අහංකාර නගරේ -17

ඉනික්බිති උදා වූයේ ජීවිතයේ වසන්ත ඍතුවයි. අපි ඉඳ හිට පිටත දී මුණ ගැහුණෙමු. හැකි හැම අවස්ථාවක ම සිතිජ වැල්ලවත්තේ බස් නැවතුමට ආවේ ය. ඒ බස් වල හිර වී යත්දී මා කාට හෝ පහර දෙතැයි හිතේ වන බිය මුසු හැඟීම කින් බව මම දනිමි.

ඔහු ළඟ දී ජීවිතය පුදුම තරම් සව්මිය වූයේ ය. සිනා සපිරි ඒ දෑස දකිත්දී මට දවසේ වෙහෙස අමතක වී යයි. ඔහු ගේ අත් බාහුවක එල්ලී ගෙන නගරයේ ජනාකීර්ණ මං මාවත් වල ඇවිද යත්දී, කවුරුන් හෝ දැක ගෙදරට ඔත්තුව දේවි කියන බිය මගේ හිතට ආවේ ම නැත. නැතහොත් ඒ බිය ට ඉස්මතු වෙන ඉඩක් නොදී, ඔහු කෙරේ ලෝභ සිතිවිලි මා වසා ගෙන පවතින්නට ඇත. 

ඔහු මට නගරය පෙන්වූයේ ය. ඉරිදා ට බාහිර උපාධි පන්ති නිම වීමෙන් පසු අපි අරමුණක් නැති ව නගරය පුරා ඔහේ ඇවිද්දෙමු. සිතිජ ගේ ඇස් වල වූ ශෝකයේ අඳුර හෙමි හෙමිහිට ඔහු අතැර පලා යමින් තිබිණි. ඔහු මට හිතේ හිර වී වද දුන් බොහොමයක් කතා කීවේ ය. විදුහල්පති තුමා ගැන සිතිජ ගේ සිත්හි වන්නේ ගෞරවයක් ද කෝපයක් ද කියා වෙන් කොට හැඳින ගන්නට මට අපහසු වූයේ ය. ඔහු වුව හරියට ම ඒ දෙක වෙන් කරන බෙදුම් රේඛාව හැඳින සිටියා යි නො සිතමි. ඇතැම් වෙලාවක ඔහු තාත්තා ට දොස් කීවේ ය. සමහර වෙලාවට තාත්තා එවැනි තත්වයකට පත් වූයේ අම්මා ගේ වැරදි නිසා යයි කීවේ ය. ඒ කුමක් වුවත් ඒ සිදු වීම් මත ඔහු ගේ හදවතේ ඇති ව තිබූ තුවාල වල කැළැල් සදාකාලික ව පැවතිය හැකි බව මට පෙනිණි.

“අපිට තියෙන්නෙ ඇත්ත පවුලක් නෙවෙයි. බොරු පවුලක්”

වේදනාත්මක මඳහසකින් ඔහු කීවේ ය.

“ඒ බොරු පවුලෙත් මං හිටියෙ කොන් වෙලා. අම්මා ආදරේ කළේ අක්කටයි නංගිටයි. ඒ, ඒ දෙන්නා හැම වෙලේම තාත්තා ගෙ පැත්ත ගන්නෙ නැතුව අම්මගෙ පැත්ත ගත්ත නිසා. බෝයිස්කූල් වල කොල්ලො තද නීති වලින් කන්ට්‍රෝල් කරං හිටපු පුරුද්දට ද මන්දා තාත්තා මටත් ලං වුණෙ නෑ. මං තාත්තට ලං වුණෙත් නෑ. කොහොමත් තාත්තා ආදරේ හිතේ තියං හිටියා මිසක් එළිපිට දරුවන්ට ආදරේ පෙන්නුව කෙනෙක් නෙවෙයි. පොඩි කාලෙ මං තාත්ත පස්සෙ එල්ලිල ඉන්න ට්‍රයි කරපු නිසා ද මන්දා තාත්තා ට වෛර කරපු ගමං අම්මා මාවත් ඈත් කළා. එයා ඉතිං තාත්තගෙ පුතා නෙ කියලයි අම්මා කිව්වෙ. ටික ටික තේරෙන වයසට එනකොට මං ඒ දෙන්නවම විවේචනය කළා. අන්තිමට මං තාත්තා ගෙයි අම්මා ගෙයි දෙන්නා ගෙම නොවෙන ළමයෙක් වුණා. අපේ ගෙදර මගෙ අය අතරෙම මං දරුනු විදිහට තනි වුණා”

ඇවිදින අතරේ ඔහු මට සිය හදවතේ තුවාළ කැළැල් පෙන්වයි. මට ඕනෑ වූයේ කෙසේ හෝ ඔහු ගේ හිත හදා තබන්නට ය. හුදෙකලා වන තරුණ ජීවිත, සිය හැඟීම් තමා තුළ ම හිර කර ගෙන හිඳ දිවි නසා ගන්නා පුවත් මම කියවා අසා ඇත්තෙමි. ඒ තත්වයට පත් වන්නට පෙර ඔහු ඉදිරියට පැමිණවීම ගැන මම දෙවියන් ට ස්තූති වන්ත වීමි.

“මාත් අම්මා තාත්තා ගැන කිසි ගාණක් නැතුව හිටියා නෙවෙයි. ඒත් හිතට දැනෙන ඕනම දුකක් වේදනාවක් වගේම කේන්තියක් වුණත් ඒ වෙලාවෙම කිරි අම්මත් එක්ක කියල මං හිත නිදහස් කර ගත්තා”

කිරි අම්මා කෙනෙකු ළඟ සිටීමේ වාසිය ඒක ය. අම්මලා කාලයේ දී සිය දරුවන් සමග ඇති බැඳීමට වැඩි බැඳීමක්, කිරි අම්මලා වූ පසු සිය මුණුපුරු මිණිපිරියන් සමග ඇති වෙන බව වතාවක් කිරි අම්මා මා හා පවසා තිබේ. එසේ වන්නේ ජීවිතයෙන් උරුම වූවා වූ අත්දැකීම් නිසා වන්නට පුළුවන.

“කොහොම වුණත් මට ඕන වුණේ ඒ දෙන්නට මං කවදාවත් ඕන වුණෙ නෑ කියන එක මගෙ හිතට තේරුං කරල දෙන්න. ඒ දෙන්නා නැතිව වුණත් මට හොඳට ජීවත් වෙන්න පුළුවන් කියන එක මගෙ හිතට ම ඒත්තු ගන්වන්න”

අපේ කතා දෙක දෙආකාරයක් ගත්තත්, අප ගමන් කරමින් සිට ඇත්තේ එක ම හුදෙකලා මාර්ගයක බව පෙනෙන්නට තිබුණේ ය. එහෙම දෙදෙනෙකු එක ට මුණ ගැසී ඒ ගමන යන විට උනුන් හා දොඩන්නට දේවල් ඕනෑ තරම් වන්නේ ය. අපටත් කතා කරන්නට දේවල් ඕනෑ තරම් තිබිණි. මුණ නො ගැසුණත්, එක ම වහලක් යට කාමර දෙකක හිඳ වුව අපි දුරකතනය ඔස්සේ අපේ සිතිවිලි හුවමාරු කර ගත්තෙමු.

ගමෙන් විත් මාස ගණනක් ගෙවී ගොස් තිබුණත් මා තවමත් එක වරක් හෝ කිරි අම්මා බලන්නට ගොස් තිබුණේ නැත. දෙතුන් වතාවක් මනි ඕඩර වශයෙන් උප තැපැල් කාර්යාලය වෙත මම ඇගේ නමින් මුදලක් යැව්වෙමි. 

“උඹ මට සල්ලි එවන්න ඕන නෑ”

ගමේ මිතුරියක ගේ දුරකතනය ට කතා කොට කිරි අම්මා ව සම්බන්ධ කර ගත් අවස්ථාවක ඕ තොමෝ කීවා ය.

“මං මෙහෙ නොකා නොබී ඉන්නෙ නෑනෙ. උඹ හම්බ කර ගන්න සල්ලි නැති නහස්ති නොකර එකතු කර ගනිං. උඹ දවසක ලොකු නෝනා කෙනෙක් වෙලයි මාව බලන්න එන්න ඕනෙ”

කිරි අම්මා එහෙම කීවාට යළිත් මම ඇයට මුදලක් යැව්වෙමි. ගමේ ගොස් කිරි අම්මා දැක බලා පැමිණිය යුතු යයි හදිසියේ ම මට සිතිණි. ඒ සිතිවිල්ල උපන්නේ මැදියම් රැයක් වන තුරු පාඩම් කරමින් සිටියදී ය. මම ඒ සිතිවිල්ල සිතිජ ගේ වට්ස් අප් පිටුවට ලියා යැව්වෙමි.

“ඉතිං යං”

ඔහු හැරෙන තැපෑලෙන් ප්‍රතිචාර දැක්වූයේ ය.

“තාම නිදි නැද්ද”

“ම්හු. පාඩං කරනව”

“හොඳ ළමය”

“කවදද ඉතිං යන්නෙ…”

“ඔයාට යන්න බෑ එහෙ”

“ඇයි…”

“ඔයාට හිතා ගන්නවත් බැරි ජීවිතයක් එහෙ තියෙන්නෙ. ඔයාට එහෙ එක රැයක් ගත කර ගන්න අමාරු වෙයි”

“පුළුවන්”

“ඒත් ඔයත් ගෙදර නැති වෙනකොට මැඩම් බලයි”

තත්පර කිහිපයකට පිළිතුරු පැමිණියේ නැත. නමුත් අන්තිමට ඔහු සිය තීරණය දන්වා තිබිණි.

“මං ඔයත් එක්ක ගිහිං මහියංගනෙං කොළඹට ඊළඟ බස් එක ගන්නං”

ඒ යෝජනාව ට මම සතුටු වීමි. සිතිජ  ළඟින් දැවටී දුෂ්කර බස් ගමනක වුව හෝරා කිහිපයක් ගෙවා දමන්නට ලැබෙන එක මොන තරම් දෙයක් ද?

“අයියෝ ඒ ගමන මෙව්නා ගමේ යන්න නිවාඩු ඉල්ලනවද…”

මා නිවාඩු ඉල්ලූ ගමන් රෝස් මැඩම් මූණ නරක් කර ගත්තා ය. 

“මෙහෙ ස්ටැබ්ලිෂ් වෙන්නනං සැරෙන් සැරේ ගමේ දුවන්න හදන්න එපා මෙව්නා. ගම කියන දේ දැං ඉතිං අමතක ම කරල දාන්න. දවසක ගමට යන්න ඕනෙ හොඳ සල්ලිකාරියක් වෙලයි”

කොළඹ ජීවත් වන මිනිසුන් ගේ හැබෑ තත්වය දැන් දැන් මම මුල දී ට වඩා දනිමි. රෝස් මැඩම් කියනා විදිහට සල්ලිකාරයන් වන්නට පුළුවන් නම් කොළඹ ජීවත් වන හැම කෙනෙකුට ම එසේ කළ නො හැකි මන්දැයි මම සිතුවෙමි. නමුත් මේ නගරයේ මාසයේ උපයන මුදල දෙසතියක දී වියදම් කෙරෙනා ලෙස ට වැඩ කටයුතු සූදානම් වී තියේ. අනිත් අතට මාසේ අන්තිමට ඇගේ සැලුන් එකේ වැඩ කිරීමට අදාල වැටුප ලෙස මට ලැබුණේත් මහා ලොකු මුදලක් නොවේ. ඇය තව දුරටත් ඒ වාගේ සුරංගනා කතා කියන්නේ කෙබඳු අදහසකින් දැයි මට සිතා ගත නො හැකි ය.

 අනිත් අතට ඇය කියනා ලෙසට ගම අමතක කරන්නට මට හැකි ද? මා හා ගම අතර වන පෙකණි වැල කපා දමා නගරය තුළ පැලපදියම් වන්නට යම් කිසි දිනෙක හෝ මට හැකි වනු ඇත්ද?

“ගිහිං එන්නකො එහෙනං. මං ඔයාට අපේ මෝස්ට් වැලියුබල් ම කස්ටමර්ස්ලව ඉන්ට්‍රඩියුස් කරන්න හිටියෙ. එහෙනං අපි ඒ වැඩේ පස්සට කල් දාමුකො”

ඒ අවසරය මිස මට ඇගේ පාරිභෝගිකයන් ගැන දුරට දිගට හිතන්නට ඕනා වූයේ නැත.

මා අළුයම නිවසින් පිටත් වන බව මම රෝස් මැඩම් ට දැනුම් දුනිමි. ඔවුන් ගෙදර සිටිනා අය ගැන වුව ලොකුවට තොරතුරක් දන්නේ නැත. මාත් එක්ක ම සිතිජ ගෙදරින් පිටත් වූවා කියා කිසිවෙකු දන්නේ නැත. ඇතැම් විට ඔහු ගෙදර සිටිනවාද, නැත්ද, නික්ම ගියා නම් ඒ කොයි වෙලාවේ ද කියා වුව ඔවුහු නො දනිති. ඒ තරමට ම ඔවුන් උනුන් ගේ පුද්ලිකත්වය පිළිබඳව  නො සොයා සිටියා ද නැත්නම් එපමණට ම උනුන් ගෙන් දුරස්ථ ව සිටියා ද කියා මට වැටහෙන්නේ නැත. අපි එකසිය විස්සක නැගී පිටකොටුවට විත් එතැනින් මහියංගනය බලා යන්නට නියමිත බස් රථයකට ගොඩ වුණෙමි.  එදා මුලින් ම පැමිණි දා ට වඩා පිටකොටුවේ බස් නවත්වන තැන් ගැන මතකයක් මට විය. ඊට පස්සේ මා යළි පිටකොටුවට පැමිණියේ මුල් වතාවට වී ද, මතකය අලුත් වෙමින් එදා දැන හැඳින ගත් මං සලකුණු මට මග කියමින් තිබිණි. මා තරමටවත් සිතිජ පිටකොටුවේ සැරිසරා නො තිබුණ බවක් පෙනිණි.

“කැම්පස් යන්න ගත්තට පස්සෙ තමයි මේ තරමටවත් බස් වල ගියේ. ඉස්කෝලෙ ගියෙ ආවෙ ස්කූල් සර්විස් වෑන් එකේ. ක්ලාසස් වලටත් ඩ්‍රයිවර් එක්ක ගෙදර වෙහිකල් එකේ ගියේ. දැනටත් වැඩිපුර ට්‍රයිෂෝ වලමනෙ ගමන් යන්නෙ”

සිය නුහුර ගැන සිතිජ නිදහසට කරුණු දැක්වූයේ එහෙම ය. 

“දැං ඉතිං කොහොමත් බය නෑ. පාර හොයං යන්න දන්න කෙල්ලෙක් මගෙ ළඟ ඉන්නවනෙ”

ඔහු බස් රියෙහි අසුන් ගත වූ ගමන් මගේ අතක් අල්ලා ගෙන කීවේ ය. 

“ආපහු ඇවිත් බස් එකට නගින තැන මතක තියා ගන්න අයියෙ”

මහියංගනයේ සිට තට්ට තනියම කොළඹ ආ මම, කොළඹ උපන් කොල්ලෙකු ගැන තිගැස්මක සිටියෙමි. ඔහු මුදු ලෙස හිනැහුණේ ය. 

“මට ආසයි කිරි අම්මව බලන්න”

“කිරි අම්මත් ආස වෙයි ඔයා ගියානං. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි. ඔයා ගෙදර එන්න ලේට් වුණොත් මැඩම්ල බය වෙයි”

“සමහර විට මං ගෙදර ඇවිත් නෑ කියලත් එයාල දැන ගන්න එකක් නෑ”

“එහෙම නෑ. නගරෙ මිනිස්සුන්ට අනිත් අයව මතක් වෙන්නෙ නෑ කියල දැනෙනකොට තමයි. වටිනාකම දැනෙන්නෙත් එයාල දුරස් වුණාට පස්සෙ තමයි”

 “මට වැඩිය හොඳට දැං ඔයා මෙහෙ මිනිස්සු ගැන දන්නව”

“කොළඹ පිරිමි ළමයෙක්ට ආදරේ කරන්න ගත්තානං එයාගෙ පැලැන්තියෙ අය ගැන දැන ගන්න ඕනෙ. ස්ටඩි කරන්න ඕනෙ. නැතුව හද්ද වන්නියෙ කෙල්ලෙක්ට කොළඹ කොල්ලෙක් ළඟින් ඉන්න බෑ. හිටියත් වැඩි කාලයක් බෑ”

උදා වූ හැම තත්පරයක් ම අපතේ නො යවන්නට මා උත්සාහ කළා විය යුතු ය. මේ වගේ දවසක් ආයේ කවදා එළඹේ දැයි කිව නො හැකි ය. ඉතින් මම අතොරක් නැති ව දොඩවමින් සිටියෙමි. සිතිජ මගේ අතක් අල්ලා ගෙන ඔහේ අසා සිටියේ ය.

“කවුද හිතුවෙ එදා ගේට් එක ඇරිය අහංකාර කොල්ලගෙ අතකින් මට මෙහෙම අල්ලං ඉන්න හම්බ වෙයි කියල. හිනා පොදක් තිබුන්නෑ මූණෙ. ආ දන්නවද මං ඔයාට දාල තිබුණ නම…”

මම ඔහු ගේ ජංගම දුරකතනය ගෙන මගේ නොම්මරය අංකනය කළෙමි. 

“බුම්මට්ටා….”

ඔහු මගේ කනක් අල්ලා සෙලෙව්වේ ය. මම සිනහ වෙමින් දෑස් ඒ පුළුල් උර මත හොවා ගතිමි. 

“බුම්මට්ටෙක් වගේ තමයි හිටියෙ. මාත් දන්නැතුවම මං වශී වෙලා හිටියෙ ඒ බුම්මට්ටට”

ඔහු යන්තම් හිස හරවා මගේ හිස් මුදුන සිප ගත්තේ ය. ඒ කෙතරම් අහිංසක වූ නිමේෂයක් ද? බස් රථ වල පෙම් කරනා පෙම්වතුන් දැකීමත් හිතෙහි නොරිස්සුමක් දැන වූ කාලයක් මට තිබුණා නොවේ දැයි සිහි පත් ව මම බසයේ පිරී උන් සෙනග දෙස බැලුවෙමි. දුර කල්පනා ලෝක වල උන් ඔවුන් ට අප ගැන වගක් වූයේ නැත.

“ඉක්මනට එන්න”

සිතිජ කී වතාවක් ද කියා මතක නැති වාර ගණනක් මට කීවේ ය. මහියංගනයේ බස් නැවතුමේ දී ඔහු මගේ අත අත්හැරියේ හිතකින් නොවේ. 

“යන ගමං නිදා ගන්න. පර්ස් එකයි ෆෝන් එකයි බෑග් එකේ තියාගන්න”

මම ඔහු ට මතක් කළෙමි. බෝ කාලයකට වෙන් වෙන්නට යනවා බඳු සන්තාපයක් අප දෙදෙනා ට ම දැනෙමින් තිබිණි. 

“තනියම එන්න එපා. එක්කං යන්න මං එනව”

සමු ගෙන යන්නට මොහොතකට පෙර ඔහු කීවේ ය. ආදරයේ මිහිරි වූ රිදුමක් හිත දරා ගෙන මම කිරි අම්මා බලන්නට ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...