ඈත දුර ආකාසේ -07

තුරුලි ඒ පණිවිඩය කියැවූයේ ගැහෙන හදිනි; බියපත්ව ය.දැන් ආදිත්‍ය සිටින්නේ කෝපයෙනි. ඇයට ඔහු ආදරය පටන් ගත් කාලයේම පැවසූ දෙයක් සිහිපත් විණි.

“තැන තැන එක එක කොල්ලො එක්ක කතා කර කර ඉඳලා එහෙම මට අහු වෙන් නෑ හරිද? මට ඕනතරම් කට්ටිය ඉන්නවා ඔත්තු බලන්න..”

ප්‍රේමය යනු ඔත්තු බැලීමක්දැයි තුරුලි මුල්ම වරට සිතන්නට පටන් ගත්තා ය.ඇයට සඳලිව සිහියට පැමිණියේ ය.සඳලි යාල වනෝද්‍යානයට චාරිකාවක් ගියේ මෑතකදී ය.ඒ ගමනට රනුක එක් වූයේ නැත.කෙල්ලන් සීමිත ප්‍රමාණයක් ද කොල්ලන් වැඩි පිරිසක් ද සමඟ කෑම්පින් කරන්නට යැයි පවසා ඇය ගිය ඒ ගමන ගැන රනුක ගැටලුවක් කර නොගැනීම ගැන ගැටලුවක් කර ගත්තේ ආදිත්‍ය පමණි.

“එයා ඔහොම මඟුල් නටලා ආවම ඔයාලගෙ අම්මා නාවලා ගෙට ගන්නවද?”

ඔහු ඇසූ අසෝබන අන්දම තුරුලිට තවමත් මතකයේ ඇත.නංගී නැහැදුණු ගැහැනියක බව ආදිත්‍ය කියද්දී ඈ වෙනදා මෙන්ම ඉවසා සිටියා ය.නමුත් මේ ඉවසීමේ කෙළවර කොතැනදැයි ඇය ඉතා හදිසියේ සිතුවා ය.

“තාත්තා අවුරුදු විස්සක් විතර පිටරට රස්සාවක් කරා කියන්නේ තමුසෙලාගෙ අම්මත් හොඳ ගෑනියෙක් වෙන්න බෑ ඉතිං”

ඔහු එහෙව් නින්දිත කතාවක් පවා කී හැටි ඇය නැවත සිහි කළා ය.නංගීට එවැනි කතාවක් ඇසුණි නම් ආදිත්‍යගේ දත් ඇන්ද අතට ලැබෙන බව පවා තුරුලිට විශ්වාස ය.

“අපේ අම්මලට හරි පුදුමයි අම්මා සේරම තනියම කරගත්තා කීවම. අපේ අම්මලා ගෙදර වැඩ කරගෙන ගේ අස්සෙ ඉන්න අයනෙ අම්මා.කඩේ පොලේ යන්නේ පවා අප්පච්චි.අම්මා තාත්තා එවන සල්ලි මැනේජ් කරගෙන හැමදේම කරලා මෙයාලා බලාගත්ත හැටි අහනකොට මටත් පුදුමයි..”

කියවන්න :  ඈත දුර ආකාසේ -15

රනුක දිනක් අම්මාට එවැනි වර්ණනාවක් කළ හැටි ඇය ආයේම සිහි කළා ය.නංගී ගෙවන්නේ සැහැල්ලු තෘප්තිමත් දිවියක් බවත් තමන් කොතැනක හෝ සිර වී ඇති බවත් ඇයට සිතෙන්නට පටන් ගත්තා ය.ජීවිතය නැවතුණු තැනකින් ආරම්භ කරන්නට ඇයට ඕනෑ විණි.හදිසියේ පහළ වූ සිතුවිල්ල මිය යන්නට නොදී ආරක්ෂා කරන්නට තුරුලි දැඩි උත්සාහයක් ගත්තා ය.අසභ්‍ය වචනයෙන් බැන වැදුණු ආදිත්‍යට ඕනෑ එකක් කරගන්නට හැර දුරකථනය නිවා දැමූ ඈ කාලයකින් ක්‍රියාත්මක නොකළ ලැප්ටොප් පරිගණකයට නෙත් යොමාගෙන බොහෝ වෙලාවක් ගෙවූවා ය.

“හෙට මාත් එක්ක ඕපන් යුනිවර්සිටි යන්න නංගිට වෙලාවක් තියෙයිද?”

තුරුලි සඳලිගෙන් එසේ ඇසූ විට සඳලි පත් වූයේ මහත් සොම්නසකට ය.අක්කා තවදුරටත් ඉගෙන ගත යුතු බව ඇය තරයේ විශ්වාස කළා ය.අහම්බයකින් හෝ එය ඉටු වන්නට යාම සන්තෝසය උපදවන්නකි.

“ඇත්තටම කීවොත් මට ලෙක්චර්ස්. ඒ උනාට මං එනවා.ඔයාට කෝස් එකක් බලන්නනෙ.. අර ගොං වස්සට නෙවේනෙ..”

සඳලි එසේ අසද්දී තුරුලි හිනැහුණා ය.ඇය සතුව තවත් කීමට යමක් ඇති බව සඳලිට සිතිණ.එය විමසන්නට ඇය සිතුවා ය.

“ඔයා ගාව සල්ලි නෑ නේද අක්කා? මං ගාව තියනවා ඉතුරු කරගත්තු සල්ලි වගයක්.මං ඒක ඔයාට දෙන්නං..නැත්තං අපි තාත්තගෙන් අහමු.”

රැකියාවක් කරන දුවෙකු වී හිඳ තාත්තාගෙන් මුදල් ඉල්ලීමට මෙන්ම රැකියාවක් නොකරන නංගී ඉතුරු කළ මුදල් ඉල්ලීමට ද තුරුලිට ඇති වූයේ ලැජ්ජාවකි.නමුත් තමන්ගේ අය උපකාර කරන්නට නොපැකිලෙන බව ඇය දැන සිටියා ය.කෙසේ හෝ අලුත් අරමුණට මියැදෙන්නට ඉඩ නොදී හිඳීම තුරුලිගේ එකම අරමුණ විණි.

කියවන්න :  ඈත දුර ආකාසේ -20

“මං ඔයාගේ ලෝන් එක තාම ගෙවනවනෙ. ඒ මන්ත්ලි පේමන්ට් එක මීට පස්සෙ ඔයා ගෙවනවද? මට සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා.”

පසුදා උදයේ තුරුලිගෙන් පැමිණි පණිවිඩය ආදිත්‍ය පුදුමයට සහ කෝපයට පත් කළේ ය.ඇය එවැන්නක් පවසන්නට තරම් ධෛර්යමත් තරුණියක නොවන බව ආදිත්‍ය දැන සිටියේ ය.මේ සඳලි එවූ පණිවිඩයක් දැයි ඔහු නැවත නැවත සිතුවා ය.

“මට සල්ලි නෑ..”

ඔහු වහා පිළිතුරු යැවී ය.

“බිස්නස් එකක් පටන් අරන් දියුණු වෙන්න කාලෙත් හරිනෙ.ඔයා බිස්නස් කරනවත්නෙ. මට මේ මාසෙ ඉඳන් සල්ලි ඕන. ඔයා ගෙවන්න..”

සත්‍ය වශයෙන්ම ආදිත්‍යගේ අනුමානය නිවැරදි වූ අතර ඒ හැම පණිවිඩයක්ම ලියූවේ සඳලි ය.අක්කාගේ මුදල් අයථා ලෙස පාවිච්චියට ගන්නා ආදිත්‍ය ගැන ඇති වූ කෝපය ඇය මුදා හැරියේ එලෙසිනි.වෙනදාට එවැනි දේට බියපත් ව සසැලෙන තුරුලි ද නංගීගේ තීරණය පිළි ගත්තා ය. නිදහස් අධ්‍යාපනයේ අයිතිය තමන්ට අහිමි කළේ ආදිත්‍ය ය.දැන් මුදල් දී ඉගෙන ගැනීම වළකන බාධකය පවා ඔහු ය.පළමුවැනි අවස්ථාව වැරදී ගිය දෙවැනි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බව ඇය විශ්වාස කළා ය.වසර ගණනාවක් පුරා අඳුරු ගුහාවක සිර වූ කිරිල්ලකට එතරම් ඉක්මනින්ම නිල් අහසේ සීමා රහිත බව වැටහෙන්නේ නැත. රැයක් එළි වෙද්දී තමන් මේ තරම් ධෛර්යමත් වූයේ නංගී එළිවෙන තුරු පැවැත්වූ දේශනය නිසා බව තුරුලි සිතුවා ය.

සැබෑ හේතුව එය ය.අහම්බයකින් යළි මුණ ගැසුණු තාරකා බඳු දීප්තිමත් දෑස සහ මේ ශක්තිමත් බව අතර සම්බන්ධයක් නැත.ඇය ඒ බව හදවතට තරවටු කරමින් සිටියා ය.

4.1 9 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudharshana Abeyrathne
26 days ago

Adanam asawen kiyewuwa.
Ara gon wal wassata padamak nam ugannanda wenawa.

Chamira
26 days ago

👍