ඔබට ඇහෙනවනම් – 47

ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ ඇස් වල වූ කේන්තිය මා දුටුවේ දුරට පමණකි. ඔහු ලං ව එත්දී මම බිම බලා ගතිමි. සත්තකට එතැන බිම වළක් හාරා ගෙන හැංගෙන්නට පුළුවන් කමක් වී නම් මම එහෙම කරමි. කොහොම ඔහු ගේ මූණ බලන්න ද? මම ඔහු තැබූ විශ්වාසය කඩා බිඳ දමා ඇත්තෙමි.

“මොකද මේ…”

ගල්හේන මහතා ඒ තරම් තදින් කාර්යාලයේ සේවකයෙකු ට වුව කතා කරනවා මට ඇසී නැත. මගේ ඇස් නැවතුණේ කුලාන් අත උන් පුතු ළඟ ය. ඔහු කෙතරම් බය විණි ද යත් කුලාන් ගේ ගෙල වැළඳ ගත්තේ ය.

“මං නිම්නා ව මැරි කරන්න හදන්නෙ තාත්තෙ. පුතාවත් අපි ළඟට ගන්නව. ඒ ගැන තාත්තට මුකුත් ප්‍රශ්නයක් තියෙනවද…”

ඒ මන්දිරය තුළ ඇති වූයේ අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ඇසිය හැකි තරම් මහා නිහැඬියාවකි. පුතෙක් තාත්තා කෙනෙක් ගෙන් සිය විවාහය සඳහා අවසර පැතිය යුත්තේ ඒ ආකාරයෙන් නොවේ යි සාංකා සිතිවිල්ලක් මට රිදුම් දුන්නේ ය. ඊටත් වඩා කුලාන් මේ ගෙදරට ගෙනැවිත් ඉන්නේ හිරිමල් යෞවනියක නොව දරුවෙකු සමග අම්මා කෙනෙකි.

“ඇත්තතටම බඳිනවනං මට කිසි ප්‍රශ්නයක් නෑ”

විනාඩි කොපමණක නිහැඬියාවකින් පස්සේ ද මන්දා ගල්හේන මහතා ගේ නිවුණු හඬ ඇසිණි. නමුත් ඒ ස්වරයෙහි වූයේ කිසියම් අවිනිශ්චිත බවකි. මම වහා හිස නගා බැලුවෙමි. 

“මට නිම්නාත් එක්ක කතා කරන්න ඕනෙ”

ඔහු තිර ලෙස කීවේ ය. කුලාන් මදෙස බලා යන්තම් උරහිසකට අත තබා ගෙන පිය ගැට පෙළ නැග ඉහළ මාළයට ගියේ ය. පුතා හිටියේ ඔහු ගේ අතේයි. යන ගමනුත් පුතා හැරී මදෙස බැලුවේ ය. හදවතෙහි ඔහු හොවා ගෙන ඉකිබිඳ හඬත හැකි සන්තාපයකින් මම ඉතිරී යමින් සිටියෙමි. මේ මොහොතේ අම්මා කොයි තරම් අසරණ ද කියා පුතුට වැටහෙනවා නම්! එදා උසාවියේ දී ඔහු ගේ අයිතිය අහිමි ව පිටතට එත්දී මා පාරමින් තිබුණේ ත් මේ වගේ අසරණ කමකි. කාටවත් කිව නො හැකි, කාටවත් වටහා දිය නො හැකි අසරණ කමකි.

“නිම්නා….අපි යමු මිදුලට”

ශ්‍රීනාත් ගල්හේන මහතා බිඳුණු හඬකින් මා ආමන්ත්‍රණය කරමින් ආලින්දයෙන් වැරැන්ඩාවට පිවිසියේ ය. එයත් ඉක්මවමින් මිදුලේ තණ පලස දිගේ සුදු පාට පුටු හතරක් රවුමට තබා තිබූ සෙවනැති තැනකට ගියේ ය. මම ඔහු පසු පස ඇවිද යමින් සිටියෙමි.

මගේ හදවත ඉරි තලා යමින් තිබිණි. මම හිස් වෙමින් ද වියළෙමින් ද සිටියෙමි. මේ මානසික තත්වය යටතේ මම තව තවත් මනසින් කුලාන් වෙත බැඳෙන්නට වූයෙමි. සසරින් සදහට ම සමු ගන්නා තෙක් ඔහු ගෙන් මිදිය නො හැකියි වාගේ හැඟීමකි එය. නමුත් ඒ ඔස්සේ දුරට දිගට සිතන්නට මට අවකාශ වූයේ නැත.

“නිම්නා ඉඳගන්නකො”

ගල්හේන මහතා සුසුමක් පිට කරමින් කීවේ ය. අසුනකට බර වූවාට පස්සේ මට පහසුවක් දැනිණි. අඩු තරමින් දෙපා අවසඟ ව ගොස් මා බිම ඇද වැටෙන්නේ නැත!

“දැං ඔය පෝරිසාදයව නිම්නාට විශ්වාසයිද…”

මම හෙමිහිට නෙතු ඔසවා බැලුවෙමි. ගල්හේන මහතා ගේ වියපත් මුහුණ මත වැතිර තිබුණේ අවිනිශ්චිත බවක පැටළුණ පීතෘ ස්නේහයකි.

“සර්…”

තත්පර කිහිපයකට පස්සේ මම දෙදරා ගිය හඬකින් කතා කළෙමි.

“කුලාන් සර් මට එයාගෙ අතීතෙ ගැන හුඟක් දේවල් කියල තියෙනව. මගෙ අනාගතේ මොන විදිහකට විසඳෙන්න තියෙනවද කියල මං දන්නෑ සර්. ඒත්…මේ මොහොතෙ මට කුලාන් සර් ව විශ්වාසයි”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -25

“දෙවියො ඒ විදිහටවත් එයාගෙ ඉරණම ලියපු ගැන එහෙනං ස්තූති කරන්න තමයි තියෙන්නෙ”

නැවතත් ඔහු සුසුමක බරින් හදවත නිදහස් කර ගත්තේ ය.

“කුලාන් කියන්නෙ ආදරේ  අඩුවෙන් විඳපු ළමයෙක් නිම්නා. එයාව මට තනියම බලා ගන්න බැරි කමට මං දෙවෙනි කසාදයක් කර ගත්තා. ඒත් අන්තිමට එයා ආන්ටිගෙන් විතරක් නෙවෙයි මගෙනුත් සම්පූර්ණයෙන් ම දුරස් වුණා. ඒ ඇති වෙච්ච හිස් තැන් පුරෝ ගන්න මිනිහා ඉගෙන ගත්තා. අනිත් පැත්තෙන් ඇඳුම් මාරු කරනව වගේ කෙල්ලො මාරු කර කර ගියා. ඒක මට කොහෙත්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණෙ නෑ. කුෂ්ලානි ව හරි බැඳල ඔය මනුස්සය පිළිවෙලක් වෙයි කියලයි මං බලං හිටියෙ. නිම්නා වගේ අහිංසක ළමයෙක් කුලාන් ට පැටලෙනවට මං කොහොමටවත් කැමති වුණේ නෑ. මොකද මෙයාගෙ සෙල්ලං ගැන මං දැනගෙන හිටිය නිසා. රෑ වැටුණ වළේ ඔය දරුව දවාලෙත් වැටෙනව දකින්න මට ඕන වුණෙ නැති නිසා. එහෙම නැතුව…නිම්නා කියන්නෙ කලින් විවාහ වෙලා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියන එක මං කොහොමවත් ප්‍රශ්නයක් කර ගත්තා කියල හිතන්න එපා. මොකද…මාත් දරුවෙකුත් එක්ක ආයෙ තරුණ ගෑනු ළමයෙක්ව කසාද බැන්ද මිනිහෙක්. ඒ තරං පටු විදිහට හිතන්න කොහොමවත් ඕන්නෑ මට”

“මට…තේරෙනව සර්”

“එක අතකට මේ වගේ පෝරිසාදයෙක් මෙල්ල කර ගෙන පිළිවෙලක් කරගන්න පුළුවනුත් නිම්නා වගේ කෙනෙක්ට තමයි”

මම බිම බැලුවෙමි.

“මං ආශිර්වාද කරනව පුතේ. කුලාන් ට ටිකක් තදින් ඉඳල හදා ගන්න බලන්න. එක අතකට හරි හමං ගෑනියෙක්ගෙ ආදරේට පුළුවන් පිරිමියෙක්ව සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න”

කුලාන් සිටින්නේ වෙනස් වීමේ අවශ්‍යතාවක බව මම ගල්හේන මහතා ට කියන්න ට නො ගියෙමි. ඔහු අහස පුරා කරක් ගසා හතර මායිම හැඳින ගත් මිනිසෙකි. දැන් ඔහු ට ඕනා නැවතීමක් බව කුලාන් පැහැදිලි ව ම මට කීවේ ය. එහෙව් ඔහු තව දුරටත් සැක කරන්නට හෝ අවිශ්වාස කරන්නට යාම ඔහු ට කරන හානියක් වන්නට පුළුවන. වඩා යහපත් මිනිසෙකු වන්නට ඔහු ට වන අවශ්‍යතාව පිළිගන්නට කෙනෙකු නොමැති වෙත්දී ඔහු වඩාත් නො හික්මුණු, හීලා නැති අශ්වයෙකු ගේ තත්වයට පත් වන්නට බැරි නැත.

“මගෙ පුතාව විශ්වාස කළාට නිම්නාට පිං. එක අතකට දැං මට තියෙන්නෙ අර කෙල්ලො දෙන්නා ගැන බර විතරයි. අපේ කම්පනි එක හදන්න වෙන කාටත් වැඩිය නිම්නා ට පුළුවන් බව මං දන්නව”

“මෙච්චරම මාව විශ්වාස කරන්න එපා සර්”

ඇස් දැවී කඳුළක් පිට මං වූයේ ය. හදවත පුපුරා යන්නට ඔන්න මෙන්න තිබිය දී ඒ වචන ටික මගෙන් පිට වූයේ විසල් පීඩනයක් බැහැර කරමිනි. තවත් ටික වෙලාවකින් කුලාන් ගේ නැගණියන් දෙදෙනා මපුතු සමගින් මිදුලේ සෙල්ලම් කරනවා මට පෙනිණි.

“අපි යමු නිම්නා ගෙට”

කියමින් ගල්හේන මහතා නැවතත් මා ගෙතුළට කැටිව ගියේ ය. කුලාන් ආලින්දයෙහි ඔබ මොබ සක්මන් කරමින් සිටියේ ය. 

“දැං මේව ගැන නිම්නා ගෙ දෙමව්පියො දන්නවද…”

කුලාන් මා ළඟට විත් මට ඇසකින් ඉඟි කර ඉඳගන්නයි හඟවමින් ම අසුනකට බර වූයේ ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -22

“ඔව් තාත්තෙ”

උත්තර දුන්නේ කුලාන් ය.

“ඒත් මට හිතෙනව නිම්නා ගෙ තාත්තට තාම මං ගැන ලොකු විශ්වාසයක් නෑ කියල”

“හ්ම්. මං නිම්නාගෙ ගෙදර ඇවිත් මේ ගැන තාත්තා එක්ක කතා කරන්නං”

කියමින් ගල්හේන මහතා අප වෙතින් නික්ම ගෙතුළට ගියේ ය. කුලාන් ගේ දෙවැනි අම්මා බීම වීදුරු කිහිපයක් සහිත බන්දේසියක් ද කැටිව අප වෙත ආවේ ය. තරුණ දියණියන් දෙදෙනෙකු සිටියා ට ඇය තවමත් තරුණ පෙනුම නො සෙල්වුණ ප්‍රිය මනාප තැනැත්තියකි.

“ඔරෙන්ජ් ජූස් එකක් බීල ඉමු නිම්නා. මට ශ්‍රීනාත් කියල තියෙනව ඔයා ගැන. ඇත්තම කියනවනං නිතරම කතා කරන්නෙ ඔයා ගැන තමයි”

මා සිනාසුණේ ඇස් වල කඳුළු සිර කර ගෙන ය. 

“කෑම ලෑස්ති කරනකල් ඉන්න. ලන්ච් අරගෙනයි යන්නෙ හොඳේ”

“එපා ආන්ටි. අපි දැන් යන්න ඕනෙ”

ඒ ප්‍රතික්ෂේපය කුලාන් ගෙනි. පුංචි අම්මා ගේ වත අඳුරු වනු මට පෙනිණි.

“නෑ මැඩම්. අපි ලන්ච් අරගෙනයි යන්නෙ”

මම වහා කීවෙමි. 

“මැඩම්…අඩු ගානෙ කුලාන් වගේ ආන්ටි කියලවත් කියන්න නිම්නා”

ඇගේ හදවත ඇතුළේ වසර ගණනාවක් තිස්සේ සඟවා ගෙන උන් වේදනාවක සෙවනැළි මම වහා හැඳින ගතිමි. කුඩම්මා කියන සංකල්පය තුළ අපේ ආකල්ප ගොඩ නැගී තිබෙන ආකාරයේ වෙනසක් වීම තුළ, බොහොමයක් පවුල් වල වඩා හොඳ සාමකාමී තත්වයක් නිර්මාණය කර ගත හැකි ය. නමුත් සියවස් ගණනක් තිස්සේ අපි එතැනින් එක පියවරකුදු ඉදිරියට තබා ගත නො හැකි ව නරා වළක එරී සිටිමු.

“අපි කෑම කාල යන්නං අම්ම”

වීදුරු සහිත බන්දේසිය ස්ටූල් එක මත තැබු ඕ, මවෙත විත් මා වැළඳ ගත්තා ය. වසර විසි තිස් ගණනක් තිස්සේ කුලාන් ට පෙන්වා ගත නො හැකි වූ ඇගේ හදවතේ  මවුවත් උණුහුම මට දැනිණ.

“කුලාන් කවදාවත් මට එයාගෙ අම්මා විදිහට එයාට ලං වෙන්න ඉඩ දුන්නෙ නෑ. ඒක මගෙ අවාසනාව. ඒත් මට වෙන ලේලි කෙනෙක් ලැබෙන්න විදිහක් නෑ. ඒක නිසා ඔයා මගෙං ඒ අයිතිය උදුර ගන්න එපා නිම්නා”

“ආන්ටි”

කුලාන් අප වෙතට පැමිණ, එතුමිය ගේ උරහිසක අතක් තබා කතා කළා ය. ඇය ඔහු ව වැළඳ කඳුළක් හෙළුවා ය.

“දරුවෙක් කියන්නෙ තමංගෙ කුසෙං වදපු තමංගෙ ලේ වලිං බිහි වුණ දරුවෙක් වෙන්නම ඕනෙ නෑ. අර පුංචි එකාට තාත්තා කෙනෙක් වගේ ලං වෙන්න කුලාන්”

කඳුළු අතරින් ඇය මුමුණා ගත්තා ය. 

ගල්හේන මැදුරෙන් දිවා ආහාර ගෙන අප ගෙදර පැමිණියේ පමා වී ය. තාත්තා නො සන්සුන් ව මිදුලේ සක්මන් කරමින් සිටියේ ය. ඔහු ගේ සිත් හි කේන්තියක් වන බව මට වහා හැඳින ගත හැකි විය.

“කෝල් කරල පරක්කු මොකද බලන්න කියල කීප සැරයක් මට කිව්ව. මං කිව්ව තනියම ගියා නෙවෙයිනෙ ඒගොල්ලො හෙමිහිට එයි කියල. ඉතිං මාත් එක්කත් කේන්තියෙ ඔය ඉන්නෙ”

අම්මා මට රහසේ කීවා ය.

“අපි සර්ලගෙ ගෙදර ගියා”

මම තාත්තා ට ද ඇසෙන සේ කීවෙමි. ඔහු වහා හිස නගා බැලුවේ ය.

“තාත්තල මෙහෙ එයි ඉක්මනට. නිම්නගෙ අම්මයි තාත්තා යි එක්ක කතා කරන්න”

කුලාන් ඌණ පූරණය කළේ ය. තාත්තා ගේ දෙතොල් අතරේ සිනහ රේඛාවක් ඇඳී යන යුරු මම හොඳට ම දුටිමි.

4.8 6 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
20 days ago

අද නං හිතට හරිම සනීපයි ❤️

Chamira
20 days ago

👍

Madhushika
20 days ago

❤️

Sudharshana Abeyrathne
20 days ago

Thank You Ganga.
Meaka harima lassanyi.