ඈත දුර ආකාසේ -03

ඊළඟ දින කිහිපයක්ම තුරුලි ගෙවූයේ මඟ බලන්නට ය.ආදිත්‍ය ඇගේ ඇමතුම් ද කෙටි පණිවිඩ ද නිර්දය ලෙස මඟ හරින්නට ගත්තේ ය.ඇය ඉකිලමින් ඒවා දරා ගත්තා ය.

“දෙයියන්ගෙ නාමෙට මේ ගමනවත් බ්‍රේකප් වෙනවා අක්කේ.අඬ අඬ ඔය මිනිහා පස්සේ නොයා. “

තුරුලිට නැගණිය පැවසුවේ තදිනි.ඒත් ඇයට ඒවා අසන්නට ඕනෑ නොවී ය.

තුරුලිට ආදිත්‍ය මුණ ගැසෙන්නේ පාසල් බසයේ දී ය.ඊට පෙර ඈ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවූ දඟකාරියක වූවා ය. ගැහැනු ළමයින්ගේ සිහින කුමාරයා වූ ආදිත්‍ය තමන් ගැන විමසිලිමත් වීමම ඇයට ඉතා සන්තෝසජනක කාරණාවක් විණි.නමුත් සඳලි නම් එය නිර්දය ලෙස විවේචනය කළා ය.

“ඌ කෙල්ලන්ගෙ ක්‍රෂ් එක වෙලා තියෙන්නෙ මොන ගොං කමකටද මන්දා.නපුරුකම උතුරන ගොං වස්සෙක් ඒකා.”

තුරුලි ඒවාට කෝප ගන්නට පටන් ගත්තා ය.හොඳම මිතුරිය වූ නැගණිය හා කෝපයක් හට ගන්නේ තමන් ආදිත්‍යට බැඳෙමින් සිටින නිසා බව ඇය තේරුම් ගත්තා ය.

වෛද්‍ය විද්‍යාලයෙන් මෙපිට නොනවතින බව ගුරුවරුන් ආදරයෙන් අනාවැකි කී තුරුලිගේ බහින කලාව ආරම්භ විණි.ඒ පාඩම් අසීරු වීම නිසා නොවේ.ජීවිතය අසීරු වන්නට ගත් නිසා ය.බස් රියේ ඈ අසල තරුණයෙකු රැඳීම, රසායන විද්‍යා ටියුෂන් ගුරුතුමා සරසවි සිසුවෙකු වීම,රෑ තිස්සේම ඇමතුම් වල නොරැඳී පාඩම් කරන්නට සිදුවීම ආදිත්‍ය කෝප ගැන්වූ සමහර කාරණා ය.ඉතින් ඇය ඒවාට නිදහසට කරුණු දක්වන්නටත්, ඇනුම් බැනුම් වලින් නොනැවතී ගුටිබැට පවා දරා ගන්නටත් පටන් ගත්තා ය.

ප්‍රතිඵල පැමිණියේ යාන්තමට සරසවි දොර ඇය වෙත විවර කර දී ය.

ඊළඟ තර්ජනය යාපනය වැනි දුරකට ඇය නොයා යුතු බව කියමිනි.අම්මාත් තාත්තාත් ආසාවෙන් දෑස් දල්වා බලා සිටියදී තුරුලි සරසවි සිහිනය අතැර දැමුවා ය.බැංකු නිලධාරිනියක වන්නට යාන්තම් ඉඩ ලැබුණේ එකම එක හේතුවක් නිසා ය.ඒ එය සාරි අඳින වැදගත් රැකියාවක වූ නිසා ය.

සඳලි අතීතය දිග ඇවිදින්නට ගත්තේ සැබෑ කෝපයකිනි.අක්කා තම නිවුන්නිය නොවූවානම් මෙය මෙතරම් වේදනාබරව නොදැනෙන බව ඇය සිතුවා ය.එකට සංවේදනා ද සන්තෝසය ද දරාගෙන උස්මහත් වූ නිසාම ඇය ගැන දැනෙන වේදනාව දරා ගන්නට අපහසු බව සඳලි සිතුවේ කෝපයෙනි;ශෝකයෙනි.

කියවන්න :  ඈත දුර ආකාසේ -02

“අපි ඕකට ගස්සමුද වෙලාවක..අන්ඩක් දෙකක් කැඩුවානම් පාඩුවෙ ඉඳී..”

රනුක හදිසි යෝජනාවක් ඉදිරිපත් කළේ ය.ඔහු ද මේ තත්ත්වය ගැන සැබෑ වේදනාවකින් පසුවන බව සඳලි දැන සිටියා ය.නමුත් එවැනි දෑ ඵල රහිත ය.ඒ අක්කාගේ තවත් පෙම්වතෙකුගේ වැඩක් බව පවසා ආදිත්‍ය නටන්නට පටන් ගන්නා බව සඳලි හොඳින් දැන සිටියා ය.

“තුරුලි බබෙක් වගේ හිතලා බෑනෙ සඳූ තව දුරටත්.එයා හිතන්න ඕන මේකෙන් ගොඩ යන විදියක්.”

අක්කා ගොඩ යන්නට ඇති හැම පාරක් දෙසම නොබලා අන්ධ වූ ලෙස හැසිරෙන බව සඳලිට සිහි විණි.අම්මා කියන අන්දමට ආදිත්‍ය අක්කාට වශියක්වත් කර ඇද්දැයි ඇය සිතුවේ සියළු නවීන සංකල්පනා අහකට විසි කර දමමිනි.

“කොච්චර උගත් උනත් මේ කෙල්ලො තමන්ගෙ පාට්නර්ට බය වෙන හැටියි, එතනින් එහා ජීවිතයක් නෑ කියලා හිතන හැටියි මහ විහිලුවක්.නෑ විහිලුවක් නෙවෙයි ඒක තදබල ඛේදවාචකයක්.අම්මලා තාත්තල තමන් ගැන තිබ්බ බලාපොරොත්තු අතාරිනවා. ඊටපස්සෙ තමන් තමන්වම අතාරිනවා.කොහෙන්හරි මීට් උනු කොල්ලෙක්ගෙ අත් උඩින් තමන්ගෙ මුළු ජීවිතේම තියනවා..”

රනුක කියද්දී සඳලි සුසුමක් නිදහස් කළා ය.අක්කා සම්බන්ධයෙන් ද එය මොනතරම් සත්‍යයක්දැයි ඇය සිතුවා ය.

“ඊටපස්සෙ ලෝයර්ස්ලට වැඩ වැඩි වෙනවා..”

ඇය එසේ පැවසුව ද රනුකට වෙනත් කතාවක් තිබිණ.

“නෑ සඳූ, ඔය ඩිවෝස් වෙන්නෙත් කොන්දක් තියන කෙල්ලො.තමන්ව රැවටෙනවා හරි තමන්ව යූස් වෙනවා හරි කියලා තේරෙන අය.බහුතරයක් ඩිවෝස් වෙන්න හිතන්නෙවත් නෑ.ඔක්කොම දරාගෙන ජීවත් වෙනවා.මැරෙනකම්ම දුක් විඳිනවා.එක්කෝ සේරම එපා වෙලා ජීවිතේ නැති කරගන්නවා..”

“ඔහොම අය ඩිවෝස් වුණා, සෙපරේට් උනා කිව්වම බලන්නෙත් හරිම අවුලෙන්නෙ.මම ඔයාට දසුන් ගැන කියලා තියනවනෙ.දසුන් මට හරියන් නැති නිසා මං අයින් උනා.ඒක දසුන්ට ප්‍රශ්නයක් වුණෙත් නෑ.අදටත් ඔය ඉඳහිට කතා කරන්නෙ.ඒක ප්‍රශ්නෙ උනේ අක්කට.මං ඔයත් එක්ක යාලු වෙනකොට කිව්ව ඕකවවත් කසාද බැඳපං කියලා..”

ප්‍රථම ප්‍රේමයම විවාහ කරගන්නට තරම් තමන් ගුණයහපත් බව හා අවංක බව ලෝකයට ඔප්පු කරන්නට යාමත් විවාහය නොබිඳී රැක ගන්නට ඕනෑම කැප කිරීමක් කරන්නියක බව පෙන්වීමට යාමත් නිසා ගැහැනුන් මොනතරම් හිංසනයට ලක් වනවාදැයි සඳලි සිතුවේ ශෝකයෙනි.ඈ බොහෝ වෙලාවක් කල්පනාවේ නිරතව ඔහේ සිටියා ය.

කියවන්න :  ඈත දුර ආකාසේ -10

“ඔයා සඳලි නේද?”

අවන්හල තුළට ඇවිද ආ තරුණයා සඳලි අසල නැවතියේ අහම්බයෙනි.සඳලි ඔහු කවුදැයි සිතන්නට මොහොතක් ගත්තා ය.මතකය අලුත් වූයේ වේගයෙනි.

“මියුරු?”

“අඳුනා ගත්තා නේද..”

තරුණයා හිනා උතුරවමින් එසේ අසද්දී ඔහුට තමන්ගේ මේසයෙන්ම අසුන් ගන්නට ආරාධනා කළේ රනුක ය.සඳලි ඒ ගුණය ගැන රහසේ ප්‍රීති වූවා ය.මෙතැන අක්කා සහ ආදිත්‍ය සිටියා නම් තමන් මොනතරම් කැත මිනිසෙක්දැයි ඔප්පු කරන්නට ආදිත්‍යට එතරම් වෙලාවක් ගත නොවනු ඇත.ඇය රනුකව මියුරුට හඳුන්වා දුන්නේ ද ඒ ප්‍රීතියෙනි.

“තාම යුනිවර්සිටි අවුට් වෙලා නෑනෙ..”

මියුරු අසද්දී සඳලි නැතැයි කියා ලාංකීය විශ්ව විද්‍යාල පද්ධතියේ ඇති මනරම් භාවය ගැන කියවන්නට පටන් ගත්තා ය.එහෙත් මියුරුට ඒවා නොව අසන්නට වෙනත් දෙයක් ඇති බවක් රනුකට සිතිණ.

“තුරුලි කොහෙ යුනිවර්සිටි ද සඳලි? ජැෆ්නා ගියා ද?

“නෑ මියුරු.අක්කා වැඩ කරන්නේ පීපල්ස් බෑන්ක්.ජැෆ්නා යන්න දුන් නෑ අර ගොං ආදිත්‍ය කාරයා..”

මෙතැන හිඳ ගනිද්දී මියුරුගේ මුහුණේ වූ ප්‍රසන්නබව පලා ගියේ යැයි සඳලිට සිතිණ.ඔහු සුසුමක් හෙළා “එහෙමදැයි” අසා මඳ වෙලාවක් නිහඬවම සිටියේ ය.රනුක ඔහු වෙනුවෙන් ගෙන්වූ බීම වීදුරුව තොල ගාන්නට බොහෝ වෙලාවක් ගත කළ ඔහු අනතුරුව ඊළඟ ප්‍රශ්නය ඇසුවේ සෙමිනි.

“තාම ඒ අෆෙයා එක තියනවද සඳලි..”

සඳලිට ඕනෑ වූයේ බොරුවක් කියන්නට ය.නමුත් ඇය සත්‍ය සහ අර්ධ සත්‍ය අතරමැදට එන්නට සිතුවා ය.

“අම්මලා පොඩ්ඩක්වත් කැමතිත් නෑනෙ මියුරු. බ්‍රේකප් වෙන ගාණට ඇවිල්ලා ඉන්නෙ දැන්නම්..ඔයා එනකොටත් මේ අපි ඕක තමා කතා වුණේ..සෙපරේට් වෙයි වගේ දැන්නම්. “

බෝ වෙලාවක් වෙනත් කතාන්දර බෙදා ගනිමින් හුන් මියුරු සමුගත්තේ බලාපොරොත්තු දෝත දරා යැයි සඳලිට සිතිණ.ඒ බලාපොරොත්තු දිය නොවී තිබෙනවාට ඈ සතුටු විණි.සමහරවිට පමා වී වසන්තය එළඹෙනවා වන්නට ද බැරි නැත.

“ඔයා දන්නවද ඒ කවුද කියල..”

ඈ රනුකගෙන් ඇසුවේ බලාපොරොත්තු පුරවා ගනිමිනි.

4.8 5 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
12 days ago

👍