fbpx

අහංකාර නගරේ -06

මාසයක් ඒ තරම් ඉක්මනට ගෙවී යන බවක් මා දැන ගත්තේ නගරය තුළ දී ගෙවී ගිය ප්‍රථම මාසය අවසන දී ය. දරා ගන්නට බැරි, කකුල් කැඩෙන තුරු හිටගෙන, දෑත් දිය වෙන තුරු පිඟන් සෝදා මාසයක් ගෙවුන තැන වැටුප ය කියා ලැබුණ මුදලයි. එය මගේ කම්මුලකට එල්ල කළ දරුණු පහරක් වූයේ ය. ඒ වගේ වැටුපකින් කොළඹ නවාතැනකට මුදල් ගෙවා ගෙන මාසයේ ආහාර වියදම් හා වෙනත් අවශ්‍යතා ද පියවා ගන්නට සිතීම තනිකර ම විහිළුවකි. හෝටලයෙන් දෙවේල සැපයුණ නිසා ත් විදුහල්පති නිවසේ නවාතැන් සඳහා මගෙන් මුදලක් ඉල්ලා නො සිටි නිසා තත්වය දරුණු ලෙස දැනෙන්නේ නැත. නමුත් අපේ ගමේ ඉස්කෝලේ විදුහල්පති තුමා කීවේ මේ නිවසේ මාසයක් පමණ නැවතී ඉන්පසු වෙනත් නවාතැනක් සොයා ගන්නා ලෙසයි.

“මෙහෙම තැනක වැඩ කරල බෝඩිමකට සල්ලි ගෙවන්නවත් බෑ ළමයො. කෑම නැතුව වුණත් මෙහෙ බෝඩිං ගාස්තු හරියට ගෙදරක කුළිය වගේ. මන්නං කියන්නෙ මෙතන ඉන්න ගමං මෙව්නා වෙන රස්සාවක් හොයා ගන්න කියලයි”

රංජනී නැන්දා හෝටලයෙන් නික්මෙන්නට දිගින් දිගට ම මා පොළඹවාලූවා ය. 

“මං හිතන්නෙ මගෙ දුව ගැන. එයත් උසස් පෙළ කරල හොඳ ප්‍රතිඵල අරගෙන හෙට අනිද්දට මේ වගේ රස්සාවක් කරන්න ඕනෙද…එහෙමනං මං මෙහෙම ලිප් බොක්කෙ තැම්බිලා උන්ට උගන්නපු එකෙන් ඇති පලේ මොකද්ද…”

ඕනෑ තරම් වෙහෙසෙන්නට මට හයිය තිබේ. මා ඉඳුල් පිඟන් සෝදන රැකියාවක් කරන්නට වුව එකඟ වූයේ කොතැනකින් හෝ ඇරඹිය යුතු ව ඇති නිසාවෙනි. නමුත් දරා ගන්නට බැරි ඒ වෙහෙසෙට ගැළපෙන මුදල් වටිනාකමක් නො ලැබීමයි. 

උදේ ට රැකියාවට යත්දී වෙන දා වූ උනන්දුව මගෙන් පලා ගියේ ය. මා එහි යන්නට වූයේ මරන්නට ගෙන යන එළ දෙනක් සේ ය. 

“මෙහෙ හුඟක් තැන් වල එහෙම තමයි. අපේ කැම්පස් එකේ එවුනුත් ඔය පොඩි පොඩි පාට් ටයිම් වැඩ කරනවනෙ කීයක් හරි හොයා ගන්න. ෆැක්ට්‍රී වල එහෙමනං දවස් ගාණක පඩිය උන් ළඟ තියාගෙන ඉතුරු එකයි දෙන්නෙ. එතකොට ඊළඟ මාසෙත් එන්නම ඕනෙනෙ”

කොළඹ රැකියා වල තත්වය ගැන සුරනි මා ව දැනුවත් කළා ය. ගෙදර අය නො දැන සිටියත් මගේ රැක්යාවේ සැබෑ ස්වභාවය ගැන මා ඇය ට කිසිත් සැඟවූයේ නැත.

” හුඟක් ළමයි මාසයක් වැඩ කරල අමාරුයි කියල නතර වෙනව.  එතකොට අර දවස් දහයෙ පඩි සල්ලි කවදාවත් ගෙවන්න ඕනෙ නෑ. උං කරන්නෙ අසරණයංව තවත් හූරගෙන කන එකයි මෙව්නා. පවු. ඔය තැන් වල වැඩට එන්නෙ ඔක්කොම ඈත ගම් වල ළමයි. කොළඹ අය යතොත් ඒ ෆැක්ට්‍රි වලම ඔෆිස් එකේ වැඩට තමයි”

ගමෙන් නගරයට රැකියා සොයා ගෙන විත් සූරා කෑමකට ලක් වෙන තරුණ තරුණියන් ගැන සැබෑ කැක්කුමකිනි සුරනි කතා කළේ. මා එවන් අවබෝධයක් වුව මීට පෙර ලබා තිබුණේ නැත.

“මේව කවදාවත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි මෙව්නා. බලය ගන්න ලස්සන කතන්දර ගොතං එන එකෙක්වත් බලයට ආවට පස්සෙ ඒව කරන්නෙ නෑ. අපි හරි අවාසනාවන්ත මිනිස්සු. අපේ රටේ දේශපාලකයො කවදාවත් රට ගැනවත් මිනිස්සු ගැනවත් හිතන්නෙ නෑ”

මා නොදැන සිටි අගාධයක පත්ල වෙත හෙමි හෙමිහිට ගිලා බසින්නට පටන් ගෙන ඇති බවක් මට දැනෙන්නට ගත්තේ ය. කොළඹ කියන්නේ හිතූ පැතූ සම්පත් දෙන සුර ලෝකයක් නොවේ!

හෝටලයේ දිගට ම වැඩ කරන්නේ නැතිව ඊට වඩා යමක් ලද හැකි තැනකට යා යුතු යයි මම තීරණය කළෙමි. දොරක් දොරක් ගානේ ගොස් රැකියා සොයනු වෙනුවට පත්තර බලා රැකියා වෙළෙඳ පොළ විමසන්නට මා උනන්දු කරවූයේ සුරනි ය. වැඩ ඇරී ගෙදර ආවාට පස්සේ මම ඉල්ලුම් පත් ගණනාවක් පුරවමින් තැපැල් කළෙමි. නමුත් සති ගණනක් ගෙවී යන තෙක් කැඳවීමක් කෙරුණේ හෝ නැත. අවසානයේ පිරිසිඳු කිරීම් කරන ආයතනයකින් මා කැඳවිණ. 

කාර්යාල කටයුතු සඳහා නොව එහිත් වූයේ පිරිසිඳු කිරීමේ කටයුතු සඳහා ඇබෑර්තු ය. නමුත් සතියකට දවසක් නිවාඩු තිබිණි. ඒ වරප්‍රසාදය ගැන සිතා මම ඒ රැකියාවට එකඟ වීමි.

එදා සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබුණ දා මම හෝටලයේ රැකියාවට නො ගියෙමි. හැන්දෑවේ මා එහි ගියේ පසු දා සිට වැඩට නො පැමිණෙන බව දැනුම් දෙන්න ය. නමුත් මා දුටු වන මිටි මිනිසා මගේ ඇඟට කඩන් පැන්නේ ය.

“තමුන් ඔය වැඩට එන වෙලාවද…මෙතන වැඩට ගත්ත වෙලේම මං කිව්ව නිවාඩු ගන්න බෑ කියල. නිවාඩු ගන්න මේක ඔෆිස් එකක් නෙවෙයිනෙ. තමුං නැති වෙලාවට මමද පිඟන් හෝදන්න ඕනෙ…”

හෝටලයට පැමිණ සිටි පාරිභෝගිකයන් ඉදිරියේ ම ඔහු කතා කළ අශ්ලීල ආකාරය නිසා, යට පත් කර ගෙන උන් මගේ පුරුදු ගති ඉස්මතු වූයේ ය.

“නිවාඩු ගත්තෙ නොගෙන බැරි අත්‍යවශ්‍ය හේතුවකට සර්. මෙතන වැඩට ආවට පස්සෙ මං වරුවක නිවාඩුවක් ගත්ත පළවෙනි වතාව මේ”

“ඒ ගමන තමුං මාත් එක්ක කට ගහගෙන එන්න පටං ගත්තද…”

“මං මෙතන වහල් සේවකයෙක් නෙවෙයිනෙ සර්”

“මොකද්ද කියන්නෙ…බහින්නයි කිව්වෙ දොට්ට. එන්නෙනං කොහොමද දෙකට තුනට නැවීගෙන…දවසක් දෙකක් යනකොට මුංගෙ කටවල් වලට පණ එන්නෙ මෙහෙමයි ආ”

“සර් මට කරපු උදව්ව අමතක කරනව නෙවෙයි. ඒත්”

“බහින්නයි කිව්වෙ දොට්ට. තව විනාඩියක්වත් මෙතන නොඉඳ”

“සර්…මං වැඩ කරපු දවස් ටිකේ පඩිය”

“මොන පඩියක්ද…එහෙම හිතුණ හිතුණ වෙලාවට පඩි ඉල්ලන්න මේක මොකක් කියල හිතුවද…පඩි දවසට එනව පඩි දවසට”

මම බලු කික්කියක් සේ මගට බැස්සෙමි. රංජනී නැන්දා ට යනවා කියන්නට හෝ මට අවස්ථාවක් ලැබුණේ නැත. වේදනාවක් හිතේ එහෙ මෙහෙ වෙමින් තිබිණ. නමුත් මම දුර්වල සිත වාරු කර ගෙන විදුහල්පති මැදුර වෙත පැමිණියෙමි.

මා එත්දී සිතිජ සිටියේ මිදුලේ බංකුව මත හිඳ ඔවුන් ගේ වංශක්කාර සුනඛ සුරතලා සමග සෙල්ලම් කරමිනි. ඔහු ඈතට විසි කරන බෝලය බල්ලා සිය කටින් ගෙන විත් ඔහු ට දෙයි. මම මඳ වෙලාවක් නතර වී ඒ දෙන්නා ගේ සෙල්ලම දෙස බලා සිටියෙමි. එවන් දයාර්ද්‍ර බැඳීමක් වුව සිත පහන් කරන තරමට මේ නගරය වියළි ය. අජීවී ය.

තත්පර කිහිපයකදී ඉවකින් සේ බල්ලා මවෙත හැරී බුරන්නට වූයේ ය. සිතිජ වහා ඌ අල්ලා ගත්තේ ය. 

“එයා ගෙදර කෙනෙක් බෘෘනෝ”

මම හෙමිහිට ඔවුන් වෙත ගෑටුවෙමි. බල්ලා ගේ හිස මඳක් පිරිමැද්මෙි. එවර ඌ කීකරු ව හිස පහත් කර ගෙන සිටියේ ය.

“නොදන්න බල්ලන්ට ඔහොම ලං වෙන්නෙ බලාගෙන. උංව ශුවර් කරන්න බෑ”

“හ්ම්”

ඔහු අදහස් කළාට වැඩි යමක් මට දැනෙන්නට ඇත. ඒ, මගේ හිත පාරමින් තිබූ නිරුදක ඉරිතැලීම නිසා වන්නටත් ඇත. හිතේ සංකාව තුනී කර ගන්නට දෝ මම දිගට ම බල්ලා ගේ හිස පිරිමදිමින් සිටියෙමි.

“අවුලක්ද…”

සිතිජ කෙටියෙන් කතා කළේ ය. ඒ වුණාට ඔහු ට අනුන්ගේ සිතක් කියවීමේ හැකියාවක් තිබේ. එක අතකට සුනඛයෙකු ට සෙනෙහස පාමින් ඌ ව වටහා ගන්නා මිනිසෙකු ට, නො කියනා හිතක් තේරුම් ගැනීම අරුමයක් නො විය යුතු ය.

ඔහු ගේ ප්‍රශ්නය ට මම මඳහස පෑවෙමි. නමුත් ඇතුළාන්තය ඉකි බිඳිමින් තිබුණේ ය.

“සමහර දේවල් හිත දුකෙන් පුරෝනව. ඒත් මේ ගම නෙවෙයිනෙ. නගරෙ මිනිස්සු දුවමිනුයි ඉන්නෙ කියන එක මං තේරුං ගනිමින් ඉන්නව. ඒ වේගෙට දුවන්න පුරුදු වෙන්න වෙනව”

පුදුමයෙන් වාගේ මදෙස බලා සිටියා මිස ඔහු නිසිත් කීවේ නැත. මම හෙමිහිට කාමරයට ගියෙමි. මට දුක වැඩ කළ මාසයකට ආසන්න කාලයේ මුදල ගැන ය. සුරනි මට කියා තිබුණේ බොහොමයක් තැන් ඔය විදිහට වැටුප් සොරා ගැනීමක් කරන බවයි. පඩි දවසට වැඩ කළ තැන ඉදිරියේ පාරේ පැය ගණන් රස්තියාදු වී හිස් අතින් ගෙදර යන ළමයින් ගැන මහත් සන්තාපයක් මට දැනෙන්නට විය. අප වෙනුවෙන්, අපේ පන්තිය වෙනුවෙන් පෙනී සිටින්නට හෝ කතා කරන්නට කිසි කෙනෙක් නැති වීම මොන තරම් ඛේදවාචකයක් ද?

කෙසේ වෙතත් හෙට සිට තව දුරටත් එල්ලී සිටින්නට රැකියාවක් තිබීම ගැන සිතා මම හිත සකසා ගතිමි.

“දුප්පත් කෙල්ලන්ට යන්න ගාමන්ට් තියෙනව ඕන තරං. ඒත් මෙව්නා එහෙම තැනකට හිර වුණොත් ඔයා සදා එතනම තමයි”

මට හිමි වන්නට යන පිරිසිඳු කිරීම් වලට අදාල රැකියාව ගැන කතා කරත්දී සුරනි කීවා ය.

“මං දන්න ඩිග්‍රි එක තියෙන අක්කලත් ඉන්නව ජොබ් එකක් නැති කමට ගාමන්ට් යන. ඒත් එයාලට බලාපොරොත්තු හරි තියනවනෙ කවදහරි කොයි ආණ්ඩුවකිං හරි ජොබ් එකක් ලැබෙයි කියල. ඔයා වගේ ජීවිතේ හොයන්න ආසාවෙන් ඉන්න කෙනෙක් එහෙම තැනකට හිර වෙන එක අපරාදයක්”

“අපේ පන්තියෙ කෙල්ලන්ට ගාමන්ට් කොල්ලන්ට පේමන්ට් තමයි නේ”

“ඔයා ඉන්නෙ ඩිග්‍රි එකක් කරන හීනයක් එක්ක නිසා…ඒ හීනෙට නිදහසේ තටු ගගහ ඉන්නවත් ඉඩ තියන තැනක ඔයා ඉන්න. අපි එක්ස්ටර්නල් කරමු. ඔයාව ගාමන්ට් එකකට තල්ලු කරල ඒකයි ඔයාගෙ උරුමෙ කියල ජීවිතෙං එතෙර වෙන්න මට ඕන්නෑ”

ඇය කතා කළේ අවංක හැඟීමෙනි. මේ ගෙන්දගං පොළොව මතදී ඇය වගේ අපේ පන්තියේ අයෙකු මට මුණ ගැස්වීම ම දෛවයේ කරුණා මහිමයක් කියා සිතන්නට මම උත්සාහ කළෙමි.

පිරිසිඳු කිරීමේ ආයතනය උදේ ට අප ව යොමු කරන තැන අපි වැඩ කළ යුතු වන්නෙමු. පිරිසිඳු කිරීමේ ආම්පන්න පිරවූ කරත්තයක් අප ට ලැබෙන්නේ ය. එහි අවශ්‍ය සියලු දෑ වන අතර, අවශ්‍යතාවය මත ඒ දේවල් යොදා ගැනීම ගැන සරල අවබෝධයක් මට ලබා දෙන ලදී. 

ප්‍රථම දිනයේ දී මා ව යොමු කෙරුණේ පෞද්ගලික රෝහලක් වෙත ය. ඒ වාගේ රෝහලක් මීට පෙර කිසි දාක මා දැක නැති බව විශ්වාස ය. මහියංගනයේ රෝහල හා අවට මූලික රෝහල් කිහිපයකට මම ගොස් ඇත්තෙමි. ඒ සියල්ල රජයේ රෝහල් ය. ඒවා එක්ක සසඳත්දී මේ රෝහලක් නොව දිව්‍ය විමානයකි. අපේ ගමේ ගෙදර ගොම මැටි ලූ බිමත් මේ මාබල් බිමත් අතර වන පරතරය ගැන හිතන්නටවත් මම මහන්සි නො වුණෙමි. මෙහි පිරිසිඳු කිරීම් පවා ආශාවෙන් කළ හැකි ය. කොළඹ ඉහළ පන්තිය සුවපත් කරන රෝහලක මිය යාම වුව කෙතරම් අසිරිමත් අත්දැකීමක් විය හැකි ද? 

දින පතා එක ම පරිසරයක වැඩ නො කොට තැන් තැන් වලට මාරු වෙමින් වැඩ කළ හැකි වීම නිසා මේ රැකියාව මගේ සිත් ගත්තේ ය. මම විවිධාකාර මිනිසුන් දුටිමි. ඔවුන් ගේ හැසිරීම් දෙස මම බලා සිටියෙමි. ඒවායින් යමක් උකහා ගන්නට හෝ අත් දකින්නට තැත් කළෙමි. ඇතැම් පෞද්ගලික ආයතන පිරිසිඳු කරන්නට ගිය අවස්ථා වල දී එවන් ස්ථානයක රැකියාවක් කිරීමේ සිහිනය තටු ගසමින් මට ඉහළින් කැරකෙන්නට විය. 

දුප්පත් ගැහැනු ළමයින් ගොදුරු කර ගන්නා පිරිමින් ගැන අත්දැකීම් ලබන්නටත් මේ කාලයේ දී මට හැකි වූයේ ය. සමීප ම අත්දැකීම මා ඇතුළු කණ්ඩායම භාර ව උන් සුපර් වයිසර් වරයා ය. 

“මෙව්නා ව මෙහෙම තැන් තැන් වලට යවන්නත් ලෝබයි”

දවසක් උදේ ඔහු මා පිරිසිඳු කළ යුතු ස්ථානය දන්වන ගමන් අමුතු ස්වරයකින් කීවේ ය.

“ඇයි සර්…”

“නෑ ඉතිං. ලස්සන ගෑනු ළමයෙක්ව බලා ගන්න එක අපේ වගකීමනෙ”

“එහෙම මුකුත් ප්‍රශ්නයක් වුණෙ නෑ සර් මටනං”

“ඒ ඉතිං මං ඔයාගෙ පිටිපස්සෙං ඉන්න බව කවුරුත් දන්න නිසා”

මම බිම බලා ගතිමි. එදා පිරිසිඳු කිරීමේ දියර බෝතලයක් ලබා දෙත්දී ඔහු මගේ ඇඟිලි වලින් ඇල්ලුවේ ය. එය අත් වැරැද්දක් සේ සිතන්නට මා උත්සාහ කළත් සුපර්වයිසර් ගේ ඇස් වල වන්නේ මනමාල බැල්මක් බව වටහා ගන්නට බැරි තරම් මා මෝඩ කෙල්ලක වූයේ නැත. නමුත් ඔවුන් ගේ බැල්මවල් ගැන ක්‍රියාත්මක වන්නට මා කවුරුන් ද? රැකියාව රැක ගත යුතු ය කියන පාඩම මම දැන් උගෙන ඇත්තෙමි. ඔවුන් අප ව දොට්ට දමන්නේ කිසිදු සාධාරණ හේතුවක් නොමැති ව අමනුස්ස වේශයෙනි.

“මොකද කරන්නෙ?”

කියා විමසා එදා රාත්‍රියේ මට සුපර්වයිසර් ගෙන් වට්ස් ඇප් පණිවිඩයක් තිබුණේ ය. මම හිතා මතා ම ඊට පිළිතුරු නො ලියා සිටියෙමි. ඔහු එන පොට ගැන ඉවෙන් වාගේ මට දැනෙන්නට ද වූයේ ය.

“මොකද උත්තර නැත්තෙ?”

ඒ දෙවන පණිවිඩය මා සුරනි ට පෙන්වූයේ උදේ සිට සිදු වූ සියල්ල ද පවසමිනි. 

“මේ වගේ එවුං නැති තැනක් නෑ. කෙල්ලංව බා ගන්නම තමයි බලන්නෙ. ජරා යක්කු. අඩු තරමින් මූට ළමයි දෙන්නෙක්වත් ඇති”

ඇය ද්වේශයෙන් කියවූවා ය.

“දෙමුද හොඳ ලණුවක්….”

මේ වෙලාවේ සුරනි ගේ ඇස් වලත් පෙර කී ද්වේශය ම විය. මම නො තේරුම් බැල්මෙන් ඇය දෙස බලා ඉන්නට වූයෙමි. 

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
1
0
Would love your thoughts, please comment.x
()
x