ඔබට ඇහෙනවනම් -45

2
2543

ඉනික්බිති උදා වූයේ ජීවිතයේ මෙතෙක් ගෙවූ ලස්සන ම කාලය කියා මම හිතමි. නව යොවුන් විය ගෙවා විත් තිබුණත්, ඊට පස්සේ අපට මුණ ගැහෙන්නට හෝ කතා බහ කරන්නට වූයේ උසස් පෙළ පෙම්වතුන් ට සේ රහසින් හා බියෙනි. ශ්‍රීනාත් ගල්හේන මහතා මා තුළ ඇති කරවූයේ ත් තාත්තා නිසා ඇති වූ බිය ම ය.  බාලිකාවේ කොටු පවුරට එපිටින් සිටින කොල්ලන් දෙස මුරකරු ට හොරෙන් බැලුම් හෙලු යුගයේ ඇති වූ චමත්කාරය ම ය.

“මොකද්ද අප්ප මේ වුණේ…”

කුලාන් වට්ස් අප් පණිවුඩයක් එව්වේ ය. මම ඔහු ට සිනා මූණක් යැව්වෙමි.

“ඔයාට නං හිනා”

ඔහු කියා එව්වේ තරහ මූණක් ද එක්ක ය. අප අතර අලුතෙන් ඇති වී තිබූ පරතරය ආදරයේ මිහිර තවත් දැඩි කළා කියා මම සිතමි.

“දැක්කද…ඔයාගෙ තාත්තා ඔයාට වඩා මට ආදරෙයි”

කුලාන් හිනා මූණු පෙළක් එව්වේ ය.

“ඔයාගෙ තාත්තා නෙවෙයිනෙ මට ඔයාව දෙන්න බෑ කියන්නෙ”

“ඔයත් දවසක ඔයාගෙ දුවෙක්ව එහෙම පරිස්සං කරයි. තාත්තල එහෙමයි”

“නිම්නා”

“ම්…”

“මට ඔයාව මීට් වෙන්න ඕනෙ. ඔයත් එක්ක කතා කරන්න ඕනෙ. ගොඩක් වෙලා ඔයා දිහා බලං ඉන්න ඕනෙ. තාත්තට හොරෙං හවසට මීට් වෙමු”

අලුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි මගේ කුටියේ වීදුරු කවුළුවෙන් පෙනෙන මහරගම නගරය දෙස මම බලා සිටියෙමි. ඈතින් වන මහල් ගොඩනැගිලි ගිනි පෙට්ටි සේ දිස් වේ. නගරය කියන්නේ සොබා දහම මරා ගෙන උපන් දෙයක් වූවා ට, මෙහෙම දකිත්දී නගරයත් කෙතරම් සොඳුරු ද කියා මට සිතිණි.

අශිකා එක්ක සාප්පු සවාරියේ යනවා කියා එදා හැන්දෑවේ මම කාර්යාලයේ වෑන් රථය මගහැරියෙමි.  කවුරුන් හෝ දැක ශ්‍රීනාත් මහතා ට කේලාම් කියාවී කියන සැකය මත අපි ඇත්තට ම ඇඳුම් සාප්පුවක් වෙත ගියෙමු. කුලාන් ද එහි ආවේ ය. 

“තාත්තා ඔයාගෙ පස්සෙං රහස් පොලිස්සිය එවලද දන්නෑ”

කුලාන් මට සමීප වූයේ සිනා සී එහෙම කියමිනි. ඔහු ගේ ඇස් වල මම වෙනදා ට ත් වඩා විසල් ස්නේහයක් දුටිමි. තරමක් දුරින් සිටිය දී ආදරය දලු ලා වැඩෙන බවට වන කතාව සත්‍යයකි.

“මේ උදව් නිකංම කරන්න බෑ සර්”

අශිකා විහිළු කළා ය. මම සෙනෙහසින් ඇගේ අතක් අල්ලා ගතිමි. 

“කරනවනං කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳ බෝයි කෙනෙක් හොයල දෙන එක”

මා එය කීවේ ඇත්තට ම ය. හදවතින් ම ය. 

“අනේ අනේ මේ”

ඇය ඒ කතාව මග හැර ගියාට, පිරිමියෙකු ගේ ඇල්ම බැල්මෙන් ඈත් වී හිඳින ස්ත්‍රී ආත්මයකට දැනිය හැකි හුදෙකලාව ගැන මා නො දන්නවා නොවේ. අශිකා ත් ජීවිතයේ යම් අවස්ථා වල හෝ ඒ තනි කම තුරුලු කර ගෙන වැළපෙනවා යි නො සිතිය හැකි ද? ඈ දරුවෙකු ගෙන ඇති දැඩි කරන්නට හිතන්නේ ත් ඒ තනි කම දරා ගත නො හැකි යම් අවස්ථා වලට ඇය මුහුණ දී ඇති නිසාවෙනි. තනි වූ ගැහැනියක් ඒ තනි කම ආශිර්වාදයක් සේ ලෝකයට පෙන්වන උත්සාහයක් දැරුවා ට, ඒ තනිකම තුළ ඇය විඳවන අවස්ථා ද නැතිවා නොවේ!

ඇදුම් සාප්පුවෙන් පිටතට ආ අපි රථ ගාලෙහි නවතා තිබූ කුලාන් ගේ රිය වෙත ගියෙමු. අශිකා එතැන දී සමු ගන්නට හැදුවා ය. 

“නෑ නෑ අපිත් එක්ක යං. නේද සර්…”

මම ඇගේ අතක් තද කොට අල්ලා ගෙන සිටියෙමි.

“ඔව්. අශිකාව ගේ ළඟින් ඩ්‍රොප් කරන්නං”

“පිස්සුද පිසසුද….ආයෙ හෙටත් කියන්න බෑනෙ ශොපින් යනව කියල. මං බස් එක ගන්නං. ඕගොල්ලො නිදහසේ කතා කරන්න”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -36

කියමින් ඕ පලා ගියා ය. වාහන තදබදය තුළ කුලාන් හෙමිහිට රිය පැදවූයේ කල්පනා කරමිනි.

“නිම්නා…”

“ම්…”

ආදරය හදවත වාන් දමමින් තිබෙනවා දැනුණේ ය.

“දැං මේකට මොකද්ද කරන්නෙ අපි…”

මම ඒ මූණ දෙස බලා සිටියෙමි. සුරතින් ස්ටියරින් වීලය අල්ලා ගෙන ඔහු සිය වමතින් මගේ දකුණත අල්ලා ගත්තේ ය. ප්‍රේමයේ උණුහුම් ම හැඟුමන් සහුදායකින් මම නැහැවී යමින් සිටියෙමි.

“මං දන්නෙ එක දෙයයි සර්”

“මොකද්ද…”

“සර් නැති තැනක දැං මට හුස්ම ගන්න බෑ කියල විතරයි”

 ඔහු සිය අතේ ග්‍රහණය දැඩි කළේ ය. 

“පැනල යන්න තමයි වෙන්නෙ දැං තියෙන තත්වෙ හැටියට”

ඔහු සිනහවකික් කීවේ ය. මම ඒ සිනහවෙහි අතරමං වෙමින් සිටියෙමි.

“ඩිවෝස් වුණාට පස්සෙ මං හිතුවෙ ආයෙත්නං පිරිමියෙක් ව ජීවිතේ පැත්ත පලාතකට වද්ද ගන්නෙ නෑ කියලයි. ඒත්…”

“මොන හේතුවක් නිසාවත් මං ගත්ත තීරණයක් වෙනස් කරන්නෑ නිම්නා”

“ශ්‍රීනාත් සර්ගෙ හිතේ ලොකු විශ්වාසයක් ඇති කරන්න වෙයි”

“නෑ….ඕන නෑ”

මම ඒ මුහුණ හොඳින් බැලුවෙමි. නො රිස්සුමක් තවරා ගෙන හිටියා ට ඔහු ට දැනෙන හැබෑ හැඟීම ශෝකයක් නො විය හැකි ද යන පැනය මා තුළ ඉපදිණ.

“මට ඔයා මාව විශ්වාස කළාම ඇති”

මගේ අත අල්ලා ගෙන උන් ඔහු ගේ වමත, මම මගේ නිදහස් අතින් උණුහුම් කළෙමි. 

“හිතුවක්කාරයිනෙ ඉතිං. ඔය හිතුවක්කාරකම තමයි තාත්තා යි පුතායි ඈත් කරල තියෙන්නෙ”

පිය පුතු අරගලය කියන්නේ මා දැක නොමැති දෙයක් නොවේ. අයියා ගේ තරුණ වියෙහි දී ඔහු හා මගේ තාත්තා අතර නිතර ඇති වූ බහින් බස් වීම් ඉතා දුර දිග ගිය අවස්ථා ද තිබිණි. එහැම විටෙක දෙන්නා අතර ට මැදි වී වැඩි ම පීඩනය ඉහිලූයේ අම්මා ය. අම්මා කෙනෙකු නො සිටියෙන් කුලාන් ගේ ගෙදර තත්වය වඩාත් නරක අතට හැරෙන්නට ඇත. ඔහු ගේ කුඩම්මා ඒ පිය පුතු දෙදෙනා අතර ට මැදිව ඒ අරගලය සංසිඳුවීමේ ලා තබා අනවබෝධයන් දුරලීමේ ලා වුව ක්‍රියා නො කරන්නට ඇත. 

“මට දැනගන්න ඕනෙ එක දෙයයි නිම්නා”

“මොකද්ද …”

“මං අඬගහන වෙලාවට ඔයා එනවද…”

මම යන්තම් හිස සැළුවෙමි. ඒ හිතේ තව දෙයක් තබා ගෙන ය. තාත්තා හා පුතා තවත් ඈත් කරන බාධකයක් වෙන්නට මට අවැසි නැත! අනිත් අතට කුලාන් ගේ යටගියාව ගැන කිසිත් මගේ මවු පියන් දැන ගන්නට ඕනෑ නැතැයි මම සිතා ගතිමි.

“එම් ඩී සර් මෙතන හැම ගෑනු ළමයෙක්ගෙම ආරක්ෂාව ගැන හිතපු බව අපි දන්නවනෙ නිම්. එයා දුවල දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් නිසා වෙන්න ඇති ඒ. තාත්තල තමංගෙ ම දුවලව රේප් කරන කතා අහන්න වෙන ලෝකෙක…සමහර වෙලාවට මෙහෙම හිතන තාත්තලගෙ දුර්ලභ කතා අපිට ටිකක් අමුතුයි”

ශ්‍රීනාත් ගල්හේන මහතා ගැන මා හිතු භක්තියෙන් ම අශිකාත් සිතුවා ය.

“ඒත් ශ්‍රීනාත් සර් කුලාන් ගැන මේ විදිහට හිතන එක ගැන අපේ තාත්ත දැන ගන්න එක හොඳ මදි අශී. තමංගෙ දුව බඳින පිරිමියා ඒ දෙමව්පියන් ට පුතෙක් වෙන්නෙ එතන ගෞරවයක් තිබුණොත් විතරයි”

“මේක ඔයා හරි පරිස්සමට හැන්ඩ්ල් කරන්න ඕන කන්ඩිෂන් එකක්”

“කුලාන් මාව මුණගැහෙන්න කලිනුත් ජීවත් වෙච්ච මනුස්සයෙක්නෙ. ඒක සමාජෙ අනුමත කරන විදිහ නොවෙන්න පුළුවන්. ඒත් වැරදි කරන මිනිස්සුන්ටනෙ ඒ වැරදි හදා ගන්න අවස්ථාවක් ලැබෙන්න ඕනෙ”

“ඔයා හෙමිහිට එම් ඩී සර්ගෙ හිත හදන්න බලන්න. අනිත් අතට එයා හදන්නෙ වෙන විදිහක වෙස් මූණක් දාගෙන එයාලගෙ පැලැන්තිය රැක ගන්න ඔයාව කුලාන් ගෙන් ඈත් කරන්නද කියලත් කල්පනාවෙන් ඉන්න”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -28

ලෝකය වූ කලී විවිධාකාර මිනිසුන් ගෙන් ගහන තැනකි. බොහෝ දෙනෙක් පිටතට පෙන්වන්නේ ඔවුන් ගේ සැබෑ ස්වරූපය නොවේ. ශ්‍රීනාත් ගල්හේනත් එවන් රංගනයක යෙදෙනවා යි  නො සිතිය හැකි ද?

අශිකා සමග මා කතා කරමින් සිටියදී කසුන් ගේ දුරකතනයෙන් ඇමතුමක් ආවේ ය. කුලාන් ට ඔහු කළ අමානුෂික ක්‍රියාව නිසා දෙතුන් දිනක් තිස්සේ ම මම ඔහු ගේ ඇමතුම් මග හරිමින් සිටියෙමි. නමුත් අවසාන නඩු වාරය ආසන්නයේ ඇති බව සිහි වීම නිසාවෙන් මම ඒ ඇමතුමට පිළිතුරු දෙන්නට සිතුවෙමි. නමුත් එහා ඉම වූයේ පුතා මිස කසුන් නොවේ.

“චූටි මැණික…කොහොමද…ඔයාට අම්මි මතක් වුණාද…”

“අම්මි…තාත්තිට සනීප නැති වුණා”

පුතා ගේ ප්‍රකාශය ට එකවර මා ගොළු වී ගියා සේ ය. කසුන් පුතා ව ඉත්තා කර ගෙන වෙනස් ම චරිතයකට පණ පොවන්නට හදනවාද යන සැකය මුලින් ම මා තුළ ගොඩ නැගුණේ ය. අයහපත වැපිරූ මිනිසුන් දෙස බලන්න ට වෙන්නේ ම සැකයෙනි!

“ඇයි පුතා…මොනා වෙලාද…”

දරුවා ගේ මල් හිත නොරිදවන්නට මට ඕනෑ විය.

“තාත්තිට කතා කරන්න බෑ”

“කතා කරන්න බෑ…”

“තාත්තිට නැගිටින්නත් බෑ”

“ඇයි පුතේ…තාත්තිට මොකද වුණේ…”

අවංකව ම මසිත් හි කලබලයක් ඇති විය.

“ආච්චි ඉල්ලනව ෆෝන් එක”

පුතා ගේ අතින් දුරකතනය කසුන් ගේ අම්මා අතට මාරු විය.

“කසුන් පැරලයිස් වෙලා”

ඇය එය කීවේ, ඔහු ට එසේ වූයේ මගේ වරදකින් යයි හඟවන්නට මෙන් කේන්තියෙනි.

“මොකද්ද…”

“කසුන් පැරලයිස් වෙලා. එකපාරටම ප්‍රෙෂර් වැඩි වෙලා පැරලයිස් වුණා. දැං හොස්පිට්ල් එකේ. අපි හිතං ඉන්නෙ ගෙදර ගෙනත් සිංහල බෙහෙත් කරන්න”

“එකපාරටම කොහොමද…එහෙම දෙයක් වුණේ…”

මා ඇසුවේ ඇගෙන් නොව මගෙන් ම සේ ය. සත්තකට මට එය විශ්වාස කර ගත නො හැකි තරම් විණි.

“තමුංගෙ හපන්කං තමයි ඉතිං”

මා හිතුවා සේ ම ඇය වරද පැටවූයේ මා මත ය.

“ඒකා මෙහෙ ළමයි හදනව. එයා හොඳට ආයෙ කසාද බඳින්න ලෑස්ති වෙනව. ප්‍රෙෂර් හැදෙන්නැද්ද මේව දැනගත්තහම…”

මේවා නම් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු හා තීන්දු ය. දික්කසාදය ඉල්ලූයේ මා නොවේ. දරුවා ව මගෙන් පැහැර ගන්නට කටයුතු කළේත් ඔවුන් ය. ඒ සියල්ල කරන්නට කසුන් ව පොළඹවා ලූයේ මේ අම්මා යි. සිය පුතු ගේ ජීවිතයට වෙනත් ගැහැනියක ලං වෙනවා දකින්නට ඇය ට ඕනෑ වූයේ නැත. ඒ ගැහැනියට හැකි උපරිමයෙන් රිදවන්නට ඇය ට ඕනෑ විය. එසේ රිදවනු වස් ඇගේ දරුවා පවා උදුරා ගන්නට තරම් ඕ වියරු වැටී සිටියා ය. එහෙවු ඇය දැන් මට චෝදනා කරයි.

“ඒක මාර කතාවක්නෙ. මගෙ ඕන කමටද ඩිවෝස් වුණේ…සිද්ද වෙච්ච හැම දේට ම වග කියන්න ඕනෙ ඔයා”

පෙර කිසි දා ක විවර නොවූ මුවින් මම ඍජුව ම ඇයට චෝදනා කළෙමි. 

“මට මගෙ ළමයව හදන්න පුළුවන්. ඕගොල්ලො මට රිද්දන්න හිතාගෙන ඒ දරුවව උදුර ගත්තට මට කරන්න දෙයක් නෑ”

“ළමයෙක් ඉන්නව කියල මතක නැතුව වෙන්නැති ආයෙ කසාද බඳින්න යන්නෙ”

ඇගේ හඬ අවඥාවෙන් පිරී තිබිණි. ඒ ඊර්ෂ්‍යාවේ වේශයක් ම බව මම දැන සිටියෙමි.

“මට බෑ පුතාට වෙදකං කරන ගමං ළමයි හදන්න. මේ ළමයව අරං යන එකයි ඇත්තෙ”

“අනේ හා”

මම පැන්න ගමන් පිළිතුරු දුන්නෙමි. ඔහු ට සුව වෙන තුරු නොව එක දවසකට හෝ මගේ පුතා මා තුරුලේ තියා ගන්නට ලැබෙන එක කෙතරම් නම් සැනසීමක් ද?

5 4 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
22 days ago

👍

දිල්හාරා ❤️
22 days ago

කසුන්ට හොඳම වැඩේ… 😡
නිම් ට පුතාව ලැබේවි ❤️