරන විදිහට අසරණ මිනිහෙක් ව බිමටම චප්ප කරල දාල විකෘති සතුටක් ලබා ගෙන දූපත් මිනිස්සුන්ගෙ ජාන වලම තියෙන පහත් ගතියක් ද කොහෙද…අපිත් ඇතුලුව මේ මිනිස්සු මහාද්වීප හරහා මහාද්වීප අතරේ යන්න ඕනෙ නිම්නා. කොච්චර පළල් විදිහට මිනිස්සු ලෝකය දිහායි මිනිස්සු දිහායි බලනවද කියල එතකොට අපේ අයට හිතා ගන්න පුළුවන් වෙයි”

මගේ හිත හැදෙන්නට දෝ අශිකා බොහෝ දේවල් කීවා ය. නමුත් මහිත පුරා සරමින් සිටියේ ශ්‍රීනාත් ගල්හේන ම ය. කෙනෙකු තමන් කෙරේ තැබූ විශ්වාසක් බිඳ වැටෙන එක මා දැන සිටියාත් වඩා හුස්ම හිර කරවන සුළු අත්දැකීමකි. 

දුරකතන ඇමතුමක් දී කුලාන් කාර්යාලයේ වැඩ ගැන විමසුවේ ය. 

“තාමත් බයෙන් නේද ඉන්නෙ ඔයා…”

රාජකාරී කතා බහෙන් අනතුරු ව ඔහු ස්වරයේ තානය වෙනස් කරමින් ඇසුවේ ය. මම මඳහසක් පමණක් පෑවෙමි.

“මං මේ ජීවිතේට හරි කැමතියි නිම්නා”

ගැහැනියක නිසාවෙන් රෝහල් ගත වන තරමට ගුටි කෑමෙන් පසුත් ඔහු එහෙම කියන්නට හේතුවක් සොයා ගන්නට අපහසු වුණත්, ඒ සිතිවිල්ල මා සිනහවෙන් පුබුදු කළේ ය.

“මං දන්නව දැං ඔය මොකක් හිතලද හිනා වුණේ කියල”

“හා මොකද්ද…”

“කසුන්ගෙන් ගුටි කාපු නිසාද ආස කියලනෙ…”

“මොනා වුණත් සර්ට සාස්තර කියන්න පුළුවන්”

මොහොතකට සැහැල්ලු හා මිහිරි වූ අවකාශයක් හාත්පස පැතිරිණි. නමුත් ඇසිල්ලකින් ඒ සියල්ල අත් හිටුවන්නට සිදු වූයේ ය.

“එම් ඩී සර් ඇවිත්”

එපමණක් කියා මම සබඳතාව බිඳ දැමුවෙමි. අශිකා ඇස් වලින් යන්නම් කියමින් අසුනෙන් නැගිට ගත්තා ය. ශ්‍රීනාත් ගල්හේන මහතා කෙලින් ම මගේ කුටියට ඇවිදින් පුටුව ඇද හිඳ ගත්තේ ය. මම අසුනෙන් නැගිට සිටියෙමි.

“නිම්නා ඉඳගන්න”

මගේ තොල කට වියළී යමින් තිබිණි. ඒ හඬ මට ඒ තරම් ආගන්තුක හා දුරස්ථ වන දවසක් ඒවියි නිකමට හෝ අතීතයේ දී මට සිතී තිබුණේ නැත.

“ඇත්තටම මං හිතුවෙ නෑ නිම්නා මේ තරං මෝඩ ළමයෙක් කියල”

මම හිස වඩාත් බිමට හරවා ගතිමි. මට දැනුණේ පොළොව පලා ගෙන එහි හැංගෙන්නට හිතෙන තරම් ලැජ්ජාවකි.

“මීට වැඩිය මිනිස්සු ගැනයි සමාජෙ ගැනයි ඔයාට අවබෝධයක් තියෙනව කියලයි මං හිතුවෙ. ඒකයි මං බය නැතුව කුලාන් එක්ක වැඩ කරන්න නිම්නාට පවරලා මෙතනින් ටිකක් නිදහස් වුණේ. ඒත් මොකද්ද ඔය ළමය මේ කළේ”

ආයේ නම් එක දවසකට හෝ මෙතැන වැඩට නො එන්නෙමැයි ඒ මොහොතේ මම තදින් සිතා ගතිමි.

5 2 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
4 months ago

ශ්‍රීනාත් සර් නිම්නට ආදරෙයි. මට හිතෙනව කැමැත්ත දේවි කියල ❤️

Madhushika
4 months ago

මටත්..

Sudharshana Abeyrathne
4 months ago

Kelin katha karanda. Nimna.
Galhena mahaththayata Nimnawa ridawanda denda epa ne?

Chamira
4 months ago

👍