fbpx

අහංකාර නගරේ -18

මා යන විට අපේ ගෙවල් යාය පාළුවේ ගිලී තිබිණි. මේ විදිහට මා ගම දකින්නේ ප්‍රථම වතාවට වාගේ හැඟීමකින් පපුව හිරි වැටී ගොස් තිබෙනු දැනුණේ ය. මේ මා උපන් දවසේ සිට ජීවත් වුණ, පාසල් ගිය, කරක් ගැසූ යාය ය. නෙතට හුරු ව තිබූ මේ යාය අද මට වෙනස් ව පෙනෙන්නට ගත්තේ ය. එය වූ කලී නගරය දැක යාය ට එන කෙනෙකු ට, ඒ දෙක අතර පවතින පරතරයට අනුගත වීමේ දී ඇති වෙන තත්වයක් කියා සිතමි.

යායෙහි බොහොමයක් වන්නේ කටු මැටි ගැසූ කුඩා ගෙවල් ය. අතරින් පතර හොඳ තත්වයේ ගෙවල් දැකිය හැක. වැඩි දෙනෙකු ට ගෙවල් දොරවල් ලොකුවට හදා ගැනීම ගැන උවමනාවක්  තබා ආශාවක්වත් ඇත්තේ නැතැයි කිව හැක. ඔවුන් ට දැනට මත් හිසට සෙවනක් තියේ. බොහෝ දෙනෙක් ට ගෙයක් කියා දෙයක් ඕනෑ වන්නේත් සිය අඩුම කුඩුම ටික තබා ගන්නට සහ රෑට නිදන්නට පමණ ය. ගමේ මිනිසුන් ගේ අවශ්‍යතා වල සීමිත බව ගැන මට පැහැදිලි ව දැනෙන්නේ දැන් ය. ගමේ ඉඩම් විශාල ය. බොහොමයක්  ගෙවල් ගව ගාල් සේ ය. නගරයේ ඉඩම් කුඩා ය. නමුත් එහි ලස්සන මැදුරක් ඉදි කර ගැනීම ඔවුන් ගේ සිහිනයයි.

බොරළු පාර දිග මා ඇවිද යත්දී කඩ පිලට යන හඳුනන ගැමියෙකු ඉඳ හිට නෙත ගැටිණි.

“උඹ කොළඹ ඉඳල එමින් ගමන්ද කෙල්ලෙ….”

කියා ඔවුන් ඇසූයේ වෙනදා ට වඩා ගෞරවයකින් ද? නැත්නම් කලින් තිබූ තමන් ගේ හැඟීමත් දැන් ඒ හදවත් වලින් අතුරුදන් ව තිබිණි ද? මම නො දනිමි.

මා යන විට කිරි අම්මා ගෙයි වූයේ නැත. මම මගේ බෑග් මලු ගෙයි තබා හේනට ගියෙමි. නියඟය වඩාත් දරුනු ලෙස වගාවන් පෙළමින් තිබිණි. වැහි වතුර බිඳක් මා ගමෙන් ගිය තෙක් ම බිමට නො හෙළන්නට තරම් අහස අකාරුණික වී ඇති සැටියෙකි. 

වගා ඇලකින් ගෙන ආ වතුර කළයක් කිරි අම්මා සිය මිරිස් පාත්තියකට වත් කරමින් සිටියා ය. ඒ තරම් දුක් හැඟීමකින් මින් පෙර කිසි දා ක මා ඇදෙස බලා සිට නැති බව මට ඉඳුරා විශ්වාස ය. මේ මාස කිහිපය ට ඇය වඩාත් වයස ට ගොස් තිබේ. පෙර දී ට වඩා කුදු බවක් ද මම ඈ වෙතින් දුටිමි.

කිරි අම්මා කියන්නේ නගරය කිසි දිනෙක දැක නැති ගැහැනියකි. එසේ ම ඇය ජීවිතයේ සැපත කියන දේ ද කිසි දා විඳ නැත. මා ඉපදුණ දා සිටත්, ඊට පෙරත් ඈ කළේ හේනත්, නියඟයත්, කඨෝර මහ පොළොවත් සමගින් හරි හරියට ඔට්ටු වෙන එක ය. ඒ සියල්ලෙහි වන නියං කේඩෑරි බව මුළු මහත් කිරි අම්මා වෙතින් දැකිය හැක. ජීවිතයේ කවර පිරිපත හා කම්කටොළු පිරිවරා ගෙන සිටිය ද, දත් හැලී ගිය මුව අයා නගන සිනහව කවදාවත් ඈ හැර ගියේ නැත. ඒ සිනහවත්, දහදිය සුවඳත්, මාතෘත්වයේ අසීමිත ආදරයත් එක් වූ තැන කිරි අම්මා ය.

“කිරි අම්මා “

කෑ ගසා එසේ කියන්නට තැත් කළත්, උගුර යටින් කෙඳිරියක් ව ඒ හඬ උඩු සුළඟ හා මුහු වී ගහගෙන ගියේ ය. හඬක් නෑසුණ වග විශ්වාස ය. නමුත් ඉවකින් සේ ඕ තොමෝ හැරී බැලුවා ය. සදා නො වෙනස් ඒ සිනහව වට්ටක්කා මලක සිරියාවෙන් පිබිදිණි. මම දිව ගොස් ඕ බදා වැළඳ ගතිමි.

“හපෙ අප්පෝ කෙල්ලෙ…මගෙ ළඟ දාඩිය ගඳේ බෑ බං. දැං පැය කීයක් තිස්සෙ වතුර දානවද…”

“කිරි අම්ම ළඟ සුවඳයි”

මම මගේ ග්‍රහණයෙන් ඈ මුදවන්නේ නැතිව ම ඇස් දෙක පියා ගෙන කීවෙමි.

“ඇස් වහක් කට වහක් හෝ වහක් නං වදින්නෙපා. ගමෙං ගියත් හරි උඹ නං කොමඩු ගෙඩිය වගේ රතු පාට වැටිල ලස්සන වෙලා කෙල්ලෙ. මට උඹ දිහා බලා ඉන්න ආසයි මයෙ රත්තරනේ”

“කිරි අම්මා මාත් එක්ක කොළඹ යං”

එවර ඇය සිනහ වෙන්නට වූවා ය.

“අයියනායක දෙයියනේ…මට මේ හැටි හොඳයි. මං මැරිල පස් වෙලා යන්න ඕනත් මේ පොළොවටමයි මයෙ මැණිකෙ. ඊට කලිං උඹව මේ විදිහට දැක ගන්න ලැබුණෙත් දෙයි හාමුදුරුවො මයෙ කන්නලව්වට කන් දීපු නිසා තමයි. යමු යමු. ගෙදර යමු. මහන්සිත් ඇතිනෙ කොළඹ රටේ හිට ඇවිත්”

කිරි අම්මා මා කැටිව අපේ කුඩා ගෙදර තෙක් ඇවිද ආවා ය. ඈ බලාපොරොත්තු වූ සෙයින් මා ලොකු නෝනා කෙනෙක් වී මෙහි ඇවිත් ඇතිවා යි ඈ සිතා ගත්තා දැයි නො දනිමි. කොළඹ මට ගෙවන්නට සිදු වූ ජීවිතය ගැන දන්නේ මා ය. නමුත් මම කිරි අම්මා ව ඇගේ සිහිනයෙන් අවදි නො කොට සිටියෙමි. අඩු තරමින් සිහිනයක් දකින්නට හෝ මේ ගං තුලානේ මිනිසුන් ට අයිතියක් තිබිය යුතු ය! 

කිරි අම්මා ට දෙන්නට නුගේගොඩ ලොකු රෙදි කඩයකින් මිල දී ගත් මල් වැටුණු චීත්ත දෙක ද හැට්ට දෙක ද මම ඇයට දුන්නෙමි. ඊට අමතර ව සුදු පැහැයට හුරු සාරියක් ද මම ඇය වෙනුවෙන් මිල දී ගෙන ආවෙමි.

“නිස්කාරණේ මොකට මේ හැටි කාසි වියදං කළාද දරුවො…අර හේනෙ වේලෙන්න මට මේ තරං හොඳ ඇඳුං මොකටද…”

“කිරි අම්ම දැං ඔය හේන අත්ඇරල දාන්න”

මා කීවේ අවංකව ම ය. නමුත් කිරි අම්මා, ජීවිතයත් එක්ක පොර බැදූ අත්දැකීම් ඇති මඳහසක් නගා ගත්තා ය.

“මැරිල යනකල් මට ඒක අත්අරින්න ඕන නෑ කෙල්ලෙ. ඒක තමයි දවස ගෙවා ගන්න මට තියෙන එක ම මාර්ගෙ”

“මං කිරි අම්මගෙ වියදමට සල්ලි එවන්නං”

“උඹ හම්බ කරන එකක් පිළිවෙලකට විය හියදං කරල ඉතුරුවක් කර ගන්න බලහං. ආයෙ කවදාවත් උඹ මේ යායෙ හේන් වැඩ කරන්න එන්න ඕනෙ නෑ. දැං උඹ දැක්කහම මේකෙ උංගෙ ඇස් වල කටු ඇනෙන්නාහේ වේවි”

කිරි අම්මා ඒ අන්තිම ටික කීවේ කාට හෝ ඇසේවියි රහසින් සේ ය. මම මඳහසක් පමණක් නගා ගතිමි.

“හිටිංකො මං උඹට බොන්න කහට ටිකක් වක් කොරන්න”

ලිප් බොක්කත් කිරි අම්මා ත් අතර වන සම්බන්ධය ඉතා පැරණි එකකි. හේනේ නො වන ඕනෑ ම වෙලාවක ඈ සිටිනුයේ ළිප් බොක්කේ බව ඉතා ම කුඩා දැරියක කාලයේ දී ත් මම දැන සිටියෙමි.

“අපි ඉතිං කොයි දේ කරන්නෙත් කන්නනෙ කෙල්ලෙ. හිටෝ ගන්නව කනව තමයි”

නිරන්තර ඈ කියන ඒ කතාව අතීතයෙන් නැගී විත් මගේ සිත් හි ප්‍රතිරාව නැගෙන්නට විය.

“කිරි අම්මෙ. අපි අම්මව බලන්න යමුද…”

මා ඒ එළියට දැම්මේ මගේ හදේ කවර කුටීරයක කවදා සිට සැඟවී තිබි උවමනාවක් ද කියා මම ම නො දනිමි. කිරි අම්මා තිගැස්සී ගිහින් මදෙස හැරී බැලුවා ය.

“අඩු ගානෙ එක වතාවකට හරි මං එයාව දැකල තියෙන එක හොඳයි කියල මට හිතුණා”

මම හේතු පැහැදිළි කළෙමි. කිරි අම්මා සිටියේ වදනක් දොඩා ගත නො හැකි ගොළු බවක ය.

මා ව හදා ගන්නට ගැනීමෙන් පසු කිරි අම්මා බලන්නට වුව අම්මා යළි ගම නො ආ බව මම දැන සිටියෙමි. නමුත් මට නොකියා ඉඳ හිට පාන්දර ම ගොස් හැන්දෑකරේ ගෙදර ආ ගමන් කිහිපයක් ම කිරි අම්මා ගියේ අම්මා බලා එන්නට බව ද මම දැන සිටියෙමි. අපි උනුන් සමගින් අම්මා ගැන වැඩි පුර කතා නො කළෙමු. අම්මා කියන තැනැත්තිය පිළිබඳව මගේ හිතේ වූයේ වෛරයක් යයි කිව නො හැකි අප්‍රසාදයකි. ඒ නිසා ම කිරි අම්මා සමගින් එහෙව් ගමනකට එක් වන්නට කවදාකවත් මට ඕනෑ වී නැත.

“මෙහෙම දුවෙකුත් එයාට ඉන්නව කියල එයා දැන ගන්න එක හොඳයිනෙ”

මගේ ඒ ප්‍රකාශය සැර වැඩි බව, කිරි අම්මා ගේ මූණේ ඇඳුණු ශෝකාකූල රේඛා අනුව මට සිතා ගත හැකි විය. කිරි අම්මා ගේ හිත රිදවීම පාපයකි. ලේ කිරි කර නොපෙව්වා ට මා ඇති දැඩි කළ අම්මා ඈ ය.

“කිරි අම්මා බලන්නකො මං කොළඹිං ගෙනාපු කැවිලි”

ඒ මූසල කිරණ කදම්බයන් ඈතකට පලවා හරිනු වස් මම බෑග් එකෙන් රස කැවිලි බෑගය ඇද පිටතට ගතිමි. කේක් හා බිස්කට් ද චොක්ලට් ඇතුළු තවත් රස කැවිලි වර්ග කිහිපයක් ද කිරි අම්මා ගේ උකුලට කොට මම මට හුරු නැති සතුටක් වින්දෙමි.

“රස කැවිලි මේ තරං ගෙනාවෙ මං පොඩි දරුවෙක් කියල හිතලද බං. ආයෙ එහෙම සල්ලි නාස්ති කරනව නෙවෙයි මෙහෙම”

එහෙම කීවා ට ඇගේ රැළි වැටුණු වියපත් මුහුණෙහි ආඩම්බරය මුහු වූ සතුටක් මට පෙනිණි. මිණිපිරී කොළඹින් ගෙන ආ තෑගි සියල්ල අසල්වැසි ගැහැනුන් ට පෙන්වා සතුටු වන්නට ඈ තුළ වන නො ඉවසිලිමත් ආශාව හැඳින ගන්නට මට නො හැකි වූයේ නැත.

කේක් කැබැල්ලක් කා තේ බීමෙන් පසු, ගමන් වෙහෙසට මම ටිකක් නිදා ගතිමි. කොළඹට ගොඩ බට ප්‍රථම දිනයේ, බුම්මට්ටා ගේ ගෙදර කාමරයෙහි නින්ද ගියයුරු මගේ මනසේ සිතුවම් වෙමින් තිබිණි. මම වහා නැගී සිට සිතිජ ගේ දුරකතනය ට ඇමතුමක් ගතිමි.

“නිදිද ඔයා…”

එහා ඉම සම්බන්ධ වූ ගමන් මම පිළිවිසීමි.

“නිදා ගන්නැතුව බලං හිටිය. ඔයා කෝල් කරයි කියල”

“අනේ…”

උදර කුහරයෙහි දැවිල්ලක් පැතිර ගියේ ය.

“කිරි අම්ම ළඟට ගියාම මාව අමතක වුණා නේ…”

“අනේ එහෙම නෙමෙයි ඉතිං. මං ටික වෙලාවක් කතා නොකර හිටියෙ ඔයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න ඕන නිසා”

“දැං ඉතිං රෙස්ට් කරන්නං. කිරි අම්මා මොකද කියන්නෙ…”

“මං ලස්සන වෙලාලු”

“අපෝ. කිරි අම්ම ලස්සන කෙල්ලංව දැකල නැති නිසා. දවසක කොළඹ එක්කං ගිහිං පෙන්නන්න ඕනෙ ලස්සන කෙල්ලංව”

“අපෝ ඔව්. ඒකනෙ මේ බුම්මට්ටංගෙ මූණු වලට හිනාවක් එන්න අපි කොළඹට එනකල්ම ඉන්න වුණේ”

“කවුද දන්නෑ කිව්වෙ එහෙම කතාවක්…ලස්සන කෙල්ලො කී දෙනෙක්නං පස්සෙං ආවද…වෙලාව තමයි. මේ මහියංගනේ කෙල්ලෙක් රවට්ට ගත්තනෙ අහිංසක කොල්ලව”

මම හඬ නගා හිනැහුණෙමි. දැන් මට ඇත්තට ම සිනහ වෙන්නට පුළුවන් බව මා දැන ගත්තේ ඒ වෙලාවේ ය.

“කිරි අම්මට මං ගැන කියනවද…”

“කමක් නැද්ද කිව්වට…”

“කියන්න. මං දවසක එනව කියන්න කිරි අම්ම බලන්න”

ඒ සංවාදයෙන් පස්සේ මට සනීපයට නින්ද ගියේ ය. ගොම මැටි ගෑ ගෙබිමෙහි පැදුරු කඩමාල්ල මත වුව, හිත සතුටෙන් නම් සනීපයට නින්ද යන බව මම අලුතෙන් අත්දකිමින් සිටියෙමි. ජීවිතයෙහි සතුට වන්නේ මහා ලොකු තැන් වල නොවේ. ඉතා කුඩා දේ වල ය. නමුත් අවාසනාවකට අපි ඒ කුඩා දේවල් නො සලකා හරිමු. මග හැර යමු. හඹා ගිය ලොකු දේ වල සතුට නො වන බව පසක් වත්දී ආපසු හැරී පැමිණිය නො හැකි තැනක නතර වී ඉමු. නගරයේ මිනිසුන් ගේ ජීවිත වල සැබෑ මුහුණුවර දුටුවාට පස්සේ මා වටහා ගත් සත්‍යය එසේ ය.

“කෙල්ලෙ…”

රෑ කෑමට පිඟන් දෙකට බත් බෙදන ගමන් කිරි අම්මා අමුතු ස්වරයකින් කතා කළා ය. එදා රෑ බතට වට්ටක්කා දලු මාළුවට අමතර ව වැව් කරවල බැදුමක් ද මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් ද එකතු වී තිබුණේ ය. කොච්චි දමා මඤ්ඤොක්කා කොළ වංගෙඩියේ කොටා හදන මැල්ලුමට මා පෙරේත බව කිරි අම්මා දන්නී ය. නගරයට ගිය තෙක් වට්ටක්කා දලු මාළුව සේම මඤ්ඤොක්කා කොළ මැල්ලුම ද මට රස විඳිනට ලැබුණේ ම නැත.

“කාත් එක්කද හැන්දෑවෙ අර ටැලිපෝන් එකෙන් කතා කර කර හිටියෙ…”

බත් පිඟානෙන් ඉහලට විහිද යන දුම් රොටු දෙස මිස කිරි අම්මා දෙස මම නො බැලීමි. ඈ දෙස කෙළින් බලන්න ට බැරි වරදකාර හැඟීමක් මට දැනෙමින් තිබිණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
3
0
Would love your thoughts, please comment.x
()
x