fbpx

අහංකාර නගරේ -12

ඒ වෙලාවේ නන්දාවතී හැර ගෙදර වෙනෙක් නො වීම ගැන මම සතුටු වෙමි. නො එසේ වී නම් සිතිජ ළඟට වී මට නිදහසේ අඬන්න ට හෝ සිනහ වෙන්නට ලැබෙන්නේ නැත. 

කෙසේ වෙතත් ඒ අයුරින් හැඟීම් පිට කිරීම නිසා හිතට යම් සැහැල්ලුවක් දැනෙන්නට වූයේ ය. සිනහවත් හැඬීම ත් දෙක ම නවතා මා බුම්මට්ටා දෙස බලා ගත්තේ ඉනාක්බිති ය. එතකොටත් ඔහු අර විශ්මිත දෑසින් මදෙස බලා ගත් වන සිටියේ ය.

“ඔයා හොඳින්ද මෙව්නා….”

යළිත් ඔහු ඇසුවේ නම් මා හැඬවිය හැකි කතාවකි. නමුත් මම තව දුරටත් හඬන්නට නො ගියෙමි.

“මං හිතනව අයියෙ”

“ඇයි එහෙම කළේ…”

“ඒ මිනිහගෙං පුදුම වදයක් තිබුණෙ. මට එක එක විකාර දේවල් කියනව. ගෙදර ආපු වෙලාවෙ ඉඳල කෝල් කරනව.  එවාගෙ යෝජනා වලට මං කැමති නෑ කියල කියලයි තියෙන්නෙ. ඒ මිනිහ ඒකට මගෙං පළි ගන්න බොරු චෝදනා කරනව”

කුඩා දියණිය ක ගේ වීර 

කතාවක් අසා සිටින තාත්තා කෙනෙකු ගේ මුහුණේ තිබිය හැකි ඉවසිලිවන්ත සතුට ඔහු ගේ ඇස් වල විය. ඒ ඇස් හිනා වෙනවා මට පෙනුණේ ය. මා අතට ගත් ජංගම දුරකතනය, ඔහු සිය දෑසින් ඉල්ලුවේ ය. මෙ’නුවර තරුණ පිරිස් අත වන දුරකතන, ඇතැම් අවස්ථා වල මම දැක ඇත්තෙමි. සිටු කුමාරයෙක් අතට මා වාගේ හිඟන කෙල්ලක ගේ ලාබ දුරකතනයක් පත් කිරීමේ ලැජ්ජාව පෙරදැරිව මම එය ඔහු වෙත පෑවෙමි.

“සෙල්ලං නෑ නේ…මාෂල් ආට්ස් එහෙම කරල තියෙනවද…”

“මොනා නැතත් ගෑනු ළමයෙක් උපදිනකොට ආත්ම අභිමානය කියන දේ අරං එනවනෙ අයියෙ. අපි දුප්පත් කමට රස්සාවක් හොයා ගෙන කොළඹ එන්නෙ ඒ ආත්ම අභිමානය කියන දේ බල්ලට දාල නෙවෙයිනෙ”

සිතිජ නිසංසලේ මගේ දුරකතනයෙහි අංක එබුවේ ය. ඔහු ගේ දුරකතනය හැඬවිණි. 

“මගෙ නම්බර් එක මේකෙ සේව් කරල තියෙන්නෙ”

ඒ කතාව අසා හැන්දෑවේ සුරනි කොක් හඬ ලා හිනැහුණා ය. 

“ඇයි….”

“මාරයි ආ”

“ඇයි…”

“සිතිජයනං මාරම කපටියෙක්. කොහොමද මේකා හීන් නූලෙන් ඔයාගෙ ෆෝන් නම්බර් එක අරං තියෙන හැටි. මූ ඉංජිනේරුවෙක් වෙන්න නෙවෙයි තිබුණෙ. සී අයි ඩී එකට බැඳෙන්න”

“මගෙ නම්බර් එක ගන්න එච්චර කපටිකං කරන්න ඕනදැයි…ඉල්ලුවනං මං දෙනවනෙ කොහොමත්…”

මම සිතිජ ගේ පැත්ත බේරා ගනු වස් කතා කළෙමි. නමුත් මගේ කම්මුල් වලට ලේ පුරා ගෙන එන බවක් දැනුණේ ය.

“මූ තාත්තා වගේමද දන්නෑ”

“අනේ මේ…ඒ ළමය එහෙම නෑ හරිද…”

“ඉබ්බියෙක් ගිය උඩ කිව්වලු. බලපල්ලකො මේකිට රිදිච්ච හැටි ඒකට. හරියට කොල්ලගෙ අයිතිකාරය වගේනෙ”

“අයිතියක්නං නෑ තමයි ඉතිං”

“එහෙනං මොකද්ද තියෙන්නෙ කියල කියනවද…ආදරයක් වගේ දෙයක්ද…”

“ස්…”

මම දෙනෙත් මහත් කොට වට පිට බැලුවෙමි. කවුරුන් හෝ අසා සිටියා නම් රැකියාව පමණකුදු නොව මේ නවාතැනත් අහිමි වනු ඇත.

“හරි හරි දැං වැදගත්ම ප්‍රශ්නෙ ඕක නෙවෙයිනෙ. ජොබ් කට්ටක් හොයං ඉන්න ඕන කියන එකනෙ. මොකද කරන්නෙ රෝස්මරී ගෙ සැලොන් එකේ වැඩටවත් යනවද..”

“මං මැඩම්ට කතා කරන්නද සුරනි…මට එක බයක්නං තියෙනව”

“බය….මොකක් ගැනද…”

“මං එයාගෙ සැලොන් එකේ වැඩ කරනව කියල ප්‍රින්සිපල් සර්ට කියන්න එපා කියපු එක ගැන”

“හ්ම්”

සුරනි කල්පනාවකට වැටුණා ය.

 නගරය කියන්නේ රහස් ගුහාවකි. සැමියා කරන දේ බිරිය දන්නේ නැත. බිරිය කරන දේ සැමියා දන්නේ නැත. කොටින් ම වම් අත කරන දේ දකුණු අත දන්නේ නැත. නමුත් ගමේ නම් එක ගෙදරක වන දේ අහල ගම් හතක මිනිස්සු එක රැයක් ගෙවෙත්දී දැන ගති.

“මෙහෙමයි මෙව්නා. ඔයාව මෙහෙට ගෙනාවෙ ජයශාන්ත මාමානෙ. සමහර විට රෝස්මරී හිතං ඉන්නෙ මුලදි ඔයාට තුට්ටු දෙකේ පඩියක් දෙන්න වෙන්න ඇති. ඒක වෙන්න ඇති ජයශාන්ත මාමට හොරෙං ඔයාව එතනට ගන්න හදන්නෙ”

“හ්ම්. බලමුකො”

“මොනා වුණත් දැන්නං ඔයා කොතනක ජොබ් එකට ගියත් බය නෑ”

“ඇයි…”

ඕන එකෙක්ට කම්මුලට ගහල දොට්ට බහින්න තරං ආත්ම ශක්තියක් තියෙනවනෙ දැං”

එහෙව් ආත්ම ශක්තියක් මට වන බව කොළඹ ට පය ගසත්දී මා වුව දැන උන්නේ නැත. නමුත් ගමේ පාසලේ විදුහල්පති තුමා ගේ අවවාද හා උපදෙස් ඉතා තදින් මගේ හිතේ ධාරණය වූ බව මම දනිමි. මා ගමෙන් නික්මුණේ කොළඹ යන යුවතියන් ගැන ගම්මුන් ගේ සිත් හි ඇති වන සැකය හා බියට නැවතීමේ තිත තියනවා කියන රහසිගත බලාපොරොත්තුවෙනි. කොළඹ අහස යට දී හමු වෙන මිනිසුන් දෙස විශ්වාසය පෙරදැරි ව නො බලමි ය යන අධිෂ්ඨානයෙනි. මගේ පුංචි වයසට මා මේ තරමින් සියලු අභියෝග වලට මුහුණ දුන්නේ ඒ අධිෂ්ඨානය නිසා ය.

කොහොමටත් ගමේ ළමයින් නගරයේ ළමයින් ට වඩා අඩු වයසින් මෝරනවා යි දැන් මට සිතේ. සිතිජ ලා ශෙනාලි ලා, ගමේ ළමයි එක්ක බලත්දී නො දරුවන් වාගේ ය. ඔය වයසේ දී ගමේ ළමයි ඔවුන් ගේ ළමයින් දෙතුන් දෙනෙක් ද අතින් කරින් එල්ලා ගෙන සිටිති. මා ගමෙහි ම නතර වූවා නම් මගේ ඉරණම ද එසේ ලියැවෙන්නට තිබිණි. නමුත් මට ඊට වඩා යමක් ජීවිතයෙන් සොයා යා යුතු වූයේ ය.

හැන්දෑවේ පහළ මහල ට ගොස් මම රෝස් මැඩම් හමු වුණෙමි.

“හොඳ ඩිසිෂන් එකක් ඔයා අරං තියෙන්නෙ”

ඇය සිය ප්‍රසාදය පළ කළා ය.

“සල්ලි නැතුව වෙන මොනා තිබුණත් වැඩක් නෑ මෙව්නා. ගෑනු අපි සල්ලි හම්බ කරන්නෙ නෑ කියන්නෙ අපි හැමදාම පිරිමින්ගෙ වහල් සේවයෙ යෙදෙන්න වෙනව කියන එකයි. ඒක නිසා වැදගත් ම දේ තමයි මුලිංම කරන්න ඕනෙ. ඒ තමංගෙ ආර්ථිකේ හදා ගන්න එක”

ඇය කියන කතාවේ සත්‍යයක් නැත්තේ ම නැතැයි මට සිතිණි. යහපත් ආදරණීය පවුලක් තරම් වටිනා කමක් ගැහැනියකට තවත් නැති බව මම විශ්වාස කරමි. දැනට මා දන්නා හැටියට රෝස් මැඩම් ට ඒ වාසනාව අහිමි ය. ලෝකයට පෙනෙන පවුලක් ඇය ට තිබේ. ඉහළ වෘත්තික සැමියෙකු, උසස් අධ්‍යාපනය ලබන දරුවන් තිදෙනෙකු හා නගරයේ තදාසන්න පෙදෙසක ඉදි කළ අගනා නිවසක් ද යාන වාහන ද ඈ සතු ය. නමුත් විදුහල්පති තුමා ට සති අන්තය ගෙවන්නට තවත් පවුලක් ඇත ය කියන්නේ රෝස්මරී ට යුග දිවියෙහි හැබෑ සතුටක් කියා දෙයක් තියෙන්නට විදිහක් නැත. ඈ සතු වන්නේ ලෝකයට පෙන්වන සතුටකි. ඒ පශ්චත්තාපය ඕ සිය මුදල් වලින් වසා ගෙන ඉන්නවා වන්නට පුළුවන. එය හුදෙක් දුක මතුපිටින් ආලේප කළ සතුටක් වන්නට පුළුවන.

“ඔයාගෙ ලස්සනත් එක්ක ඔයාට දිනන්න බැරි දෙයක් නෑ. හැබැයි මොළේ කල්පනා කරල වැඩ කරන්න ඕනෙ. ඔයා හෙට එන්නකො මේ එඩ්‍රස් එකට”

ඇය මා අත කාඩ් පතක් තැබුවා ය.

“හැබැයි මතකනෙ මං කියපු දේ. මේව ගැන ප්‍රින්සිපල් සර් දැන ගන්න ඕනකමක් නෑ”

මම හිස සලා එකඟ වුණෙමි. ඉරණම කොයි අතකට මා කරකවා තබන්නට හදනවා ද කියා තවමත් මට සිතා ගත නො හැකි ය. මේ ගෙන්දගම් පොළොවෙහි මා මුල් ඇදිය යුත්තේ කොතැනක ද කියා තවමත් නිශ්චිත ව පෙනෙන්නට නැත. ඇතැම් විට එ් මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වන්නට පුළුවන. 

“කොහොමහරි ඉක්මනට වැඩ ටික ඉගෙන ගන්න. ඒකයි වෙන්න ඕනෙ”

සුරනි මට ආශිර්වාද කළේ එහෙම ය. උදේ මම ඇයත් සමග ම ලිපිනය සොයා ගියෙමි. ඒ කිරුලපන ප්‍රදේශයේ ලිපිනය කි. එය දොරින් දොර වන සාමාන්‍ය සැලොන් එකක් නොව දැවැන්ත හා සුඛෝපභෝගී එකකැයි දුටු මතින් සුරනි කීවා ය. 

ඇතුළට ගියේ මා පමණකි. ඇය ව රෝස්මරී දකින එක හොඳ නැතැයි කී සුරනි හැරී ගියා ය.

“මෙව්නා එන්න එන්න”

රෝස්මරී මා සිය විසිතුරු කාර්යාලය වෙත කැඳවූවා ය. ඒ තරම් සුව පහසු ලෙස ව්‍යාපාරයක් පාලනය කරනා ඇය ගැන ප්‍රථම වතාවට මට ආඩම්බර සිතිණි.

“මේක තමයි ඉතිං අපේ තැන. ඔයාට පේනවනෙ. මෙතනට එන්නෙ හයි ෆැමිලීස් වල කස්ටමර්ස්ල. ඉතිං මෙතන වැඩ කරන ගෑනු ළමයි පිරිසිඳුවට ලස්සනට ඉන්න ඕනෙ කියන එක තමයි මගෙ පළවෙනි තියරි එක”

ඇය ට ඇහුම් කන් දෙනවා ට වඩා මා කළේ වට පිට විසිතුරු නරඹන එක ය. නමුත් මම ඇය කියනා දේ වල ට අවශ්‍ය තැන් වල දී අවශ්‍යාකාරයෙන් හිස සලමින් සිටියෙමි.

“අපි යුනිෆෝම් එකක් දෙනව. ඒක තමයි මේක ඇතුළෙදි ඇඳං ඉන්න ඕනෙ. කස්ටමර්ස්ලට රෙස්පෙක්ට් කරන්න ඕනෙ. එයාල බලාපොරොත්තු වෙන දේ අපෙං එයාලට වෙන්න ඕනෙ. ගොට් ඉට්? “

“ඔව් මරඩම්”

“ඕකේ. රොෂෙල් පොඩ්ඩක් එන්න”

රෝස්මරී ගේ විධානයෙන් පාට පෙට්ටියක් සිහි ගන්වන යුවතියක දිව ආවා ය.

“මෙයා අලුතෙන් අපිත් එක්ක වැඩ කරන්න එනව. යුනිෆෝම් එක දෙන්න. ඊළඟට මෙතන වැඩ වෙන විදිහ ගැන කියල දෙන්න”

“ඕකේ මැඩම්”

නිල ඇඳුම කළු කලිසමක් හා ටී ෂර්ට් එකකි. ටී බැනියමෙහි රතු අකුරෙන් සැලොන් එකේ නම ලියැවී තිබුණේ ය. ඊට අමතර ව ෂෙරොන් ගේ ටී බැනියමෙහි ඉංග්‍රීසියෙන් ෂෙරොන් කියා ලියූ පදක්කමක් ගසා තිබුණේ ය. එතැන වැඩ කළ හැම තරුණිකගේ ම කමිස වල ඔවුනොවුන් ගේ නම් සඳහන් පදක්කම් ඇති බව මම දුටිමි.

“නේම් බැජ් එක පස්සෙ හම්බ වෙයි”

ෂෙරොන් ඉංග්‍රීසි ඌරුවකින් කීවා ය. මම හිස සැලුවෙමි. ඒ අතරේ ම මේ තරුණියන් නම් ගැසූ පදක්කම් පළඳින එක හොඳ යයි සිතුවෙමි. නො එසේ වී නම් ඔවුන් එකිනෙකා ගෙන් වෙන් කර හඳුනා ගැනීම පහසු නො වනු ඇත. ඔවුන් ගේ තොල් ඇස් සේ ම කොපුල් මත ද එකම ආකාරයේ වර්ණ තට්ටු තැවරීමෙන් ස්වභාවිකත්වය වසා දමා තිබූ නිසා ය. 

පාසලේ දී වත් දිනකට ඒ තරම් දේවල් ඉගෙන ගත්තේ නැතැයි මට සිතිණි. මුලින් ම මට කියා දුන්නේ හිස කේ සෝදා පිරිසිඳු කරනා හැටි ය. පාරිභෝගිකයා සෝදන පුටුවෙහි හිඳුවා ඇගේ හිස පිටුපසට යොමු කොට ගෙන, මුහුණට වතුර නො එන සේ සේදිය යුතු වූයේ ය. ගමේ මහවැලි ඇල මාර්ග වල බැස දිය නා පුරුදු මට ඒ තරම් සියුම් ලෙස ඒ කාරිය කළ නො හැකි ය කියා ම ය සිතුණේ. ඔවුන් හිස කේ පිස දැමුවේ ත් වියළුවේ ත් අමුතු විදිහකට ය. නගරයේ ගැහැනුන් ට සිය කටයුතු කර ගත නො හැකි හැටි යයි සිතුණත්, සුරනි ගේ අවවාදය මගේ හිතේ පිළිරැව් නගමින් තිබිණි. 

සිදු වන්නේ කුමක් දැයි මා ඉගෙන ගත යුතු ය!

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x