අහංකාර නගරේ -16

1
2774

අප දෙදෙනා ම අප දෙස බලා උන්නේ සැකයක් හෝ බියක් හිතේ ඇතිව ය. ඒ අතරේ දුම් දමන සුප් බඳුන් දෙකක් මේසය මතට වැඩියේ ය. මා කියන්නට පටන් ගත් කතාව කෙළවරක් නො කළ  බවත්, අන් සියල්ල ට පෙර මා එසේ කළ යුතු ව ඇති බවත් මගේ ගැහැනු ඉව ට දැනෙමින් තිබුණේ ය.

“මං වැඩ කරන්නෙ ඔයාගෙ අම්මගෙ සැලොන් එකේ”

මා එය කියවා නිම වන විට ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ය.

“ඇති යාන්තං”

ඒ සුසුමේ කෙළවර ඔහු මිමිණුවේ ය.

“තෑන්ක් ගෝඩ්. ඔයා එහෙම කියනකොට මං බය වුණා මෙහෙ තියෙන මොකක් හරි නරක තැනකට ඔයා අහු වෙලා කියල”

“එහෙම නෙවෙයි අයියෙ. ඔයාගෙ තාත්තා මට එයාගෙ ගෙදර නවතින්න දුන්නා. අම්මා මට එයාගෙ සැලෝන් එකේ ජොබ් එකක් දුන්නා. කොටිංම කිව්වොත් ඒ දෙන්නා මේ කොළඹ කාත් කවුරුත් නැති මට ජීවත් වෙන්න අවස්ථාවක් දීල තියෙනව. හැබැයි ඒ  සිටු කුමාරයෙක් වගේ ඉන්න එයාලගෙ පුතාට දවසක මාව දෙන්න හිතා ගෙන නං නෙවෙයි. මෙහෙම දෙයක් දැන ගත්තොත් එයාලගෙ පපුව පැලිල යයි”

“ඒ ගොල්ලො දරුවො ගැන ඒ තරං හිතපු දෙමවුපියො නෙවෙයි”

මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ ලෙස සිතිජ සාවඥ සිනහවකින් කීවේ ය.

“අපිනං අපේ දරුවන්ට කවදාවත් එහෙම නොකර ඉමු”

“අයි…යෙ…”

ඔහු ගේ ඇස් වල කඳුළක් නළියනවා මට පෙනුණේ ය. පිරිමි ඇසක කඳුළු තියෙනවා ඊට පෙර මා දැක නැත. සිතිජ වෙනුවෙන් මගේ හදවත පිච්චී යන සෙයක් මට දැනිණ.

“ඔයාගෙ ඇස් ඇතුළෙ හැංගිච්ච දුකක් එදා පළවෙනි දවසෙදිත් මං දැක්කා අයියෙ. ඒත් ඒක මේ තරං ලොකුවට ඔයාව රිද්දනව කියල මං දැනං හිටියෙ නෑ”

“අපි පොඩි කාලෙ ඉඳලම තාත්තායි අම්මයි අතරෙ තිබුණෙම ප්‍රශ්න මෙව්නා. රණ්ඩු. ඒ දෙන්නා මොනාට රණ්ඩු වෙනවද කියල අපිටනං හිතා ගන්නවත් පුළුවන් වුණෙ නෑ.  ලෝකෙට පේන්න තිබුණ හැටියට තාත්තා ප්‍රන්සිපල් කෙනෙක්. අම්මා සෝෂල් වර්ක්ර් කෙනෙක්. අපිට කිසි අඩුපාඩුවක් තිබුණෙ නෑ. එහෙම වෙලත් ගේ ඇතුළෙ නිතරම ඒ දෙන්නා මරා ගත්තා. සමහර දවසට තාත්තා ගහල අම්මගෙ තොල් පැලිල තිබුණා. මූණ ඉදිමිලා තිබුණා. අන්තිමට දවසක් ආව නංගි ඒ හැම දේම ඉවර වෙලා යන”

මට ඔහු කී දේ හරි හැටි වැටහුණේ නැත. මගේ ඇස් කුඩා වී යන්නට ඇත්තේ එනිසාවෙනි.

“ඉවර වෙලා කිව්වෙ…”

“ඒ රණ්ඩු”

“ඉතිං හොඳයිනෙ. ඒ දෙන්න අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණනං රණ්ඩු වෙලා හරි ඒක ඉවරයක් කර ගන්න ඇති”

“ඉවර වුණේ ප්‍රශ්නෙ නෙවෙයි”

“එහෙනං…”

“ඒ දෙන්නගෙ සම්බන්දෙ”

ඔහු සුසුමකින් මිදුණේ ය. මම තව දුරටත් ඉහළට ගත් හුස්ම රඳවා ගෙන ම සිටියෙමි. අපේ වන්නි ජීවිත සේ නොව මේ නගරයේ මිනිසුන් ගේ ජීවිත සංකීර්ණ ය. තේරුම් ගැනීම අසීරු ය. ඔවුන් ගේ සම්බන්ධය නිම වුණා කියා සිතිජ කියයි. නමුත් ඔවුන් දෙදෙනා තවමත් නීත්‍යානුකූල අඹු සැමියන් ය. මුළු ලෝකය ම හිතන්නේ එහෙම ය. නමුත් සිතිජ වෙනකක් කියයි.

“එදා ඉඳල ඒ දෙන්න එක ගෙදරක හිටියත් ජීවත් වුණේ කාමර දෙකක. ලෝක දෙකක”

“ඉතිං ඇයි එහෙම කළේ…මන්නං හිතන්නෙ දෙන්නෙක් නො ගැලපෙනවනං කරන්න ඕන හොඳම දේ නීතියෙං වෙන් වෙන එක”

කියවන්න :  අහංකාර නගරේ -27

සිතිජ කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“ඔයා මේව තේරුං ගන්න අහිංසක වැඩියි නංගි”

ඇත්තට ම එය එසේ වන්නට ඇත.  ගමේත් පවුල් වල ප්‍රශ්න නැතිවා නොවේ. නමුත් ඔවුහු ඒවා සරල ලෙස විසඳා ගනිති. නැත්නම් උහුලා ගනිති. මේ විදිහේ සංකීර්ණ මිනිස් සහ්බන්ධතා ගැන වටහා ගන්නට, මා පමණක් නොව කිරි අම්මා වුව නො දන්නවා ඇතැයි සිතමි.

“තාත්තට ඕනෙ එයාගෙ උගත් මිත්‍රයන්ට පෙන්නන්න…එයාට හොඳ ෆැමිලි ලයිෆ් එකක් තියෙනව කියල. අම්මටත් ලෝකෙට ලොකු කං පෙන්නන්නනං නමට හරි ප්‍රින්සිපල් කෙනෙක් එයාගෙ හස්බන් වෙලා ඉන්න එක වටිනව. එයාල හිතන්න ඇති ඒ විදිහට හරි එක ගෙදරක ඉන්න එක ඒගොල්ලංගෙ දරුවො තුන් දෙනාගෙ තත්වෙ රැක ගන්න වැදගත් කියල. ඒත් මේ විකාර පවුල ඇතුළෙ මං හැමදාමත් හිටියෙ තේරුං ගන්න බැරි තනි කමක”

“අනේ…”

මම මිමිණුවෙමි. මා තනි වූයේ මගේ අම්මා ට මා එපා වූ නිසා ය. මගේ තාත්තා කවුරුන් ද කියා හෝ මා නො දන්නා නිසා ය. නමුත් මවු පිය දෙදෙනා එක්ක එක ගෙදරක ජීවත් වි ත් තනි වන ළමයින් ලෝකයේ සිටින බව දැන් දැන් මට අවබෝධ වෙමින් පවතී.

“ඔයාට විශ්වාස කර ගන්නත් බැරි කතාවක් තියෙනව මෙව්නා”

“මොකද්ද අයියෙ…”

මට ඔහු පිළිබඳව අති මහත් ශෝකයක් දැනෙමින් තිබිණි.

“අපේ තාත්ත සතුටෙං ජීවත් වෙන ගෙදරක් වෙන තැනක තියෙනව කියල ඔයාට හිතා ගන්න පුළුවන් ද…”

ඒ මා සුරනි ගෙන් කලින් ම දැන සිටි පුවතකි. නමුත් සිතිජ ට ඒ බව කියන්න ට මට සිත් දුන්නේ නැත.

“ඒක එහෙම තමයි මෙව්නා. ඒ ලේඩි තාත්තා හිටිය ඉස්කෝලෙක සුළු සේවිකාවක් විදිහට වැඩ කරල තියෙන්නෙ. ඔයාට විශ්වාස කරන්න පුළුවන් ද…”

“ඔයා කොහොමද  අයියෙ ඔය දේවල් හරියට ම දන්නෙ…ඒව බොරු කතා වෙන්නත් පුළුවන් නේද…”

“ඒක ඇත්තක්. ඒ ආන්ටි අපේ ගෙදර ඇවිල්ලත් තියෙනව”

“ආ…”

එවර නම් විශ්වාස කර ගත නො හැකි තත්වයක් මා තුළ ඇති විය. මේ නගරයෙන් වෙන් වී ගමට දිව ගොස් කිරි අම්මා ගේ දහදිය පුසුඹ තුරුලේ ඇස් දෙක පියා ගන්නා, ඉටු කර ගත නො හැකි අවශ්‍යතාවයක් මට දැනෙන්නට ගත්තේ ය .

“ඔව්. සැරයක් තාත්තගෙ අම්මා නැති වෙච්ච වෙලේ ෆියුනරල් එකට ආව. ඒ ආච්චිට අපේ අම්ම හරියට වෙනස්කං කළා. බැරි ම තැන තාත්තා ආච්චිව මෙහෙං අරං ගියා. අරං ගිහිං තියෙන්නෙ ඒ ආන්ටිගෙ ගෙදරට. අන්තිමට ආච්චි නැති වුණේ එහෙදි”

“දෙයියනේ…ඉතිං…”

“මිණිය එහෙ තිබ්බනං තාත්තා ගෙ උගත් සමාජෙට එන්න කියන්න විිදිහක් නෑනෙ. අම්මා දැනං හිටිය එහෙම කළානං එයාගෙ සමාජ සේවිකා තනතුරටත් ලොකු පහරක් කියල. ඒක නිසා දෙන්නා කතා කරල මිණිය අපේ ගෙදර ගෙනාව. ඇඬුවෙ අපේ අම්ම නෙවෙයි…ඒ ආන්ටි”

මේසය මත දෙවැලමිට තබා මම මගේ නළල දෑතින් ම අල්ලා ගතිමි. මේ වගේ කතාවක් ජීවිත කාලය තුළ දී කිරි අම්මා වුව අසා නැතිවා විය යුතු ය.

“මං එදා ඉඳං කල්පනා කළේ වෙන දෙයක්”

ඔහු නැවතත් අර සාවඥ සිනහවට මුවෙහි ඉඩ හදා දුන්නේ ය.

කියවන්න :  අහංකාර නගරේ -03

“අම්මට කලිං අපේ තාත්තා නැති වුණොත් එහෙම මිණිය බෙදා ගන්න ගිහිං මේ දෙන්නා මරා ගනීද කියල…”

ඒ හිනාවට යටින් වන කඳුළු සයුර රළ නගන හැටි මට දැක ගත හැකි ය. ඒ රළ පෙළෙහි වන ප්‍රචණ්ඩ බව ගැන මට සිතා ගත හැකි ය. 

“හරිනං ඉතිං ඒ මනුස්සයට තමයි ඒ අයිතිය තියෙන්නෙ. මොකද…හරියට බැලුවොත් අනියම් කියන විශේෂණ පදේ දෙන්න වෙන්නෙ අපේ අම්මට. කෙනෙක් ගෙ හිත ඇත්තටම බැඳිල තියෙන තැනට අනියම් කියන්න ගොඩක් මිනිස්සු පුරුදු වෙලා හිටියට”

අඳුර මෝරා වැඩෙමින් තිබූ බව, අවන්හල තුළ කහ එළිය දීප්තිමත් ව තිබූ හැටියෙන් සිතා ගත හැකි වූයේ ය. මගේ හිත කැළඹී ඇති බව සිතිජ ට දැනෙන්නට ඇත.

“මං හොය හොයා හිටියෙ සැනසීමක් තියන ජීවිතයක් මෙව්නා. ඔයා එක්ක කතා බහ කරනකොට ..ඔයාගෙ අත්දැකීම් බෙදා ගන්නකොට…මට තේරෙන්න ගත්තා අපි අපිව මුණ ගැහෙනකල් ම කරල තියෙන්නෙ අපි ව හොයන එකයි කියල”

“මටත් දැං එහෙම හිතෙනව අයියෙ”

හිතා මතා නොව නො සිතා ම මට කියවිණ. සිතිජ ගේ ඇස් දිළිසෙන්නට වූයේ ය.

“මන් දන්නෑ මේ දේවල් කොහොම කෙළවර වෙන්න නියමිතයිද කියල. සුරනි කියන විදිහට රස්සාවත් නැති වෙලා ඒ ගෙදරිනුත් දොට්ට බැහැල යන්න වෙයි. ඒත් බය ගුල්ලියක් වගේ හැංගෙන්න එපා කියල හිත මට කියනව. අන්තිම මොහොත වෙනකල් මං ඔයා වෙනුවෙන් ෆයිට් කරනව අයියෙ. අන්තිම ම මොහොත වෙනකල්”

මහියංගනයේ සිට කොළඹ ට පය ගැසූ කෙල්ලකට ඒ වගේ ආත්ම ශක්තියක් ලැබුණේ කොයිබෙන් ද කියා මම නො දනිමි. නමුත් මගේ ආත්මය තුළ ඒ ශක්තිය ගැබ් වෙමින් තිබිණ. රැස් වෙමින් තිබිණ. කිසිදු හේතුවක් මත සිතිජ ට යළිත් ලොව තනි වන ඉඩක් නො තබන්නට මම මට සපථ වෙමින් සිටියෙමි. එය වූ කලී ඉරණම මගේ තනිකමින් මා මුදවා ලනු වස් කල විශ්වීය කුමන්ත්‍රණයක් වන්නට ඇත.

අපි ත්‍රීරෝද රියකට ගොඩ වීමු. තව ටිකකින් එන බව කියා සිතිජ වුඩ්ලන්ඩ් හන්දියේ දී ඉන් බැස ගත්තේ ය. මම ගේ ළඟට ම ගියෙමි. සුරනි ගේට්ටුවෙන් එබී පාර බලා උන්නා ය. 

“ඇති යන්තං. මං බඩ බොකුත් රත් වෙලයි හිටියෙ තාම නැත්තෙ මොකද කියල. ඒ මදිවට ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නෑනෙ”

ඇය කියවා ගෙන ගියා ය.

“ඔයා කෝල් කළාද…”

මම අත් බෑගයෙන් දුරකතනය අතට ගෙන බැලුවෙමි.

“සැලෝන් එකේදි සයිලන්ට් දාල තිබුණ ගමං…”

“හොර ගමනක් නේද ගියේ…”

මම හයියෙන් සිනාසුණෙමි. දැන් මට එහෙම සිනහ වෙන්නට පුළුවන. දැන් මට එහෙව් නිදහසක් තියේ. සිය අතකින් අල්ලා ගෙන විශ්වාස වන්ත කෙනෙකු ජීවිතයේ පසෙකින් ඉන්නවා කියන්නේ මොන තරම් නම් නිවීමක් ද? 

“උත්තර ඕන නෑ. මූණ බලපුවහම කියන්න පුළුවන් ඒක”

“තව මොනාද මගෙ මූණ බලල කියන්න පුළුවන් සාස්තර…”

මම මගේ මූණ මුළුමනින් ඇය වෙත පාමින් අභියෝග කළෙමි.

“කරන දෙයක් පරිස්සමෙන් කියල තමයි කෙල්ලෙ කියන්න තියෙන්නෙ. ගොඩක් පරිස්සමෙන්”

මගේ සිනහව තුනී වී යන්නට විය. නමුත් දැන් ඉතින් ආපසු හැරී මුලින් සිටි තැනට යන්නට නුපුළුවන. කිසි සේත් එසේ කළ නො හැකි ය. 

5 2 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
23 days ago

👍