ඔබට ඇහෙනවනම් – අවසාන කොටස

මගේ ඇස් ඇරුණේ මගේ ම හිතිවිලි පරම්පරාවෙන් සිදු කරන ලද පෙළඹීමකට ය. මම ඉක්මනින් නෙතු හැර බැලුවෙමි. කුලාන් ද පුතු ද තද නින්දක පසු වෙති. අප සිටින්නේ මහල් විසි ගණනක් ඉහළින් වන සුඛෝපභෝගී හෝටල් කාමරයක බව මට සිහි වූයේ දැනුණ සීතලත් එක්ක ය. මම වහා දුරස්ථ පාලකය ගෙන වායු සමීකරණය ක්‍රියා විරහිත කොට දැමුවෙමි. තවත් ටික වෙලාවක් කෙටි හුස්ම ගණිමින් සිටි මට යහනෙන් බැස යන්නට සිතිණි. මම දැවැන්ත වීදුරු බිත්තිය අසලට වී තිර රෙදි දෙපසට කළෙමි. 

තවමත් සූර්යයා පෙරඹරින් ලෝකය දෙස එබී බලන්නටවත් පටන් ගෙන නැත! අහසේ ඈත ඉම ගැඹුරු නිල් පැහැයක් ගෙන ඇත. 

මුළු මහත් ලෝකය ම ගැඹුරු නින්දකට වැටී සිටින මේ අළුයම් කාලයේ විශ්වය මොන තරම් නම් අසිරිමත් ද? මේ තරම් උසක හිඳ මා මේ සුන්දරත්වය දකින ප්‍රථම අවස්ථාව මේ ය.

මම ආපසු හැරී යහන දෙස බැලුවෙමි. පුතා කුලාන් ට තුරුලු ව නිදයි. මා යහනින් බැස ගිය පසු ඇති වූ අවකාශය ඔවුන් වඩා සුව පහසුවට පාවිච්චි කර ඇති බවකි. කුලාන් ගේ අතක් පුතා ගේ මොළකැටි සිරුර වටා පතිත විය. මගේ මුව ට සැනසුම් සිනහවක් පිවිසියේ ය.

“පුතා ව තියල ඔය දෙන්න ගිහිං එන්න”

විවාහ උත්සවයෙන් පසු  බැංකොක් එන්නට තීරණය කළ බව කුලාන් ගෙන් දැන ගත් පසු අම්මා කීවා ය.

“නෑ. පුතාවත් අරං යං නේද…නැත්තං කොල්ලට දුක හිතෙයි”

කුලාන් කීවේ ය. සියලු කටයුතු සූදානම් වූයේ කඩිනමිනි. ඊට පෙර පුතා ගේ අයිතිය පිළිබඳ නඩු වාරයේ දී, කසුන් දරුවා මගේ භාරයට පවරන්නට කැමැත්ත ප්‍රකාශ කළේ ය. ඒ නිසා කිසිදු කරදරයකින් තොර ව පුතා මට හිමි විය.

ඒ විදිහට ලෙහෙසියෙන් ම කසුන් පුතා ව මට දුන්නේ ත් අම්මා ගේ බලපෑම මත බව මම දන්නෙමි. මේ වෙත්දී තවත් දෙවතාවක් මම කසුන් ට පුතා පෙන්වන්නට ඔවුන් ගේ ගෙදරට කුලාන් ද සමගින් ගියෙමි. සිංහල බෙහෙත් කරමින් ද සුව අතට හැරෙමින් ද සිටි ඔහු දැකීම මට සතුටක් විය.

“හොඳට සනීප වෙච්ච ගමං හොඳ තැනකිං ගෑනු ළමයෙක් බලල බන්දන්න ඕනෙ කසුන්ව. එයාට ඉස්සරහට ළමයි බලා ගන්න වෙන්නෑ කොහොමත්”

එහි ගිය හැම වතාවකම වගේ කසුන් ගේ අම්මා මට ඇහෙන සේ කීවා ය.

“ඒ පවුලත් තීරණේ කරන්නෙ අම්ම නිසා කසුන්ට කොච්චර කාලයක් ඒක තියාගන්න පුළුවන් වෙයිද දන්නෑ”

කුලාන් සිනහ වෙමින් කීවේ ය. මම මඳහසකින් කර බා ගත්තා මිස කිසිත් කියන්නට නො ගියෙමි. පුතා ව අප සමග විදේශයකට ගෙන ඒම සඳහා ගමන් බලපත්‍රය සකසන්නට ද කසුන් ප්‍රතික්ෂේපයකින් තොර ව පැමිණියේ ය. ඒ නිසා සියලු කටයුතු පහසු විය.

“මං වැරදියි කියල මං පිළිගන්නව නිම්නා. මට මෙහෙම වුණෙත් ඒ වැරදි වලට දඬුවම් විදිහට වෙන්න ඇති. කුලාන් ඔයාට ආදරේ කරන මනුස්සයෙක් කියල පේනව. ඒක නිසා පුතා ගැන වුණත් මට බයක් නෑ”

පුතා ගේ නීත්‍යානුකූල අයිතිය මට පැවරුණ දා කසුන් එසේ කීවේ ය. ඔහු ට වැරදුණ එක ගැන හෝ මට හරි ගිය එක ගැන මගේ හිතේ කිසිදු විශේෂ සතුටක් වූයේ නැත.

අපේ විවාහය කුලාන් ගේ කැමැත්ත ප්‍රකාරව සිදු වූයේ ඉතා චාම් ලෙස ය. ළඟ ම ඥාති හා මිත්‍ර සමාගමය ද ආයතනයේ සේවක පිරිස ද පමණක් ඊට සහභාගී කරවා ගැනිණ. මේ තරම් ලොකු පවුලකට සම්බන්ධ වෙත්දී හද්දා මගුලක් නොකෑම ගැන අපේ අයියා නම් ඒ තරම් ප්‍රසාදයන් පෙන්වූයේ නැත.

“කසුන්ලට පේන්නත් එක්කම සද්දයක් දාල වෙඩින් එක ගන්නයි තිබුණෙ. මගෙ බිස්නස් වලට සම්බන්ද මිනිස්සුම කොච්චර ඉන්නවද ඉන්වයිට් කරන්න…”

ඔහු දොස් කීවේ තාත්තා ට ය. 

“මස්සිනාට ඕන විදිහට කරන්න දීල බෑනෙ. අපිටත් අයිතියක් තියෙනව වෙඩින් එක ගැන. මොකද මනමාලි අපේ නංගිනෙ”

“ඒ නංගි කියල තමුන්ට මතක් වෙලා තියෙන්නෙ දැන්නෙ. ඒ කෙල්ල ගැන අපි බඩේ පත්තු වෙච්ච ගින්දරෙන් හිටිය කාලෙ හොයල බලපු සහෝදරයෙක් නෙවෙයිනෙ තමුං”

තාත්තා සාවඥ ලෙස කීවේ ය. 

“ඒ දෙන්නගෙ ජීවිතේ ඒ දෙන්නා කැමති විදිහකට සැලසුම් කර ගත්තාවෙ”

කුලාන් හා පුතා අතර, අපේ විවාහයටත් කලින් ම ඇති වූ බැඳීම මට දැනුණා වූ විසල් ම සැනසීම ය. කුලාන් පෙන්වූ දයාව ව්‍යාජයක් නොව හැබෑවක් බව මට හොඳට ම දැනිණ.  ඔහු පටු මානසිකත්වයක් නැති, පුළුල් සිතකින් ලෝකය ගැන හිතන මිනිසෙකු බව මා ඉදිරියේ ප්‍රත්‍යක්ෂ වෙමින් තිබිණි.

“පුතායි මායි අතරෙ බැඳීම හෙල්ලෙන්නෙ නැති තරම් ශක්තිමත් එකක් වෙනකල් අපිට වෙන බබාල ඕන නෑ”

පෙර දා රාත්‍රියේ කුලාන් මුමුණනු මට මතක ය. අපේ බැඳීම ගැන ඔහු ට අවංක හැඟීමක් තිබේ. ඔහු ඒ සඳහා උත්සාහ කරමින් හිඳින බව මට දැනේ. ඊටත් වඩා කුමක් නම් මා ඔහු ගෙන් බලාපොරොත්තු වන්න ද?

“හුඟක් නරක පිරිමි අතරෙ ඉඳ හිට හරි කුලාන් වගේ හොඳ කොල්ලෙක් මුණගැහෙන එක මාර සතුටක් නිම්”

මනාලියක ලෙස හැඩ වී සිටින මා ව මුලින් ම දුටු අශිකා, මා වැළඳ කීවා ය. ඇය එක පිරිමියෙකු නිසා ප්‍රේමය කෙරේ කලකිරුණු යුවතියකි. 

“සාමාන්‍ය විදිහට හිතන කෙනෙක්ට කුලාන් කියන්නෙ ත් සෙල්ලක්කාර කොල්ලෙක්. සල්ලි තියෙන පවුලක හිතේ හැටියට වැරදි කරපු කොල්ලෙක්”

මම ඇයට යමක් ඒත්තු ගැන්වීමේ උවමනාවක් ඇති ව කතා කළෙමි.

“හැම වැරදිකාරයෙක් ඇතුළෙම නිවැරදි වෙන්න ඕනකම තියෙන මනුස්සයෙක් ඉන්නව අශී. වැරදිකාරයෙක් කියල සදහටම හංවඩු ගහල චප්ප කරල දාන්නෙ නැතුව ඒකට ඉඩක් දෙන්නයි ඕනෙ”

ඇය විරුද්ධව යමක් කියන්න ට ඉක්මන් වූයේ නැත. 

“හැම මනුස්සයෙක්ටම කියන්න කතාවක් තියෙනව. අහන්න පුළුවන් කෙනෙක් තමයි  ඕනෙ. අපි හුඟක් වෙලාවට දකින්නෙ වැරදි විතරයි. ඒ වැරදි වලට යටින් තියෙන හේතුවත්…ඒ වැරදි හදා ගෙන ජීවත් වෙන්න ඒ මිනිස්සුන්ට තියෙන ආසාවවත් අපි දකින්නෙ නෑ නිම්. ඒකයි ලොකු ම අවාසනාව”

එදා සන්ධ්‍යාවේ, විවාහ උත්සවයේ අවසාන භාගයේ දී කුලාන් මට ලං වී රහසක් කීවේ ය.

“වෙනුර අහනව අශිකාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියල”

වෙනුර යනු කුලාන් ට විදෙස්ගතව සිටියදී හමු වූ මිතුරෙකි. ඔහු ගේ ප්‍රථම විවාහය බිඳ වැටුණු බව ද කුලාන් මට කීවේ ය.

“අපි ලංකාවට ආවට පස්සෙ අපේ ගෙදරදි දෙන්නට මීට් වෙලා ටිකක් කතා කරන්න චාන්ස් එකක් හදල දෙමු”

අන්තිමම තත්පරේ මම මේ රහස අශිකා ගේ කනේ තැබුවෙමි.

“අර ඔයාට විහිළු කර කර හිටිය වෙනුර ඔයා ගැන කුලාන් ගෙන් අහල. චුට්ටක් ඒ ගැන හිතල බලන්න”

ඇගේ ඇස් වල එළියක් මම දුටිමි. එය මසිත් හි ඇති කළේ සොම්නසකි.

තරු කැට නිවී ගොස් තිබේ. පහන් තරුව පමණක් පෙරඹර අරා දිළෙනු පෙනේ. දැන් අහසේ පහළ තීරය වඩා සුදු පැහැයකට හැරී තියේ. තව නොබෝ වෙලාවකින් හිරු ගේ ප්‍රථම කිරණ කිහිපය පොළෝ ගැබ වැළඳ ගන්නට නියමිතයි කියා මට සිතිණි.

“ඇයි…”

කියා අසමින් කුලාන් මගේ පිටුපසින් සිට බඳ වටා දෑත් යවා මා වැළඳ ගනිමින් සිටියේ ය. මම යන්තම් හැරී බැලුවෙමි. ඔහු මගේ උරහිසත් ගෙලත් අතරෙහි සිය මුහුණ හොවා ගත්තේ ය. මම මගේ සුරතින් ඒ කොපුලක් හෙමිහිට පිරිමැද්දෙමි. රැවුල් කොට වල මිහිරි කිතිය මගේ අතැඟිලි වලට දැනිණ.

“ඇහැරුණා…ඉබේටම…”

මම මුදු ලෙස මිමිණුවෙමි. උඩු ගුවනෙහි මඳ සුළඟ හමා යන නද වීදුරු මත හැපෙමින් ඇසිණි. 

“නිම්නා”

ඔහු හද තත් සුසර කරමින් කතා කළේ ය.

“ම්…”

“සතුටෙන් නේද…”

“හ්ම්”

“ඒ සතුට වෙනස් නොවී තියා ගන්න මං මට පුළුවන් හැම දේම කරනව. පුළුවන් උපරිමෙං”

“එච්චර පොරොන්දු නැති වුණාට කමක් නෑ සර්”

“සර්…”

ඔහු හිනැහිණි. මම හැරී ඔහු ගේ පපුතුර හිස රඳවා ගතිමි. කුලාන් මගේ කම්මුලක කටු ඇනෙන හාදුවක් තැවරී ය. එහි වූ රිදුමෙහි සුවය මම දිගු වූ තත්පර කිහිපයක් තිස්සේ නිසොල්මනේ විඳිමින් සිටියෙමි.

අනාගතය ගැන නිශ්චිත ව යමක් කියන්නට මම නො දනිමි. නමුත් මේ මොහොතේ මා සතුටෙනි. ජීවිතය තියෙන්නේ සතුටෙන් ජීවත් වන්නට ය. තමන් ව සතුටෙන් තැබිය හැකි පුද්ගලයන් සමග ජීවත් වන්නට ය. මේ මොහොත වෙනුවෙන් මම ඒ තීරණය ගෙන ඇත්තෙමි. තවත් මට විඳවුම් දෙවන්නට ඉරණම ට ඕනෑ නැතිය කියා සිතන්නට මම වඩාත් කැමැත්තෙමි.

“මං හෙව්ව නිවීමයි නැවතීමයි තියෙන්නෙ මෙතන කියල පිළිගන්නම වෙනව නිම්නා. ලස්සන පවුලක් තරං සතුට දෙන තැනක් ලෝකෙ වෙන කොතනකවත් නෑ”

“සර් මට ජීවත් වෙන්න ආසාව වැඩිකරනව”

“ආයෙත් සර්ලු”

“අනේ ඉතිං කියවෙනවනෙ”

ඔහු මා දැඩි ව වැළඳ ගත්තේ ය. මට එදා විදුලි සෝපානයේ දී ඔහු ළඟ දැනුණ උණුහුමත් සුසුවඳත් නො වෙනස් ව දැනිණ.

“අම්…මි…”

පුතු අවදි වී අප දෙස බලා සිටියි. කුලාන් මා සිය ග්‍රහණයෙන් මුදාලූයේ බලාපොරොත්තු සුන් වූ බවට දෙතොල් තෙරපා ගත් මඳහසකිනි. මට සිනහ නැගිණ.

“නැගිට්ටද මගෙ පුතු මැණික…”

මම යහනට ගොස් පුතා තුරුලු කොට ගතිමි. අප වෙතට ඇවිත් තිබූ කුලාන් අප දෙදෙනා ව ම සිය විසල් සුරක්ෂිත දෑතින් ඔහු වෙතට ගෙන වැළඳ ගත්තේ ය.

“සර්”

මම මිමිණුවෙමි.

“ම්…”

“තෑන්ක් යූ කියන්න බෑ තමයි. ඒත් කියන්න වෙන වචනයක් මං දන්නෑ”

ඔහු ගේ දෙතොල් පහස මට මගේ හිස් මුදුනට දැනිණි. 

“වචන ඕනෙ නෑ. අපිට අපිව දැනෙන්න විතරයි ඕනෙ”

ඒ වචන ටික කෙතරම් තදින් මගේ හදවත වැළඳ ගත්තේ ද යත් මියෙන මොහොතේ දී ත් මට ඒ අමතක නො වනු ඇත.

වචන නැති වූවා ට කම් නැත. අප ට අප දැනෙනවා නම් එපමණක් ඇත!

සමාප්තයි

දින හතළිස් අටක් තිස්සේ ඔබට ඇහෙනවනම් සමගින් ඒකතාමික ව සිටිමින් නිබඳ මා දිරි ගැන්වූ ඔබට ආදරෙයි කියමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...