ණය නොවී අතේ තියන මුදලින් අවුරුදු සමරන්න නම් මේ විදියට බජට් එක ප්ලෑන් කරන්න.

අලුත් අවුරුදු අත ළඟටම ඇවිල්ලා. ගිය වර අවුරුද්දත් ගෙදරටම හිර වෙලා හිටපු නිසා මෙවර අවුරුද්දෙ බොහෝ දෙනෙක් සුලුවට හරි පවුලෙ අය එක්ක අවුරුදු සමරන්න සූදානම් වෙනව. නමුත් මේ කාලෙ කියන්නෙ බොහෝ දෙනෙක්ට ආර්ථිකව ගැටලු කාරී කාලයක්. ඉතින් අවුරුද්දෙන් පස්සෙ ණය වෙලා මාසෙ ඉතුරු දවස් ටික ගත කරන්න වෙන තත්වයක් ඇති නොවෙන විදියට අතේ තියන මුදල් කලමණාකරණය කරගෙන සතුටින් අවුරුදු සමරන්න නම් කොහොමද ඔබ සූදානම් වෙන්නේ?

ඉටු කළ යුතු යුතුකම් සහ යා යුතු ගමන් මේ අවුරුදු කාලයේ අපි හැමෝටම තියෙනවා.ඒ වගේම ඒ හැමදෙයක්ම අවසන් වෙන්නේ වෙනදාට වඩා අපේ මුදල් වියදම් වෙලා.අලුත් අවුරුද්ද ආදරයෙන් සහ එකමුතුකමින් සමරන අපි ලෝබකම් කරලා හරියන්නේ නැහැ තමයි.ඒත් හැමදෙයක්ම පිළිවෙළකට ස්මාර්ට් විදියට සැලසුම් කර නොගත්තොත් අපේ බජට් එක අපිට පාලනය කර ගන්න අමාරු වෙන එක ස්ථිරයි.

අන්න ඒ නිසා අපි අද කියන්න හිතුවේ අලුත් අවුරුද්දට ස්මාර්ට් විදියට බජට් එක ප්ලෑන් කර ගන්න ආකාරයයි.

ගන්න ඕනෑ දේවල් ලිස්ට් කර ගන්න.

ඔබෙන් තිළිණ ලැබෙන්න ඕනෑ කාටද කියලා ලැයිස්තු ගත කර ගන්න.ඔබ අවුරුදු වෙනුවෙන් ඉවුම් පිහුම් කරන්නේ මොනවද කියලා හරි පිළිවෙලකට රෙසිපි සකස් කර ගන්න.ගෙදර අලුත් විය යුතු තැන්,අලුතෙන් රැගෙන ආ යුතු දේවල්,පිරිසිදු කිරීමේ උපකරණ හැම දෙයක්ම ලිස්ට් එකකට ගන්න.

දැන් ඒ අත්‍යවශ්‍ය දේවල් සදහා පමණක් යන මුදල දළ විදියට වෙන් කර ගන්න.ඊට පස්සේ ඔබ මිලට ගත යුත්තේ ඒවා විතරමයි. මං ආයෙත් ලියලා තබනවා. ඔබ මිලට ගත යුත්තේ ඒවා විතරමයි ඒ මුදලින් එහාට මුදල් අනවශ්‍ය ලෙස වියදම් නොකිරීමට නම් පොඩි විනයක් ඔබට තියන්නම ඕන.

මිල පහළ ගිය භාණ්ඩ, වට්ටම් ඇති භාණ්ඩ,දැක්කම ගන්නම හිතෙන ඇඳුම් කිසිම දෙයක් ගන්න එපා. ලිස්ට් එකෙන් බාහිරව කොණ්ඩ කට්ටක්වත් නොගෙන ඉන්න පුලුවන් නම් ඔබ දිනුම්.

අඩුවට හොඳ බඩු තෝරමු.

woman in call

අලුත් අවුරුදු මහා සේල් කියලා බෝඩ් වැදෙන හැම තැනකම අඩු ගාණකට බඩු ගන්න බැරි බව ඇත්ත.හැබැයි ඔබට පුලුවන් නිමි ඇඳුම් හල්වල ෆේස්බුක් පේජ් පරීක්ෂා කරන්න.ඊට පස්සේ හැමදාම කරනවා වගේ ස්ක්‍රීන් ෂොට්ස් ටිකක් අරන් තියාගෙන ටිකක් අඩුවට හොඳ කල්පවතින ඇඳුම් විකුණන සාප්පුව හොයා ගන්න.

එළවළු, මස් මාළු වුණත් නරක් නොවී අලුත් පිට ලබා ගන්න ආර්ථික මධ්‍යස්ථානයක් වගේ තෝරා ගන්න පුලුවන් නම් ඒකත් සෑහෙන ඉතිරියක්.

ඒ වගේම ක්‍රෙඩිට් කාර්ඩ් හා ඩෙබිඩ් කාර්ඩ් වලින් ලැබෙන වට්ටම් වලින් ඇඳුම් පැළඳුම් මිලදී ගෙන ඔබ ඒ සඳහා කලින් වෙන් කල මුදලින් ඒ බිල් පියවන්න ඔබට පුලුවන්.හැබැයි සියල්ල කලින් ඔබ සදා ගත් බජට් එක ඇතුළේ පමණයි.

දකින දකින හැම එකක්ම.

ඔබ මේ වෙද්දී ඇඳුම් පැළඳුම් මිලට අරගෙන ඉවර නම් මේ ලියන්නේ ඔබට. ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම් උඩපහළ යන ගමන් දකින දකින ලස්සන ඇඳුම් ඕඩර් කරා දැන් ඇති නේද ආසාවෙන් මිලට ගත්තට ඔබේ පර්ස් එක දැන් දැන් රතු එළි නිකුත් කරමින් ඉන්න බව ඔබට අමතක ඇති.

ඒ නිසා කඩවල් වලින් රෙදිපිළි අරන් ආවා නම් ආයේ ඔන්ලයින් ෂොපින් යන එක අනවශ්‍ය වැඩක්.

මොකද අපි කොයිතරම් බජට් ප්ලෑන් හැදුවත් අපි ඒක අමතක කරල දකින දකින එක මිලට ගන්නව නම් අවුරුදු වලින් පස්සේ ගෙවන්න වෙන්නෙ තරමක් මූල්‍යමය අපහසු කාලයක් කියන එක අමතක කරන්න එපා.

අවුරුදු හෙට කියලා ෂොපින් යන්න එපා.

couple in shopping

මේක ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ ඇඳුම් පැලඳුම් මිලදී ගන්න තීරණය කරලා කලින්ම සැලසුමක් හදන් ගන්න අවශ්‍ය දේවල් සදහා වට්ටම් ලැබෙන තැන් ගැන සොයා බලන්න.

විශේෂයෙන්ම ක්‍රෙඩිට් හෝ ඩෙබිඩ් කාර්ඩ් වලට ලැබෙන වට්ටම් වලින් වාසියක් ඔබට ලබා ගන්න පුලුවන්.

මේ ලිපිය කියවනකොටත් ඔබ ඉන්නේ වැට උඩ. අවුරුදු ළං වෙනකොට දැන් දැන් හැම ෂොප් එකකම රෙදිපිළි අහස උසට නගින ගමන්.ඒ අතරේ හදිසියේ ශොපින් කරන ඔබ කලබලේට ඩැමේජ් වුණු ඒවා පරණ ඒවා වුණත් අරන් එන්න පුලුවන්.

ඒ නිසා කලබලේට දුවලා ගිහින් වැඩි ගාණට මොනමොනවා හරි උස්සාගෙන එන්නේ නැතුව හරිම පරිස්සමින් කල්පනාවෙන් දැන්ම තියා ෂොපින් යන්න. මේ කොරෝන කාලෙ නිසා සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරන්න අමතක කරන්න එපා.

රතිඤ්ඤා ඕනෑම ද?

නැකැත් වෙලාවට පත්තු කරන්න උවමනාම නම් පොඩි රතිඤ්ඤා පෙට්ටියක් අරන් එන්න. මහා ගිණිකෙලි සන්දර්ශන පැවැත්වීමෙන් නාස්ති වෙන්නේ ඔබේම මුදල්. ඒ නිසා රතිඤ්ඤා මිලට ගන්න බජට් එකෙන් සුළු මුදලක් විතරක් වෙන් කරන්න.

අනවශ්‍ය සාද හා ගමන් බිමන්

අවුරුදු කාලෙ කියන්න නෑදෑයන්ට වගේම මිතුරන්ටත් සතුටු වෙන්නෙ එකතු වෙන්න හොඳම කාලෙ. ඉතින් පාර්ටි කියන්නෙ මේ කාලෙ අපිට සතුට ගේන දෙයක් වුනාට ආර්ථිකේට නම් ටිකක් අවාසි දෙයක්. අනෙක කොරෝන කාලෙ නිසා එය ඔබේ සෞඛ්‍යයටත් තර්ජනයක් නේද?

ඉතින් බොහෝ දෙනෙක්ගෙ ආදායම් අඩු මේ කාලෙ අවබෝධයක් ඇතිව මේ පිලිබඳව දෙවරක් සිතීම වටිනවා. අරය දීපු නිසා අපිත් දෙන්න ඕන කියල පාර්ටි ඕගනයිස් කරනවට වඩා ඇත්තටම අවුරුදු කාලෙ වැදගත් වෙන්නෙ හැමෝම එක්ක අවංක සුහදශීලී මිත්‍රත්වය වර්ධනය කර ගැනීම.

ඉතින් ඒ සදහා අනවශ්‍ය සෝබන වියදම් වලින් තොර මිතුරු හමුවක් සූදානම් කරන්න ඔබට පුලුවන් නේද? ඔබේ ආකල්ප වෙනස් කර ගත්තොත් අපි කරන බොහෝ අනවශ්‍ය වියදම් වලට තිත තියන්න පුලුවන්. ඒක මේ දවස් වල බජට් එකට වගේම සෞඛ්‍යයටත් වාසි.

පුංචි ඉතිරියක් කරන්න.

saving plan

මේ සම්බන්ධයෙන් ඔබ මොනතරම් එකඟ වේවිද කියන්න අපි දන්නේ නෑ.ඒත් ඔබට මතකද 2020 අලුත් අවුරුදු දවස්.අපි බොහෝ දෙනෙකුට සම්පූර්ණ වැටුප වත් ලැබුණේ නෑ. අන්න එහෙම වෙලාවට ගන්න ඔබ කීයක්වත්ම ඉතිරි කරලා නැත්නම් මේ අවුරුදු බෝනස් එකෙන් සුළු මුදලක් ඒ ඉතිරි කිරීමට යොදවන්න.

ඔබ ඉතිරි කිරීම් කරන ස්මාර්ට් කෙල්ලක් නම් අර වගේ හදිසි මොහොතක බය තව ටිකක් අඩු කර ගන්න හිතාගෙන ඔබත් අවුරුදු වියදම් කරන්න තියා ගන්න මුදලින් සුළු ප්‍රමාණයක් හෝ ඉතිරි කරන්න.

තවත් දෙයක්, අලුත් අවුරුදු ගනුදෙනු චාරිත්‍ර වලින් ලැබෙන සුළු මුදලක් වුණත් අපිට නාස්ති නොකර ඉතුරු කරන්න පුලුවන් නේද?

උත්සව කාලේ අපේ බජට් එකට නොදැනීම තට්ටු වෙන කාලයක්. හැබැයි අපි ස්මාර්ට් විදියට මොළේ පාවිච්චි කරොත් අපිට අනවශ්‍ය වියදම් වෙන්න නොදී අවුරුදු බජට් එක ස්මාර්ට් විදියට බැලන්ස් කර ගන්න බැරි කමක් නෑ.

Related Articles

Don't Miss


Latest Articles