අහංකාර නගරේ – 13

2
2538

රෝස්මරී මට ඉතා හොඳින් සැලකුවා ය. මීට කලින් දෙ වතාවේ ම වැඩ කළ තැන් වලට වඩා මෙතන දී මට කරන්න ට තිබුණේ පහසු වැඩ ය. නගරයේ ස්ත්‍රීන් ගේ හිස කේ සේදීම, ටවල් ඩ්‍රයි, බ්ලෝ ඩ්‍රයි, ත්‍රෙඩින්, හෙයා ට්‍රීට්මන්ට්, ෆේෂල්….මුල දී මට සිදු වූයේ ඔය කොයි දේ ටත් අත් උදව් දෙන්නටයි. වෙනත් ශිල්පිනියෝ ඒ කටයුතු කරන ගමන් මට ඒ ගැන අවබෝධයක් ලබා දුන්හ. රූපලාවන්‍ය කියන්නේ කිසි දා මගේ අවධානය යොමු වූ විෂයක් නො වුණත් මම ඉක්මනින් සියලු දේ වටහා ගතිමි.

“කොහොමද අපේ මෙව්නා..වැඩ ටික අල්ල ගන්නව නේද…”

ඉඳ හිට රෝස් මැඩම් සිය සේවිකාවන් ගෙන් ඇනුවා ය. ඔවුහු සිනහවෙන් හිස සැලූහ. රෝස්මරී නිතර ම යොදන ‘අපේ මෙව්නා ‘කියන විශේෂණ පදය නිසා අනිත් අය මා කෙරේ වෙනසක් දැක්වූවා කියා සිතමි. 

මුලින් මා සේවය කළ තැන් වල මගේ අංශයේ වැඩ කළේ අතිශය පීඩිත ජිවිත ගත කරන මිනිසුන් හා ගැහැනුන් ය. නමුත් මෙතැන එයත් බෙහෙවින් වෙනස් විය. මෙහි වන සේවිකාවන් ගේ පන්තිය කුමක් ද කියා මට සිතා ගත හැකි වූයේ නැත. නමුත් බාහිර පෙනුමෙන් නම් ඔවුහු සුර ලෝකෙන් මිහි බට සුරංගනාවෝ වූහ. රූපලාවන්‍ය කියන විෂයට ගැලපෙන පෙනුමක් ඔවුන් ට තිබිණි. තමන් වෙත එන සේවා දායකයන් ට ‘අපි වගේ ලස්සන වෙන්න’ කියා ආරාධනා කරන වෙළෙඳ දැන්වීමක් ඔවුන් ගේ මුහුණු වල ගසා තිබුණා සේ ය. ඔවුන් කතා කළේත්, ඇවිද්දේත්, කෑවේ බීවේත් පුරුදු පුහුණු කරනු ලැබූ හුරුබුහුටි කමක් ඇතිව ය. 

තොල් වල ගල්වන්නට ඒ තරම් ලස්සන වර්ණ වන බව මුලින් ම මා දුටුවේ එහි ගිය පසුව ය. ඉතා ම අවලස්සන ගැහැනුන් පවා දිව්‍ය අප්සරාවන් සේ වෙස් ගන්වන්නට ගත වන්නේ පැයක දෙකක කාලයක් බවත් මම වටහා ගතිමි. රූපවාහිනී තිරයක ඉඳ හිට දැක තිබූ නිළියන් කිහිප දෙනෙකු ම රූපලාවන්‍යාගාරයේ දී මම හැබැහින් දැක්කෙමි. තිරයට ඔවුන් ඒ තරම් ලස්සනට පෙනෙන්නේ වෙස් ගැන්වීමේ ශිල්පියා ගේ දක්ෂතාවයෙහි ආනුභාවයෙන් බවත් මට වටහා ගත හැකි විය. මේ සියලු රස කතා ගමට ගිහින් කිරි අම්මා සමග තලු මරා කියන්නට වන ආශාව මම හිතේ හංගා ගෙන සිටියෙමි.

“සමහර විට ඉරණම ඔයාව හරි තැනටම එව්වද කියන්න බෑනෙ. ප්‍රන්සිපල් සර් ගෙන් උදව්වක් ඉල්ලගෙන හරි රෝස්මරී ළඟට…”

සුරනි කීවා ය. මා ත් ඔය ගැන නොයෙක් ආකාර වලින් කල්පනා කොට තිබුණා ට තවමත් නිශ්චිත නිගමනයකට එළඹෙන්නට මට හැකි ව තිබුණේ නැත. රෝස්මරී මට පෙන්වන විශේෂ දයාව කුමක් දැයි, හේතු සහිත පැහැදිලි කිරීමක් කරන්නට මම කොහෙත් ම අපොහොසත් වීමි. අනිත් අතට ඇගේ දූ වරුන් ට මා පෙනෙන්නට බැරි බව මම දැන සිටියෙමි. මූණට ම හමු වුණත් ඔවුහු මා හා සුහද ව සිනහ නො වූහ. විදුහල්පති තුමා නම් සිය පාසලේ දක්ෂතා ඇති දුප්පත් දැරියකට සේ මා කෙරේ සංවේදී වූයේ ය.

“කොහොමද ළමයො දැන් ඉගෙන ගන්න වැඩ එහෙම…”

මා බාහිර උපාධියකට සූදානම් වන බව දැන ගත් දා සිට, ඉඳ හිට හමු වූ හැම වතාවක ම ඔහු ඇහුවේ ය. මම සිනා සී “කරගෙන යනව සර්” කියා පවසමි. 

“බොහොම හොඳයි බොහොම හොඳයි”

ඒ වෙලාවට මම ඔහු ගේ ඇස් වල අතීතය ට අයිති ව තිබූ බලාපොරොත්තුවක් ගැන කතාවක් කියවා ගමි. 

සිතිජ ව මම ටික දවසකින් නො දුටිමි. ඇත්ත ම කතාව නම් මා ඔහු මග හැර සිටියා වන්නටත් පුළුවන. සුරනි ඔහු ගේ හැසිරීම ගැන සැක කරමින් මා හා කතා කළ එකේ, ගෙදර අය – විශේෂයෙන් ම රෝස් මැඩම් හෝ දෙසොහොයුරියන් ඔහු නිතර රාත්‍රියේ සඳැල්ලට එන එක ගැන සැක පහළ කරන්නට බැරි නැතැයි මම සිතුවෙමි. සිතිජ කියන්නේ මේ ගෙදර සිටින මිනිසුන් අතර ළතෙත් හදක් ඇති මිනිසෙකු බව, ඇසුරු කළ ටික දිනට මම වටහා ගෙන සිටියෙමි. නමුත් සුරනි හිතනවා වගේ හැඟීමක් ඔහු ගේ හිතේ මා වන් කෙල්ලක අරබයා කොහෙත් ම හට නො ගත යුතු ය. අහසත් පොළොවත් කිසි දා යා නො වන්නේ ය. සිතිජය කියන්නේ මායාවක් පමණකි. එහෙම හැඟීමක බිජුවටයක් හෝ වැටී ඇත්නම් එය උපන් ගෙයි ම මියෙන්නට හැරිය යුතු ය. විදුහල්පති තුමා සේ ම රෝස් මැඩම් ද මට කර තිබෙන්නේ සුළු පටු උදව් නොවේ.

කියවන්න :  අහංකාර නගරේ -17

වැඩ ඇරී විත් දිනක් මා ගිමන් නිවනු වස් යහනේ වැතිර සිටිය දී මගේ දුරකතනය හැඬවිණි. සුපර්වයිසර් ගේ සිදුවීමෙන් පසු දැන් මේ දුරකතනය බෙහෙවින් නිහඬ ය. එයට කතා කරන්නට කෙනෙක් මට නැති තරම ය. සති අන්තයේ දී මම ගමේ මගේ හිතවතිය ගේ දුරකතනය ඔස්සේ කිරි අම්මා ගේ සැප දුක් විමසමි. එපමණකි. රූපලාවන්‍යාගාරයේ තරුණියන් කවුරුත් එතැන දී මා හා සුහද වූවත්, ඔවුන් එය ලොකු හිතවත්කමක් තෙක් වර්ධනය වෙන්නට හැරියේ නැත. ඉතින් මම ඉක්මනින් යහනින් බැස, මේසය මත වූ දුරකතනය දෙස බැලුවෙමි. සිතිජ කියන නම ඉංග්‍රීසි අකුරෙන් එහි සටහන් ව තිබුණේ ය. මම අභ්‍යන්තර සසල වීමකට ලක් වීමි.

“අයියෙ…”

මගේ හඬ පවා වෙව්ලා යන්නට ඇත.

“පොඩ්ඩක් එනවද බැල්කනි එකට”

යටි පතුල් සීතල වී තියෙනවා මට දැනිණි. මේසය ළඟ හිඳ හිස පීරමින් සිටි සුරනි ගේ ඇස් මා විනිවිදමින් තිබිණි. මම ප්‍රශ්නාර්ථයෙන් ඇදෙස බැලුවෙමි. දුරකතනය දිගේ නැගී ආ හඬ ඇය ට ඇසෙන්නට ඇත. ඕ යන්නැයි මට නෙතින් කීවා ය. මම සසල බව යටපත් කර ගෙන වීදුරු දොර ඇරියෙමි.

සිතිජ ගේ ඇස් මා වෙතට ම දැල් වී තිබිණි. ඒ ඇස් වල මළානික දීප්තියක් වන බව, සඳැල්ලේ දැල්වෙන ලා එළියක් ඇති විදුලි බුබුලේ උදව්වෙන් මම දුටිමි. මූණ පුරා වෙනදා ට තිබුණා ට වඩා රැවුල් කොට වැවී තිබුණේ ය. ඒ පෙනුම වඩාත් ශෝකාකූල එකක් සේ මට දැනිණ.

වෙනදා ට මුඛරි කෙල්ලක වන මගේ මුව අගුළු වැටී තිබුණේ ඇයි දැයි මම නො දනිමි. ඒ ඇස් බැල්ම මා ගොළු කරන්නට සමත් වන්නට ඇත.

“ලස්සන වෙලා”

ටික වෙලාවකට පස්සේ ඔහු කීවේ ය. කොළඹ ආවාට පසු මා හේන් වල කට්ට අව්වේ වේළුණේ නැත. රූපලාවන්‍යාගාරයේ වැඩ කරන්නට ගත්තා ට පසු දිවා කාලය ගත වන්නේ වායු සමීකරණ සිසිල තුළ ය. එහි සේවිකාවන් ට නො මිලයේ ම සැපයෙන ඇහි බැම සැකසීම, ෆේෂල්, ක්ලීනප් වැනි ප්‍රතිකාර කිහිපයක් ඉල්ලීමකින් තොර ව මටත් ලැබිණි. ඒ සියල්ල හේතු කොට ගෙන සිතිජ  මගේ පෙනුමේ වෙනසක් දකින්නට ඇත.

මම තුනී සිනහවකින් බිම බැලුවෙමි.

“අයිය මට එන්න කිව්වෙ…”

යළි හිස ඔසවන ගමන් ම මම ඒ ඉක්මන් පැනය අත් හැර දැම්මෙමි. ඔහු ගේ ඇස් දිගට ම වූයේ පෙර කී බැල්මේ ය. ‘ඔය විදිහට මං දිහා බලන්නෙ ඇයි අයියෙ’ කියා අසන්නට මට ඕනා වූයේ ය. නමුත් උගුරෙහි එවන් දිරියක් වූයේ නැත.

“දැක්කෙ නැති නිසා. හුඟක් දවසකින්”

“රෑ වෙනවද දැං…කලින් ට වඩා. ඉතින් ආපු ගමං නාල කාල නිදියනව”

“දැං කොහෙද වැඩ කරන්නෙ…”

දෙපා මුල ම බෝම්බයක් පුපුරා ගියා සේ ය. මා ඔහු ගෙන් සැඟවී ඉන්නට, රෝස් මැඩම් ගේ සැලෝන් එකේ රැකියාවට යාමත් හේතුවක් නො වන්නට ඇත්ද? ඒ ගැන ගෙදර අයට නො කියන්න ට ඇය ට පොරොන්දු වූවත්, සිතිජ ඇසුවෝතින් නො කියා ඉන්නේ කෙසේ දැයි මා සිතා තිබිණ.

කියවන්න :  අහංකාර නගරේ -10

“සැලොන් එකක”

“කොහෙද…”

“මේ…කිරුලපන පැත්තෙ”

“කිරුලපන අපේ අම්මගෙත් සැලොන් එකක් තියෙනවද කොහෙද”

මම හා හ්ම් කියන්නට නො ගියෙමි. ඒ නගරයේ රූපලාවන්‍යාගාර ඕනෑ තරම් වන බව ඔහු නො දන්නවා නොවේ. කෙසේ වෙතත් මේ විදිහට අසා ත් ඔහු ගෙන් කරුණු වසංගන්නට වීම මගේ හිතට පහසුවක් දැනවූයේ නැත.

“එක අතකට ඒක හොඳයි”

ඔහු එසේ කීවේ සුසුමක් අත්හරින අතර වාරයේ ය.

“ඇයි…”

“ඒ තැන් වල පිරිමි නෑනෙ…ඔයාගෙං ගුටි කන්න”

ඔහු ලස්සනට සිනහ වුණේ ය. ලා කහ පාට විදුලි එළියෙන් දිළෙන ඒ වත දෙස මම කිසියම් වශීයකින් සේ බලා සිටියෙමි. ඒ සිනහව කෙතරම් නම් අහිංසක ද? ඔහු කොයි තරම් නම් විනීත ද? එහෙව් පිරිමි පෞරුෂයක් වෙනුවෙන් නිබ්බුත පද කියන්න ට කිසිදු ගෝතමියක් දෙවරක් සිතන්නේ නැත.

“ඔයා නිදියන්න. මහන්සි ඇතිනෙ. මං යන්නං”

‘හා ‘ කියන්නට මට ලෝබ සිතුණේ ය. නමුත් එපා කියන්නට මට කොහේ තියෙන අයිතියක් ද? මා බැල්කනි වැටට බර වී ගෙන සිටිය දී ඔහු කොරිඩෝරය වෙත ගොස් දොර අතින් අල්ලා ගෙන නැවතත් මට කතා කළේ ය.

“දැං රෑට ආවට පස්සෙ මහන්සියි කියල ස්ටඩීස් නිග්ලෙක්ට් කර ගන්න එපා. හරිද…”

මගේ ඇසින් කඳුළක් එළියට පැන්නේ මටත් නො දැනී ය. එකඳුළ ඔහු නො දකිනු වස් මම ඉක්මනින් ඈත අවකාශය වෙත නෙතු යොමු කර ගතිමි. 

මගේ ඇස් වල වූ තෙත කඳුළු පැල්ලම්, ඇතැම් විට සුරනි දකින්නට ඇත. නමුත් ඕ මගෙන් කිසිත් විමසුවේ නැත. නමුත් කියනා යුතුකමක් වෙතැයි මට සිතිණ.

“හුඟ දවසකින් මාව දැක්කෙ නැති නිසාලු කතා කළේ”

සුරනි යටැසින් බැලුවා විතර ය.

“මං ලස්සන වෙලා කිව්ව”

එවර ඇය බරැති හුස්මක් ගත්තා ය. මටත් මා ගැන මහත් බරක් දැනිණ.

“ජරා පිරිමින්ගෙං බේරෙන්න තරං යමක් ඔයා දන්නව මෙව්නා. ඒත්…ආදරෙං බේරෙන්න ඔයාට ලේසි නෑ කියලත් මට දැනෙනව”

“ආ…”

“ඒකට සාක්ෂි ඔය ඇස් වල තියන කඳුළු. ඔයා සිතිජ ට ආදරෙයි. සමහර විට ඒකාත් ඇත්තටම එහෙම ෆීලින් එකක ඇති. ඔයාට රිද්දන්න ඉරණම තෝරගෙන තියෙන්නෙ ආදරේ වෙන්නත් බැරි නෑ. මං හිතන්නෙ ඔයාට තේරෙනව ඇති මං කියන දේ. සිතිජ කියන්නෙ…”

“මං වගේ වැදි කෙල්ලෙක්ට දකින්න පුළුවන් හීනයක් නෙවෙයි”

ඇය කියා නිම වෙන්නට පෙර මම කීවෙමි. සත්තකට මගේ හිත රිදෙමින් තිබිණි. සිත් රිදුම් කියන්නේ අප වගේ දුප්පත් පවුල් වල දැරියන් ට අමුතු දෙයක් නොවේ. පොඩි කාලේ අපි ඇති හැකි පවුල් වල ළමයින් සතු සෙල්ලම් බඩු වලට ආශාවෙන් හිත් රිදුවා ගත්තෙමු. උස් මහත් වූ දා අපි ඒ ළමයින් ට ඇල්මෙන් හිත් රිදවා ගනිමු.

“ඒකයි මං බැල්කනි එකට යන එකත් නතර කරල දැම්මෙ”

අසීරුවෙන් වුව මම කොඳුරා ගතිමි. සුරනි ගෙන් සඟවන්නට යමක් ඉතිරි වී නැති බව දැන් මට විශ්වාස ය.

“මං දන්නව. ඒත් බැල්කනි එකට නො ගිහිං හිටියා කියල ඔයාට ආදරෙං හැංගිල ඉන්න බෑ. ඒක ඔයා හොයා ගෙන එනව. බිං ගේක හැංගිල හිටියත්. දන්නවනෙ. චිත්‍රා කුමාරිව එක්ටැම් ගේක හිර කරල තිබ්බත් බේර ගන්න බැරි වුණානෙ…”

මගේ හදවත කීරි ගැසී  තිබිණි. ආයේ මහියංගනයට යත්දී මගේ හිත පරිස්සං කර ගෙන යන්නට මට නො හැකි වනු ඇත් ද? මම නො දනිමි.

සිතිජ ගෙන් ගුඩ් මෝනිං ස්ටිකරයක් උදේ මට ලැබිණි. ඊට පෙරලා ප්‍රතිචාර නො දක්වා ඉන්නට මට ඕන වුණේ ය. නමුත් මගේ හිත මෙල්ල කර ගැනීම හිතු තරම් පහසු වූයේ නැත. අන්තිමට මම අදට පමණක් යයි සිතා උදෑසන ට සුබ පතා යැව්වෙමි. ඔහු කහ පාට මඳ සිනහ මුහුණක් එවා තිබුණේ ය. මම රහසින් ඒ සිප ගතිමි.

5 1 vote
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Araliya Wanniarachchi
25 days ago

😍❤

Chamira
24 days ago

👍