fbpx

අහංකාර නගරේ -11

සුපර්වයිසර් ගේ ක්‍රියා කලාපය නිසා මට රැකියාව අප්‍රසන්න වී තිබුණේ ය. නමුත් කොළඹ ජීවත් වන්න නම් රැකියාවක් නැති ව බැරි ය. මේ රටේ හොයා ගන්න ට අමාරු ම දේ රැකියා බව මේ වෙත්දී මම අවබෝධ කර ගෙන හිඳිමි. එහෙව් එකේ රෝස් නෝනා කළ සැලෝන් රැකියා යෝජනාව අපතේ හැරිය නො හැකි බව මට දැනිණි. සුරනි පවා එහි වරදක් දුටුවේ නැත.

“රෝස්මරී කියල තියෙන කතාවනං ඇත්ත තමයි. සැලෝන් වැඩ පුරුදු වෙනව කියන්නෙ මේ කොළඹ රටේ සල්ලි තමයි මෙව්නා. අර අපේ කැම්පස් එක ළඟින් සැලෝන් එකක් දාන්න ඕන්නෑ… නිකං මේස කෑල්ලකුයි කණ්ණාඩියකුයි තියාගෙන අයිබ්‍රෝස් හදපංකො. කෙල්ලො ඉඳියි පෝලිං ගැහිල පැය ගණං. අයිබ්‍රෝස් හදන්න තුන්සීයයි. දවසකට දහ දෙනෙක් ආවත් ඇතිනෙ…”

අපේ ගම් වල පවා ගෑනු ළමයින් දැන් දැන් ඇහි බැම සැකසීම වැනි කාරණා ගැන උනන්දු වෙති. නමුත් මා තුළ ඒ ගැන කිසිදු උනන්දුවක් හෝ අවබෝධයක් වූයේ නැත. සුරනි ත් කියනවා නම් රෝස් මැඩම් ගේ යෝජනාව ට එකඟ වීමේ වරදක් නැතැයි මම සිතා ගතිමි.

සුපර්වයිසර් ගෙන් ඇමතුමක් ආවේ සුරනි නාන කාමරයෙහි දිය නාත්දී ය. පිළිතුරු නොදී ඉන්නට හිතුණත් මා දුරකතනය සවනට ගත්තේ ඔහු රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් කතා කරනවා වන්නටත් හැකි නිසාවෙනි.

“වීඩියෝ කෝල් එකක් ගන්නකො”

ඔහු රහසින් කොඳුරා කීවේ ය. 

“මොකක්…”

මා තදින් කතා කළේ ඒ රහස් ස්වරය මට පිළිකුලක් ව දැනුණ නිසා මිස ඔහු කී දේ එක වර වැටහුණ නිසා ම නොවේ.

“වීඩියෝ කෝල් එකකිං එන්නකො කෙල්ලෙ”

“මොකද සර් මේ…”

“එන්නකො”

“කියන්න තියෙන දෙයක් ඔහොම කියන්න සර්”

“මට බලන්න ඕනෙ”

“මොකද්ද…”

ඒ වතාවේ මගේ හඬ වඩාත් දැඩි විය.

“මං කිව්වෙ මට ඔයාගෙ මූණ බලන්න ඕන කියල”

“අයියෝ සර්. මං කිව්වනෙ ඔය වගේ අදහසක් මගෙ හිතේ නෑ කියල. අපි දුප්පත් මිනිස්සු තමයි සර්. ඒත් ඔය කෙහෙල්මල් වීඩියෝ කෝල් නිසා කෙල්ලො අසරණ වෙලා තියෙන තරම මං අහල තියෙනව. ඒක නිසා මට ඕන නෑ සෙල්ලං බඩුවක් වෙන්න”

“ආ…ඒ සයිස් එකෙන්ද එන්නෙ…”

“මට පාඩුවෙ වැඩ කරන්න දෙන්න සර්”

“තමුසෙ නයාට ගහල පොල්ල වරද්දගත්තා කියල හිතාගන්නව. හරි අපි බලමුකො ආ…”

මම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. මා වෙව්ලමින් සිටි බව විශ්වාස ය. දිය නා ගෙන ආ සුරනි පුදුමයෙන් මදෙස බලා ඉන්නට වූවා ය.

“මොකද වුණේ…”

“මහ ජරා මිනිහෙක්”

“කවුද…”

“සුපර්වයිසර්. වීඩියෝ කෝල් එකක් ගන්නලු. හොඳ වෙලාවට මං ඩේටා ඕෆ් කරල තිබුණෙ. නැත්තං ඒ යකා කෙළිංම මට වීඩියෝ කෝල් එකක්මයි ගන්නෙ”

“නැද්ද ඔය සුනකයගෙ වයිෆ්ගෙ ෆෝන් නම්බර් එකක් එහෙම…කියන්න මිනිහව හදා ගන්නයි කියල”

“එක අතකට ගෑනු මොනා කරන්නද සුරනි…මේ යක්කු ගෙදරිං එළියට ගියාට පස්සෙ මොන දහදුරාකං කරනවද කියල ගෙවල් ඇතුළෙ ඉන්න ගෑනු දන්නෑනෙ. කොයි ගෑනිද කැමති තමුංගෙ මනුස්සය මෙහෙම වෙනවට…”

“ඒකත් ඇත්ත”

ඊළඟ දිනයේ මා රැකියාවට ගියේ සුපර්වයිසර් ගේ ගෙරවුම් ලබන්නට වන බව නිසැක ව දැන ගෙන ය. එසේ ම එන ඕනෑ ම තත්වයකට මූණ දෙනවා කියා හිතා ගෙන ය. ඔහු හිටියේ පුපුරමිනි. මගේ වරදක් හොයා ගන්නට ඔහු අපොහොසත් වන්නට ඇත. එය ඔහු ගේ නො රිස්සුම වඩාත් උත්සන්න කරන හේතුවක් වන්නටත් ඇත.

“ඔය ළමයට මං කියන්නමයි හිටියෙ”

අපේ කණ්ඩායමේ කාන්තාවක සමග මා කතා කරමින් හිඳින වෙලාවක සුපර්වයිසර් උස් හඬින් කීවේ ය. අපි කවුරුත් හැරී බැලුවෙමු. ඔහු කතා කරන්නේ කාට දැයි හැම කෙනෙකු ගේ ම සිත් හි දෙගිඩියාවක් වන්නට ඇත.

“ඔව් තමුන්ට. ඔය නිම්නාද කවුද…තමුං කරන වැඩ නිසා අපේ පවුල් කැඩෙන්නත් පුළුවන් තේරුණාද…මෙතන වැඩ ගැන දැනගන්න තියන දෙයක් මෙහෙදි අහනව. රෑ තිස්සෙ කෝල් කරන්නෙ නැතුව”

මගේ දත් දෙපෙළ ටකස් ගා එකට ගැටුණේ ය. මොහු මොන තරම් වසලයෙක් ද? මම විදුලි වේගයෙන් ඔහු වෙත ගොස් සිටියෙමි.

“මොකද…මං කියන්නෙ බොරු කියලද ඔය කියන්න හදන්නෙ…”

මම දෙවරක් හිත හිතා ඉන්නට කල් නො ගත්තෙමි. මගේ සුරත ඔහු ගේ කම්මුලක් මත පතිත වන්නට ඇත්තේ අකුණක් සේ ය. කැත්තේ උදැල්ලේ වැඩ කිරීම නිසා පදමට ශක්තිමත් වී තිබි මගේ අතකින් වදින පහරක් පහසු එකක් නොවන බව මට විශ්වාස ය. ‘අහ් ‘ කියමින් සිය කම්මුල අල්ලා ගත් ඔහු “බැල්ලි ” කියා ගුගුළේ ය. ඒ ඇස් වලින් ගින්දර පිට වෙමින් තිබිණි. නමුත් ඒවා මගේ දෑසින් පිට වූ ගින්දර වලට පැරදිණි.

“වචනයක්වත් කතා කරන්න එපා තව. මං තමුසෙට කොහොම ගහයිද කියල මංවත් දන්නෑ”

දත්මිටි කමින් හා ඔහු ගේ මූණ ඉදිරියේ දබරැඟිල්ල දිගු කරමින් මම තර්ජනය කළෙමි. මුළු කාර්යාලය ම හුස්ම ගන්නා හඬ පවා ඇහෙන තරමට නිහඬ විය. ඊළඟ නිමේෂයේ අපේ කණ්ඩායමේ කාන්තාවන් දෙතුන් දෙනෙකු විත් මා අල්ලා පසෙකට ගෙන ගියහ.

“මට කෝල් කරල වීඩියෝ කෝල් ගන්නයි කිය කිය වැඳ වැටිච්ච මිනිහ…මං එහෙම කළේ නැති වුණහම මෙහෙම කියනව”

මා එසේ කීවේ කාටත් ඇහෙන්න ය. කොහොමත් ආයේ නම් මේ පැත්ත පලාතේ අඩිය නො තබන්නෙමැයි ඒ වෙත්දීත් මම තීරණය කොට සිටියෙමි.

“දැන ගනිං මං උඹව පොලිස්සි අරං යනව”

සුපර්වයිසර් වරයා අවසාන තත්පරයේ ත් සිය බලය ප්‍රකාශ කරමින් සිටියේ ය. මම වියරු ගැහැනියක සේ හිනැහුණෙමි.

“ඒක හොඳයි. මගෙ ෆෝන් එකේ තියනවනෙ එවපු මැසේජස්. වැරදිකාරය කවුද කියල ලේසියෙංම පොලීසිය තීරණේ කරයි”

මම ත් කිසි සේත් දෙවැනි නො වුණෙමි. එවර සුපර්වයිසර් වරයා පසුබානවා දැකිය හැකි විය. මම ජීවිතයේ ප්‍රථම වතාවට මිනිසෙකු රිදවා කුරිරු සතුටක් ලැබුවෙමි. නමුත් ඒ වාගේ පිරිමින් ගේ අඩන්තේට්ටම් නිහඬ ව ඉවසා ගත් බොහෝ ගැහැනුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නට ලැබීම ගැන මගේ හිත තෘප්තිමත් ව තිබිණි.

“කවදාවත් වෙච්ච නැති දෙයක් උන්දැට වුණේ. හිතන්න නැතුව ඇති ගමක ඉඳං ආපු කජු කිරි කෙල්ලෙක්ගෙං ඔහොම පාඩමක් ඉගෙන ගන්න වෙයි කියල”

පීඩිත ගැහැනුන් ගේ මුහුණු වල ජයග්‍රාහී සිනහ රේඛා විය. ඔවුහු සියලු දෙන තමන් ගේ පන්තියේ ගැහැනුන් අවමානයට හා පීඩනයට ලක් කළ පිරිමි නියෝජිතයෙකු ගේ පරාජය පිළිබඳ ව හදවත් වලින් ඒකාත්මික වී ඔල්වරසන් නගමින් සිටියහ. මම හිස් අතින් දොට්ට බැස ආවෙමි.

කොහුවල අහසෙහි සුදු වලා කැටිති රොද බැඳී සිටිනයුරු දකිත හැකි විය. මධ්‍යහ්නයට හෝරා ගණනක් ඉතිරි ව තිබුණත්, හිරු ප්‍රචණ්ඩ වී සිටියේ ය. මහත් භයංකර සිතිවිලි සමුදායක් මා වට කර ගෙන ඇති බව මට දැනිණි. මේ අහංකාර නගරයේ නූල බිඳී ගිය සරුංගලයක් සේ මා ගසා යාවියි බියකින් මම හිරි වැටී යමින් සිටියෙමි. දින ගණනාවක් වැඩ කළ මහන්සියට හිමි වැටුප් මට නො ලැබී යයි. හිත හූරා දැමුවා සේ රිදෙන්නට විය. නමුත් මම ඒ දුක ඇතුළේ තියෙන සතුට ගැන හිතුවෙමි. ඒ මිනිහා ට මා යටත් කොට ගත නො හැකි විය. අවනත කර ගත නො හැකි විය. මම තව දුරටත් පරාජය ට පත් නොවී හිඳිමි. 

නමුත් තව කොයි තරම් කාලයක් ඒ අයුරින් අපරාජිත ව සිටින්නට මට හැකි වේ ද කියා මම නො දනිමි. නගරයේ වන බොරු වළක කොයි මොහොතක හෝ වැටෙන්නට මට සිදු වේ ද? එසේ වුව හොත් යළි ගමට ගොස් කිරි අම්මා ගේ මූණ බලනු වෙනුවට මේ නගරයේ ම කොතැනක හෝ දිවි නසා ගන්නා එක හොඳ ය. හිත කීරි ගැසී යනවා මට දැනිණි. මා ක්ලාන්ත ව යාවි ද කියාත් නො සිතුණා නොවේ. නමුත් මම හිතට දිරි ගෙන විදුහල්පති මැදුරේ පිවිසුම් දොරටුවෙන් ඇතුල් වුණෙමි. 

වැරැන්ඩාවේ බිම හිඳ බලා ගත් අත බලා ගෙන අරමුණකින් තොර කල්පනාවකට වැටී සිතිජ එහි වූයේ ය. මම මළානික මඳහසක් අජීවී වත මත ඇඳ ගෙන ඔහු සිටින ඉසව්ව වෙත ගාටා ගියෙමි. නළල මඳක් රැළි ගන්වා ගෙන ඔහු මදෙස බලා සිටියේ කුඩා කර ගත් දෑසිනි.

“ඇයි…”

ඒ අකුරු දෙකෙහි දහසක් ප්‍රශ්න ලියැවී තිබිණි. නමුත් පිළිතුරු දිය යුත්තේ ඉන් කවර ප්‍රශ්නයකට ද කියා වැටහීමක් මට වූයේ නැත.

“මැඩම් ඉන්නවද අයියෙ…”

මම අදාල ම නැති ප්‍රශ්නයක් ඇසුවෙමි.

“අම්මලනං නෑ මං හිතන්නෙ. ඇයි ඔයාට අසනීපයක්ද…නන්දාවතීනං ඇති ඇතුළෙ. මං කතා කරන්නද…”

ඔහු වහා නැගිට ගත්තේ ය. 

“එපා එපා”

මම වැරැන්ඩා පුටුවක් මතට වැටුණෙමි. ඊළඟ මොහොතේ මට ඉකි බිඳී හැඬිණි. ඒ හරියට වක්කඩ කැඩුවා බඳු හැඬුමකි. අඩු තරමින් මා වත් බලාපොරොත්තු නොවූ ඉකි බිඳුමකි. එදා, මහියංගනයේ සිට මෙහි පැමිණි දා සිට සිදු වූ සියල්ල වෙනුවෙන් මම හැඬුවෙමි. ඒ සියලු නින්දා අපහාස මෙත් සිතින් විඳ ගත් මා වෙනුවෙන් හැඬුවෙමි. මෙතෙක් දවස් ගහක් ගලක් සේ සියල්ල උහුලා ගෙන නො හඬා උන් මගේ ගැහැනු හිත වෙනුවෙන් හැඬුවෙමි.

සිතිජ ඇස් වල කලබලය අතුරා ගෙන බලා සිටියේ ය. බුම්මට්ටා! ඔහු එහෙම සිටිනවා දුටු මට හඬ හඬා සිටියදී ම සිනහ නැගිණි. සිතිජ වඩාත් නො සන්සුන් වූයේ ය.

“අඬනවද දැං ඔය හිනා වෙනවද කියල මට කියනවද…”

මම තවත් සිනා සුණෙමි. සැබවින් මා උන්මාදයෙන් ද? සත්තකට හඬන්න ද නැත්නම් මේ සිදු වන දේ වලට සිනහ වෙන්න ද කියා සිතා ගත නො හැකි ය.

“මාත් දන්නෑ අයියෙ හරියටම”

මට හීල්ලිණි. සිතිජ ඇවිත් මට යාබද ව වූ අසුන ඇද හිඳ ගත්තේ ය. මම අහිංසක ලෙස ඒ ඇස් මගහැරියෙමි.

“මොකද්ද සිද්ද වුණේ…ම්.. “

ඔහු කෙළින් ම ප්‍රශ්නය ට අවතීර්ණ වූයේ ය. අහිංසක ව හිනැහෙනවා මිස මට වෙන කරන්නට දෙයක් තිබුණේ නැත.

“මොකද්ද වුණේ…”

යළිත් ඔහු එය ම ඇසුවේ ය.

“වුණ දේ දැන ගත්තොත් ඔයා ආයෙ මාත් එක්ක මෙහෙම කතා කරන එකක්වත් නෑ”

“හරි හරි කියන්නකො”

“මං සුපර්වයිසර් ට ගැහුවා”

ඔහු ගේ දකුණු ඇහි බැම ඉහළ නැංවෙනු මම දුටිමි. ඒ තොල් කොනක් පවා ගැස්සී ගියේ ය. ඒ දුටු මට සිනහව නවතා ගත නො හැකි විය. මම දණ මඬලෙහි හිස හොවා ගෙන සිනහ වෙන්නට පටන් ගතිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x