මන්දාරම් හැන්දෑවක -45

“සාමාන්‍ය බ්‍රේකප් එකකට වඩා ජනිඳු එක්ක සිද්ධ වුණු ප්‍රශ්නෙ සම්පූර්ණ අවුලක් මචං..ඒ වගේ දෙයක් කරපු මිනිහෙක්ගෙ මුළු පවුලම එක්ක තරහ වෙන්න මේඝාට හිතෙන එක සාධාරණයි..මං වැරැද්දක් හිතන් නෑ..”

මේඝාට කතා කරන්නට උත්සාහ කළ වරුණව වළකමින් දිනිඳු පැවසී ය. සිනාව සහ ප්‍රීතිය උතුරා ගිය උදෑසනක් මූසල ස්වරූපයක් ගන්නට ගත වූයේ කොපමණ සුළු වෙලාවක්දැයි සිතමින් බිනර පසු වූයේ ශෝකයෙනි.එහෙත් මේඝා අසලට ගොස් සියල්ල දැන සිටි බවක් පිළි ගන්නට ඔහුට ද ශක්තියක් වූයේ නැත.කිසිවක් පෙර පරිද්දෙන් සිදු නොවන බව වැටහෙද්දී ඔහුට දැනුණේ ශෝකයකි.මේඝා ද දිනිඳු ද දෙපසකට වන්නට මේ සිදුවීම නොවූවා නම් යැයි ඔහු
අනේකවර සිතුවේ ය;කම්පා වූයේ ය.

“මල්ලිට මෙහෙ එන පාර කියල තියෙන්නෙ අම්මා..”

කටුක දවසක් ගෙවෙන්නට පැය කිහිපයක් තබා තරිඳු ඒ ආරංචිය සොයා ගත්තේ ය.

“අම්මා හිතන්නෙ දැන් හරි මේඝව අයියගෙන් ඈත් කරන්න.මල්ලිට ඕන වෙච්ච පව් සමා කර ගන්න.කවදත් වෙනව වගේ එයාලා තමන්ගෙ සැනසීම හොයා ගත්තා. අයියටයි පොඩි එකීටයි වෙන්න තියන ලොකුම අසාධාරණේ වුණා..”

තරිඳු අනතුරුව පැවසුවේ ශෝකයෙනි.

දිනිඳු කිසිවක්ම පැවසුවේ නැත.සිවුවසරකට පෙර දිනයක හදිසියේ අසනීප වන්නට ගත් සමාධිගේ අවසන් වෛද්‍ය වාර්තා පිරික්සන්නට පෙර හදවත ගැහුණු වේගය ඔහුට යළි යළිත් සිහිව ආවේ ය.හදවත මේ ගැහෙන්නේ ද එවැනිම වේගයකිනි.විය හැකි අවාසනාවන්ත ම ඉරණම බාර ගන්නට එදින ද හිත හදා ගත් අන්දම ඔහු සිතුවේ ය. අද ද එහි වෙනසක් නැත.

“ඔයාට අම්මා නැති වෙනව කියල එදත් මං දැන ගත්තා පැටියෝ.ඒ ඔයා අම්මා කියන්න පටන් ගත්තුම දවස්.. ඔයා ආයෙත් අම්මා කියන්න පටන් ගන්නකොට මේ අම්මත් අපිව දාලා ගියා..”

දිනිඳු කුඩා දියණියගේ හිස පිරිමදිමින් සිතුවේ ය.එහෙත් ඉරණම තමන්ටත් ඉනුලිටත් ලබා දෙන්නේ මෙවැන්නක් නම් සටනකින් තොරව එය පිළි ගන්නට ඔහු තීරණය කළේ ය.දස වසරක් පුරා ජීවිතය වූ සමාධි විවාහයෙන් දෙවසරක් ඉක්ම ගිය තැන ජීවිතය අත් හැරියා ය.මේඝා හමු වී තවමත් ඉතා කෙටි කාලයකි.ඈ වීරසේකර පරම්පරාවට බැඳෙන්නට අකමැති නම් ප්‍රේමය යදිමින් ආයාචනා කරන වයසක හෝ තත්ත්වයක තමන් නැති බව දිනිඳු පිළි ගත්තේ ය.

“මේක ඉනූට සෑහෙන්න ඩැමේජ් වෙන වැඩක්.මේඝා ඔයාලව රිජෙක්ට් කරන එක අයියා දරා ගත්තට පොඩ්ඩිට තේරෙන් නෑනෙ.මාත් එක්ක යං ද? නැත්නම් වෙන රටකටවත්..”

තරිඳු අන්තිමේ දී ඉල්ලා සිටියේ ය.මේඝාගේ මානසික තත්ත්වය වෙනස් කරන්නට බලහත්කාරයෙන් තැත් නොදරන්නැයි තරිඳුගේ පෙම්වතිය ද නිරන්තරයෙන් පණිවිඩ එවී ය.මේඝා මානසික ආතතියට ප්‍රතිකාර ගනිමින් සිටි යුවතියක වීම නිසා මේ හදිසි ආරංචිය ඇය පීඩනයට පත් කිරීම සාමාන්‍ය දෙයක් බව ජෙනිෆර් වටහා ගෙන සිටියා ය.සියල්ල විසඳී දිනිඳු සාමාන්‍ය තත්ත්වයට පැමිණෙන තුරු යළි නොපැමිණෙන්නැයි ඇය තරිඳුට නිරන්තරයෙන්ම සිහි කළා ය.

උඳුවප් මාසය ගෙවී වර්ෂාවසාන වන්නට දින දෙකක් ඉතිරි වූ දවස ඇරඹියේ මහ වැස්සකිනි.මේඝා කම්පිත හදවතකින් වර්ෂාවට නෙත් අලවාගෙන බරාඳයට වී හුන්නා ය.ඇගේ හදවත ද වර්ෂාවට වැඩි වේගයකින් හඬමින් තිබිණ.ජනිඳුගේ ආගමනයට සතියකටත් වඩා ගෙවී ගොස් ය. ඒ මුළු දින කිහිපයම දිනිඳුත් ඉනුලිත් වෙද ගෙදරට පැමිණියේ නැත.වඩා වේදනාවක් දැනෙන්නේ ඉනුලිව නොදැකීමෙන් ද දිනිඳුව නොදැකීමෙන් ද යන්න ඇයට පැහැදිලි නොවුණ ද ඇගේ හදවත සාංකාවෙන් සහ ශෝකයෙන් උතුරා යමින් තිබිණ.

“වැස්සට වඩා ඔය ළමයා අඬල නේද?” මහ වැස්සේ ම බිනර නිවසට ගොඩ වෙද්දී මේඝා සිටියේ පැටලිලි සහගත හැඟීම් අතර සිර වී තමන් සමඟම අරගල කරමිනි.සියල්ල අමතක කර දමා කොළඹ යන තීරණයකට පැමිණෙමින් හිඳිය දී බිනර පැමිණීම ඇයට ගෙනාවේ සැනසිල්ලකි.

“මං ඉන්නේ හොඳටම අවුල් වෙලා. ඔයයි සඳලියි දෙන්නම මාව බලන්න ආවෙවත් නෑ.මට වඩා දිනිඳු අයියා ඔයාලට වටින බව මං දන්නව. ඒත් මට ඉන්නෙ ඔයාල විතරනෙ..”

බිනර දුටු වහා මේඝා පැවසුවේ හැඬීම පාලනය නොකරගෙන ය.සිත් සේ හිනැහෙන්නට ළඟ හුන් මිතුරා ද ඈත් වී යතැයි බියකින් ඈ දැවෙන්නට පටන් ගත්තා ය.

“අපි ඔයාලා දෙන්නටම ඉන්නව.මේ කතාව කොහොම ඉවර උනත් අපි ඔයාලා දෙන්නටම ඉන්නව..”

බිනර එපමණක් පවසා වැස්සට නෙත් අලවා ගත්තේ ය.ඔහු පැමිණියේ සියල්ල තිබූ අන්දමට සකසන්නට කළ හැකි සියල්ලම ගැන සිතමිනි.මේඝා සමඟ බෙදා ගන්නට ඔහුට බොහෝ දේ තිබිණ.එහෙත් මේඝා හඬන්නේ වෙනත් ආරංචියක් දැනගෙනදැයි යන සැකය ද ඔහුට විණි.ගිගුරුම් සහිත වැසි ඇද වැටෙද්දී වෙද ගෙදර රූපවාහිනිය ක්‍රියා කරවීම තහනම් කාරණාවක් වග දන්නා නිසාම ඔහුට ඒ පිළිබඳ එතරම් කැළඹීමක් ද නොවිණ.ඒ මේඝාට වැළපෙන්නට කාරණාවක් ද නොවේ.

“මීට ටික කාලෙකට කලින් දිනිඳු අයියා ඔයා එක්ක විතරක්ම ශෙයා කරගත්තු දේ ඔයාට අමතකද මේඝා..පස්සෙ පස්සෙ වෙච්ච දේවල් නිසා ඒක අපිත් දැන ගත්තට අයියා හුඟක් දරුණු රහසක් ඔයා එක්ක බෙදා ගත්තා..”

බිනර කතාව ඇරඹී ය.බොහෝ දෑ බෙදා ගන්නට ඇති බැවින් ඔහුගේ හඬ කල්පනාකාරී බවක් ඉසිලී ය.

“ඔයා ජනිඳු නිසා හුඟක් අසාධාරණයකට ලක් වෙච්ච කෙල්ලක්. දැන් ඌ උගෙ ක්‍රමේකට ඒක නිවැරදි කරල තමයි.ඒත් ඔයා මෙතන වේදනා වින්ද හැටි අපිත් දැක්කනෙ.ඒ වේදනාවට දිනිඳු අයියා හවුල් තැන මට කියන්න..”

බිනරගේ අතකින් අල්ලා ගත් මේඝා වේගයෙන් හඬන්නට පටන් ගත්තා ය.පොඩි අක්කා,වරුණ අයියා පවා සිතා සිටින්නේ දිනිඳු තමන්ට සත්‍යය වසන් කළ කෝපයෙන් මේඝා හිඳින බව ය.නමුත් මේඝාගේ හදවත දැවී යන්නේ වෙනත් සිතුවිල්ලක් නිසා ය.එය තව දුරටත් හොඳම මිතුරාගෙන් වසන් කිරීම ඵල රහිත බව ඈ සිතුවා ය.

“දිනිඳු අයියා පව්! හුඟක් පව්..”

එවගක් අසා බොහෝ වෙලාවක් මේඝාගේ හැඬුම දරා සිටින්නට බිනරට සිදු විණි.ඔහු කිසිත් නොකියා අසා හුන්නේ ය; දරා හුන්නේ ය.සවන් දීම තරම් හොඳම මිතුරෙකුට කළ හැක්කක් නැති බව ඇදහූ ඔහු ඇය දරාගෙන සවන් දුන්නේ ය.

“සමාධි අක්කා රේප් උනු කතාව මට උහුලා ගන්නත් අමාරුයි.තාම අමාරුයි. අක්කගෙ දුක බාර ගන්න එයාව දරා ගන්න කෙනෙක් හිටියා බිනර.අක්කා මැරෙන්න ඇත්තෙත් සංතෝසෙන්.දිනිඳු අයියගෙ ආදරේ මැරෙනකම්ම සංතෝසෙන් ඉන්න පුලුවං ආදරයක් කියල මාත් දන්නව. ඒත් අයියා මොන දුකක් උහුලන කෙනෙක් ද, එයා මුළු ජීවිතේම තමන්ගේ චූටි නංගිට තාත්තා වෙලා ගෙවනව.තමන්ගෙම තාත්තගෙ මල ජරා වැඩක සාක්කියක් එයාට මැරෙනකම්ම දරාගෙන ඉන්න වෙනවා නිකංම නෙවෙයි ආදරෙන්..”

බිනර මේඝාගේ උරහිස මතින් අතක් තැබූයේ ඇයට යමක් කියන්නට ය. නමුත් මේඝා නොනවත්වාම කියවමින් සිටියා ය.

“එයයි ජනිඳුයි අයියයි මල්ලියි කියල අයියා මට නොකිව්වෙ ඇඟේ එක ලේ දිව්වට අයියා නෑකම් අත් ඇරල නිසා කියල මං දන්නව. ඔයානෙ එයාගෙ මල්ලි.එයා ජනිඳු ගැන නොකියා හිටිය එක මට අයියව අමතක කරන්නවත් අතාරින්නවත් ඈත් වෙන්නවත් හේතුවක් නෙවෙයි..”

බිනර පුදුමයට පත් විණි.රහසක් සැඟවූ වරදට දිනිඳු තම ප්‍රේමය අහිමි කර ගත් වගක් ඔහු සිතාගෙන සිටියේ ය.තමන් පමණක් නොව දිනිඳු ද සිතා සිටින්නේ ඒ ආකාරයෙන් යැයි බිනර දැන සිටියේ ය.

“ජනිඳු මොන කතාවක් කියල හැමදේටම මිෂෙල්ව අහු කරත් වැඩක් නෑ බිනර.ඉන්ටර්නෙට් එකෙන් අර වීඩියෝ අයින් කරන්න අපිට බෑනෙ.ෆේස්බුක් තියන දේවල් රිපෝට් කරල අයින් කරත් පෝන් සයිට් වලින් ඒවා අයින් වෙන් නෑනෙ. මං ඒ කොතැනක හරි ජනිඳු එක්ක ඉන්නව.තමන්ගෙ පවුලෙන් වෙච්ච එක අසාධාරණයක් දිනිඳු අයියා බාර ගත්තා. දැන් තව එකක් බාර ගන්නෙ ඇයි.. කවදාවත් කාටවත් වරදක් නොකරන එයා ගෙදර මිනිස්සු අතින් වෙන හැම අසාධාරණයකටම බෙල්ල තියන්න ඕනද, ඉනූට උප්පැන්නෙ දුන්නා වගේ මට කසාද සහතිකේ දෙන්න ඕනද..කොහෙවත් ඉන්න කාලකන්නි මිනිස්සු කරන වැරදි වලට එයාගෙ ලස්සන ජීවිතේ බිලි දෙන්න ඕන නෑ.සමාධි අක්කට උනේ හදිසි දෙයක්.එයාට දිනිඳු අයියගෙන් එහා පිළිසරණක් නෑ තමයි. ඒත් මට පුලුවන් එයාගෙ ජීවිතෙන් අයින් වෙන්න.ගෙදර මිනිස්සු කරන වැරදිවලට ඇයි එයා වන්දි ගෙවන්නේ..”

මේඝාගේ දීර්ඝ කියවිල්ල බිනර නැවත්වූයේ එක් වාක්‍යයකිනි.

“එතන මේ සාධාරණේවත් අනුකම්පාවක්වත් නෑ මේඝා..”

මේඝා ගැස්සී බිනර දෙස බැලුවා ය.ඔහු මෙතරම් සැර හඬකින් ඈ ඇමතූ මුල්ම වතාව මේ ය.

“ඒ ආදරේ විතරයි.එච්චරයි.ඔයාටවත් සමාධි අක්කටවත් යුක්තිය ඉෂ්ට කරන්න හැදුවා කියල අයියගෙ ආදරේ බාල්දු කරන්න එපා.මට වෙන කියන්න දෙයක් නෑ.ඔයා අයියගෙන් ඈත් වෙන්නේ ඔය නිසානම් ජීවිතේ දෙවැනි මෝඩකම වෙනස් විදියකට නොකර ඉන්න..”

මේඝා කිසිත් නොකියා අසා හුන්නා ය.ආදරය සහ අනුකම්පාව පටලා ගත්තාදැයි ශෝකයක් ඈ වෙළා ගත්තේ ය.

“වීරසේකර ගෙදර අවුල් වෙලා ඉවරයි.තරිඳු අයියා ඉක්මනින් යන්න යයි. නොයෙල්ට ගැලවීමක් නෑ. වසන්ති නෝනා ඒ කම්පැනීස් වලට ඕන එකක් කරගනී..අපිට ඒවා වැඩක්ම නෑ..තව පාරක් හිතලා බලන්න.වීරසේකරලගෙ හුළඟකින්වත් දිනිඳු අයියට වැඩක් නැත්නම් ඔයාට වැඩකුත් නෑනෙ.”

බිනර එසේ කියා මේඝාට වඩාත් සමීප විණි.

“මේක අහලා අඬන හැපෙන තැනක ඔයා නෑ කියල මං දන්නවා.නිකමට කියන්න හිතුණේ..අද උදේම නිව්ස් එකක් ආවා..මිෂෙල්ගේ අපාට්මන්ට් එකේ තිබිලා ජනිඳුගෙ බොඩි එක පොලිසිය හොයාගෙන.මිෂෙල් පොලිසියට බාර වෙලා..”

මේඝා තැතිගත් දෑසකින් බිනර දෙස බැලුවා ය.පලා යාම තෝරා ගත් තමාත් පලි ගැනීම තෝරාගත් මිෂෙල් අතරත් ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසක් බව ඈ සිතුවා ය.ජනිඳු හින්දා හෙළන්නට ඇති අවසන් කඳුළ ඇගේ නෙතින් රූරා ආවේ ය.ඔහුගේ ආත්මයට සැනසීමක් පතනවා විනා ඇයට අමුතු ශෝකී හැඟීමක් හට ගත්තේ ම නැත.

මහ වැස්ස නැවතී තිබිණ.මුවා වී හුන් හිරු යළිත් එබී බලද්දී හිරු රැස් කිරණ මේඝාගේ කම්මුලක හැපුණේ කඳුළු වියකාලමිනි.ඈ අතීත වේදනා අමතක කර දමන්නට සිතා ඒ හිරු කිරණ විඳ ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles