ඔබට ඇහෙනවනම් – 44

4
2380

වීදුරු බිත්ති වලින් පිටත සිට කොකම් පාන ස්ත්‍රී පුරුෂයන් ව බොඳ සිතුවම් සේ මට පෙනෙමින් ද නො පෙනෙමින් ද තිබිණි. මා සිටියේ කැළඹීමක ය. නමුත් ඒ මිනිස් මුහුණු වල සේ ම සිත් සතන් තුළ ද වූ සන්තුෂ්ටිය මට අනුමාන කළ හැකි වූයේ ය. කුලාන් ට සිදු වූ මැර ප්‍රහාරය ගැන දැන් හැම කෙනෙක් ම දනිති. එය හා මේ විදිහට උන් හිටි ගමන් ශ්‍රීනාත් ගල්හේන මහතා මගේ කුටියට කඩා වැදීම ගැන සම්බන්ධයක් ගොඩ නගා ගන්නට ඔවුන් ප්‍රමාද වන්නේ නැත. දැන් කට්ටිය බලා ඉන්නේ ගල්හේන මහතා මගේ අස්වීමේ ලිපිය ලියා දී යන තුරු බව ද මගේ උප විඥාණය මට මතක් කර සිටියේ ය.

“නිම්නා. සැරයක් තමුං ජීවිතේ වරද්ද ගත්තා. මං අහන්නෙ එහෙමයි කියල හැමදාම වැරදෙන්න ඕනද….ආ….මොළේ කල්පනා කරල තමුන්ට ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන එක වරදක් කියල මං කියන්නෑ. ඒත් මේ විදිහට නන්නත්තාර වෙන්න හදන්නෙ ඇයි…ආ…”

මගේ පපුවෙන් ඉකියක් නැගී ආවේ ය. නමුත් එය මුවින් බිඳී ගියේ නැත. ඒ ආත්ම අසරණකම කොහොම එකක් ද කියා පැහැදිලි කර කියන්න ට මම නො දනිමි. 

“ඔය දරුවට මං හරි ආදරෙයි. මගෙම දුවෙකුට වගේ”

“අනේ සර්…”

මගේ හදවත ඔහු ගේ දෙපා පාමුල වැටී එහෙම වැළපුණේ ය. නමුත් මුවින් කෙඳිරියකුදු පිට නොවූ බව මට සහතික ය.

“කුලාන් මගෙ පුතා තමයි. ඒත් ඔය පෝරිසාදය ගැන මං හොඳට දන්නව. මං මේ කියන්නෙ ගෑනු ළමයි ආශ්‍රය ගැන. නිම්නා ටික කාලෙකට කුලාන් ගෙ සෙල්ලම් බඩුවක් වෙනව දකින්න මට ඕන නෑ. ඒක නිසා ඔය සම්බන්දෙ නවත්තන්න ඕනෙ. මේ දැන්ම”

මට ඉකිබිඳී හැඬුණේ එවිටයි. බෝ වෙලාවක් අඳුරු ලලා තිබි අහසින් එක් වන ම අක් වැස්සක් වැටෙන්නට පටන් ගත්තා සේ ය.

“මං හිතුවෙ නෑ නිම්නා කුලාන් ගෙ දැලට අහු වෙන්න තරං ඔය ළමය දුර්වල වෙයි කියල. මං දැකපු ශක්තිමත් නිම්නාවත් වෙනස් කළා එහෙනං අපේ ඉලන්දාරිය”

බුදුන් පා මුල සේ ඔහු පා මුල වැඳ වැටෙන්නට මට ඕනා වූයේ ය. මා මත ඔහු තැබූ ඒ අචල විශ්වාසය බිඳ වැටෙන යමක් මගේ අතින් සිදු නොවූ බව කිව යුතු වූයේ ය. මා ළඟ සිටින කුලාන් වූ කලී ගල්හේන මහතා දන්නා කුලාන් නොවේ කියා හෝ කිව යුතු වූයේ ය. නමුත් මම ඒ කිසිත් කියා ගන්නට හැකි තරම් ඒ වෙලාවේ ශක්තිය ඇත්තියක නො වුණෙමි.

මා සෙල් පිළිමයක් බවට පත් කොට තබා හෙතෙම නික්ම ගියේ ය. අශිකා දිවගෙන මවෙත ආවා ය.

“මොනාද සර් කිව්වෙ…”

“මට බැන්නා. මට හිතා ගන්න බෑ අශී”

මම කම්මුල් වල වූ කඳුළු පැල්ලම් මකා දැමුවෙමි. නමුත් අලුත් පාරවල් දිගේ අලුත් කඳුළු ගලා ගියේ ය.

“ඉතිං…”

“සර් බයේ…කුලාන් නිසා මං ආයෙමත් නැති නාස්ති වෙයි කියල. එයාගෙ පුතාට වඩා එයා හිතුවෙ මං ගැන අශී. මේ මිනිස්සු අතරෙ…වැඩිපුර තිරිසන්නු වගේ මිනිස්සු අතරෙ දෙවිවරු වගේ අයත් ඉන්නව අශී”

“ඔයා ලකී. ඔයා මේ සසරෙදි පිං ගොඩක් එකතු කරල ඇති. මේ ආත්මෙත් ඔයා සාමාන්‍ය කෙල්ලෙකුට වඩා ඉස්සරහිං ඉන්නෙ ඒක වෙන්න ඇති. ඒව බොරු නෙවෙයි නිම්නා. අපි මේ ගමන යන්නෙ හිස් අතින් නෙවෙයි. අපි කරපු හොඳ නරක වල විපාකත් එක්කයි”

අශිකා එහෙම කීවාට මේ ගැන දැන ගත් වෙලේ කුලාන් තරමක් නො සන්සුන් වූයේ ය.

“තාත්තට පිස්සු. කොහොමත් කවදත් එයාට මං ගැන විශ්වාසයක් තිබුණෙ නෑනෙ”

දුරකතනය ඔස්සේ මගේ සවන් මත පතිත වන ඉලෙක්ට්‍රොනික හඬෙහි කැළතුණ සංවේගයක සලකුණු මට හැඳින ගත හැකි විය.

“සර්ගෙ චර්යාවල් ගැන එම් ඩී සර් කල්පනාවෙං ඉඳල තියෙන්නෙ…ඒකයි”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -25

මා උත්සාහ කළේ විහිළුවක් කොට එතැන වූ පීඩනය තුනී කොට දමන්නට ය.

“තරුණ කොල්ලෙක් ට ගේ ඇතුළෙදි කොච්චර ආදරයක් අවධානයක් ඕනෙද කියල තාත්තල හරියට තේරුං ගත්තනං…අපිත් ඒ විදිහට ආදරේ හොය හොය තැන් තැන් වලට නොයන්න තිබුණා නිම්නා”

කුලාන් කී දේ නිසා මගේ ඇතුළාන්තය දෙදරා යනවා මට දැනිණ. මා ද ඇතුළු ව මුළු මහත් සමාජය ම කුලාන් ලා සේ ම කුෂ්ලානි ලා ත් බිහි කිරීමේ වරදට වැරදි කරුවෝ වෙති. යොවුන් සිතක් කියන්නේ ආදරය ඉව කරන සිතකි. ගේ ඇතුළේ දි දරුවන් ට අවශ්‍ය ආදරය හා අවධානය ලබා දෙන්නට දෙමාපියන් හා වැඩිහිටියන් කල්පනාකාරී වෙනවා නම්, ආදරය සොයා ගෙන ඔවුන් ට පාරට බහින්නට සිදු වන්නේ නැත.

“තාත්තා ආන්ටිව මැරි කළාට පස්සෙ මට දැනුණෙ අම්මා විතරක් නෙවෙයි තාත්තත් මට නැති වුණා වගෙයි. මන්දන්නෑ තාත්තා එහෙම කරන්න නැතුව ඇති. ඒත් මට දැනෙන්න එයා මට ආදරේ පෙන්නුවෙ නෑ. එතකොට මං ඒ ගේ ඇතුළෙ තනි වෙන්නෙ නැද්ද නිම්නා…”

“මට සර්ව තේරෙනව”

“අන්තිමට තාත්තම මං ආදරේ විඳින්න හොයා ගත්ත කෙල්ලව මගෙං ඈත් කරන්න හදනව. ඒ කෙල්ලව මගෙං බේරගන්න හදනව”

ඔහු ගේ හඬෙහි වේදනාත්මක බරක් විය. 

“සර්…එහෙම හිතන්න එපා”

“තාත්තා හිතන්නෙ මං කවදාවත්ම ආදරයක් විඳින්න ඕනෙ මිනිහෙක් නෙවෙයි කියලද…මගෙ ගෙදර කියන හැඟීමෙන් ආදරේ තියෙන තැනක ජීවත් වෙන්න ඕන මිනිහෙක් නෙවෙයි කියලද…”

“සර් මේක දිහා බලන්නෙ මානුෂීය පැත්තකිං කියල හිතෙන්නෙ නැද්ද…මං කලිං බැඳපු කෙනෙක්…මට ළමයෙක් ඉන්නව…මං සාමාන්‍ය පවුලක ලොකු දෑවැද්දක් නැති කෙල්ලෙක් වගේ අමානුෂික කාරණා මතු කළානං එහෙම…අපිට කවදාවත් ම සර්ගෙ ආශිර්වාදයක් ගැන හිතන්න බැරි වෙයිනෙ…”

මගේ වචන වලට ඔහු තරමක් මෙල්ල වන්නට ඇත. තුවාල හා වේදනා තිබියදීත් කුලාන් පසු දා කාර්යාලය ට ආවේ ය. මේ ගැන මම ඔහු ට නෝක්කාඩු කියමින් සිටියෙමි.

“තව දවසක් දෙකක් ගෙදර ඉන්න තිබුණනෙ. සර් රෙස්ට් කරන්න ඕනෙ. අනිත් එක අර කසුන් කියන මනුස්සය ඉස්සරහට මොනා කරන්න හිතං ඉන්නවද කවුද දන්නෙ…”

“ඔයා හිතන්නෙ කසුන් කියන්නෙ මට මහ ලොකු මිනිහෙක් කියලද…එක පොලිස් කම්ප්ලේන් එකකින් මට මිනිහව අරෙස්ට් කරන්න තිබුණා. හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හිටියනං අඩු ගානෙ සති දෙකකටවත් රිමාන්ඩ් කරන්න තිබුණා. ගැරඬිත් එක්ක හැප්පි හැප්පි ඉන්න මට වෙලාවක් නෑ”

මගේ දෙතොල් සිනහවකට ඇද විය. නමුත් ඇස් වල වූයේ ආඩම්බරයක් බව මට විශ්වාස ය.

“ඇයි…දැං ඔය හිතන්නෙ ඔයාගෙ එක්ස් හස්බන්ගෙන් මං ගුටි කාලයි ඉන්නෙ කියලද…”

“අපෝ නෑ. ඔයාගෙ තාත්තගෙං තමයි ගුටි කන්න නියමිත කියල”

“ඒකෙත් හැටි. ඒ ගමන මට තාත්ත එක්කයි ෆයිට් කරන්න වෙලා තියෙන්නෙ. වෙන තාත්තල කෙල්ලගෙං පුතාව බේරගන්න බලනව. අපේ තාත්තා කෙල්ලව පුතාගෙං බේරගන්න හදනව”

මම දෝතින් මුව වසා ගෙන හිනැහුණෙමි. ශ්‍රීනාත් ගල්හේන මහතා එතකොට ම කාර්යාල පරිශ්‍රය වෙත පිවිසියේ ය. කාර්යාල කාර්ය සහායක සරත්, කලමණාකාර අධ්‍යක්ෂක ගල්හේන මහතා ගේ කුටියේ දොරගුළු හරිනු අප බලා ගෙන ය. 

“රූම් එක අරින්නෙ…තාත්තා මොනා කරන්නද හදන්නෙ…”

කුලාන් එසේ කියනකොට ම සරත් මගේ කුටිය ඉදිරියේ ය.

“නිම්නා මිස්ට සර් කතා කරනව”

කුලාන් ගේ හා මගේ කුටි දෙක වන්නේ එක වීදුරු බිත්තියකින් වෙන් වන සේ එකිනෙක ට යාව ය. ශ්‍රීනාත් ගල්හේන මහතා සඳහා වෙන් වී තිබුණේ මගේ කියුබිකලයට ඉදිරියෙන් වූ වඩා විශාල කුටිය ය. ඒ දෙක අතරේ පුළුල් කොරිඩෝරයකි. මම මගේ කුටියෙන් පිටතට පැමිණියෙමි. කුලාන් මා පසු පස පිටතට ආවත් කලමණාකාර අධ්‍යක්ෂක කුටිය වෙත පිවිසියේ මා පමණකි.

“ගුඩ් මෝනිං සර්”

“ගුඩ් මෝනිං. නිම්නා…අද ඉඳල ආයෙත් මං ඔෆිස් එනව. මං හිතුවට දැං ඉතිං රෙස්ට් කරන්න පුළුවන් කියල…ඇත්තටම එහෙම කරන්න පුළුවන් තත්වයක් නෑ”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -43

යටි තොල සපා ගෙන මම බිම බැලුවෙමි.

“නිම්නා මාත් එක්ක මෙතන වැඩ පල ගැන කතා කරමුකො…ම්…”

මා කුමක් කියන්න ද? අශිකා නම් බඩ අල්ලා ගෙන සිනහ වූවා ය. නමුත් කොහොම මා මට ම සිනහ වෙන්න ද? මම හැකි තාක් කුලාන් එක්ක කතා බහ අඩු කරමින් සිටියෙමි. වීදුරු පව්ර ඔස්සේ පෙනෙන ඒ නෙත්සර පහර වූවා මා මගහැර සිටියා විය යුතු ය. ඒ සියල්ල ඉවසා ගත නොහැකි මොහොතක ඔහු කඩා බිඳ ගෙන මගේ කුටියට වැදිණි.

“මොකද්ද දැං මෙතන වෙන්නෙ…”

මම බිරාන්ත ව බිම බැලුවෙමි.

“මං ප්‍රශ්නයක් ඇහුව. ඒකට උත්තරේ බිම බලා ගන්න එක නෙවෙයි නිම්නා”

“සර්…පොඩ්ඩක් කලබල නොවී ඉමුකො. ශ්‍රීනාත් සර් ආයෙ ඔෆිස් එනව කිව්ව. මට සර් එක්ක වැඩිය ගනු දෙනු තියාගන්න ඕන නෑ කිව්වා”

“පිස්සු”

ඔහු පුටුව කැරකී විසි වෙන තරම් වේගයකින් නැගිට ගත්තේ ය.

“සර්”

මම ඔහු නතර කරන්නට කතා කළෙමි. නමුත් පෙරළෙන ගලක් මකුළු දැල් බැඳ කොහොම නතර කරන්න ද? 

“මොකද්ද තාත්තෙ මේ විකාරෙ…”

කුලාන් ගේ හඬ උස් ව නැගුණේ ය. මගේ හද ගැස්ම පිටතටත් ඇසෙමින් තිබිණි. ඒ වෙලාවේ ශ්‍රීනාත් ගල්හේන මහතා ට පුවත්පත් වල අලෙවි වාර්තා ගැන තොරතුරු සපයමින් සිටි අශිකා මට ඇතුළේ වූ කතා බහ ගැන කීවා ය.

කුලාන් හඬ නගා ගෙන ඇතුළට ගියා ට ගල්හේන මහතා කතා කොට ඇත්තේ සන්සුන් ව නිවුණු හඬකිනි.

“මොකද්ද කුලාන් විකාරෙ…”

“විකාරෙ තාත්තා මේ විදිහට ආයෙ ඔෆිස් එන්න හිතපු එක”

“ඒක කොහොමද විකාරයක් වෙන්නෙ…මේක මං ගොඩනගපු බිස්නස් එක. මේ බිල්ඩින් එක කුලාන් ආවට පස්සෙ ගත්තා තමයි. ඒත් මේ බිස්නස් එක ගැන ඕනම වෙලාවක හොයල බලන්න මට මෙතනට එන්න යන්න පුළුවන්”

“තාත්තා බිස්නස් එකට මොනා කර ගත්තත් මට කමක් නෑ. මට මේව ඕනත් නෑ. හැබැයි මතක තියා ගන්න රෙස්ටොරන්ට් එකක පිඟන් හෝදල ජීවත් වෙන්න හරි මං නිම්නාව අරං වෙන රටකට යන එක යනවමයි කියන එක”

“වහගන්නව කට”

ගල්හේන මහතා නැගී සිට ඇත්තේ කුලාන් ගේ ඒ තර්ජනයත් එක්ක ය. බහින් බස් වීම පෞද්ගලික කාරණයක් මත නිසා අශිකා එතැනින් නික්මෙන්නට අසුනෙන් නැගිට තිබේ.

“අශිකා ඉන්න. අශිකා නිම්නාගෙ යාළුවනෙ. ඔයා දැන ගන්න එක හොඳයි මෙතන වෙන කතා බහ මොනාද කියල”

කුලාන් අශිකා ව වළකා තිබෙන්නේ එසේ කියා ය.

“කුලාන්. මං මේ බොහොම හොඳින් කියන්නෙ. නිම්නාව අත්ඇරල තමුං ඕන නැටුමක් නටා ගන්නව. අර කුෂ්ලානි කියන ගෑනු ළමයට කතා කරල තමංලගෙ වෙඩින් එක ඉක්මනට ඉවර කරනව”

ගල්හේන මහතා කුලාන් වෙතට දබරැඟිල්ල දිගු කොට දැඩි ව අවධාරණය කොට තිබේ. කුලාන් අශිකා ට යාබද පුටුව ඇද ඒ මතට වැටුණේ ය.

“තාත්තෙ. කුෂ්ලානි එක්ක මගෙ තිබුණ අෆෙයා එක නතර වෙලා දැං අවුරුදු ගාණක්. එයා ලංකාවට ඇවිත් තියෙන්නෙ මෙන්ටල් ඇබ්නෝමිලිටි එකක් එක්ක. දැං එයාට ඒකට ට්‍රීට් කරනව”

“ඔව්…තමුං නිසා කෙල්ලොන්ට පිස්සු හැදෙනව තමයි. එහෙදිත් එහෙ යන්න කලිනුත් තමුං මොනාද කළේ කියල මං හොඳට දන්නව කුලාන්. හැබැයි නිම්නා කියන්නෙ තමුං සෙල්ලං කරපු ජාතියෙ ගෑනු ළමයෙක් නෙවෙයි. අන්න ඒක මතක තියා ගන්නව”

“තාත්තෙ. මං නිම්නාව මැරි කරනව. තාත්තා ඒක පිළිගන්න”

විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයකින් පසු එසේ කියා කුලාන් එතැනින් නික්මී තියේ. ඔහු කුටියෙන් බැහැර ව ගියේ බිම බලා ගෙන ය. නිකමට හෝ මදෙස බලන්නේ නැතිව ය. මහ වැස්සකින් සෝදා පාළු වී ගිය බිමක් බඳු නිස්සාර බවක් මට දැනිණ. නමුත් මා ඉදිරියට අලුත් ස්වරූපයකින් පැමිණ තිබූ අභියෝගයට කොහොම මුහුණ දෙන්න ද කියා නිසි අවබෝධයක් මට වූයේ නැත.

3.9 12 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
23 days ago

❤❤❤ Mr Srinath.. ඒ වගේ අයත් ඉන්නවද මේ ලෝකෙ?

Anuradha silva
23 days ago

So confused😩

Chamira
23 days ago

👍

දිල්හාරා ❤️
23 days ago

කරකවල අතෑරියා වගේ දැන්…. ❤️