මේ අවුරුද්දෙ ඔබ නොකළ යුතුම දේවල් 6 ක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට අපි සූදානම් වෙන්නේ දවස් ගාණක ඉඳලා.බොහොම ආසාවෙන් කැමැත්තෙන් බලාපොරොත්තු දල්වාගෙන සූදානම් වෙන අලුත් අවුරුද්ද සංස්කෘතිමය අගයක් ගන්න උත්සවයක් විදියටත් පවුලේ සමගිය ආරක්ෂා වෙන උත්සවයක් විදියටත් හරිම වැදගත්.

ඒත් මේ අලුත් අවුරුදු කාලෙ අපි අතින් හිතා නොහිතා වැරදිත් නොවෙනවාම නෙවෙයි.ඒ ගැන ඔබත් එක්ක බෙදා ගන්න අපි හිතුවේ ඒ නිසා.

කෙළවරක් නැති ෂොපින්

කොරෝනා වසංගතය පැතිරිලා තියන මේ කාලයේ නම් මේක කොහොමත් අපරිස්සමක් ඇති වැඩක්.පොඩි පැටව්ත් උස්සාගෙන ෂොපිං යන එක වගේම රංචු ගැහිලා ඇඳුම් තේරීමෙන් අපි මේ කාලයේ හානි කරගන්නේ අපිටමයි. කොරෝනා නැති කාලයක වුණත් දකින දකින සේල් එකට,වට්ටම් වැඩියෙන්ම තියන ඔන්ලයින් පේජ් එකට, හිතෙන හිතෙන හැම කඩේටම ෂොපින් කරන්න ගියාම අපි හොඳ නාස්තියක් අපිට නොදැනීම කර ගන්නවා. අන්න ඒ නිසා හොඳ බජට් ප්ලෑන් එකක් තියාගෙන,ගන්න ඕන දේවල් සැලසුම් කරගෙන ෂොපින් යන එක තමයි වටිනම කාරණාව වෙන්නේ

තෙල් සහ පිටි ඇති වෙනකන්!

අලුත් අවුරුද්ද කියන්නේ අපි “හොඳට කන බොන”කාලයක්.විශේෂයෙන්ම අපේ සිංහල රස කැවිලි වැඩි වැඩියෙන් හැදෙන කාලයක්.ඉතින් මේ ගොඩක් කැවිලි තෙලෙන් බදින,සීනි යහමින් දමන ආහාර.ඊට අමතරව ඩෙවල් ජාති, බැදුම් ජාති, කට්ලට්ස් වගේ කෑමත් අපිට නිතරම මේ කාලෙට ලැබෙනවා.
ඉතින් ඒකෙන් මේකෙන් වෙන්නේ ශරීරයේ බර ඉහළ යාම අපිට නොදැනීම සිදු වීම.ඒ නිසා පාලනයක් ඇතුව රසකැවිලි බඩට දාගන්න එක වගේම ඉඩක් ලැබෙන වෙලාවට ව්‍යායාම කිරීමටත් අමතක කරන්න එපා.

අම්මලා තාත්තලා අමතක වීම

අපි හැමෝම කාර්යබහුල මිනිස්සු.දැඩි තරගකාරී ජීවන රටාවක ඉන්න අපිට ගමේ යන්න ලැබෙන්නෙත් මාස කිහිපයකට සැරයක්.ඉතින් අවුරුදු නිවාඩුවට අපි එනතුරු අම්මලා තාත්තලා ආසාවෙන් ආදරෙන් බලාගෙන ඉන්නවා. ස්මාර්ට්ලේඩි අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලීමක් කරනවා.අවුරුද්දට ට්‍රිප් එකක් යන්න, විදෙස් සංචාරයක් යන්න අපි කැමතියි තමා.ඒත් පුලුවන්තරම් අවුරුදු දවසවත් ඔබේ වියපත් දෙමාපියන්ගේ දවස කරන්න.අලුත් අවුරුදු එයාලා එක්ක සමරන්න.

කෙළවරක් නැති රතිඤ්ඤා

අපි ගෙවමින් ඉන්නෙ අපහසු කාලයක්. මුදල් ඉතා ඉක්මනින් වියදම් වෙන, රැකියා අවිනිශ්චිත කාලයක්.ඉතින් අපි මේ කාලයේ කළ යුතුම වෙන්නේ අරපිරිමැස්මෙන් වැඩ කිරීම.අලුත් අවුරුද්දේ කෙළවරක් නැති රතිඤ්ඤා කියන්නෙත් අනවශ්‍ය වියදමක්.ඒ වගේම සුරතල් සතුන් සහ වටපිටාවේ ඉන්න බොහොමයක් අහිංසක සතුන් භීතියට පත් කරන රතිඤ්ඤා පාවිච්චි නොකරම ඉන්න පුලුවන් නම් එයත් නුවණැති ක්‍රියාවක්.

අවුරුදු කියන්නේ පාටිම නෙවෙයි.

අලුත් අවුරුද්ද කියන්නේ පාටි දාන එකටම නෙවෙයි. මේ දිනවල අපේ අලුත් අවුරුදු ලිපි මඟින් ඔබට නිතරම මතක් කරනවා වගේම අලුත් අවුරුද්දට විශාල සංස්කෘතිමය වටිනාකමක් තියනවා, ජොතිශ්‍යයමය වටිනාකමක් තියනවා. මේවා ඉදිරියට ගෙන යා යුතු වන්නේ කාන්තාවන් වෙන අපි නිසා පාටි වලටම හිත යොමාගෙන ඉන්නේ නැතුව ගෙදර අය එකතු කරගෙන අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමත් වැදගත්.

ඇල්කොහොල් නැති අවුරුද්දක්.

අවුරුද්ද තියෙන්නේ බොන්න නෙවෙයි.තමන් පාලනය කර ගන්න බැරි වෙනකම් ඇල්කොහොල් ලබා ගැනීම රිය අනතුරු සහ හදිසි අනතුරු ඉහළ දමන්නත් හේතුවක්.ඒ නිසා ඇල්කොහොල් කියන දේ අවුරුද්දෙන් ඈත් කරලම තියා ගන්න පුලුවන් ඒක ඉතාම වටිනා දෙයක්.

Related Articles

Don't Miss


Latest Articles