මන්දාරම් හැන්දෑවක -44

“මේඝා..”

ඒ හඬින් තමන්ගේ නම ඇසුණේ සය මසකටත් පසු බව මේඝාට සිහි විණි.වසරකටත් පෙර දිනයක මුල්ම හමුවේ දී ඇසුණු තරමටම ප්‍රේමණීය හඬකින් ඔහු තමන් අමතනු ඇසෙද්දී මේඝා සය මසක් දරා ගත් ආවේගය ද වේදනාව ද පිටාර ගලා යන්නට විය.

“ලැජ්ජා නැතුව මාව බලන්න ආවද මිනිහෝ..” හොරා කන්නට පැමිණෙන පූසෙකුට පවා යසා අතින් පහරක් නොවැදෙන්නට පරිස්සම් කරන මේඝා ජීවිතයේ පළමු වතාවට ආවේගයෙන් අත එසවී ය. අම්මා තාත්තා හෝ පහර දෙන්නට එද්දී එය ප්‍රශ්න කරමින් කෝපයට පත් වන ජනිඳු දෑස වසා ගත්තේ එය විඳ ගන්නට සිතමිනි.තමා ඒ පහරට සුදුස්සෙක් බව ඔහු සිතී ය.එහෙත් බිනර ඉතා තදින් මේඝාව අල්ලා ගත්තේ ය.

“අපි ගැරඬින්ට ගහන්නෙ නෑ මේඝා. මං ඔයාට කියනවනෙ නයෙක් කියල හැම ගැරඬියටම ඇහැටුල්ලටම බය වෙන්න එපා කියල. ඒත් නයෙක් කියල රැවටිලා බය උනා කියලා අපි ගැරඬියට ගහන් නෑ. යන්න අරිනවා.”

මේඝා අත පහතට දැමුවා ය.අනතුරුව බිනරගේ උරහිසට බර වූ ඈ ඉකි ගසා වැලපෙන්නට ගත්තා ය.

“තමුසෙ මෙතනට ඇවිල්ලා මේ ළමයව මුල ඉඳන් අවුල් කරන්න හැදුවට ඒක ලේසි වෙන් නෑ ජනිඳු. එයාව දරා ගන්න බලා ගන්න අපි ඉන්නව.ඔහේ රිදෙන්න ගැහුවට ඒ ළමයා නැගිට්ටා.මේඝව වට්ටන්න උඹට බෑ ජනිඳු..”

බිනර මේඝා වැළඳගෙන කීවේ ය.සියල්ල දුර සිට නිරික්ෂණය කරමින් හුන් වරුණ එතැනට පැමිණ මේඝා දරා ගත්තේ ඒ මොහොතේ ය.දිනිඳුට එතැනට යන්නට උවමනා විණි.එහෙත් තරිඳු ඔහුට ඉඩ දුන්නේ නැත.

“ඒ අපේ එකා තමයි.ලේ වලින් ඌ අපේ උනාට ඇත්තටම අපේ එවුං බිනරල වරුණලා අයියේ.ඒ මිනිස්සු ඕක විසඳගත්තාවෙ.. අපි මෙහෙම ඉමු. ඊට පස්සෙ අපි අපේ ප්‍රශ්නෙ මේඝාට කියමු..”

තරිඳු එසේ කියද්දී දිනිඳු නැවතිණි. ඉතා සොම්නසකින් අරඹන්නට සිතූ කතාන්දරයට නැවතීමේ තිත තැබිය යුතු කාලය එළඹෙන බව දිනිඳු සිතුවේ ශෝකයෙනි.සිතූ දේ එපරිද්දෙන් සිදු නොවන බව දැන් ඔහුට විශ්වාස ය.මේඝාට නිවී සැනසිල්ලේ ජනිඳු ගැන කියන්නට ඔහු සතුව සැලසුමක් විණි.නමුත් අහම්බයකින් මෙතැනට ආ ජනිඳු නිසා දැන් කිසිවක්ම පෙර පරිදි නොසිදුවන බව දිනිඳු දැන සිටියේ ය.

ජනිඳු මේඝා දෙස බලා සිටියේ ද ලතැවිල්ලෙනි.කලකිරෙනසුළු සහ රැවටීම් බහුල ප්‍රේම සම්බන්ධතා ගණනාවකට පසු ඔහු මේඝා දුටුවේ අහම්බයකිනි.ඈ කවුදැයි සොයන්නටත් ෆේස්බුක් මිතුරු ඇරයුම පිළි ගන්නා තුරු බොහෝ කාලයක් පෙරුම් පුරන්නටත් සිදු වූ අන්දම සිහි කරමින් ජනිඳු මිනිත්තු කිහිපයක්ම ගෙවා දැම්මේ ය.ආදරය එතරම්ම සුන්දර වූ දවස් සිහි කරමින් ඔහු තවත් මොහොතක් නිහඬව සිටියේ ය

“මගෙ අයියල දෙන්නා සෑහෙන්න හොඳ මිනිස්සු මේඝා. ඉස්කෝලෙ හිටිය බ්‍රයිට්ම අය.එයාලට ඕන වුණේ ඉගෙන ගෙන පොරවල් වෙන්න.තාත්තගෙ සල්ලි තියනවනං මම ඇයි ඉගෙන ගන්න මහන්සි වෙන්නෙ කියල මං ඒ කාලෙ ඉඳන් හිතුවෙ.පොඩි අයියා වගේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගත්තනම් මට තාත්තගෙ කම්පැනීස් හරියට අරන් යන්න තිබ්බ. ඒත් මං ඒවා දන් නෑ..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -16

බිනර මොනවාදෝ කියන්නට උත්සාහ දරද්දී වරුණ ඔහු නැවතී ය.ළමා වියේ සමහර සිදුවීම් ද දෙමාපියන් හරි පාරට ඇද නොදැමීමේ ගැටලු ද නිසා සමාජ පිළිල බවට පත් වෙන දරුවන් ඔහු දස වසරක ගුරු ජීවිතය පුරා දැක ඇත.වරුණ හිස නගා පිටුපස හැරුණේ ය.ඒ හිඳින්නේ තාත්තා කෙනෙකු ඉපයූ කළුසල්ලි අමතක කළ පුතුන් දෙදෙනෙකි.උපාධි කිහිපයක් සාර්ථකව නිම කර ලෝකයේ ඇති බලවත්ම රටක රැකියාවකට සුදුසුකම් ලැබූ තරුණයා ද වෛද්‍යවරයෙකු වී දුෂ්කර පළාතක සේවයට ආ තරුණයා ද මුදල් ඉතිරෙන එහෙත් මිනිස්කම් වියැකුණු පවුල අතැර දැමුවන් ය.එහෙත් ජනිඳු තාත්තාගේ හැම දුර්ගුණයක්ම දායාද කරගත්තෙකි.නොයෙල් වීරසේකර සුවිසාල මත්කුඩු ජාවාරමක මහමොළකරු වූ සිර අඩස්සියේ ය.ඔහුට ගැලවීම අපහසු තරමට සාක්ෂි ඉදිරිපත් වන නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අපේක්ෂා කළ හැකි බව වරුණට ඊයේ පැවසුවේ තරිඳු ය.නොයෙල් තමන්ගේ වැරදි ගැන පසු තැවෙනවා ඇත්තේ දැන් ය.ජීවිතයේ සැඳෑ සමයේ ය.එහෙත් ජනිඳු හිරිමල් යෞවනයෙකු කාලයේ ම යථාව ද තමන් වෙලා සිටි මුලාව ද අවබෝධ කරගෙන නම් ඔහුට පන්න පන්නා පහර දිය යුතු නැතැයි වරුණ සිතුවේ ය.

“ආයේ හදන්න අමාරු වැරදි කීපයක් මල්ලි අතින් වෙලා ඉවරනෙ.මට පොඩ්ඩිට කියන්න බෑ ඔයාට සමාව දෙන්න කියලා.ලෝකෙ ගැන තේරෙන තාත්තෙක් වෙච්ච මටවත් මල්ලි උඹට සමාව දෙන්න අමාරුයි.ඒත් අපිට ලේසියි ජනිඳු කියල කෙනෙක් අපේ ජීවිතවල හිටියේ නෑ කියල හිතෙන තරමට.අයියල වගේ හොඳ මිනිහෙක් වෙන්න තාම කල් ඇති මල්ලි.ආයේ මුල ඉඳන් හැදෙන්න පටන් ගන්න..”

වරුණ පැවසුවේ ජනිඳුගේ උරහිස මත අතක් තබමිනි.ජනිඳුට පාපොච්චාරණයක් තිබුණ ද ඒවා නොඅසාම ඔහුව පිටත් කර හරින්නට වරුණට උවමනා විණි.

“මං ඔයාගෙන් සමාව ඉල්ලන් නෑ මේඝා. මං ඔයාගෙන් පලි ගත්තෙ ඔයා මගෙ නිදහසට බාධා කරන හින්දා. ඕනවට වඩා මගෙ දේවල්වලට අත දාන හින්දා. ඒත් ඔයාගෙ බ්ලැක් මාක් ඔක්කොම මිෂෙල්ගෙ පිට පැටවිලා ඉවරයි.ඔයාට හිතේ නිදහසෙන් ඉන්න පුලුවං..”

මේඝා ජනිඳුගේ මුහුණ දෙස බලා සිටියේ අවඥාවෙනි. මේ හින්දි චිත්‍රපටියක් වූවා නම් ජනිඳුගේ ගෙල වටා දෑත් හොවා වැළපෙමින් හැමදෙයකටම සමාව දෙන්නට තිබිණ.ඉන්පසු හැඳ සිටින ඇඳුමෙන් ම පෙරිමියන්කුලමට සමු දී නටමින් කොළඹ යන්නට තිබිණ.

එහෙත් මේ සැබෑ ජීවිතය ය.

“මං ඔයාට සමාව දෙන්නෙත් නෑ..”

ඇය පැහැදිලිව කියා සිටියා ය.ජනිඳු කිසිත් නොකියා මිදුලේ කෙළවරක දෑත් බැඳ බලා සිටින දෙසොහොයුරන් දෙස බැලුවේ ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 1

“මට සමාව එපා මේඝා. කොහොමත් තාත්තගෙ කේස් එකට මාවත් අහු වෙන්න තියන ඉඩත් හරිම වැඩී.මං ආවේ මට සමාව ඉල්ලන්න නෙවෙයි.මගෙ ජීවිතේ මගෙ අයියලා ඉඳලම නෑ.එයාලා පොඩි කාලෙම මාව තාත්තගෙ පුතා කරලා මගෙන් ඈත් උනා.අම්මට තිබ්බෙ වෙනම ලෝකයක්.ඉතිං මං තනි මනුස්සයෙක්. මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි. මගෙ පවුලක් කියල එකක් නෑ.ඒ නිසා අපි ආයේ මුණ ගැහුණත් නැතත් ඔයා මගෙ පවුලෙ අය එක්ක තරහක් තියා ගන්න එපා. යන්නං!”

ඔහු නික්මිණ.දෙසොහොයුරන් දෙස නොබලාම නික්මිණ.ඔහු නවතා ගන්නට කිසිවෙකුට උවමනා නොවිණ.නැවතිය හැකි දුර ඉක්මවූ යෞවනයාට වදනුකුදු නොදොඩා සමු දෙන්නට හැම කෙනෙකුම අතර නිහඬ ගිවිසුමක් වූ පරිද්දෙන් කිසිවෙකුත් කිසිවක්ම පැවසූවේ නැත.මේඝා ආපසු හැරුණේ නිහඬ කඳුලකට ඉඩ දෙමිනි.

“නංගි..”

දිනිඳු ඈ අසලට ආවේ ඒ මොහොතේ ය.සියල්ල වේගයෙන් සිදු වෙද්දී තවත් කල් මරා තේරුමක් නොවන බව ඔහුට දැනිණ.සියල්ල සඟවමින් ආදරය කරන වයසක තමන් ද එවැනි දෙයක් දරා ගන්නා මානසිකත්වයක මේඝා ද නැති බව ඔහු දැන සිටියේ ය.

” ඒ තමයි අයියේ ජනිඳු.ඒ තමයි අර වීඩියෝ එකේ මනුස්සය. මාව හැම වැරැද්දකින්ම නිදහස් කරා කිව්වට ඒ ඉන්නෙ මං කියන ඇත්ත මං කොහොම අමතක කරන්නද,අනික ඇයි ඒ මනුස්සයා ඔයාලා ඔක්කොටොම පේන්න ආවේ..”

ඇය ඉකි ගසමින් හඬන්නට ගත්තා ය.දිනිඳු ඉතා ප්‍රවේසමෙන් ඇගේ දෙවුරෙන් අල්ලා ගත්තේ ය.දැන් ඇත්තේ ඔහුගේ වාරය ය.මේඝාට ඒ කතාව අසා දෑත් ගසා දමා ඉවතට යන්නට හෝ තමන්ට තුරුළුව හඬන්නට හැකි බව ඔහු සිතුවේ ය.

“නංගි, අපි හැමෝම ජනිඳුව දන්නවනෙ.මං ඔයාට උදේ කියන්න තියනව කිව්වෙ එයා ගැන තමයි.මේක හංගලා ඔයාව ඉනුලිගෙ අම්මා කරන්න මට ඕනෑ නෑ.ජනිඳු කියන්නෙ දිනිඳුගෙයි තරිඳුගෙයි එකම මල්ලිට..”

මේඝා ගල් ගැසී ගියා ය.ලෝකය තමන්ගේ දෙපා මුල බිඳී යන අයුරු දරා සිටියා ය.

“ඔයා ඉනුලිගේ අම්මා වෙනවද කියන එක ඔයාම තීරණය කරන්න නංගි.මගෙ අහිතක් නෑ. මං අත් ඇරලා දාපු ලෝකෙක ඔයා හිරවෙලා හිටියා කියල ඔයාට කියන්න මට ඕන උනේ නෑ. ඒ ඔයා නිකංම නිකං මේඝා කාලේ.දැන් ඔයා මගේ ජීවිතේ විශේෂම කෙනා.ඒ නිසා මගෙ පොඩි මල්ලි බිනර උනාට ලේ වලින් පොඩි මල්ලි වෙන්නෙ ජනිඳු කියලා ඔයාට හංගන්න මට බෑ.”

දිනිඳුට කියන්නට බොහෝ දේ තිබිණ.නමුත් මේඝා තවත් කිසිවක්ම අසන්නට එතැන සිටියේ නැත.ඇය නිවස තුළට දිව ගියා ය.දිනිඳු කම්පිත හදවතින් බලා සිටියේ ය.විසල් අහසක් යට මහා තනිකමක් දැනෙන බවත් සමාධිව මහ පොළොව යට තනිකර පැමිණි දා තරමටම ඒ හැඟීම අමිහිරි බවත් ඔහු වටහා ගනිමින් සිටියේ ය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
19 days ago

👍

Madhushika
18 days ago

අයියෝ…