ඈත දුර ආකාසේ -11

අම්මාගේ මුහුණේ ඇඳුණු සිනාව ද ආදර නෝක්කාඩු බැල්ම ද සඳලිට කුහුලක් ඇති කළේ ය.ඇය අම්මා දෙස බැලුවේ විමසිල්ලෙනි.

“අක්කව ඉල්ලගෙන මනමාලයෙකුයි අම්මයි ආවා..”

සඳලි කේක් කැපීම නවතා වහා අම්මා දෙස බැලුවා ය.ඇය මතු වූ අපුල නිසා කේක් ගෙඩිය පෙට්ටියට දමා වසා දැමුවා ය.

“ප්‍රශ්න තියනවනෙ අම්මෙ.ඒවා දැනගෙන අම්මා අර ආර්යාවයි හෝතඹුවයි ගෙට ගත්තෙ ඇයි?”

ඇය ඇසුවේ කෝපයෙනි.අම්මලා කතා කරන්නේ නිවිසැනසිල්ලේ ය.දූලා කලබල වූ පමණට අම්මලා ඉක්මනින් තොරතුරු හෙළි කරන්නේ නැත.

“මං ආදිත්‍යට කැමති යැ චූටි පුතේ..”

අම්මා ශීතකරණය හැර උයමනට කලමනා ගත්තා ය.සඳලි කුහුලින් දෑස් දල්වා බලා සිටියා ය.

“ඔයා නංගි බබෝ මොකුත් නොදන්නවා වගෙ හැසිරෙන්න එපා.ඔයා අක්කට සෙට් කරපු කොල්ලා තමයි ආවෙ.”

හෙරට පෙර කෙසෙල් කැන වැට පැන්නේ ය.සඳලි ඉතා ප්‍රීතියෙන් කේක් කපා ලොකු කැබැල්ලක් පීරිසියට දමා ගත්තා ය.

“මියුරු?”

“ඔය කියන්නෙ ඉතිං..”

සඳලි ඇතුළුගෙයට එබී බැලුවේ සතුටින් දෑස් බබළවමිනි.”ඔයාට තියෙන්නෙ අම්මලට කෙලින්ම ප්‍රපෝසල් එකක් ගේන්න.” ඇය මියුරුට එසේ කීවා ය.නමුත් ඔහු මෙතරම් ඉක්මනින් ක්‍රියාත්මක වේයැයි ඈ සිතුවේ ම නැත.

“මියුරු කැමතියි අක්කාව ඉක්මනින් මැරි කරන්න.ඒත් ඔයාලට ලොකු වයසක් නෑනෙ. එන්ගේජ් උනත් ඇති ඉතිං. අර යස්සයගෙ වදකාරකම්වත් ඉවර වෙන් නැතැයි.”

අම්මා හිඳින්නේ තුරුලි ගැන වේදනාවෙනි.ඇය ආදිත්‍යට බිඳුවකුදු ප්‍රිය නොකළා ය.දියණියන්ට ගහන්නට බනින්නට අකමැති අම්මා කෙනෙකු වූ ඈ තුරුලිට පහර දුන් වාර මෙතකැයි කියන්නට නොහැකි වූයේ ආදිත්‍ය නිසා ඇති වූ ගැටළු නිසාම ය.

කියවන්න :  ඈත දුර ආකාසේ -10

“අපි තාත්තට කතා කරමු චූටි.මියුරු ගැන කියල බලමු..”

අම්මාගේ සැනසීම පිරුණු හඬ සඳලි අසා හුන්නේ සන්තෝසයෙනි.ඇය විශාල කේක් කැබැල්ලක් කපා කිරි කෝපි එකක් ද සමඟ අක්කාට රැගෙන ගියේ හදවත උණුසුමෙන් පුරවාගෙන ය.

“ඔයාගේ නැන්දම්මා ඇවිල්ලනෙ..”

සඳලි කියද්දී තුරුලි වහා කේක් කැබැල්ල පීරිසිය මත තැබුවා ය.ඇගේ මුහුණ මත අඳුරු වලා සහසක් ඇඳෙන්නට විණි.

“මං හිතුව නංගි ඕක වෙයි කියල.ඕක එයාගෙ හැමදාම තියන තුරුම්පුවක්.ඔක්කොම හොර වැඩ කරල අන්තිමට අම්මා එවනවා. අපේ අම්මගෙන් ජීවිතේට බැනුං නාහපු මං ගුටි කන්නත් ගත්තේ ආදිත්‍ය නිසා.දැන් මං එයාගෙ අම්මගෙනුත් බැනුං අහන්න අරන්..මට ඇත්තටම ජීවිතේ එපා වෙනවා.”

අක්කාගේ ශෝකි හඬ අසා හුන් සඳලිට දැනුණේ කණගාටුවකි.ඈත ගම්මානයක ගැමි ගැහැනියක වූ රනුකගේ අම්මා ඇයව අත ගාමින් කතා කළ මුල්ම දිනය සඳලිට කිසිදිනයක අමතකව නොයයි.”දුව මොකුත් හිතන්න එපා, අපේ ලොකු පුතා යාළුවෝ කාන්ඩෙට වැටිලා ඉඳහිටවත් බොන එකට එහෙමනං මං මනාපයක් නෑ. ඕවා පුරුද්දකට යයි.දුවට පුලුවං නම් ටිකක් කියලා බලන්න..” ඇය ගෙන එන්නේ එහෙව් අහිංසක ඉල්ලීම් ය.රනුකට කිසිදු නීතියක් දමන්නට අකමැති සඳලි ඒවා සිනාවෙන් බැහැර කළ ද ඔහු නරක් වන්නේ ඈ නිසා වැනි චෝදනා නොකරන ඒ අහිංසක අම්මා ගැන ඇයට තිබුණේ ආදරයම පමණි.

කියවන්න :  ඈත දුර ආකාසේ -21

“කියෝලා ඉවරද..ඒ ආර්යාවයි කුමාරයයි නෙවේ ආවේ..”

නංගිගේ මනමාල සිනාව තුරුලිගේ ප්‍රහේලිකාව සම්පූර්ණ කළ නිසා ඈ දෑස් සිහින් කරමින් නංගී දෙස බැලුවා ය.

“මියුරුල ඇවිල්ලා තියෙන්නෙ අක්කා..”

තුරුලි නංගී අසලින් හිඳ ගත්තේ කල්පනාබරව ය.කෝපි කෝප්පය දෙස මොහොතක් බලා සිටි ඇය උගුරක් බී නැවත කල්පනාවට වැටුණා ය.මේ කතාව නංගීට කියන්නට ඇයට ටික දවසක් තිස්සේ පෙරුම් පිරුවා ය.

“නංගී, මං මේක ඔයාට කියන්න හිටියේ. මියුරුට හෝප්ස් නොදී ඉමුද අපි..”

සඳලි අක්කාට ඉඩ දී බලා සිටියා ය.ඇය තවම ආදිත්‍ය හිතින් අතැර නැතැයි සිතෙද්දී මතු වූ සිහින් කෝපය පවා ඇය වාවා ගත්තා ය.

“නංගි, මං අවුරුදු දාහතේ ඉඳන් ආදිත්‍යගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.ඔයාල වින්ද ජීවිතේ මට මඟ ඇරුණා.මං හිර වෙලා ජීවත් වුණේ. මට හරි අප්පිරියාවක් තියෙන්නෙ මං ගැන වගේම හැමදේම ගැන.ඔයා දඟ වැඩ කරලා අම්මලගෙන් පනිෂ්මන්ට් ගත්තට මං එහෙමවත් බැනුමක් නාහපු ළමයෙක්. මගෙ වයසෙ කෙල්ලො ලව්බයිට්ස් හංගගෙන ගෙදර එනකොට මම ආදිත්‍යගෙන් ගුටි කාපු කැලැල් හංගන් ගෙදර ආවේ..මට හරි මහන්සී නංගි.මට ටිකක් නිදහසේ ඉන්න ඕන.මං තාම ආදිත්‍යගගෙන් නිදහස් නෑ. ඒ වගේම තව කෙනෙක්ට ආදරේ කරන්න මගෙ හිත නිදහසුත් නෑ..”

5 2 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
22 days ago

👍