fbpx

අහංකාර නගරේ -05

හෝටලයේ හිමි කරු වන මිටි  මිනිසා, එහි සේවකයෙකු වැඩක් නොකර මොහොතක් හෝ සිටිනු දකින්නට රිසි වූයේ නැත. කා හටත් ඔහු ගෙව්වේ සොච්චම් වැටුපක් බව රංජනී නැන්දා කීවා ය. නමුත් ගෙවන වැටුප මෙන් දහ ගුණයකට වැඩි සේවයක් ලබා ගන්නට ඔහු වෙර දැරුවේ ය. 

සේවකයෙකු සිය ආයතනය වෙනුවෙන් වැටුප මෙන් කිහිප ගුණයක සේවයක් සපයන්නට හිතන එක ඉතා යහපත් ගුණයකි. නමුත් සේව්‍යයෙකු ගෙවන වැටුප මෙන් කිහිප ගුණයක වැඩ ගන්නට බලනා එක ශ්‍රමය සූරා ගෙන කෑමකි!

මහවැලි ගොවියෙකු වූවත්, කොළඹ හෝටලයක වැඩ කළත්, අපේ පන්තියේ උන් හසු වන්නේ ශශ්‍රමය සූරා කෑමට ලක් වන පීඩිත පන්තියටයි.

“මෙව්නා අර මේස ටික පිහදාල දාන්න කෙල්ලෙ”

පිඟන් කන්දක් සෝදා මා තත්පරයකට බංකුවක් මතින් හිඳ ගන්නවා දුටුවොත් ඔහු කියයි. විශේෂය වන්නේ මේ මිනිසා බැණ වැදීමකින් තොර ව ඉතා සියුම් ලෙස මිනිස් ශ්‍රමය සූරා ගැනීමයි.

“මිට්ටා කට්ටා කියනවනෙ. මේ මිනිහත් කරන්නෙ කපටි කමට හොඳ මූණක් පෙන්නගෙන වැඩ කරන මිනිස්සුංගෙං ගන්න පුළුවන් සේරෝම වැඩ ටික කර ගන්න”

රංජනී නැන්දා කියන්නී ය. කොයි තරම් වෙහෙසෙන්නට සිදු වුණත් හෝටලය දේවාශිර්වාදයක් සේ සිතන්නට මම උත්සාහ කළෙමි. ගම දී වැඩිපුර ම අප කන්නේ කුරහන් තලප ය. බත් උයන්නේ දිනකට  වරකි. ඒ ඉව්වත් මාළුව ලෙස වැඩිපුර පිසෙන්නේ වට්ටක්කා දලු ය. නමුත් හෝටලයේ වැඩ කරන්නට ගත්තා ට පස්සේ මට කෑමට ලැබුණේ ඇතැම් විට මීට පෙර මා දැක හෝ නොමැති ආහාර වර්ග ය. එවැනි රස අහරක් බුදින විට මට කිරි අම්මා සිහි වේ. ඇය මිය යන්නේ මේ රටේ ම මිනිස්සු මෙවැනි අහර බුදිනවා කියා හෝ නො දැන ය. එතකොට මගේ සිත කඳුළකින් තෙත් වෙයි. ගමට යන දා ක කිරි අම්මා ට මෙහෙන් බත් මුලක් ගෙන යා යුතු ය!

“හොඳට කන්න”

රංජනී නැන්දා මගේ පිඟානට වැඩිපුර මාළු හෝ කුකුළු මස් කැබැල්ලක් බෙදයි. 

“ඇ…ති…”

මගේ උගුර හිර වෙන්නේ ඒ වෙලාවට ය. 

“මෙතන ඉන්න ගමං වෙන මොකක් හරි රස්සාවක් හොයා ගන්න බලන්න. මේක ඔය වගේ ළමයෙක් දිගටම කරන්න ඕන වැඩක් නෙවෙයි”

ඇතැම් විටෙක රංජනී නැන්දා එහෙමත් කියන්නී ය.

“ඉගෙන ගත්තයි කියල නෑනෙ…මේක මහ පුදුම රටක්. මං මේ ලිප් බොක්කෙ තැම්බිල තැම්බිල කීයක් හරි අරං කෙල්ලටයි කොල්ලාටයි උගන්නනව. ඒත් උන්ටත් ඉස්සරහට මොන වගේ රස්සාවල් කරන්න වෙයිද කියල දෙයියො තමයි දන්නෙ”

රංජනී නැන්දා ගේ දුව උසස් පෙළ පන්තියේ ය. ඇය ඉගෙනීමට දක්ෂ බවත්, පහේ ශිෂ්‍යත්වය සමත් වීම නිසා කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක ඉගෙන ගැනීමේ අවස්ථාව උදා වූ බවත් ඇය කීවා ය. නමුත් පුතා ඉගෙනීමෙහි දක්ෂයෙකු නොවේ. මේ වසරේ ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නේ ය. 

“ඕලෙවල් වෙනකල් වත් ඉස්කෝලෙ පලයං කියලයි මං ඌට කිව්වෙ. ඉගෙන ගන්නෙ නැත්තං වෙන මොනා කරන්නද…දෑතෙ කර්මාන්තයක් හරි ඉගෙන ගන්නයි කියනව. ඌනං කියන්නෙ ත්‍රීවීල් එකක් ගන්න ඕනයි කියලමයි. අනේ මන්දා ඉතිං”

ගම සිටියදී අප සිතන්නේ කොළඹ ජීවිත සුර පුර වාගේ කියා ය. නමුත් ඔවුන් ගෙන් බොහොමයක් දෙනා ජීවිතයත් එක්ක බරපතල සටනක නියැළෙති. අපට නම් උයාගෙන කන්නට වට්ටක්කා දලු හෝ හේනේ වැවේ. මේ මිනිසුන්ට කරපිංචා නැට්ටක්වත් මුදල් නැතිව ලැබෙන්නේ නොවේ. 

කොළඹ සමාජය මතුපිටින් හෝ වටහා ගැනීමට මම උත්සාහ කළෙමි. එහි ජීවත් වන බොහොමයක් දෙනා ඉහළ මධ්‍යම පන්තිය පවත්වා ගෙන යන්නට අරගලයක යෙදෙති. ඔවුන් ට බැංකු ණය මත හෝ තනා ගත් නිවසක් තිබේ. ෆිනෑන්ස්  මත හෝ දුවන වාහනයක් තිබේ. ක්‍රෙඩ්ට් කාඩ් වලින් හෝ ඔවුහු සිය පන්තිය නඩත්තු කර ගෙන යති. නමුත් හිත් වලට නිවනක් නැත්තේ ය. අප ට වාගේ, එකක් සමග බත් කා සැනසිල්ලේ නිදන ජීවිතයක් ඔවුහු අහිමි කර ගෙන සිටිති. මා ඒ දේවල් දැන ගත්තේ සුරනි ගෙනි.

සුරනි විදුහල්පති තුමා ගේ දුර ඥාති වන පවුලක ළමයෙකි. ඔවුන් ගේ ගම මොණරාගල ය. විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී නේවාසිකාගාර පහසුකම් ලැබුණත්, දෙවන වසරේ දී පිටතින් නවාතැන් සොයා ගත යුතු වේ. විදුහල්පති තුමා ඇය ට මෙහි නවාතැන් පහසුකම් ලබා දී තියෙන්නේ, ඇගේ පියා සිය ඥාතියාගෙන් ඉල්ලා සිටි උදව්වට ප්‍රතිචාර වශයෙනි.

“මොනා වුණත් ජයශාන්ත මාමා ගමේ නෑදෑයන්ට උදව් කරනව. අර අම්මණ්ඩි තමයි එක විදිහක්”

සුරනි එසේ කීවේ විදුහල්පති බිරිය ගැන ය.

“මැඩමුත් හොඳයිනෙ. මට කිව්ව මෙහෙං කෑම කන්නත් කියල. ඒ ගැන වද වෙන්න එපා කියල”

සුරනි අවඥාසහගත සිනහවක් පෑවා ය. සැබවින් මට එහි අරුත වැටහුණේ නැත.

“අහු වෙන්න එපා. මටනං හිතෙන හැටියට එයා අමුතු ලයින් එකක කෙනෙක් වගේ”

“ඒ කිව්වෙ…”

“මං හරියටම දන්නෑ. ඒත් ඔයා පරිස්සමෙං එයාව ආශ්‍රය කරන්න. ඔය වගේ සමාජ සේවිකාවො විශ්වාස කරන්න බෑ කියල තමයි කැම්පස් එකේ ළමයිනං කියන්නෙ”

මට එක වර සුරනි අදහන්නට ඕනෑ වූයේ නැත. කොහොමටත් මා වෙන කෙනෙකු ගේ දෑසින් තව කෙනෙකු දෙස බලන ආකාරයේ කෙනෙක් නොවේ.

“ඔයා දැකල තියෙනවද ජයශාන්ත මාමා වීක් එන්ඩ් එකේ ගෙදර ඉන්නව”

ඒ වෙලාවේ ත් සුරනි ගේ වත මත වූයේ අඩමාන සිනහවකි. 

“එයාගෙ වත්තකට යනවලුනෙ..”

මා කීවේ නන්දාවතී ගෙන් ඇහිඳ ගත් කතාවකි. සුරනි ගේ සිනහව පුළුල් විය.

“ගෙදර මිනිස්සු එහෙම තමයි කියන්නෙ. ඒත් ඒක ඇත්තක් නෙවෙයි”

“ඇයි…”

“ජයශාන්ත මාමට තව පවුලක් ඉන්නවලු”

“ආ…”

ඉහළට ඇද ගත් හුස්ම මට පහළ හෙළිය නො හැකි වූයේ ය. ඔහු වූ කලී විදුහල්පති වරයෙකි. ගෞරවනීය රජයේ සේවකයෙකි. දහස් ගණන් දරුවන් ට මග කියා ඇති ගුරු පියෙකි. ඔහු ගැන එහෙම සිතන්නට වුව පිළිවන් ද?

“ඔයා කොහොමද දන්නෙ…”

“දන්නව ඉතිං”

“මටනං ඒක විශ්වාස කරන්න පුළුවන් කතාවක් නෙවෙයි”

“ඇයි…”

“එකක් ඒ වගේ රස්සාවක් කරන කෙනෙක් ගොඩක් ආදර්ශමත්. අපේ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර් ගැන මං හොඳට දන්නවනෙ”

“හැම කෙනාම එක වගේ නෑ මෙව්නා”

“මේ සර් ඒ සර් ගෙ යාළුවෙක්. එහෙනං අපේ සර් කීයටවත් මාව මෙහෙට එවන්නෑ”

එවර සුරනි හඬ නගා හිනැහෙන්නට වූවා ය. මම තැති ගත් දෑසින් ඇදෙස බලා සිටියෙමි. ගමේ නූගත් මිනිසුන් හා ගැහැනුන් අතර ඇති වෙන ‘හොර’ සම්බන්ධතා ගැන කතා කොතෙකුත් මගේ කන වැකී තියේ. ඒවා, ඔවුන් ගේ හැඟීම් පාලනය කළ හැකි බුද්ධියක් වගා කර ගෙන නො මැති කමෙහි ප්‍රතිඵල ලෙස මම අවබෝධ කර ගෙන සිටියෙමි. ඒවා වූ කලී ගෝත්‍රික ලක්ෂණ ලෙස ද මම සලකා ගෙන සිටියෙමි. මිනිසා ක්‍රමයෙන් ශිෂ්ටාරවත් වීමේ දී හැඟීම් යටපත් කළ හැකි බුද්ධියක් වර්ධනය කර ගත්තේ ය. විදුහල්පතිවරයෙකු කියන්නේ සාමාන්‍ය නූගත් ගැමි මිනිසෙකු නොවේ. ඔහු පිළිබඳව එහෙව් අවිචාරවත් පුවතක් අසන්නට මට කොහෙත් ම ඕනෑ වූයේ නැත.

“ලෝකෙට ප්‍රසිද්ධ කර ගෙන ඕව කරන්නෙ කවුද මෝඩියෙ…ඔයාගෙ ප්‍රින්සිපල් සර් විතරක් නෙවෙයි මෙයාලගෙ උගත් මිත්‍ර සමාජෙම පිළිගන්නෙ මෙතන තමයි එයාලගෙ ෆැමිලි එක තියෙන්නෙ කියල”

“ඉතිං ඔයා කොහොමද ඒ වගේ රහසක් ගැන දන්නෙ…”

මම සුරනි ට අභියෝග කළෙමි.

“ගමේ කීප දෙනෙක් ම සැරෙන් සැරේ මෙහෙ ඉඳල තියෙනවනෙ. ඒක නිසා ගමේ නෑදෑයො ඔය ගැන කසු කුසු ගානව. හැබැයි රහසෙං. කවුරුවත් එහෙම දෙයක් දන්න බව අඟවන්නෙ නෑ”

මම ලොකු සුසුමක් හෙළුවෙමි. මෙතැන ඔවුන් ට කෙතරම් වටිනා පවුලක් තිබේ ද? ඔවුන් ගේ දරුවන් ද වැඩිහිටි සමාජය ට එළඹ සිටින උසස් අධ්‍යාපනය ලබන්නන් ය. එසේ වී ත් මෙහෙම දේවල් සිදු වෙනවා ද? 

“සති අන්තෙ එහෙ තමයිලු ඉන්නෙ. සතියෙ දවස් පහේ මෙහෙ ඉහළ සමාජෙ හොබවල සති අන්තෙ යනව එයාගෙ රහසිගත ජීවිතේට. මේ කොළඹ හුඟක් අය ඔය වගේ දෙබිඩි ජීවිත ගත කරනව මෙව්නා. ඒක දැං ඒ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. අනියම් සම්බන්ධකම් නැති කෙනෙක් හොයා ගන්නත් අමාරු තරමයි”

අසාධ්‍ය රෝගයක් වැළඳී ඇති බව දැන ගත් රෝගියෙකු සේ මම අප්‍රාණික වී සිටියෙමි. මා මේ නගරය ට ආවේ ජීවිතය ට අරමුණක් සොයා ගෙන ය. නමුත් මෙනුවර සිටින්නේ අරමුණු විසුණු වී ජීවිත වල් වැදුණ මිනිසුන් බව දැන් දැන් අසන්නට ලැබේ. කොහොම නම් මා මේ කතා විශ්වාස කරන්න ද? 

ඒ රාත්‍රියේ මම සඳැල්ල ට වී සඳ පාන දෙස බලා සිටියෙමි. සුරනි කාමරයට වී පාඩම් කළා ය. මා පිටතට වී සිටියේ එක් ව සිටිනා කල ඇය පාඩම් කටයුතු මගහැර ගෙන මා හා කතාවට වැටෙනා නිසාවෙනි.

මිනුම් කළ නො හැකි සන්තාපයක් මගේ හද මඬල ට බර වී තිබුණේ ය. ඉරණම වෙනස් කර ගනු වස් මා පිවිස ඇත්තේ කෙබඳු මිනිස් සමූහයක් අතරට දැයි මම නො දනිමි. මේ ගෙදර මිනිසුන් වුව අමුතු බව මට මුල සිට ම දැනිණ. සාමාන්‍ය ස්වරූපයක් දැරුවේ විදුහල්පති තුමා පමණ ය. බය නැති ව නිදහසේ සිනහ වූයේ පවා ඔහු විතර ය. අනිත් සියලු දෙනා වෙත වූයේ ව්‍යාජයකි. බුම්මට්ටා ගේ ඇස් වල නම් කිසියම් වේදනාත්මක ඉල්ලා සිටීමක් දකිත හැකි විය. නමුත් ඒ සියල්ල මට වටහා ගත නො හැකි සීමාවක පැවති ඒවා ය. 

දොරගුළු හරිනා හඬක් ඇසී මම හිස හරවා බැලුවෙමි. කොරිඩෝරයෙන් සඳැල්ල ට පිවිසෙන වීදුරු දොර හැර ගෙන සිතිජ ආවේ ය. ඔහු ව මා මෙතැන දී දකින්නේ සති කිහිපයකට පස්සේ ය. මට ළෙංගතු සිනහවක අවශ්‍යතාවය දැනිණි. ඒ නිසා ම මම එහෙම හිනැහුණෙමි. බුම්මට්ටා සිනහ වෙන්නට අමතක කොට මදෙස බලා සිටියේ වෙනත් ග්‍රහ ලෝකයකින් පිවිසි අරුම පුදුම සත්වයෙකු දෙස බලනාකාරයෙනි. ඒ අතර වාරයේ මගේ සිනහවත් වියැකී යමින් තිබෙන්නට ඇත.

“කොහොමද…හුඟක් දවසකින් අයියව දැක්කෙ…”

ඔහු මා සසල කරවන සුසුමක් හෙළුවේ ය.

“එහෙම තමයි”

ඒ සිනහවේ අග ඔහු කෙඳිරුවේ ය.

“මිනිස්සු එච්චරට තනි වෙලයි ඉන්නෙ. එක වහලක් යට හිටියත් අනිත් අයව නොදකින තරමට”

මගේ හදවත් කුටීර වල වූ රුධිරය කකියන්නට වූයේ ය. හදවතේ බිත්ති වේදනාවේ ස්වර පරාසයක කම්පනය වන්නට විය. මීට ටික වෙලාවකට පෙර සිට මගේ හදවත ගැහෙමින් තිබූ රිද්මයත්, ඔහු ගේ හදවත ගැහෙන රිද්මයත් දෙකක් නොව එකක් බව, පංචේන්ද්‍රිය ඉක්මවන මගේ ස්ත්‍රී ඉවකට දැනෙන්නට වූයේ ය. 

“අයි…යෙ…”

“හොයා ගත්තද…”

“මොකද්ද…”

“හොයං ආවයි කියපු අරමුණ…”

කට උත්තර නැති ව ගිය සෙයක් මට දැනිණ. මම අමාරුවෙන් ගෙල හරවා අහස දෙස බලා ගතිමි. කඩා වැටෙන තරුවක තිබිය හැකි බලාපොරොත්තු සුන් වීමේ ශෝකය මේ මොහොතේ හරි හදිස්සියෙන් මගේ හිත අනාවරණය කර ගත්තේ ය. මා වූ කලී කඩා වැටෙන තරුවක් සරි නොවෙම් ද? 

“මේ වෙලාවෙ මං ඉන්නෙ ආවටත් වැඩිය බලාපොරොත්තු සුන් වෙච්ච තත්වෙක. ඒත් කඩා වැටෙන තරුවක් වගේ දැවිල අළු වෙලා යන්න ඕන නෑ මට. අළු වලින් නැගිටින කෙල්ලක් වෙන ප්‍රාතිහාර්යයි පාන්න ඕනෙ. ඒත් මං දන්නෑ එහෙම කරන්න පුළුවන් වෙයිද කියල”

සිතිජ තරු පවා සසැලෙන විදිහේ සුසුමක් හෙළුවේ ය. ඔය තරම් හැඟීම් තෙරපෙන සුසුම් හෙළන්නට ඔහු කොයි වාගේ සිතිවිලි සමුදායකින් පීඩා විඳිනවා ඇත් ද යන සිතිවිල්ල මා නො සන්සුන් කරවූයේ ය.

“ඔයා එහෙම කරන්න”

තරුවක වන කඳුළු දීප්තිය මට ඔහු ගේ නෙත් හි දැකිය හැකි විය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x