රසම රස වෙජි කට්ලට්

නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට කරස් ගාල රසට හැපෙන රසම රස වෙජි කට්ලට් ටිකක් හදල බලමුද? ලේසියෙන්ම හදන්න පුළුවන් මේ කට්ලට් ගුණයෙනුත් කිසිම අඩුවක් නැහැ. තේ වෙලාවට විතරක් නෙමෙයි උත්සව අවස්ථාවකටත් මෙය කදිමට ගැලපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

පිරවුම සඳහා:

  • හීනියට කපාගත් සුදු ළූණු සහ ඉඟුරු තේ හැඳි 1
  •  ළූණු ගෙඩියක්
  • අමු මිරිස්
  •  කැරට් අල 2
  • බෝංචි කරල් කිහිපයක්
  • ග්‍රීන් පීස් කෝප්ප¾
  • තම්බාගත් විශාල ප්‍රමාණයේ අල  2
  • කහ කුඩු තේ හැඳි 1
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු
  •  කරපිංචා ස්වල්පයක්
  •  තිබෙනවා නම් කොත්තමල්ලි කොළ කිහිපයක්
  • තෙල්

දැවටුම සඳහා:

  • පාන් පිටි
  • වතුර
  • බිස්කට් කුඩු

සාදන අයුරු:

අල සහ කැරට් තරමක් තම්බා කුඩාවට කපාගන්න. අමු මිරිස්, බෝංචි, ළූණු, කරපිංචා කොත්තමල්ලි කොළ කුඩාවට කපාගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා සුදු ළූණු සහ ඉඟුරු එකතුකරගන්න. විනාඩියකට පමණ පසුව ළූණු එකතුකරගන්න. ළූණු තැම්බීගෙන එනවිට එයට සියලුම එළවළු ටික එකතුකරගෙන හොඳින් මිශ්‍රකරගන්න. කහ කුඩු, මිරිස් සහ ලුණු එකතුකරගන්න. වතුර කෝප්ප 1/4 එකතුකර පියනකින් වසි තම්බාගන්න. ජලය වාෂ්පවී එළවළු හොඳින් තැම්බුණු පසු ලිපෙන් ඉවත්කර සම්පූර්ණයෙන්ම නිවෙන්නට තබන්න. සාදාගත් මිශ්‍රණයෙන් හැන්දකට අල්ලන ප්‍රමාණයෙන් කොටස බැගින්ගෙන බෝල ආකාරයට සාදාගන්න. සාදාගත් බෝල තරමක් පැතලි කරගන්න.

වෙනත් බඳුනකට පිටි සහ වතුර ස්වල්පයක් එකතුකර බැටරය සාදාගන්න. සාදාගත් කට්ලට් බෝල බැටරයේ දවටා අනතුරුව බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ මදගින්නේ බැදගන්න. මතක ඇතිව තෙල් බේරෙන්නට ටිෂූ පේපර් එකක් මත තබන්න.

පොලිතීන් බෑගයක නිසි පරිදි අසුරා තබා අධි ශීතකරණයක තැන්පත් කර මාසයක් – දෙකක් කල්තබාගන්න පුළුවන්. බැදිමට පෙර ශිතකරන ලද කට්ලට් විනාඩි 30-45ක් පමණ කාමර උෂ්ණතවයේ තබා බැදගන්න.

ඔබ කැමතිම එළවඑ, මස්, මාඑ, පනීර්, සෝයා, චීස්. ටෝෆු හෝ බිත්තර ආදිය එකතුකරගන්න කිසිම තහනමක් නැහැ. නිවාඩුකාලෙට පොඩ්ඩො එක්ක හදල බලන්න

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles